සුදු කොඩි නඩුවේ අලුත්ම තත්වය


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක, සරත් ෆොන්සේකා සන්ඬේ ලීඩර් පුවත්පතට සිදුකරනු ලැබූ බව කියන සුදුකොඩි සිද්ධිය පිළිබඳ ප‍්‍රකාශයට අදාළ නඩු විභාගය ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද යළි සලකා බැලූණා.

එහිදී විනිසුරු මඬුල්ල ඉදිරියේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදුන් සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඩි‍්‍රකා ජෑන්ස් කියා සිටියේ, පසුගිය 2009 දෙසැම්බර් මස 13 වැනිදා අදාළ සුදුකොඩි සිද්ධිය පිළිබඳ ලිපිය පලවීමෙන් පසු, මහත් ආන්දෝලනයක් ඇති වූ බවයි. පසුව එම මස 14 වැනිදා විත්තිකාර සරත් ෆොන්සේකා සමග සාකච්චා පැවැත්වූ බවත්, ඉන්අනතුරුව ඔහුගේ පැහැදිලි කිරීමක් දෙසැම්බර් මස 20 වැනිදා පුවත්පතේ පළකළ බවත්, ඇය සාක්ෂි දෙමින් සඳහන් කළාය . ඉන්අනතුරුව විත්තිකරු කිසිඳු අවස්ථාවක තමා හමු නොවූ බව පෙන්වා දුන් ඇය කියා සිටියේ, දුරකතනයෙන් හෝ තමා හා ඔහු අතර, අදහස් හුවමාරුවක් සිදු නොවූ බවයි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ අඛණ්ඩව තම චරිතයට හානි කරමින් විරෝධතා පැවැත් වූ බවත්, මංගල සමරවීර සහ අනුර දිසානායක යන මන්ත‍්‍රීවරුන් ද තමාට එවැනි බලපෑම් එල්ල කළ බව සන්ඬේ ලීඩර් කර්තෘවරිය සඳහන් කළාය. එම අවස්ථාව වනවිට විත්තිකරු සුදුකොඩි සිද්ධියට අදාළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කර තිබූ නිසා, ඒ පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවයි ඇය කියා සිටියේ. එහෙත් විත්තිකරු ස්ථාවරවම එම ප‍්‍රකාශය සිදු කළ නිසා, තමන් කිසිඳු විටක එය ප‍්‍රතික්ෂේප කර ලිපියක් පල නොකළ බවත්, ඇය ප‍්‍රකාශ කළා. විත්තිකරු එම ප‍්‍රකාශය සිදුකළ නිසා එහි වගකීම ඔහු විසින්ම භාරගත යුතු බවට 2010 වසරේ ජනවාරි මස 03 වැනිදා ‘‘හර් ස්ටෝරි’’ නමින් සතිපතා පලවන ලිපියේද, තමන් පල කළ බවයි ෆෙඩි‍්‍රකා ජෑන්ස් කියා සිටියේ.

විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි විසින් සාක්ෂිකාරිය ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීම ද අද සිදුවුණා. එහිදී නීතිඥවරයා විමසා සිටියේ, ඇයට එරෙහිව අධිකරණ කිහිපයක පුවත් වැරදි ලෙස පල කිරීම පිළිබඳ නඩු කිහිපයක් තිබෙනවා නොවේද යන්නයි. ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපහාස වන ආකාරයෙන් ප‍්‍රවෘත්ති පල නොකරන බවට, අධිකරණයට පොරොන්දුවක් ලබා දී තිබෙන්නේ ද යන්න පිළිබඳව ද ඔහු සාක්ෂිකාරිය ගෙන් විමසීමක් කළා. එමෙන්ම එම පොරොන්දුව කඩ කර වැරදි ප‍්‍රවෘත්ති පල කිරීම පිළිබඳ චෝදනා පවතිනවා නොවේදැයි විත්තියේ නීතිඥයා ඇගෙන් විමසා සිටියා. එම කරුණු සන්ඬේ ලීඩර් කතුවරිය වන ෆෙඩි‍්‍රකා ජෑන්ස් පිළිගනු ලැබුවා. එමෙන්ම, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර, ෆෙඩි‍්‍රකා ජෑන්ස්ගෙන් විමසා සිටියේ අදාල පුවත්පතේ වැරදි සහගත දෙයක් පලවූ බවට පැවසුවත් විත්තිකරු ඊට එරෙහිව නීතිමය පියවරක් ගෙන තිබුණාද, යන්නයි. එවැනි කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැති බව ඊට පිළිතුරු දෙමින් සන්ඬේ ලීඩර් කතුවරිය වන ෆෙඩි‍්‍රකා ජෑන්ස් අධිකරණය හමුවේ කියා සිටියා. හෙට දිනය දක්වා නඩු විභාගය කල් තැබුණු අතර, සාක්ෂිකාරිය ගෙන් හරස් ප‍්‍රශ්න විමසීම හෙට දිනයේත් සිදු කෙරෙනු ඇති.
Tell a Friend