අතුරුදන්වූවන්ගේ පවුල්වල ලක්‌ෂ ගණනකට විදලා!

උතුර සහ වන්නි ප්‍රදේශවලදී අතුරුදන් වූ පුද්ගලයන් සොයාදෙන බව කියමින් විවිධ පුද්ගලයන් රවටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබා ගන්නා සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ නිසා එම ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක්‌ වවුනියාව සහ මඩු පොලිස්‌ ස්‌ථානවලට ලැබී ඇති අතර මෙම සංවිධානාත්මක කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර මහතා පැවසීය. මෙම සංවිධානාත්මක කණ්‌ඩායමට සම්බන්ධ අඹුසැමි යුවළක්‌ මේ වනවිට පොලිස්‌ භාරයට ගෙන සිටින අතර ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව ද ඒ මහතා පැවසීය.

උතුර ප්‍රදේශයේ සහ වන්නියේ පදිංචිකරුවන් දෙදෙනකුට දුරකථනයෙන් කතා කර ඇති හමුදා මේජර්වරයකු යෑයි කියා ගත් පුද්ගලයකු ඔවුන්ගේ අතුරුදන් වූ ඥතීන් සොයා දෙන බව කියමින් රුපියල් ලක්‍ෂ තුනහමාරක මුදලක්‌ ලබාගෙන ඇත.

මෙම මේජර්වරයා යෑයි කියා ගන්නා පුද්ගලයා දෙමළ ජාතිකයන් දෙදෙනාව හඳුන්වා දී ඇත්තේ දෙමළ ජාතික සංධානයේ එක්‌තරා මන්ත්‍රීවරයකු විසින්ය. එම මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම නිසා වව්නියාවේ සහ උතුරේ පදිංචිකරුවන් දෙදෙනා අතුරුදන්වූ තම ඥතීන් සොයා ගැනීම සඳහා ඉල්ලා සිටි මුදල් ලබාදී තිබේ.

එහෙත් පසුව මෙම හමුදා මේජර්වරයා යෑයි කියා ගත් පුද්ගලයාගේ ජංගම දුරකථනයට කතා කරද්දී ඔහු එම දෙමළ ජාතිකයන් දෙදෙනාට බැන තර්ජනය කර ඇත.

මේ ආකාරයටම මඩු ප්‍රදේශයේදී පුද්ගලයන් කීප දෙනකු තම අතුරුදන් වූ ඥතීන් සොයා ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ ලබාදී තිබේ. Tell a Friend