මළ සිරුරක්‌ පාරේ තබා ගෙන නීතියේ පිහිට ඉල්ලා උද්ඝෝෂණ

නෝනාගම මතඟවීර

අඟුණුකොළපැළැස්‌ස - ඇඹිලිපිටිය මාර්ගයේ මුරවැසිහේන හන්දියේදී පසුගියදා (30දා) රිය අනතුරක්‌ සිදු කර පුද්ගලයන් දෙදෙනකුට ජීවිත අහිමි කළ වෑන් රථ රියෑදුරුට එරෙහිව නිසි පරිදි නීතිය ඉටු කරන්නැයි බල කරමින් ප්‍රදේශවාසීහු පසුගිය පළමුවැනිදා පස්‌වරුවෙහි මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.අනතුරින් මියගිය එක්‌ පුද්ගලයකුගේ මළ සිරුර මාර්ගය මැද තබාගෙන ටයර් පුළුස්‌සමින් පැය හතරකට ආසන්න කාලයක්‌ මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

පාපැදි දෙකකින් ගමන් කරමින් සිටියදී වෑන් රථයේ ගැටීමෙන් මියගොස්‌ ඇත්තේ මුරවැසිහේන පදිංචි කේ. ජී. ධනපාල නමැති 48 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු හා රඳුර මහවෙල පදිංචි බී. ජී. සිරිපාල නමැති 52 හැවිරිදි තිදරු පියෙකි.

අනතුර සිදු කළ වෑන් රථයේ රියෑදුරු අඟුණකොළ පැළැස්‌ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබූ අතර උද්ඝෝෂකයෝ ඊට විරෝධය පළකරමින් කියා සිටියේ වෑන් රථ රියෑදුරු නැවත අත්අඩංගුවට ගෙන නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කර ඔහුට නිසි දඬුවම් ලබා දෙන ලෙසයි.

පැය හතරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති උද්ඝෝෂකයන් අතරට තංගල්ල සහකාර පොලිස්‌ අධිකාරි (1) ජයලත් බලගල්ල මහතා පැමිණි අතර වෑන් රථ රියෑදුරු නැවත අත්අඩංගුවට ගෙන නිසි පරීක්‍ෂණ සිදු කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව උද්ඝෝෂකයෝ විසිර ගියහ. Tell a Friend