මා දුටු විජේවීර

බිමල් රත්නායක

මා ගැන පුරාවෘත්ත
පැතිරෙනු ඇත
මගෙ මව්බිම සිසාරා
එබිම මත සිටින
හැම මුවකම
කියෑවෙනු ඇත මගේ නම - ඇලෙක්‌සැන්දර්
පුෂ්කින්


අහසද කළු පැහැ පොරවාගෙන කඳුළු සලන මේ ඉල් මහේදී අප හැම දෙනාගේ මතකයට එන නමක්‌ ඇත. ඒ රෝහණ විඡේවීර නාමයයි. අද මව් බිමේ සිව්කොණ හැම මුවකින්ම ඔහු ගැන අදහස්‌ පළවේ. පුෂ්කින්ගේ කවියේ කියෑවෙන පරිදිම බොහෝ පුරා වෘත්ත නිමැවෙමින් තිබේ. මේ අඳුරු ඉල්මහ අපට පවසන්නේ ඔහු නොමැතිව වසර 21 ක්‌ ගෙවී ගොස්‌ ඇති බවයි. ඔහුගෙන් තොර දශක දෙකක්‌ ගෙවී ගොස්‌ තෙවැනි දශකයද ඇරඹී ඇති බවයි.

ඔහුව කුරිරු වධ හිංසාවන්ට බඳුන් කොට මරා දමා, සිරුරද පුළුස්‌සා අතුරුදන් කිරීමට ක්‍රියා කළ පාලකයන්ගේ අරමුණුq ඉටුවී නැත. ඔහු ඝාතනය කිරීමෙන් බලාපොරොත්තු වූ කිසිවක්‌ ඉටුවී නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ හැම මුවකම රෝහණ වීඡේවීර නාමය රැව් පිළිරැව් දීම පමණි. ඒ වෙනුවට සිදුව ඇත්තේ ඔහු ඇරඹූ ගමන් මගේ තවත් ලක්‍ෂ ගණනක්‌ පිය නැඟීම ඇරඹීම පමණි. සිය ජීවිතය ආරක්‍ෂා කර ගැනීම සඳහා දේශපාලනය හා ප්‍රතිපත්ති මරා දැමූ ඊනියා වාමාංශික නායකයන්ගේ නාමයන් ජන හදවත් තුළින් මැකී යද්දී සිය දේශපාලනය හා ප්‍රතිපත්ති ඉතිරි කර ජීවිතය පරිත්‍යාග කළ උතුම් මිනිසකුගේ නාමය මේ මව් බිම පුරා කැටයම් වී ඇත. ඔහු වෙනුවෙන් නම් කළ සොහොන් කොතක්‌ නැති නිසා මේ මුළු මහත් භූමියම ඔහුගේ ස්‌මාරකය බවට පත්ව ඇත. ජීවත්ව සිටි විඡේවීරයන්ටත් වඩා මියගිය විඡේවීරයන් බලසම්පන්න බව සියල්ලන්ගේ දෑස්‌ ඉදිරියේ දර්ශනය වෙමින් පවතී.

රෝහණ විඡේවීර සහෝදරයා ලාංකීය වාමාංශික දේශපාලන ඉතිහාසය තුළ සිය සලකුණ ගැඹුරින් හා සුවිශේෂී ලෙස සනිටුහන් කර ඇත. 1965 දී ජනතා විමුක්‌ති පෙරමුණ බිහි වන තුරුම තිබූ වාමාංශික පක්‍ෂවලට ඒ සලකුණ සනිටුහන් කිරීමට නොහැකි වූයේ මන්ද? එම පැනයට පිළිතුර ගැඹුරින් අධ්‍යයනය කරන්නෙකුට එම පැනය මග හැර යා නොහැකිය. එතෙක්‌ පැවැති වාමාංශික දේශපාලන පක්‍ෂ දෙබිඩි ඒවා විය. එම පක්‍ෂවල ප්‍රතිපත්ති මෙන්ම නායකයන්ද මේ දෙබිඩි ලක්‍ෂණ පෙන්විය. කම්කරුවන් දිවා කාලයේදී මුණ ගැසුණු විට "සහෝදරයා" යෑයි ආමන්ත්‍රණය කළ මේ අය පසුදා උදෑසන නඩුවලට පෙනී සිටියේ නීතිඥයන් ලෙස අය කළ හැකි උපරිම සේවා ගාස්‌තු අය කරමිනි. නැතිනම් වෛද්‍යවරු ලෙස කම්කරුවන්ට සමීප විය නොහැකි මිල ගණන්වලට ප්‍රතිකාර කරමිනි.

මේ ව්‍යාපාර "සාදුකින් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව්" කියා කෑ මොර දුන්නාට මේවායේ නායකයන් අතර සා දුකින් පෙළුණු කිසිවකු සිටියේ නැත. සාදුකින් පෙළුණු ජනතාව නැඟී සිටි සෑම වාරයකදීම මේ ඊනියා නායකයින් කළේ ඒ නැගිටිම් පාවාදීමයි. නැතිනම් ඒවා මර්දනය කිරීමට පාලකයන්ට උඩ ගෙඩි දීමයි. ජනතා වේදිකා මතදී වතුර බොමින් කතා කළ මේ නායකයෝ සවසට ධනපතියන් සමග විස්‌කි සාදවලට එක්‌ වූහ. රෝහණ විඡේවීර සහෝදරයා මේ දෙබිඩි බව බිඳ දැම්මේය.

විඡේවීර සහෝදරයා සහ ජනතා විමුක්‌ති පෙරමුණ මේ දෙබිඩි බව බිඳ දැමුවේ, වචනයෙන් නොව ක්‍රියාවෙනි. එය ජනතා විමුක්‌ති පෙරමුණ ආරම්භ වූ දින සිට තිබූ ලක්‍ෂණයකි. ජනතා විමුක්‌ති පෙරමුණ ආරම්භ කළේ ධනපති දේශපාලන පක්‍ෂ මෙන් ධනවත් ව්‍යාපාරිකයන්ගේ මුදලින් නොවේ. ඇතැම් වාමාංශික පක්‍ෂ මෙන් ජනතා විමුක්‌ති පෙරමුණ ඇරඹීමට සෝවියට්‌ දේශය හෝ චීනය මුදල් දුන්නේ නැත. කම්කරුවන් මුළා කර රැස්‌ කර ගත් මුට්‌ට කාසිද නොවීය. පක්‍ෂය ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා රෝහණ විඡේවීර සහෝදරයා තිස්‌සමහාරාම නගරයේ මුට්‌ට කර ගැසුවේය. කිරින්ද ගොවිපළේ අනේක විධ දුක්‌ කම්කටොළු වින්දේය. පොළෙන් ඉවතලන එළවළු තම්බා කමින් දේශපාලනය කළේය. එසේ ඇරඹුණු දේශපාලනය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ අයිතීන් වෙනුවෙන්, ඇස්‌ ඉස්‌ මස්‌ ලේ දන් දෙන දේශපාලනයක්‌ විය. ලාංකේය ධරනිතලය මත බිඳුවක හෝ ස්‌වාර්ථකාමයෙන් තොරව, ප්‍රභාෂ්වර අනාගතයක්‌ උදෙසා ජීවිතය පවා කැප කරන දේශපාලන සම්ප්‍රදාය බිහි කළේ රෝහණ විඡේවීර සහෝදරයාය.

ඔහුගේ ජීවිතය තුළ දෙබිඩි ලක්‍ෂණ තිබුණේ නැත. වත්මන් කුණුවී ඕජස්‌ ගලන සමාජ ක්‍රමය වෙනස්‌ කර වඩා යහපත් සමාජයක්‌ ගොඩනැඟීමේ අරමුණ වෙනුවෙන් ඔහු පළමුවැනි පියවර තැබීය. අද ලක්‍ෂ ගණනින් ඒ පියවර සටහන් ඔස්‌සේ පිය නඟන ගමන අරඹා තිබේ.

රෝහණ විඡේවීර සහෝදරයා නිර්මාණශීලී මාක්‌ස්‌වාදියකු විය. ඔහුට පෙර සිටි වාමාංශික නායකයෝ ගිරවුන් මෙන් න්‍යාය කට පාඩම් කළා මිස ඒ න්‍යායන් භාවිතයේ යෙදවීමට අසමත් වූහ. විඡේවීර සහෝදරයා මාක්‌ස්‌වාදී න්‍යාය ලාංකේය සමාජයේ යථාර්ථය සමග සම්බන්ධ කළේය. ගලපා ලුවේය. ජනතාව දසදහස්‌ ගණනින් ලක්‍ෂ ගණනින් ඔහු වටා ඔහු ඇරඹූ ව්‍යාපාරය වටා රොද බැඳ ගත්තේ එලෙසය. ඔහු දුෂ්ටත්වය සමග සම්මුතියට හෝ සහයෝගීතාවට නොගියේය. ඒ වෙනුවට එය සමග සටන් කළේය. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළ විට ඔහු බියෙන් සැලුනේ නැත. දණ නැමුවේ නැත. ඒ වෙනුවට එය සමග සටන් කළේය. කපටි පාලකයන් ජනතාවගෙන් බහුතරය බොරුවෙන් මුළා කර තිබෙන විට, ඔහු ඒ බොරුවේ කොටස්‌කරුවකු වූයේ නැත. ඒ වෙනුවට බොරුව හෙළිදරව් කළේය. ඔහු සැපයූ ආදර්ශය එයයි. පුෂ්කින්ගේ කවියේ සඳහන් වන්නාක්‌ මෙන් රෝහණ විඡේවීර නාමය මව් බිමේ හැම මුවකින්ම කියෑවෙන්නේ ඒ නිසාය.

රෝහණ විඡේවීර සහෝදරයා ජනතාව මුළා කර බඩ රැක ගන්නා බඩගෝස්‌තරවාදීන් හෙළිදරව් කළේය. එහිදී ඔහු සෘජු විය. අනනුකම්පනීය විය. දැඩි විය. ඒ දැඩි බව සෘජු බව පැමිණියේ දුක්‌ විඳින ජනතාව පිළිබඳව ඔහු තුළ වූ දයාව තුළිනි.

ජාතිය ආගම ආදි අතිශය සංවේදී ක්‍ෂේත්‍ර දඩමීමා කර ගෙන ජනතාව මුළා කරන කපටි දේශපාලනය හෙළිදරව් කරමින් 1982 අප්‍රේල් 05 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැති දේශනයකදී රෝහණ විඡේවීර සහෝදරයා පැවසූ වදන් මෙහිදී සිහිපත් වේ.

ආගමේ කියලා තියෙනවාද මිනිසුන්ට... බහුතරයකට අත්ථකිලමතානු යෝගය දීලා. සුළුතරයකට කාමසුඛල්ලිකානු යෝගයෙන් ජීවත් වෙන්න? නෑ... දැන් පවුල් 40 ක්‌ තියෙනවා. ඒ ගොල්ලෝ කාමසුඛල්ලිකානු යෝගයෙන් ජීවත් වෙනවා. කෝටියක්‌ ජනතාව අත්තකිලමතානු යෝගයෙන් ජීවත් වෙනවා. බුද්ධාගමටද ඔය තැන දුන්නේ? බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ චී... චී... ඒ වැඩේ නම් කීයටවත් කරන්න එපා කියලා" (රට හදන අපේ ප්‍රතිපත්ති 1995 මුද්‍රණයේ 62 පිටුව)

රෝහණ විඡේවීර සහෝදරයා සටන් වැදුණේ ජීවිතය පවා පූජා කළේ අත්තකිලමතානු යෝගයෙන් ජීවත් වන බහුතර ජනතාව වෙනුවෙනි. ඔහුට වෛර කළේ කාමසුඛල්ලිකානු යෝගයෙන් ජීවත් වන අතර ජනතාව බොරුවෙන් මුළා කරන සුළුතරයයි. අද දවසේද විවරව ඇත්තේ ඒ සටනයි. ඒ සටනේදී රෝහණ විඡේවීර සහෝදරයාගේ ආදර්ශය පහන් තාරකාවක්‌ සේ මග කියනු ඇත. මේ අඳුරු ඉල් මහේ අහසින් වැටෙන කඳුළින් සාරවත් වන පොළොවේ මල්, පල පුබුදුවාලන බක්‌ මහ ළඟම ඇත. එහෙත් ඒ භාග්‍යවත් සමය ආකාස්‌මිකව පහළ නොවේ. ඒ වෙනුවෙන් වෙහෙස විය යුතුය. විඡේවීර සහෝදරයාගේ ආදර්ශය වැදගත් වන්නේ ඒ උත්සාහයටය. ඒ උත්සාහය මල් පල ගැන්වෙන දිනක රෝහණ විඡේවීර නාමය තව තවත් මුවින් මුව රැව් දෙනු ඇත

Tell a Friend