පිහියකින් ඇන අම්මා මැරූ පුතා අත්අඩංගුවට

සැකකරු ගෙල වැලලා ගන්න හදලා

සමන් කාරියවසම්

මොරොන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී පිහියකින් ඇන තම මව මරාදමා පියාට බරපතල තුවාල සිදුකළ සිද්ධියේ සැකකාර පුතා (3 දා) වාද්දුව පොලිසිය විසින් දැල්කඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්‌ කණ්‌ඩායමක්‌ සැකකරු සිටි ස්‌ථානයට යනවිටත් ඔහු ගසක අත්තක කඹයක්‌ බැඳ එල්ලී සිය ජීවිතය හානිකර ගැනීමට උත්සහා දරා ඇත. පසුව පොලිසිය මැදිහත්ව සැකකරු බේරාගෙන ඇති අතර එම ස්‌ථානයේ තිබී ඔහුගේ මව මරා දැමූ පිහියද පොලිසිය විසින් සොයාගෙන ඇත.

(03 වැනිදා) උදෑසන කුඩාගෝනදූව ප්‍රදේශයේදී විශ්‍රාමික පාසල් ගුරුවරියෙකුවන සෝමලතා කහවල (65) මහත්මියගේ පපුවට පිහියකින් ඇන මරා දැමීම හා ඇගේ ස්‌වාමි පුරුෂයා වන ආරියදාස රුද්‍රිගූ (68) මහතාට බරපතල ලෙස තුවාල සිදුකිරීම සමබන්ධයෙන් සැකකරන මෙම දෙපලගේ පුතෙකුවන සමරසිංහ ආරච්චිගේ තුසිත මංගල කුමාර (35) නමැති අය මෙසේ පොලිස්‌ අත්අඩංගුවට පත්විය.

දිගුකලක්‌ තිස්‌සේ මව අහිමි වූ තම සිය දරුවන්ගේ රැකවරණය පිළිබඳ සැකකරු හා දෙමාපියන් අතර ඇතිවූ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක්‌ මුල් කරගෙන මෙම ආරවුල හටගෙන ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත.
Tell a Friend