දයාන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වෙයි!

ශ‍්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් දෙදෙනෙකුට නව පත්වීම් ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ, දකුණු කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කලක් කටයුතු කළ ජේ. අසිත අයි. පෙරේරා සහ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ දයාන් ජයතිලකට මෙලෙස නව පත්වීම් ලබා දී ඇති බවයි. අසිත පෙරේරා දකුණු කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස වසර තුනක සේවා කාලයකින් පසුව ශ‍්‍රී ලංකාවට පැමිණියේ 2009 අගෝස්තු මාසයේදියි. විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශකයා සඳහන් කළේ, මොහු ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර යැවීමට නියමිත බවයි. දැනට ඉතාලි තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන හේමන්ත වර්ණකුලසූරියගේ කාලය මේ වසරේ දෙසැම්බර් මාසයේ දී අවසන්වීමට නියමිතය. ඒ අනුව, ඉතාලියේ නව තානාපතිවරයා ලෙස අසිත පෙරේරා ලබන ජනවාරියේ සිට වැඩ භාර ගනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශකයා සඳහන් කළේය. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ දයාන් ජයතිලක ලබන ජනවාරියේ සිට ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර තිබේ. ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ලයනල් ප‍්‍රනාන්දු මේ වසරේ දෙසැම්බර් මාසයේ දී සිය තනතුරෙන් විශ‍්‍රාම යාමට නියමිතයි. Tell a Friend