අධිකරණය සතු යුතුකම - 02


 අඩු වේතන ලබන්නන්ගේ සමජයක් වන ලංකාව තුළ ජනතා නිදහස ආරක්ෂා කිරීමට අධිකරණය සතු යුතුකම සහ මේ පිළිබඳව අත්‍යවශ්‍ය මහජන මැදිහත් වීම

බැසිල් ප්‍රනාන්දු
ආසියානු මානව හිමකම් කොමිසම

මහේස්ත්‍රාත් වරුන්ගේ බලය සිමකිරීමෙන් සමාජීය පිරිහීම

අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම් කිරීමේදී මහේස්ත්‍රාත්වරුනට අහිමි කර ඇති බලය නැවත ඔවුන්ට ලබාදීම සඳහා ඇප සීමා කිරීමට රටේ දැනට පුළුල්ව පැතිරී ඇති නීති ගණනාවක් අවලංගු කිරීමත් අත්‍යවශ්‍ය වන්නේය. මේවා අතීතයේදී එක්කෝ හදිසි නීති යටතේ හෝ ත්‍රස්තවාදයට එරෙහි වූ නීති යටතේ ගෙන එන ලද සීමාවන්ය. මේ හැර තවත් සීමාවන් ගණනක්ද හේතු වී ඇත. විවිධ ආකාරයේ මත්ද්‍රවය නීතින් යටතේ හෝ වෙනත් බණ්ඩ හුවමාරු කිරීම් පිළිබඳව හෝ පමණක් නොව පසු කාලයේදී විශ්ව විද්‍යාල වල නවකයන් බඳවා ගනිමේදී කරණ විවිධ වැරදි ක්‍රියාවන් සඳහා ඇප නීති නැති කිරීමේ මට්ටමටම ඇප පිළිබඳව සංකල්පය සිමා කිරීම ලංකවේ සිදු වී ඇත. ඕනෑම අපරාධයක් අලුතින් නිර්වචනය කොට ඉන් පසු ඒ පිළිබඳව ඇප දීමට මහේස්ත්‍රාත්වරයාට ඇති බල නැති කිරීම සුලබව සිදු වේ. අප ලබා ගැනීම ඉහල අධිකරණයකින් ලබා ගත යුතුය, ආදී නීති නීති ක්ෂේත්‍රයේ සෑම අංශයක් පුරාම පැතිරී ගොස් ඇත. මෙය අතිශයින් විනාශකාරි වන්නේ මෙය නිදහසට පැනවෙන විශාල බාධාවක් පමණක් නිසා නොව මේවා අනිසි ලෙස බලය පාවිච්චි කරමින් පොලිසිය තමන්ගේ පුද්ගලික වුවනාවන් ඉටු කර ගැනීමට විශාල පරිමාණයෙන් සිදු වීම නිසයි.


බොරු නඩු පැවරීම

ලංකාව තවමත් බොරු නඩු දැමීමේ සම්ප්‍රදාය නැති කර දැමීමට නොහැකි වූ රාජ්‍යකි. විශාල වශයෙන් බොරු නඩු දැමීම පොලිසිය මඟින් සිදු වන බව කවුරුත් තර්ක කරන්නේ නැත. එය පොදුවේ විශාල වශයෙන් පිළිගැනෙන දෙයකි. මෙවැනි වාතාවරණයක් තුළ පොලිසිය දඩමීමා කරගෙන මෙම කටයුතු කර ගැනීමට අද දේශපාලනඥයින්ද නැඹුරු වී ඇත. පසුගිය කාලය තුළ දේශපාලනික වශයෙන් යම් පුද්ගලින් මර්ධනය කිරීම සඳහා ඔවුන්ට විරුද්ධව විවිධාකාර වූ මනඃකල්පිත නඩු පැවරීම සිදු කිරීම අපට දැක ගත හැකිය. මේ මාර්ගයෙන් පුවත්පත් කලා කරුවන්, විරුද්ධ පක්ෂයේ අයවලුන් සහ වෙනත් ආණ්ඩුව අකමැති පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ව ඇප නැතුව රඳවා ගැනීමේ හැකියාව විශාල වශයෙන් පළල් කොට ඇත. ඇප නැති කිරීම සාදාරණ විනිශ්චයකින් තොරව දඬුවම් කිරීමේ ක්‍රමයක් දැන් වර්ධනය වී තිබේ යැයි කීම අතිශෝක්තියක් නොවේ.

අපරාධ මර්ධනය සහ පොලිසිය

රටේ නිසියාකාර පොලිස් ක්‍රමයක් වර්ධනය කර ගැනීමට නොහැකි වූ නිසා අපරාධ මර්ධනය කර ගැනීමට විශාල බධා ඇති වී තිබේ. අපරාධ මර්ධනය ගැන පොලිසියේ හැකියාව පිළිබඳව විස්වාශය ආණ්ඩුව තුළවත්, මහජනතාව තුළවත් පවතින්නේ නැත. මේ හේතු කොට ගෙන නීතිය ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඇප අයුතු ලෙස හෝ නැතිකිරීම කරණ බවද පෙනෙන්නට ඇත. යම් අපරාධයක් සමාජයට යම් පරපතල ප්‍රශ්නයක් යැයි හැඟුණු විටම වහා ඒ පිළිබඳව ඇප නැති කිරීම සඳහා නීතියක් පනවනු ලැබේ. නමුත් එම නීතිය පදනම් කර ගෙන එම අපරාධයට කිසියම්ම හෝ සම්බන්ධයක් නැති මිනිසුන් විශාල වශයෙන් රඳවා ගැනීමට පොලිසියට හැකියාව ලබා දේ. මෙය දේශපාලනඥයින් විසින්ද පසුව ප්‍රයෝජනයට ගනී. අහවලා ගිනි අවි තබා ගත්තාය, නැතහොත් යම් මත්ද්‍රවයක් තබා ගත්තාය, යැයි බොරු නඩුවක් පැවරීමෙන් දීර්ඝකාලීනව ඔවුන් රක්ෂිත බන්ධනාගාර කිරීමේ හැකියාව ඇත. මේ හැකියාව පමණක් නොව මෙය නිසා භීතිය ඇතිකිරීමද හැකියාව ලැබේ. විශේෂයෙන් ඔබට විරුද්ධව මත්ද්‍රව්‍ය නඩුවක් දමනවාය, ගිනි අවි ළඟ තබා ගත්තේ යැයි නඩු පවරනවාය, ආදී වශයෙන් තර්ජනය කිරීම මඟින් මිනිසුන් බිය වැද්දීමත් සමහර විට එමඟින් අල්ලස් හෝ වෙනත් දූෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පොලිසියට සහ වෙනත් පුද්ගලයින්ට හැකියාව තිබේ. මේ තත්වය අද රටේ විශාල වශයෙන් පැතිරී පවතී. මෙහිදී ඉතා බරපතලව නිදහස ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් ඇති මහේස්ත්‍රාත්වරුන්ගේ බලය සීමා කිරීම දක්නට ලැබේ. එය නිරාකරණය කර ගැනීම සඳහා පනවා ඇති නීති අවලංගු කර ගැනීමත්, මහේස්ත්‍රාත් වරුන්ගේ බලය නැවතත් ස්ථාවර කර ගැනීමත් අද ලංකාවේ අපරාධ නීතිය ආරක්ෂා කර ගැනීමේ අත්‍යවශ්‍ය කොන්දේසි බවට පත් වී තිබේ.

භීතියට පත් වූ ජන සමාජයක් බිහිවීම

මෙය නොමැතිව අපරාධ නීතිය අහෝසි වී යාමත් ඒ වෙනුවට බලෙන් මිනිසුන්ට දඬුවම් කිරීම සහ බය කිරීම මෙන්ම ත්‍රස්ත හැඟීම් ඇති කිරීම සඳහා කෙරෙන අත්අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම් යොදා ගැනීම වැළක්විය නොහැකිය. මෙම මානසික තත්වය ඇති කිරීම අද රටේ විශාල ප්‍රශ්ණයක් ලෙස පවතී. බිය වැද්දීම් මත යටපත් කරණ ලද ජන සමුහයක් හැම තැනම වර්ධනය වෙමින් පවතී. ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැක්කේ නිදහස සඳහා ආශාව ඇති නිදහස සඳහා විස්වාශය ඇති ජනතාවක් අරඹයා පමණි. එහෙත් නිදහස සඳහා විස්වාශය සහ ඒ සඳහා ඇති ආශාව නැති වන තරමටම බිය වැද්දීම සඳහා පොලිසිය පාවිච්චි කිරීමත් ඇප නැති කිරීම පිලිබඳ නීතිය පාවිච්චි කිරීමත් විශාල වශයෙන් සිදු වීම අද රට මුහුණ දී සිටින සමාජීය සහ මානවීය අරබුදයකි.


මහේස්ත්‍රාත් වරුන්ගේ වගකීම සහ රටේ දුගී ජනතාව

ලංකාවේ ජනගහනයෙන් 40% පමණ තවමත් අන්ත දුගී බාවයට වැටෙන කොටස් අතරට ගනේනෙන බව සංඛ්‍යා ලේඛන වලින් හෙළිරව් වී ඇත. මෙසේ අන්ත දුගී බාවයේ සිටින කණ්ඩායම් හැර රටේ අනෙක් කණ්ඩායම් අතරද විශාල කොටසක් අයත් වන්නේ සාමාන්‍යයෙන් දුගී යයි හැඳින්විය හැකි කණ්ඩායම් අතරටය. අද රටේ මධ්‍යම පන්තිය යනුවෙන් හදුන්වනු ලබන කණ්ඩායම් පවා අයත් වන්නේ දුගී යයි සැලකිය හැකි කණ්ඩායම් අතරටය. මෙයට හේතුව වශයෙන් පවතින්නේ රටේ පවතින වැටුම් ක්‍රමයයි. ලංකාවේ ක්‍රියාත්මක වන වැටුප් ක්‍රමය අද ලෝකයේ බොහෝ රටවල් සමඟ සන්සන්ධනය කරණ කළ ඉතාමත් අසතුටු දායක වැටුප් ක්‍රමයකි. අද රුපියල් 10,000කවත් අදායමක් ලබන පවුල් සාමාන්‍ය අදායමක් ලබන පවුල් යයි ගණන් ගනු ලබයි. එහෙත් රුපියල් 10,000ක අදායමකින් ජිවත් විය හැකි තත්වයක් අදර රට තුල නොමැත්තේ ජීවන ව්යදම ගැන සැලකිමේදිය.

අද පවතින සමාජය තුළ සියලුම ගනු දෙනු වාණිජ පදනමක් මත පවතී. පාසලකට ඇතුළු වීම, පාසල් අධ්‍යාපනය, සෞඛ්‍ය, පමණක් නොව ජලය, විදුලිය සහ මුලික අහාර ආදී සියල්ල අද ගැනෙනු ලබන්නේ වාණිජ පදනමක් මතය. යම් යම් ආකාරවලින් තමන් විසින් වවා ගත් හෝ හදා ගත් බව භෝග වලින් ජීවත් වූ ගැමි සමාජ ක්‍රමය මේ වනවිට මුලිමනින්ම අහෝසි වී ගොස් ඇත. මෙසේ සමාජය තුළ ඇති වී ඇති ආර්ථිකයේ සිදු වී ඇති පුළුල් වීම සෑම පවුල් තුළම තමන්ගේ ජීවන රටාව ගැට ගසා ගැනීම සඳහා මුදල් ප්‍රමාණවත් නොවීම නිසා හට ගන්න ගැටලූ සහ ගැටුම් වලින් පිරී පවත්නා සමාජයක් අප ඉදිරියේ නිර්මාණය වී තිබේ.

අධිකරණයේ සුවිශේෂී වගකීම

මෙවැනි විශාල වශයෙන් ආර්ථික ගැටලූ පවතින ජන සමාජයක් තුළ සමාජයේ සුරක්ෂිත බාවය ආරක්ෂා කිරීමට හැකිවන්නේ එම සමාජය පිළිබඳව අවබෝධයක් ඇත්තා වූ අධිකරණ ක්‍රමයක් පවතින තාක් කල් දුරට පමණය. මෙවැනි සමාජ ගැටලූ පවතින සමාජයක් තුළ පාර්ලිමේන්තුව මෙන්ම විධායකයද බොහෝ විට මෙම ගැටලූ විසඳීම සඳහා විවිධ ප්‍රයත්න යොදන අතර බෝහෝ විට දුගීන් සඳහා මර්ධන කාරී ප්‍රතිපත්ති වර්ධනය කර ගැනීම සාමාන්‍යයෙන් පෙනෙන්නට ඇති ලක්ෂණයකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් සහ සමාජීය අනුකම්පාව සහ මානව දයාව යන ප්‍රතිපතීන් විධායකය සහ පාර්ලිමේන්තුව තුළින් බොහෝ විට ජනනය කළ නොහැකි තත්වයක් දක්වාම අද ආර්ථික ගැටලූ වර්ධනය වී ඇත.

මෙවැනි සමාජයක් තුළ සමාජ සාමය පවත්වාගෙන යාමේ ප්‍රධානම සාධකයක් බවට පත්විය යුත්තේ අධිකරණයයි. සමාජයේ අන්ත දුගී කණ්ඩායම් අතර පවතින ගැටලූ අවබෝධ කරගනිමින් ඒවාට අනුව නීති ක්‍රියාත්මක කිරීමේ සම්ප්‍රදායක් පවත්වාගෙන යාමේ හැකියාව අධිකරණයට පැවතිය යුතුය.

පුද්ගලයාගේ නිදහස රැකීමට මහේස්ත්‍රාත්වරුන් සතු වගකීම

මෙම අධිකරණ ක්‍රියාවලියේ වැඩිම කොටසක් සාමාන්‍යයෙන් කරනු ලබන්නේ මහේස්ත්‍රාත් අධිකරණ තුළදීය. සාමාන්‍යයෙන් රටේ නිතීය පද්ධතිය අනුව පහළම උසාවිය ලෙස මහේස්ත්‍රාත් අධිකරණය පෙනුණත් සමාජයේ එදිනෙදා කටයුතු වලදී වඩාත්ම සමාජය සමඟ මැදිහත් වන්නා වූ අධිකරණ ක්‍රමය පවතින්නේ අධිකරණ ක්‍රමය තුළය. එම නිසා ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණ ක්‍රමය පිළිබඳව විශාල අවදානයක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්චාකරණ සියල්ලන් තුළමත් විශේෂයෙන්ම මානව හිමිකම් ක්ෂේත්‍රය තුළත් වර්ධනය විය යුතු අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රීය සාධකයක් වශයෙන් සාකච්චා කළ යුතු කාලය දැන් පැමිණ ඇත.


අධිකරණ සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන වල වගකීම

ලංකාවේ මානව හිමිකම් සංවිධාන තුළ මෙවැනි සාකච්ඡාවන් ඇත්තෙන්ම අතීතයේදී පවතී ඇත්තේ නැත. බොහෝ විට එදිනෙද ගැටලූ වලට මැදිහත් වී අත්අඩංගුවට ගැනීම් හෝ එවැනි අවස්ථාවකදී යම් අයෙකුගේ ආරක්ෂාව පිළිබඳව මානව හිමිකම් සංවිධාන කතා කරණ නමුත් තමන් වටා පවතින අධිකරණ රටාව තේරුම් ගැනීමත් මෙම අධිකරණ රටාව පිළිබඳව ඉතා බුද්ධිමත් සකච්ච්වක් රට තුළ ඇති කිරීමත් එමඟින් රටේ මෙම සංස්ථාව පිළිබඳව ගැඹුරු අවබෝධයක් වර්ධනය කිරීම තුළින් ජනතාවගේ ආරක්ෂාව සලසා ගැනීම පිළිබඳව අදහස් මෙන්ම ප්‍රයෝගික ක්‍රියාමාර්ගයන් වර්ධන කිරීමත් අත්‍යවශ්‍ය වන කාලයකට දැන් අපි පිවිසි ඇත්තෙමු.

ලංකාවට අධිකරණ ක්‍රමය ගෙන එන ලද්දේ යටත් විජිතවාදී රටවල් විසිනි. ඉන් පෙර ලංකාවේ පැවතියේ වැඩවසම් ක්‍රමය යටතේ පැවති අතිශයින්ම අසාධාරණවුත්, කිසියම් නීතියක් මත පදනම් නොවුණා වුත්, නොයෙක් ප්‍රදේශහි බලධාරීන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කරගත හැකිවුණා වුත්, ක්‍රමයකි. ඒ තුළ නීතියවත් සාදාරණයවත් නොමැති බව පිළිගැනීම ජාතිවාදය පිළිබඳ ප්‍රශ්ණයක් නොවිය යුතුය. කුමන ජාතිවාදී දර්ශණයකින් බැලුවා වුවත් ලංකාවේ අතීතයේදී යුක්තිය පිළිබඳව ගැඹුරු දර්ශනයක් එනම රටේ සාමාන්‍ය ජනතාවට සහන ලැබෙන්නා වූ යුක්ති ක්‍රමයක් පිළිබඳව වූ ක්‍රමයක් නොපැවති බව පිළිගැනීම ලජ්ජාවට කාරණයක් නොවේ. එය සත්‍යක් ලෙස පිළිගැනීම ජාතියට එරෙහි වීමක්ද නොවේ. එය අතීතය පිළිබඳව සැබෑ කතාවයි.

ලංකාවේ අතීතය වැඩවසම් අතීතයක්ව පැවතුණේය. එම නිසා එවැනි රටාවක් තුළ ලෝකයේ බොහෝ රටවල මෙන් ලංකාවේද සඳහන් යුක්ති ක්‍රමයක් ගැන දර්ශනයක් හෝ සංස්ථාවන් හෝ පැන නැගුණේ නැත. යටත් විජිත කාලයන් තුළදී විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී කාලයේදී නූතන අධිකරණ ක්‍රමය ඇති වූවත් එම අධිකරණ ක්‍රමය යටත් විජිතවාදයේ පැවති ගැටලූ නිසාම ජනහිතකාමී සාධාරණ යුක්ති ධර්ම පද්ධතියක් සේ ඉස්මතු වීමේ හැකියාවක් නොමැතිව ක්‍රියාත්මක වූවකි. එක අතකින් වර්තමාන නීති හඳුන්වා දීමත්, වර්තමාන අධිකරණ මුලධර්ම හඳුන්වා දීමත් සිදු වූ අතර අනෙක් අතින් එය සිදු වූයේ යටත් විජිත වාදී සන්දර්භයක් තුළය. යටත් විජිත වාදී සන්දර්භය තුළ යටත් විජිතයේ ජනතාවගේ නිදහස පිළිබඳව පැවතියේ දෙබිඩි ප්‍රතිපත්තියකි. රටේ නිදහස යටත් විජිතයේ රජතුමා යටතට පත් කොට තිබුණි. එම නිසා නිදහස පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් සහ අධිකරණ ක්‍රමය පිළිබඳ විශාල ගැටලුවක් මුල් අවදියේදී පැවතියේය.


ජනතා මැදිහත්වීම් තුළින් නිතිය නිර්මාණය කිරීම

රටකට අවශ්‍ය නීති ක්‍රමය මෙන්ම සාදාරණ යුක්ති ධර්ම ක්‍රමයක්ද ඇතිවන්නේ එය ජනතාවගේ මැදිහත් වීම් තුළින්, ජනතාවගේ වුවමනාකම් තුළින්, රටේ අවශ්‍යතාවයන් තුළින්, පැන නැගෙන ව්‍යාපාරයක් බවට පත් වූ පසුය. යුරෝපා සහ ඇමෙරිකානු රටවල දී මෙය ඔවුන්ගේ ඉතිහාසය තුළ සිදු වුණේය. ඔවුන්ගේ ඉතිහාසය තුළ නීති ක්‍රමය වර්ධනයද විශේෂයෙන් අධිකරණයේ වර්ධනයද ස්වාධීනව සිදු වුණු අතර විධායකයට වැඩ හිතවත් කමක් ජනතාවගෙන් දිනා ගැනීමේ හැකියාව අධිකරණය ඇතිකර ගත්තේය. අද වුවද විවිධ දේශපාලන වෙනස්කම් කිරීමට මෙම රටවල හැකියාව තිබුණත් අධිකරණයේ ස්වාධීනතාව පිළිබඳ ප්‍රශ්න වලට මැදිහත් වන ඕනෑම අවස්ථාවකදී ජනතාව මැදිහත් වී අධිකරණවල බලය ආරක්ෂා කර දීමේ කටයුත්තට මැදිහත් වෙයි. මේ නිසා අධිකරණයේ විනිශ්චකාරවරුද, අධිකරණයට සම්බන්ධ සියලුම නිලධාරීහුද අවසාන වශයෙන් තමන් සතු බලය ආරක්ෂා කරන්නා වූ ජනතාවක් පවතිනාවය යන විශ්වාසය මත පදනම් වන නිසා ඒ තුළින් ලැබෙන ගැඹුරු ආචාර ධර්ම වාදී සංකල්පවල පිහිටා සිටීමේ හැකියාව මෙම අධිකරණ වලට පවතී. අද යුරෝපයේ රටවල්ද, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකාව වැනි රවල් වලදී අධිකරණ බලයට අධියෝග වන්නා වූ යම් ක්‍රියාමාර්ගයක් විධායකය විසින් හෝ පාර්ලිමේන්තුව විසින් හෝ ගෙන එනු ලබයි නම් එය විශාල ජනතා ගැටුම් බවට හේතුවන දෙයක් බවට පත් වේ. ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අධිකරණයේ නිදහස ආරක්ෂා කර ගැනීම අවශ්‍ය බව අවබෝධ කරගෙන එය තමන්ගේම කටයුතක් සේ සලකනු ලබති. එම සම්ප්‍රදාය ඔවුන්ගේ සංස්කෘතිය තුළට ගැබ් වී ඇති අතර සමාජයේ ගැඹුරුමතම අවබෝධයන් තුළටද ගැබ් වී පවතී.

ලංකාවේ අධිකරණ ක්‍රමය පිළිබඳව එවැනි ගැඹුරු අවබෝධයක් ජනතාව තුළ තවම වර්ධනය වී නැත. ජනතාව සමහර විට පාර්ලිමේන්තුව පිළිබඳව යම් මැදිහත් වීමක් කරන්නේ මැතිවරණ ක්‍රමය නිසාය. විටින් විට ඡන්දයට සහභාගී වීමට ජනයාට සිදුවන අවස්ථාවන් වලදී මැතිවරණ ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම පාර්ලිමේන්තුව සහ විධායකය පිළිබඳව ගැටලු ගැනද දැනගැනීමටත් යම් ආකාරවලින් ඒ පිළිබඳව මැදිහත්වීමටත් සාමාන්‍ය ජනතාවට අවස්ථාවක් ලැබේ. මාධ්‍ය තුළින් සහ වෙනත් ආකාර වලින් මෙම සාකච්ඡාවට සමබන්ධ වීමේ යම් ඉඩක් ජනතාවට විවෘත වේ.

එහෙත් අධිකරණය සමඟ මහජනතාවට එවැනි සම්බන්ධයක් නැත. අතීතයේදී නිඥයින් සහ විනිසුරුවරුන් අධිකරණය පිළිබඳව සාකච්ඡාවට තමන් අත පමණක් රඳවා ගත්හ. අධිකරණයේ ප්‍රශ්න ගැන කතා කිරීමට තරම් අවබෝධයක් මහා ජනතාවට නැතය, යන අදහස රටේ බොහෝ දුරට මුල් බැස ඇත. අධිකරණයට අපහාස කිරීම සහ වෙනත් මර්ධන නීති වල පැවැත්මද අධිකරණය පිළිබඳ සාකච්ඡාවෙන් බැහැරව සිටීමට හේතු වූ තවත් සාධක විය හැකිය. කෙසේ වුවත් සාමාන්‍ය ජනයා අධිකරණය පිළිබඳ සාකච්ඡාවට සහභාගී නොවන බව අතිසොක්තියක් නොවේ.

අධිකරණය පිළිබඳව ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට මහජනයා සම්බන්ධ නොවූවත් අප්‍රසිද්ධියේ නම් ඔවුහු අධිකරණ ක්‍රමය ගැන තමන්ගේ කල කිරීම් ඉතා තද බල ලෙස කියා පාති. අධිකරණයේ නඩු පමාව, මෙන්ම අධිකරණ ක්‍රමය තුළ සිදු කරන බොහෝ දේ පිළිබඳව ඇති ව්‍යාකූලත්වය ගැන ඔවුහු නිතර දොස් කියති. නීතිඥවරුන් සහ නීතිඥ ගාස්තු පිළිබඳවද රට පුරා ඉමහත් කල කිරීමක් ඇත. බොහෝ විට තමන් මුහුණ දෙන නඩු සම්බන්ධයෙන් වුවද අදාළ පුද්ගලයින් දැනුවත් කිරීමට ඇති වගකීම නීතිඥ වෘත්තිය තුළින් කෙරෙන බවක් පෙනෙන්නට නැත. දුගී බාවය නිසා යුක්තිය ඉටු කර ගැනීමට නොහැකි වූවන්ගේ දුග් ගැනවිල්ල සහ කල කිරීම ඉතා බරපතලව නිතරම මෙන් ප්‍රකාශයට පත් වේ.

අධිකරණ පිලිබඳ ගැටලු ගැන ප්‍රසිද්ධ සාකච්චාවක් සඳහා මානව හිමකම් ව්‍යාපාරයේ වගකීම

අධිකරණ ක්‍රමයේ බරපතල අඩුපාඩු ඇති බව ප්‍රකාශයට පත් වන්නේ ජනතාව තුළින් පමණක් නොවේ. නිතිඥවරුන්ද විනිසුරුවරුන්ද විවිධාකාර සිවිල් සේවකයින්ද, රජය විසින් පත් කල විවිධ කොමිෂන් සභාවන්ද මේ ප්‍රශ්න පිළිබඳව බොහෝ කරුණු ගෙන හැර දක්වා ඇත. මහා පරිමාණ අධිකරණ ප්‍රතිසෂ්කරණයක් අවශ්‍ය බව දැන් දශක ගණනාවක් තිස්සේ නැවත නැවත ප්‍රකාශයට පත් වී ඇති බව ලේඛන තුළින් ඔප්පු කළ හැකිය.

මෙවැනි තත්වයක් තුළ යම් වෙනසක් ඇති කර ගැනීමේ හැකියාව ඇත්තේ අධිකරණය පිළිබඳව විවේචනාත්මක සාකච්ඡාවක් රටේ ඇති වූවොත් පමණය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අධිකරණය සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙන එදිනෙදා ගැටලු ප්‍රකාශයට පත් කර ගැනීමය. රටේ සෑම අස්සක් මුල්ලකම කෙරෙන දෝශාභියෝගය ප්‍රසිද්ධ මට්ටමකට ගෙන එම මඟින් ශිෂ්ට සම්ම්පන්න වූත් බැරෑරුම් වූත් සාකච්ඡාවක් ඇති කළ යුතුව ඇත.

මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් වන සංවිධාන නිතරම මානව හිමිකම් කැඩෙන බව කියන නමුත් එය විසඳා ගැනීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය කොන්දේසියක් වන අධිකරණ ප්‍රතිසංස්කරණයක් ගැන කතා කරන්නේම නැත. මෙය ලංකාවෙත් ජාත්‍යන්තරවත් මානව හිමිකම් ව්‍යාපාරයේ ඇති විශාලම අඩු පාඩුවකි. මෙම අඩු පාඩුව විසඳා ගැනීම දැන් අත්‍යවශ්‍යව ඇත. එය කිරීමේ මුල් පියවර විය යුත්තේ අධිකරණ ක්‍රමය පිළිබඳව ඇති ගැටලු සාකච්චා කිරීමේ අවස්ථාවක් ජනතාවට නිර්මාණය කර දීම තුළිනි.

ආසියානු මානව හිමිකම් කොමිසම ගැන: 1984 සිට හොං කොං හි මුලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වන ආසියානු මානව හිමිකම් කොමිසම ආසියාවේ මානව හිමිකම් පිළිබඳව නිරීක්ෂණ සහ වාර්තා කරණ කලාපිය රාජ්‍ය නොවන සංවිධානයකි.

Tell a Friend