ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් අමෙරිකාවේ දී වෙඩි තබා මරා දාලා

අමෙරිකා එක්සත් ජනපදයේ කැන්සාස් නුවර පිහිටි මිසුරි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු වෙඩි තබා මරා දමා ඇතැයි වාර්තා වෙයි. සරසවි අධ්‍යාපනයට අමතරව මේ ශිෂ්‍යයා ස්වෝප් පාර්ක් හි පිහිටි ඉන්ධන පිරවුම් හලක සේවය කර තිබේ.

එහි සේවය කරමින් සිටියදී කිසියම් පුද්ගලයකුගේ වෙඩි තැබීමක් නිසා පෙරේදා (29) අලුයම 4.40ට පමණ ශ්‍රී ලාංකික ශිෂ්‍යයා මියගිය බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ මිසුරි විශ්වවිද්‍යාලයේ විදුලි හා පරිගණක ඉංජිනේරු විද්‍යාව හැදෑරු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකි.ඔහු සුරේන්ද්‍ර අමරසිංහම් (25) නමින් හඳුනාගෙන ඇත.

අදාළ ඉන්ධන පිරවුම් හලේ වෙඩි නොවදින කුටියක මේ ශිෂ්‍යයා රැඳී සිට ඇති අතර කුණු ඉවත් කිරීම සඳහා ඉන් පිටතට පැමිණි අවස්ථාවේ දී නාඳුනන තුවක්කු කරුවකු වෙඩි තබා ඇති බව සඳහන් වේ.

එම වෙඩි තැබීමෙන් පසුව ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම් හලට පැමිණි පුද්ගලයකු මේ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබෙන අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් භටයෝ මේ ශිෂ්‍යයා රෝහල් ගත කළ බවත්, අනතුරුව මියගිය බවත් තානාපති ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැන්සාස් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. Tell a Friend