රාජපක්ෂ රාජ්‍යතාන්ත්‍රික "ජෝකර්" කෙනෙක් ලෙස

 අවාසනාව වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ලංකා රාජ්‍ය නේපාලය වැනි රටක් හමුවේත් පාච්චල් කරණ ආකාරයයි. මෙහි ඇති ගැටලුව මෙවැනි සිද්ධීන් ඉතිහාස ගත වන්නේ රාජපක්ෂගේ ආණ්ඩුව ලෙස නොව ලංකා රාජ්‍ය ලෙසය. දැන් රාජපක්ෂට ඉන් මිදීම සඳහා කළ හැකි දෙයක් තිබේ එනම් ජි.එල් . පිරිස් බොරු කිව්වා යයි කියා එලවා දැමීමය.



නිලන්ත ඉලංගමුව


රාජපක්ෂගේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුව සිදුවන්නේ හරි අමුතු ක්‍රමයකටය. ලංකාවේ ජනතාව හමුවේ; තමන්ගේ සහෝදරයාගේ වුවමනාවට සපත්තුවට හරියන ලෙස කකුල කැපූ තත්වයට පත් කළ මිලිටරිය සහ මාධ්‍ය සේම කුණු සොදන්න්නන් මාර්ගයෙන් කරණ බොරු සහ මෝඩ රඟපෑම පිටරටවලදිත් කළ හැකි යැයි ඔහු සිතන්නේය. නීතියේ ආධිපත්‍යක් තියෙන සමාජීය ක්‍රමයක් ගැන සිහිනයකින්වත් දැක නැති මෙන්ම ඒ සඳහා වුවමනාවක්ද නැති රාජපක්ෂ තමන්ගේ කැකිල්ලේ නීතිය සහ කපටිකම ඔස්සේ අනෙකාගේ කනින් රිංගීම ගැටුම් විසඳීමේ මාර්ගය ලෙස දකින්නේය. එක්කෝ අනිකාව පාච්චල් කොට කොන් කිරීමෙන් නැත්නම් දේශීය වශයෙන් අනෙකාව කෲර ලෙස මර්ධනය කිරීමෙන් එය කළ හැකි යැයි මහින්ද සිතන්නේය. මහින්ද චින්තනය වන්නේ එයයි. ඔහු නිවැරදිය. නමුත් හැමදාටම නොවේ. ඉතා කෙටි කාලයකටය. තමන්ගෙන් බලය ගිලිහි යන දිනය පැමිණි විට මාධ්‍ය ඉදිරියට විත් මහින්දට අඬන්න සිදු වුව හොත් එය පුදුමයක් නොවේ. ඔහු විදේශීය රටවල් භාවිතා කරමින් ගොතමින් සිටින බොරු දැන් අතේ පත්තුවෙමින් ඇත. ඉන් පෙනී යන්නේ ලෝකයේ සිටි දරුණුතම ත්‍රස්තවාදියා පරාජය කළ නායකයා පට්ට පල් බොරු කියන ජෝකර් කෙනෙකු වී ඇති ආකාරයයි.

ඉන්දියාවේ ප්‍රධාන පෙලේ පුවත් පතක් වන හින්දුස්ථාන් ටයිම්ස් හි නේපාලයේ කත්මණ්ඩු නුවර වාර්තා කරු අද දින ( 25/11) ඉදිරිපත් කළ වාර්තාවකින් රාජපක්ෂ ගොතමින් සිටි තවත් බොරුවක නිරුවත යළිත් හෙළිදරව් විය. එනම් නේපාල ජනාධිපති රාම් බරන්ගේ මාධ්‍ය සම්බන්ධීකාරක ලබාදුන් සම්මුඛ සාකච්චාවකදී තමන්ගේ ප්‍රශ්න විසඳීමට ලංකාවේ ජනාධිපතිවරයාට කිසිම ආරාධනයක් නොකළ බවත් ලංකා ආණ්ඩුව විශේෂයෙන් ලංකාවේ විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජි.එල්. පිරිස් විසින් ගෙන යන තුට්ටු දෙකේ ප්‍රචාර කුනුකන්දල් ලෙස සළකා ප්‍රතික්ෂේප කරණ බවත් සඳහන් කොට ඇත. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදියා පරාජය කළේ මම යැයි හැම තැනම දැන්වීම් ගහගෙන; ප්‍රතිරූපය තනන්න යැයි කියමින් පිටරට සමාගම් වලට මේ රටේ ජනතාවගේ බදු මුදල් මිලියන ගණන් තමන්ගේ මෙන් වියදම් කළ නායකයා ලෝකය හමුවේ පච වන තරම ඉන් පෙනේ. මෙය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. කළ හැක්කේ රටේ ජනතාවගෙන් බේරී සිටීම සඳහා ඔවුන්ට මෙම ඇත්ත දැන ගැනීමට ඇති අවකාශය අහිමි කිරීමය. අඩුතරමින් එය දැන ගැනීම සඳහා කාලය ගත වීමට හැරීමය. ඇත්ත ලියන අයට විරුද්ධව තෙවැනි පන්තියේ පදනම් විරහිත චෝදනා එල්ල කිරීමය. එසේ කිරීමෙන් තාවකාලික ප්‍රමෝදයක් ලබා ගත හැකිය. නමුත් අවාසනාව වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ලංකා රාජ්‍ය නේපාලය වැනි රටක් හමුවේත් පාච්චල් කරණ ආකාරයයි. මෙහි ඇති ගැටලුව මෙවැනි සිද්ධීන් ඉතිහාස ගත වන්නේ රාජපක්ෂගේ ආණ්ඩුව ලෙස නොව ලංකා රාජ්‍ය ලෙසය. දැන් රාජපක්ෂට ඉන් මිදීම සඳහා කළ හැකි දෙයක් තිබේ එනම් ජි.එල් . පිරිස් බොරු කිව්වා යයි කියා එලවා දැමීමය.

රාජපක්ෂගේ මේ බොරුව ගැන ඔහුගේම පුවත්පතේ ඔහුගේ කීමට කතුවැකිය ලියන ලේඛකයා පසුගිය නොවැම්බර් දෙවන දා ලියු අදහස උපුටා දැක්වීම මෙහිදී වැදගත් වේ, ඔහු කියන ආකාරයට; "නේපාලය, බංගලිදේශය, ඉන්දියාව වැනි රාජ්‍යයන් තුළ ත්‍රස්තවාදය පැතිර තිබිණි. ශ්‍රී ලංකාවත් ඒ අතර ප්‍රධාන වේ. අපට සටන් කිරීමට සිදු වූයේ ලොව අංක එකේ ත්‍රස්තවාදය සමඟ ය. එහෙත් අප පැරැදුණේ නැත. පළමුවරට ත්‍රස්තවාදය මුළු මනින් ම පරාජය කළ රාජ්‍යය ලෙස අපට යම් අභිමානයක් තිබේ. එම අභිමානයෙහි ප්‍රතිඵලය නිසි ලෙස භුක්ති විඳීමට නම් ; සංවර්ධන ඉලක්කයන් ද ජයගත යුතු ය. දැන් සිදු වෙමින් පවතින්නේ එය යි. එක්ස්පෝ ප්‍රදර්ශනයෙන් ද ඊට රුකුලක් ලැබේ." ( උපුටා ගැනීම දිනමිණ - 2010 නොවැම්බර් 02 ) මෙහි එක්ස්පො ලෙස හඳුන්වන්නේ පසුගියදා චීනයේ පැවති කර්මාන්ත ප්‍රදර්ශනයය. නේපාලයේ ජනාධිපතිවරයා වරයා සහ රාජපක්ෂ ජනාධිපති වරයා අතර හමුවීම පැවතියේ එහිදීය .

එසේම තවදුරටත් මහා ගුණ වැල ගණින අදාල කතුවරයා, "ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට චීනයේ ෂැංහයි නුවර දී ලැබුණු හරසර හා ගෞරවය ඉමහත් ය. ලෝක නායකයන්ගේ වැඩි අවධානයක් ද මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු වී තිබිණි. ඔහු අවංක හා එඩිතර රාජ්‍ය නායකයකු ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. ත්‍රස්තවාදය පරාජය කිරීම, සියලු ජන කොටස්වලට සමාන ලෙස සැලැකීම, අලුත් ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යෑම යන කරුණු ඊට පදනම් වී තිබේ. නේපාලයේ නායකයා යම් ප්‍රමාදයකින් යුතුව හෝ මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනය කිරීම වැදගත් ය." ( උපුටා ගැනීම දිනමිණ - 2010 නොවැම්බර් 02 ) මෙහි ඇති හොඳම විහිලුව වන්නේ හෙතම නේපාල ජනාධිපතිවරයාට දොස් පවරා ඇත්තේ රාජපක්ෂට ආරාධනා කිරීමට ප්‍රමාද වීම ගැනය. මෙම ලියුම් කරු මීට පෙර ලිපියක සඳහන් කළ ආකාරයෙන්ම සමාජයේ බොරුව සහ බොරු කිරීම සිදුවන ඇත්ත බවට පත් වූ විට සෑම ක්ෂේත්‍රයකම පවතින ඛේදවාචකය වන්නේ මෙයයි. තම රැකියාව බේරා ගැනීම සඳහා තමන්ගේ යටි සිත සමඟ සටන් කරණ අදාල කතුවරයා වූ කලි එකී චක්‍රයේ ගොදුරක් පමණි.

"අසල්වැසි නේපාලයට මෙරට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත සාමය උදාවේ වා !"   ( උපුටා ගැනීම දිනමිණ - 2010 නොවැම්බර් 02 ) යැයි හෙතම තමන්ගේ වැකිය අවසන් කොට ඇත. පැතුමේ අවුලක් නැත; එය මිහිපිට සිදුවන්නේ නම් ඉතා අගනේය. නමුත් මෙම පැතුම නේපාලය, දේශපාලන කුනුකන්දල් ලෙස එක පයිසයකටවත් මායිම් නොකරන්නේ, මහාචාර්ය ගාමිණී ලක්ෂමන් පිරිස්, රාජපක්ෂ වූ කලී රටේ පමණක් නොව කලාපයේම නායකයා බවට පත් වී ඇත්තේය, කියන අදහස රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවලදී ගෝලීය වශයෙන් සමච්චලයට ලක් වන ලාංකික ජෝකර්ලා ජනිත කරවමිනි. මතක තබා ගත යුත්තේ කනෙන් රිංගන දිප්ලෝමටික් වලට රටේ ගරුත්වය තබා තමන්ගේ ගරුත්වයවත් රැක ගත නොහැකිය යන්නය. එසේ වුව හොත් සිදු වන්නේ මෙන්ම කළ හැක්කේ තමා දක්ෂ ලෙස අනෙක රවටනවා යැයි සිතාගෙන අවසානයේදී තමන්ම රැවටී රටත් රවට්ටා දේශපාලනයෙන් හම්බ කරගත් බූදලය රැගෙන පැන දිවීමටය. භූමියේ යුද්ධය ජය ගත් පමණින් එය ජාතික වුවනාවක් ලෙස සළකා විකිණීමේ ක්‍රමොපායේදී රාජපක්ෂ පරාජය වී ඇත්තේ තමන්ගේ ඉහ මොළ ඉයවහා ගොස් ඇති කෑදර කම නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ. අත්මගරුත්වය මුදලින් ඉපයිය නොහැකිය යන්න රාජපක්ෂගේ මානසික ආතතිමය අරගලය තුළින් ස්පුථ වන සාමාන්‍ය ලක්ෂණයකි.


Tell a Friend