දියව්, ගනිව්, තියාගන්න එපා - වෘත්තීය සමිති මට්ටු කරනවා - ඇමති පාඨලී චම්පික ගොරවයි

ප‍්‍රශ්ණ විසඳා ගැනීමට සාකච්ඡා මගින් මිස දියව්, ගනිව්, කියල පාරට බහින වෘත්තීය සමිති මට්ටු කරන බව පවසමින් විදුලි බල ඇමති පාඨලී චම්පික රණවක විසින් වෘත්තීය සමිතිවලට ප‍්‍රසිද්ධියේ තර්ජනය කර ඇතැයි වාර්තා වේ. ඇමතිවරයා මෙම තර්ජනය සිදුකර ඇත්තේ ඊයේ පැලවත්ත ජනකලා කේන්‍ද්‍ර ශ‍්‍රවණාගාරයේ පැවති නිලධාරී හමුවකට සහභාගී වෙමිනි. විදුලි බල මණ්ඩලය ගොඩනැගීමේ සාකච්ඡාවක් සඳහා යයි පවසමින් මෙම නිලධාරී හමුව කැඳවා ඇති අතර ඊට විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විදුලි අධිකාරීවරු සහ සාමාන්‍යාධිකාරීවරුන් රැසක් සහභාගීවී ඇත. විදුලි බල මණ්ඩලයේ විවිධ ශ්‍රේණිවලට අයත් නියෝජිතයින් සහ නිලධාරීන් කැඳවා කරනු ලබන මෙම සාකච්ඡා මාලාවේ අරමුණ වෘත්තීය සමිති සහ එහි සාමාජිකත්වය බිය වැද්දීම වන බව මේ පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයින්ගේ පොදු අදහස වී ඇත. යුධ හමුදාවේ මාණ්ඩලික නිලධාරී දයා සමරසේකර මෙම සාකච්ඡාවට සම්බන්ධ කරගැනීමෙන් මේ බව තවදුරටත් පැහැදිලිවන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.

ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් සහෝදරයා මේ පිළිබඳව අදහස් දක්වමින් අප හා පැවසුවේ විදුලි බල මණ්ඩලයේ සේවක ඉල්ලීම් 3 ක් සම්බන්ධයෙන් මීට දින 21 කට පෙර ඇමතිවරයා වෙත සියළුම වෘත්තී්‍ය සමිති එකඟතාවයෙන් ඉදිරිපත් කර ඇති ලිපියට ඇමති වරයා විසින් තවමත් ප‍්‍රතිචාර දක්වා නැති බවයි. තම ඉල්ලීම් වෙනුවෙන් ඕනෑම මොහොතක සාකච්ඡාමය විසඳුමකට වෘත්තීය සමිති සූදානම් බවත් එහෙත් මෙම ඉල්ලීම් මගහරින්නේනම් ඇමතිවරයා කොතරම් චණ්ඩි පාට් දැම්මත් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීරණය වීමට තම සමිති බිය නොවන බවද රංජන් ජයලාල් සහෝදරයා අවධාරණයෙන් යුතුව අප හා පැවසීය.
Tell a Friend