"සූදු විධිවිධාන" පනත ගැන ජානිපෙ හා හෙළ උරුමයේ ස්‌ථාවරය හෙළි කරන්න

පියසේන දිසානායක

සූදුව රටපුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආණ්‌ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ "සූදු විධිවිධාන පනත" සම්බන්ධව ජාතික හෙළ උරුමයේ සහ ජාතික නිදහස්‌ පෙරමුණේ ස්‌ථාවරය කුමක්‌දැයි වහා රටට ප්‍රකාශ කළයුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (02 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.

මෙම සූදු විධිවිධාන පනතට අනුව විෂයභාර ඇමැතිවරයාගේ කැමැත්ත අනුව රටේ ඕනෑම ස්‌ථානයක කැසිනෝ, ජැක්‌පොට්‌, රේස්‌ බුකී ආරම්භ කළ හැකි බව හෙතෙම අනාවරණය කළේය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (02 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කළ තිස්‌ස අත්තනායක මහතා ප්‍රථමයෙන් මෙම පනත 2006 වසරේ ජූලි මස 18 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේ විමල් වීරවංශ මහතා ප්‍රමුඛ ජනතා විමුක්‌ති පෙරමුණත්, ජාතික හෙළ උරුමයත් විරුද්ධ වූ බවත් දැන් නැවත එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මේ මොහොතේ ඔවුන් එදා දැරූ ස්‌ථාවරයේ සිටිනවාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවෙන් මත් උවදුර හා සූදුව සහමුලින්ම උපුටා දැමිය යුතු බව මහින්ද චින්තනය යටතේ ප්‍රතිඥ දී බලයට පැමිණි වත්මන් ආණ්‌ඩුව සූදුව රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා ගෙන එන නව පනතට සිය පක්‍ෂය විරුද්ධත්වය ප්‍රකාශ කරනවා පමණක්‌ නොව පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව ද හෙතෙම කීය.

"මතට තිත" යනුවෙන් බෝඩ් ගහගෙන ආණ්‌ඩුව ගෙනියන මිත්‍යා සහගත වැඩපිළිවෙළේ සැබෑ නිරුවත ඔක්‌තෝබර් මස 10 වැනි දින නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු විධිවිධාන පනත මගින් හෙළි වී තිබෙන බව අත්තනායක මහතා පවසයි.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් කෙසේ හෝ මුදල් උපයා භාණ්‌ඩාගාරය ශක්‌තිමත් කිරීමට හන්දියක්‌ ගානේ සූදුසල් විවෘත කිරීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා පෙළගැසෙන ලෙස මහාසංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට සහ සමාජ සංවිධානවලට විවෘත ආරාධනාවක්‌ කර සිටින බව ද තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

මෙම පුවත්පත් සාකච්ඡාවේදී ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා ද අදහස්‌ දැක්‌වීය. Tell a Friend