රජාගේ බොරු සිංහල මේනියාව අලියාගේ දුකට හේතුවෙයි

වසර 1983 ජාතිවාදී කලබල සමඟ හටගත් නොසන්සුණ් වාතාවරණ තුළ යාපනය අර්ධද්වීප තුළ වූ සිය ස්ථිර වාසස්ථාන හා දේපොල අත්හැර ගිය සිංහල පවුල් 180 ක පමණ සාමාජිකයන් සාමය උදාවීමත් සමඟ නැවත සිය වාසස්ථානවල පදිංචිය සඳහා යාපනයට ගොස් කිසිදු පිළිසරණක් නොමැති තත්ත්වයකට ඇද වැටීම අතිශය ඛේදජනක තත්ත්වයකි.

සිය ස්ථිර වාසස්ථාන නිරවුල් කරගෙන ඒවායේ නැවතත් පදිංචි වී සුපුරුදු ජීවන වෘත්තීන්වල නියැලීම පිණිස යාපනයට ගිය මෙම පිරිසට මුලින් ම සිදුවූයේ යාපනය දුම්රිය ස්ථානයේ අනාථයන් ලෙස ලැගුම් ගැනීමට ය. ඔවුන් මේ වන විට යාපනය, නාවක්කුලිය නැමති ස්ථානයේ තාවකාලිකව රඳවනු ලැබ තිබේ.

රජයේ නිලධාරීන්ගේ හා ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ අවධානය කොතෙකුත් යොමු කළත් මෙම පිරිසට මේ වන තෙක් අත් වී ඇති සහනයක් නොමැත. ඔවුන්ගේ සින්නක්කර ඉඩකඩම් නැවත නිරවුල් කොට දී ස්වෝත්සාහයෙන් නැඟී සිටීමට ඔවුන්ට යම් සහායක් ලබා දීම රජයකට කිසිසේත් ම දුෂ්කර කර්තව්‍යයක් නොවන බව අපගේ වැටහීම යි.
මේ අතර මෙම පිරිසට යාපනයෙන් බැහැර වන ලෙසට පවතින බලපෑම් පිළිබඳව සළකා බැලීමේ දී ඔවුන් අනාරක්‍ෂිත තත්ත්වයකට මුහුණ පා සිටින බව ද බැහැර කළ නොහැකි ය.

එසේ හෙයින් මෙම සිංහල පවුල්වල සාමාජිකයන්ට ද යාපනය අර්ධද්වීපයේ ඔවුන්ගේ පාරම්පරික වාසස්ථානවල නැවත පදිංචි වී පවතින සාමකාමී වාතාවරණය යටතේ සිය ජීවනෝපායන් හි නිරත වීමට ඇති අයිතිය තහවුරු වන කඩිනම් ක්‍රියා මාර්ගයන් වෙත එළැඹිම රජයේ යුතුකම හා වගකීම වන බව නැවතත් අවධාරණය කළ යුතුව තිබේ.
Tell a Friend