රජතුමා සහ ඔහුගේ කට්ටුව රැකෙන්නේ සූදූ කරලාලු - එජාප

ආසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව පත් කරන්නේ යැයි ආණ්ඩුව පම්පෝරි ගැසුවත් යුද්ධය අවසන් වී කාලයක් ගතව ඇතත් ඒ ආශ්චර්ය වෙනුවට ජනතාවට අත් විඳීමට සිදුව තිබෙන්නේ ඒකාධිපති පාලනයක් බව එක්සත් ජාතික පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (08) කොළඹ දී පැවසීය.

කොළඹ 07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක නිල නිවසේ දී පැවති පුවත් පත් සාකච්ඡාවකට සහභාගිවෙමින් කරුණා තිලක මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා මෙසේ ද පැවසීය.

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතිය සහ සාමය වැළලී ගොස් ඒකාධිපතිවාදය තහවුරු වීම බව පැහැදිලියි.

යුද්ධයෙන් පසුව මේ රට සංචාරක පාරාදීසයක් බවට පත් කර විදේශ විනිමය උපයන ප්‍රධානතම මධ්‍යස්ථානයක් බවට පත් කරන බව ආණ්ඩුව කියා සිටියත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය වළලා ඒකාධිපති ගමනක ආණ්ඩුව යන බව රටේ ජනතාවත් ලෝක ප්‍රජාවත් අවබෝධ කර ගත් නිසා ඒ ඉලක්ක සපුරා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා.

මේ තත්ත්වයට හොඳම උදාහරණය සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ මොහොතේ පැවැති සංචාරක ඉලක්ක පවා යුද්ධයෙන් පසුව අබිබවා යමින් සංචාරක ව්‍යාපාරය දියුණු කර විදේශ විනිමය උපයා ගැනීමට ආණ්ඩුවට නොහැකි වීමයි.

යුද්ධයෙන් පසුව විදේශ ආයෝජකයින් ගෙන්වා මේ රටේ විවිධ ආයෝජන සිදු කරවා රට සංවර්ධනය කරමින් නව රැකියා අවස්ථා සලසා ජනතාවගේ ආදායම් වැඩි කරන බවට ආණ්ඩුව කියා සිටියත් ඒ කිසිවක් සපුරා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙන බව මැති ඇමතිවරුගේ ප්‍රකාශ වලින් හෙළිවනවා.

යුද්ධයෙන් පසුව බුරුතු පිටින් විදේශ සංචාරයන්හි යෙදී පැමිණි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තොග පිටින් මහා පරිමාණ විදේශීය ආයෝජකයින් ඹි ලංකාවට පැමිණෙන බව කියා සිටියත් එවැනි කිසිදු ආයෝජකයෙකු මෙතෙක් පැමිණ නොමැති බව කිව යුතුයි.

ආණ්ඩුවට මේ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූයේ ජනතාවගේ, විපක්ෂයේ හෝ සිවිල් සමාජයේ වරඳක් නිසා නොව 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදයට මානව හිමිකම්වලට නීතියට සහ සාමයට ආණ්ඩුව බරපතල ප්‍රහාර එල්ල කිරීමේ වරඳ නිසයි.

වේලූපිල්ලේ ප්‍රභාකරන් සහ එල්ටීටීඊ සංවිධානය යුද සමයේදී ජනතාවගේ සමස්ථ අයිතීන් වලලා දැමීමට කටයුතු කළා සේ ම, ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතිය සහ සාමය වළලා ආණ්ඩුව ද ඒ ජනතා අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් සිටිනවා.
රටේ සංස්කෘතිය, සදාචාරය සහ සභ්‍යත්වය විනාශ කෙරෙන විශේෂ විධි විධාන අණ පනත් ඩොලර් සෙවීමේ පටු අරමින් යුතුව මේ ආණ්ඩුව ඉදිරිපත් කිරීමේ උත්නාහයක යෙදී සිටින බවට අපට කරුණු හෙළි වී තිබෙනවා.

ජනතාවට සහන සලසන විශේෂ විධි විධාන පණත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා වෙනුවට මේ ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ රටේ සංස්කෘතිය, සදාචාරය සහ සභ්‍යත්වය කෙලසන තරුණ පරපුරේ අනාගතය විනාශ කරන අණ පනත් ඉදිරිපත් කොට ඩොලර් සොයා ගැනීමටයි.

සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය, දේශීයත්වය, ජාතික උරුමය, රටේ ස්වෛරීභාවය සහ තරුණ පරපුරේ අනාගතය ගැන කතා කළ ආණ්ඩුව සුරා බදු විශේෂ විධි විධාන පණත පාරලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කිරීමෙන් මේ තත්ත්වය මනාව හෙළි වනවා.

සුරා බදු විශේෂ විධි විධාන පණත ආදි විනාශකාරී අණ පනත් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ක්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම සදාචාර විරෝධී බව කිව යුතුයි.

ජාතික හෙළ උරුමය ඇතුළු ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවන් සහ ආණ්ඩුවත් ජනතාවට පොරොන්දු වූ සදාචාරාත්මක සමාජය සහ ධර්ම රාජ්‍යය මේ අණ පනත් මගින් ගොඩ නැගිය හැකි දැයි අප තරයේ ප්‍රශ්න කරනවා.

රටේ සංවර්ධනයත්, ජනතාවගේ සුභ සිද්ධියත් උදෙසා එක්සත් ජාතික පක්ෂ ආණ්ව එදා නිදහස් වෙළඳ කලාප ආරම්භ කළත් සුරාබදු විශේෂ විධි විධාන පනත ඔස්සේ සූදු කලාප ඇති කරන්නේ කුමක් සඳහාද?

උතුරේ ත්‍රස්තවාදය සහ දකුණේ භීෂණය සමග දෙකොන ගිනි ගන්නා විලක්කුවක් බඳු මේ රට 1989 දී බාර ගත් රණසිංහ පේ්‍රමදාස මහතා දුන් පොරොන්දු ඉටු කරමින් රට සංවර්ධනය කළ අතර, සංස්කෘතිය, සදාචාරය සහ සභ්‍යත්වය වෙනුවෙන් පියවර ගනිමින් සියලූම මත්ද්‍රව්‍ය පිළිබඳ දැන්වීම් ප්‍රසිද්ධ ස්ථානයන්හි ප්‍රදර්ශනය කිරීම පවා තහනම් කළා.

කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව යටතේ උග්‍ර ජීවන අර්බුදයට මැදිව අන්ත අසරණ වීම නිසාද ආණ්ඩුව ඉදිරිපත් කිරීමට යන සුරා බදු විශේෂ විධි විධාන පණත හේතුවෙන් සිය දරු දැරියන් සුරාවෙන් සහ සූදුවෙන් බේරා ගැනීමට සිදුව තිබෙන නිසා ද ජනතාවගේ දෙකොන ගිනි ගෙන තිබෙනවා.

ඒ අනුව ඩොලර් ගැන සිතා රටේ සංස්කෘතිය, සදාචාරය සහ සභ්‍යත්වය උගසට තබා රටේ අනාගත පරම්පරාව බිළි දෙන්න එපා යැයි ආණ්ඩුවට අප බල කරනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ද මහා සංඝරත්නය ප්‍රධාන සර්ව ආගමික නායකයින් ද ජනතාවද විරුද්ධව සිටියදී ආණ්ඩුව සුරා බදු විශේෂ විධි විධාන පණත ඉදිරිපත් කිරීම අප තරයේ හෙළා දකිනවා.

Tell a Friend