රාජපක්ෂගේ දෙවැනි ගමන : "ශ්‍රී ලාංකික නාසිවාදයේ" ආරම්බය

බෞද්ධ දර්ශනයටත් නිගා දෙන මෙවැනි කුහක කපටින් බිහිවීම පිළිගත් නීතියේ අධිපත්‍යයෙන් සහ සමාජ ක්‍රමයෙන් ( law & order and social system ) වියුක්ත වූ සමාජයක සිදු වන සාමාන්‍ය සිදු වීමක් වේ. මින් ගොඩ ඒමටනම් තවත් වසර 200 ක් වත් නීතියේ අධිපතය පිළිගත් රාජ්‍යකට ලංකාව යටත් විය යුත්තේය. එය බ්‍රිතානයේ කිරීටය යැයි නම් කළ යුත්තේ නැත, නමුත් සිදු විය යුත්තේ එයයි. මන්ද රාජපක්ෂ විසින් දේශපාලන පක්ෂ ක්‍රමය සහ මිනිසුන්ගේ මුලික අයිතීන් සුරැකීම සර්ව සම්පූර්ණයෙන්ම ඝාතනය කොට ඇත.


නිලන්ත ඉලංගමුව

බොරුව සමාජයේ ඇත්ත වූ විට එනම් බොරු කීම සහ බොරු කිරීම සමාජය තුළ පැල පදියම් වූ එකම සහ නියත දෙයක් බවට පත් වූ විට දැක ගත හැකි තත්වය වඩාත් හොඳින් මේ වනවිට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සගයන් කරන නාඩගම් වලින් පෙනේ. එය වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වන ගෝඨාබය රාජපක්ෂ පසුගීය ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළ දෙයින් පැහැදිලිය. කෝකටත් තෛලය මෙන් රටේ හැම හෙන ගෙඩියකටම මිලිටරිය ඔස්සේ විසඳුම් හොයන ගෝඨාබය වඩාත් විඩාවට පත් වූ ස්වරයකින් කියා ඇත්තේ කොළඹ ගං වතුරෙන් විපතට පත් වූවන්ට සහනය සැලසීම සඳහා තම ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ කැපවීම අඩු බවය. ඔහු හිතින් අනේක වාරයක් කියනු ඇත්තේ මේ හොර සහ ගොන් හැත්ත එක්ක කිසිවක් කළ නොහැකියි යන්න; විය හැකිය. කතාව සේම භූමියේ පවතින ඇත්ත වන්නේ එයයි. මෙය ගෝඨාබය ඇතුළු අයවලුන් විසින්ම නිර්මාණය කරගත් පැන්ඩෝරාවකි. එබැවින් දැන් නිදහසට කරුණු කීමෙන් පලක් වන්නේ නැත.

මේ අතර ගං වතුරෙන් විපතට පත් වූවන් පාසල්, පන්සල් සහ පල්ලි වල අපා දුක් විඳිද්දී මහින්ද රාජපක්ෂ ඊයේ තම පැල දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ කරමින් කියා ඇත්තේ ආර්ථික පිම්මක් පනිද්දී හුස්ම පොඳක් ගැනීමට සුදුසු වාතාවරණයක් තිබිය යුතුයි කියාය. සංවර්ධනය වූ කලි වැහි කාලෙට වෙල්වල වසන ගෙම්බන්ගේ පිනුම් ගසන්නාක් වැනි නාඩගම් කටයුත්තක් ලෙස යැයි සිතාගෙන සිටින රාජපක්ෂ දොඩවන මෙවැනි ඔලමොට්ටල කතා වල කිසිඳු තේරුම් නැති වුණත් එහි ඇත්තේ බොරුව නියතයක් වූ විට රටක නායකයින් මෝඩ කතා වලින් තමන්ගේ බොරුව අලංකාර කරණ ආකාරයයි. මහින්ද රාජපක්ෂටම අනුව එය අපි " මහින්ද චින්තනය " යැයි කියමු. ඉන් නොනැවතුණු හෙතම ජයවර්ධනපුර සරසවියේ පිහුනුම් තටාකය සිසු අයිතියට පත් කරමින් ඊට පය කිහිපයකට පසු එවැනිම තවත් බොරුවක් ඇද බෑවේය. එය වූ කලි විශ්වවිද්‍යාලය යනු ඕනෑම මතයකට ඉඩ ඇති තැනක් විය යුතුය යනුවෙනි. නමුත් ඔහු තමන්ගේ පුතාගේ නිල් බලකාය නමැති අමානුෂික නඩයගේ කෙරුවාවන් හෙවත් විශ්විද්‍යාල භූමියේ සිටින ස්වාධීන දේශපාලන අදහස් ඇති සිසුන් මර්දනය කරණ ආකාරය ගැන කියන්නේ නැත. රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ අයෙක් ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තේ දැයි විමසා බැලීම වැඩකට නැති කටයුත්තක් වන නමුත් හෙතම විශ්ව විද්‍යාලයේ තිබිය යුතු ගුණාංග සහ ඔහු විසින් ඇති කර තිබෙන අරාජික තත්වය එකින් එක කිසි සේත්ම නොගැලපෙන දෑ වේ. නමුත් අවාසනාවට මෙන් ඔවුහු මෙරට විශ්ව විද්‍යාල වලින් සම්මාන ආචාර්ය උපාධි ලබා ගත්ත වුන්ය.

බොරුව නියතයක් වූ විට දැක ගත හැක්කේ එයයි. එය, නීතියක් සහ සෑම දෙනාටම පිළිගත හැකි ක්‍රමයක් ඔස්සේ අනුමත කර ගත් සමාජ ක්‍රමයක් තිබෙන රටක ගඳ ගසන පිළිකුල් සහගත දෑ වන නමුත් නීතියද, ක්‍රමයද, බලයද, මුදලද, අවියද තමන් යැයි සිතාගෙන අනෙක් සියල්ලම තමාගේ සුඛ විහරණය සඳහා පාවිච්චි කරණ විෂයන්/භාණ්ඩ බවට පත් කොට ඇති රාජපක්ෂ පරිපාලනය තුළ නියතයක් වී තිබේ. අනිවාර්ය භාවිතය වී තිබේ. රජාපක්ෂ වූ කලී බොරුවේ ආසන්නතම ප්‍රතිපලය වන නමුත් ඔහු එකම ප්‍රතිපලය නොවේ. එසේම අවසාන ප්‍රතිපලයද නොවේ. මේ නිසා රාජපක්ෂ සිතන්නේ නම් තමන්ට බොරුව වඩාත් ආකර්ශනීය ලෙස ගෙන ගිය හැකි යැයි එය වූ කලි තමා විසින්ම තමා රවටා ගැනීමකි. මන්ද ලංකාවේ දේශපාලකයින්ට දේශපාලන තර්ක ඥානය තුළින් දේශපාලන ක්‍රමෝපායන් සඳහා බොරු කිරීමේ හැකියාව වෙනුවට ඇත්තේ හින්දු බමුණන් විසින් ආසියාව පුරා ව්‍යාප්ත කළ යැපීමට ඇති අවකාශය නැති වේය යන බයෙන් හටගත් කුහක කපටිකමකි. මේනිසා සමාජ ක්‍රමය හැඩ ගැසී ඇත්තේ කුහක කපටිකම නමැති මුලිකාංගය නාභි ගත කරමිනි. එයට බෞද්ධ දර්ශනයෙන් පහර වැදී බමුණන්ගේ මායා ලෝකය සුනු විසුනු කරණ විට බමුණන් එකතු වී රජය බලයද ඇතිව බෞද්ධ ආගම මාරාන්තික මර්ධනයකට යටත් කළේ ඒ නිසාය.ගෞතම බුදුන් වහන්සේ උප්පතිය ලැබූ තැන සහ තමාගේ දර්ශනය සෙයාගත් තැන් හී වර්තමාන තත්වය දුටු අයෙකුට මෙහි ඇත්ත වඩාත් හොඳින් තේරුම් ගත හැකිය. මෙනිසා මෙවැනි සමාජයක ප්‍රජාතනත්‍රවාදය වෙනුවට බලය ඇත්තා මත යැපීම සහ ඔහුගේ ගුණ ගායනා කිරීම හැර පිළිගත් සමාජ ක්‍රමයක් ඇති කළ නොහැකිය. අසීමිත බලය තමාතුළ පවත්වා ගැනීම සඳහා කෑම නොදැක්ක සුනඛයෙකු කෑමක් දුටුවිට කෙල හලන්නා සේ රාජපක්ෂ තුළින් දැක ගත හැක්කේද එවැනිම ස්වාභයකි. එවැනි මානසිකත්වයකින් නිදහස පෙරටු කොට ගත් සමාජීය විප්ලවයක් වෙනුවට බලා පොරොත්තු විය හැක්කේ තව තවත් සංකොචනයන් මිස පුළුල් විස්තරණයන් නොවේ. රාජපක්ෂගේ දෙවැනි ගමන වූ කලි මෙම ක්‍රමය තව දුරටත් සමාජය තුළ ස්ථීර වීමකි.

වාර්තා සඳහන් කළ ආකාරයට වසර 18 කට පසු වැඩිම වර්ෂාපතනයක් පසුගිය සතියේදී කොළඹට පතිත විය. ඉන් ලක්ෂ ගණනක් අනාථ වූ අතර රජය එක් අයෙක් වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් තුන්සීය තිහකි. එය අවම වශයෙන් පන් රාත්තලක් සහ පරිප්පු කිලෝ එකක් ගැනීමට ප්‍රමාණවත් වන මුදලකි. එසේම ඉන් හාල් කිලෝ ග්‍රෑම් දෙකක් සහ ඊට සරිලන ව්‍යංජනයක් සකස් කිරීම සඳහා එළවලු වර්ගයක් හෝ දෙකක් මිලදී ගත හැකිය. ආණ්ඩුව අනාථ වී ඇති ලක්ෂයකට වැඩි පිරිසකට දිනකට සරිලන මුදල ලබා දී අත සෝදා ගෙන තමන්ගේ මාධ්‍ය හරහා බොරු ප්‍රචාර ගෙනයමින් තමන් සලකන බව කියනු ලැබේ. නමුත් අනාථ වූවන්ට එම මුදලවත් හරියට ලබා දුන්නේ දැයි සැක සහිතය. මේ අතර ඔවුන්ට කෑමට කුණු වූ ආහාර ලබා දුන් බවද සඳහන් වේ. රාජපක්ෂගේ පුරාජේරුවෙ හෙළුව සහ දුර්ගන්දයේ සැබෑ තත්වය මැන ගත හැක්කේ මෙවැනි දේවල් වලිනි. ලක්ෂ ගණනක් උන් හිටි තැන් අහිමි වී සිටින අවස්ථාවක පිම්මේ යන ආර්ථික සංවර්ධනයට නිදහසේ හුස්ම ගැනීම සඳහා පැල සිටු වීමේ ඇති ඇත්ත මානසිකත්වය එයයි.

රාජපක්ෂ තම දෙවැනි ගමන ආරම්බ කරන්නේ මෙවැනි වටපිටාවකය. ඉන් ඔබ්බට ගොස් ඔහුගේ සගයින් දොඩවන තනුවක්ද ඇත. ඊට අනුව තමන් ණය ගන්නවා වෙනුවට අනුන්ට ණය දෙන ජාතියක් බවට පත් වීමට ඇති හැකියාව තම පාලකයාට ඇති බවයි. අනුනන්ට ණය දීම තබා තවත් ගිනි පොලියට ණය නොගෙන තියෙන ණය බරින් එනම් මින් මතුවට ලංකාවේ ඉපදීමට ඇති අය ණයකාරයින් නොකර සිටීමට හැකිනම් එය ප්‍රමාණවත් වේ. නමුත් සත්‍යට අනුවනම් රටට හෙණ ගැහුවත් තමන්ගේ බලය සහ එය රැක ගැනීම පමණක් එකම ඉලක්කය කරගෙන තමාගේ තෘප්තිය සංසිදුවා ගැනීම මිස වෙනත් සුජාත අරමුණක් ප්‍රමුඛ දෙයක් ලෙස සැලකීමට රාජපක්ෂ යොමු වී නැත. එය එසේ නොවේනම් තමන්ගේ දෙවැනි ගමන වෙනුවෙන් රටේ ජනතාවගේ මුදලින් මිලියන ගණන් වියදම් කොට පිස්සු කෙලින්නේ නැත. සැබවින්ම මෙය එකතරා ආකාරයක පිස්සුවක් වන අතර වෙනස ඇත්තේ මෙහි වගඋත්තර කරුවන් හෙවත් ගොදුරු බවට පත් වන්නේ රටේ සාමාන්‍ය ජනතාව වීමයි. මන්ද රාජපක්ෂ මොන කෙං ගෙඩිය කළත් ඔහුට විරුද්ධව ලංකාවේ අධිකරණයක නඩු පැවරිය නොහැකිය. එහි ඇති වඩාත් බයානක කම වටහා ගැනීම සඳහා වැඩිදුර යා යුත්තේ නැත, එනම් රාජපක්ෂගේ පවුල තුලින්ම එය තේරුම් ගත හැකිය. බැරිවෙලාවත් ශිරන්ති වික්‍රමසිංහ ( රාජපක්ෂ ) මහත්මියට යම් ගැටලුවක් හේතුවෙන් රාජපක්ෂගෙන් දික්කසාද වීමට අවශ්‍ය වුවහොත් එය ඇයට කළ නොහැකිය. එසේනම් රටේ ඇති ඇත්ත තේරුම් ගැනීම සඳහා වැඩි දුර යා යුත්තේ නැත. මිනි මරා ඉන් ගැලවීමට ආණ්ඩුවට එකතු වූ අයවලුන් ඇමතිකම් භුක්ති විඳින්නෙත්, තවත් අයෙක් කිසිවක් නොකර සිර බත් කන්නෙත් මෙහි ආනිසංස හේතුවෙනි. මේ ඇත්ත තේරුම් නොගෙන රාජපක්ෂ සතුටු කිරීම සඳහා ගුණ ගී ගැයීම වූ කලි මාරාන්තික ප්‍රවණතාවයේ හාස්‍ය ජනක ප්‍රකාශනයයි.

මෙහි ඇති ඛේදවාචකය පෙර සඳහන් කළ ආරක්ෂක ලේඛම් ගෝඨාභයගේ ප්‍රකාශය තුළ ගැබ් වී තිබේ. එනම් පැවතිය යුතු ක්‍රමයකින් රටක් ගලවා හැම අස්සක මුල්ලකම තමාගේ පෞද්ගලික අභිමතයන් ක්‍රියාත්මක කිරීමට යාමේදී හොරුන් සහ කපටින් හැරෙන්නට තම ශක්තිය යොදා වැඩකරන්නන් බිහි වන්නේ නැත. රාජපක්ෂ දෙවැනි ගමන ආරම්භ කරණ අවස්ථාව වන විට සිදු වී ඇත්තේ එයයි. මෙය ශ්‍රී ලංකික නාසි වාදයේ ආරම්භය යයි සටහන් කිරීම වැරදි නොවේ. එනම් ගොබෙල්ස් හිට්ලර් වර්ණනා කළා සේ රාජපක්ෂ වර්ණනා කිරීම සඳහා ලංකික ගොබෙල්ස් වරුන් සියගණනක් බිහි වී ඇත. ඔවුහු රටේ අත්‍යවශ්‍ය මූලික ගැටලූ විසඳීම නමැති භූමිකාවෙන් සම්පූර්ණයෙන්ම ව්‍යුක්ත වී සිටිති. ඇතැමෙක් අහිංසක මිනිසුන් මරා දමා තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරාවි යයි බයෙන් ගොබෙල්ස් වී ඇත. තවත් අයෙක් මහජන මුදල් කාබාසිනියා කොට තමන්ගේ මඩිය තර කරගෙන ගොබෙල්ස් වී ඇත. තවත් අයෙක් ස්ත්‍රීන් දූෂණය කොටද තවත් අය දේශපාලන වාසි ගැනීම සඳහාද ගොබෙල්ස් වී ඇත. ධර්ම රජයක් තැනීම සඳහා පාරමිතා පිරු හෙළ උරුමයේ ගොබෙල්ස් වරුන්ගේ ඇත්ත වන්නේද එයයි. ඔවුහු දැන් මෙසේ කියනු ඇත, එනම් විසිරි තිබෙන සූදුව රටට හානි කරය, එය සංවිධානය කොට එක කලාපයකට ගෙනවිත් තැබුවා හොත් එය ධර්මානු කූලයය. බෞද්ධ දර්ශනයටත් නිගා දෙන මෙවැනි කුහක කපටින් බිහිවීම පිළිගත් නීතියේ අධිපත්‍යයෙන් සහ සමාජ ක්‍රමයෙන් ( law & order and social system ) වියුක්ත වූ සමාජයක සිදු වන සාමාන්‍ය සිදු වීමක් වේ. මින් ගොඩ ඒමටනම් තවත් වසර 200 ක් වත් නීතියේ අධිපතය පිළිගත් රාජ්‍යකට ලංකාව යටත් විය යුත්තේය. එය බ්‍රිතානයේ කිරීටය යැයි නම් කළ යුත්තේ නැත, නමුත් සිදු විය යුත්තේ එයයි. මන්ද රාජපක්ෂ විසින් දේශපාලන පක්ෂ ක්‍රමය සහ මිනිසුන්ගේ මුලික අයිතීන් සුරැකීම සර්ව සම්පූර්ණයෙන්ම ඝාතනය කොට ඇත. වර්ගිකයින් අතර සමඟිය වෙනුවට බෙදීම් ඇති කොට ඇත. කොටි සංවිධානය පරාජය කිරීම සඳහා සමස්ත සමාජය තුළ පැවති පොදු හැංගීම සංවර්ධනය වෙනුවෙන් දායක කර ගැනීම වෙනුවට වෛරයක් බවට පෙරලා ඇත. එවැනි ඝාතකයෙකුට ජාතියක අනන්‍යතාවයක් තැනිය හැකිනම් එය මුලාවක් මිස වෙන කිසිවක් නොවේ.

රාජපක්ෂ තමන්ගේ ප්‍රතිරූපය නවන්නට යැයි කියමින් අධිරාජ්‍යවාදී ( මහින්ද චින්තනය වූ කලි දේශීය චින්තනයකි. එය අධිරජ්‍යවාධින්ගේ කුමන්ත්‍රණ හඳුනා ගෙන ඇතැයිද ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයිද රාජපක්ෂ කිව්වේ මීට වසර පහකට පෙරය. වීරවංස වැනි අය දැනුත් කියන්නේ එයයි) රටක ධනපති සංවිධානයකට මිලියනන ගණන් වියදම් කොට ලබා ගත් ඉටි ගෙඩියක් නැත. නමුත් බයගුල්ලෙකු මෙන් තමන් අත්අඩංගුවට ගනීවි යැයි බියෙන් තම සංචාරයන් නතර කළේය. මෙවැනි මෝඩ කටයුතුවල යෙදෙන නායකයෙකු යටතේ ජාත්‍යන්තර වශයෙන් සිදු වන අපකීර්තිය සහ ශ්‍රී ලාංකිකයින් වීමම ලජ්ජාවට කාරණයක් වීම රාජපක්ෂගේ දෙවැනි ගමන ආරම්භකරන වකවානුව තුළදී දැකගත හැකි ලක්ෂණ වේ. රටේ නායකයා ජාත්‍යන්තර වශයෙන් හොරෙකු සහ බය ගුල්ලෙකු වූ විට එම රටේ සාමාන්‍ය ජනතාව රටින් පිටතදී මුහුණ දෙන අභියෝග ගැන අමුතුවෙන් කිව යුතු නැත.

මෙවැනි වටපිටාවක අපේ අනන්‍යතාවය සෙවීම විහිළුවක් නොවන්නේද? මෙය තව දුරටත් පැවතිය හොත් රාජපක්ෂට යාමට සිදුවන්නේ, ඔක්ස්ෆර්ඩ් සරසවියට නොව ලන්ඩනයේ හයිඩ් පාර්ක් කෝනර් වෙතය. එහි සිදු කළ හැකි දෑ ගැන විස්තර මෙහි අවශ්‍ය නැත. එසේ නොහැකි වුවහොත් ඔහුට යා හැකි වන්නේ ඉන්දියාවේ කේරලේ ආධිසංකාර විසින් බුද්ධ ධර්මය විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් පන්සලටය. එහි යන ඕනෑම හින්දු භක්තිකයෙකුට සිතු පරිදි කුණුහරපයක් කියා කෑ ගැසිය හැකිය. එය බුදු දහමට එරෙහිවනම් පින් ගොඩක් ලැබෙනු ඇත. ගෙවී ගිය වසර පහ තුළදී දේශීයව සිදු වූයේ එයයි. මගේ හැඟීම නම් රාජපක්ෂ සාර්ථකව ගොඩ නැංවිය හැකි සමාජයක් කණපිට පෙරලා එය තමාගේ වාසියට හරවා ගෙන එය තුළින්ද තමන්ගේ වාසි සෙවීම හැරෙන්නට වෙන කිසිවක් නොකළේය. ඉදිවුණු සෑම පාලමකම, මාවතකම, කර්මාන්ත ශාලාවකම ඇත්තේ එම න්‍යාය පත්‍රය ඉටු කර ගැනීමේ අවශතාවය මිස වෙන කිසිවක් නොවේ. සැකය සහ බිය රාජපක්ෂ අරක් ගෙන ඇති මුලික මනෝභාවයන් වී ඇති අතර රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වී ඇත්තේද ඊට පිළියම් සොයන රටාවෙනි. වඩාත් තේරෙන බාසාවෙන් කිව හොත් රටේ අවශතාවය වූ කලි රාජපක්ෂගේ අවශ්‍යතාවය ලෙස සිතා කටයුතු කිරීමකි. අඩු තරමින් මින් මිදීමට රාජපක්ෂට හැකි වුවහොත් එයම ප්‍රමාණවත් වේ.
Tell a Friend