මව සහ දුව මරා සමන්තුරේ ඇළට දමලා


මව හා දියණියක ඝාතනය කැර සමන්තුරේ පල්ආරු ඇළට දැමු සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු සමන්තුරේ පොලිසිය මඟින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ.


ඉකුත් 27 දා මේ ද්විත්ව ඝාතනය සිදුව ඇති අතර මියගිය කතගේ සිරුර ඇළේ පාවෙමින් තිබිය දි 29දා පොලිසිය මඟින් සොයාගෙන තිබිණි.


දියණිය ගේ සිරුර මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.


පොලිසිය මඟින් සොයාගත් මළ සිරුර සමන්තුරේ කිවාර් ලේන් හි පදිංචිව සිටි මොහොමඩ් සුබෙයිර් නැමැති 25 හැවිරිදි කාන්තාවගේ බව හඳුනාගෙන තිබේ.


ඇය හා දියණිය ඉකුත් 27 දා රාත්‍රියේ දී ඥාති නිවසකට ගොස් එමින් සිටියදී ඝාතනයට ලක්ව තිබෙන බව අනාවරණය වෙයි.


ඝාතනය සිදුකළ බව කියන සැකකරුවන්ගෙන් එක් අයකු මියගිය කාන්තාවගේ වැඩිමහල් සොයුරියගේ සැමියා (මස්සිනා) බව පොලිසිය පවසයි.


මියගිය කත සිය රත්රන් භාණ්ඩ උගස් කැර සැකකාර මස්සිනාට විදෙස් ගත වීමට මුදල් ලබා දී තිබේ. පසුව ඔහු එම මුදල් ලබා නොදුන්නේ යැයි මරණකාරිය සැකකරු සමඟ අමනාප වී තිබේ. මේ අමනාපය දුරදිගයාම නිසා සැකකාර මස්සිනා අනෙක් සැකකරු ද සමඟ එක් වී මේ ද්විත්ව ඝාතනය සිදුකළ බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ. කාන්තාව ඝාතනය කිරීම සඳහා සැලැසුම් කැර තිබියදී ඇගේ් දියණිය ද නිතර ඇය සමඟ සිටීම නිසා දැරිය ද ඝාතනය කිරීමට සිදු වූ බව මොවුන් පොලිසියට පවසා ඇත.


මියගිය දියණියගේ සිරුර සොයා ගැනීම සඳහා පොලිසිය කිමිදුම් කරුවන් යොදවා තිබේ.


සිද්ධිය පිළිබඳ සමන්තුරේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. Tell a Friend