ARTICLE: තක්කඩි කුලකයක "සමාව" බඩුවක් වූ විට

 "  බලයෙන් උමතු වී තමා එකම නිතිය යැයි සිතාගෙන පාලනයට වඩා මර්ධනයට නැඹුරු වූ සමාජයක ඇති විය නොහැකි දෙයක් නැත. මෙවැනි මර්ධනයක් සහ නිවටවීමේ ස්වභාවක් 70- 80 දශකයේ දෙමළ සමාජය තුළද විය. වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු දෙමල තරුණයින් සේම විජේවීර වැනි සිංහල තරුණයින්ගේ නැගිටීමට හේතු වුයේද මෙවැනි සමාජ වටපිටවකි. එහි සැබෑව තේරුම් ගත් අයෙක් කිසිම විට ඉන් සමාව ඉල්ලන්නේ නැත."

 නිලන්ත ඉලංගමුව

රාජපක්ෂ පාලකයෙක් නොවේ. ඔහු පුර්ණ කාලින මර්ධකයෙකි. පාලකයා පුර්ණ කාලින මර්දකයෙකු වූ කලි ඉන් සිදු වන හානිය මෙන්ම විඳවන්නා විසින් සිදු කරන ප්‍රතිප්‍රහාරය කිසිම විටෙක අනුමාන කළ නොහැකිය. තමන්ගේ පවුද්ගලික ශුඛ විහරණය සඳහා පෘතුල අරමුණු පාවාදෙමින් ඊට එරෙහි වන අයට, තමාද, තමාගේ කොල්ලාද, බල්ලාද පාවිච්චි කිරීමට වෙර දරණ චන්ඩියෙක් හැර වෙනත් සුජාත බවක් රාජපක්ෂගේ වත්මන් භූමිකාව තුළ නැත. ඔහු සිදු කරන ව්‍යාජ රඟපාම තුළ ඇත්තේ රට සමස්තයක් ලෙස ජනතාව යළිත් වරක් තම නායකයා තෝරා ගැනීමට ගොස් ඇණගෙන ඇති ප්‍රමාණයයි. ජනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව " හමුදා අධිකරණය" ලබා දුන් තීන්දුව අනුමත කළ දිනයේදී මෙම ලියුම් කරු සඳහන් කළ ආකාරයට රාජපක්ෂ මේ වනවිට ස්ථිර සතුරන් නිර්මාණය කර ගෙන ඇත. මෙය ඔහු සිතන සිහින මන්දිර කිසිම ආකාරයකින් බලාපොරොත්තු නොවන ස්වභාවයකින් විනාශ වී යාමේ පූර්ව ලක්ෂණයන්ය. රාජපක්ෂගේ එකම විමුක්තිය දැන් ලිය වී ඇත්තේ ජනරාල් සරත් ෆොන්සේකා නමැති සමාජ සංසිද්ධිය ඔස්සේය. එය හැසිරවීමෙහිලා රාජපක්ෂ ඔහුගේ දුර්වල ලක්ෂණ එනම් පසුගිය කාලය තුළදී අනෙකාගේ උදව්වෙන් වසාගෙන සිටි සියල්ල මතු පිටට ඇද දමා ප්‍රදර්ශනය කොට ඇත. මේහි නියම වන්දිය ගෙවීමට සිදු වන්නේ රාජපක්ෂට නොවේ, එනම් ඔහුගේ නමින් සහ ඔහුගේ පරම්පරාව රැක ගැනීමට පත් කළ අයවලුන්ටය.

ඊයේ ආණ්ඩුවේ සිළුමිණ පුවත් පතේ කතුවරයා තම කතු වැකියෙන් සඳහන් කොට ඇති පරිදි , "වීරයා සහ වංචාකාරයා අහසට පොළොව මෙනි. සුදට කළු මෙනි. වීරයා පොකුණකි. වංචාකාරයා මඩවළකි.' මෙය තම කතුවැකිය තමාටම ලියගැනිමක්ද එසේ නොවේනම් ලංකාවේ දේශපාලනය ඉලක්කගත කොට ලියවූවක්දැයි දන්නේ නැත. දෙකම පොදුය. දැනට ජිවතුන් අතර නැති සිංහල පුවත් කලාවේ ශ්‍රේෂ්ටයෙකු වන දයාසේන ගුණසිංහ මහතාට මළවුන්ගෙන් නැගිටීමට හැකිනම් අදාල කතුවරයාට ඔහුගේ කෙරුවාවම ඉතාම පහිදිලිව තේරුම් කරදෙනු ඇත. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව වැටි සිටින තත්වය වන්නේද මෙයයි. ඔවුහු සිතන්නේ තම මුදල් වලින් මිලදීගත් මිනිස් භාණ්ඩ (බඩු) මගින් වැඩි කරගත් පාර්ලිමේන්තුවේ බලය විසින් පක්ෂය සහ විපක්ෂය අතර මහා පරතරයක් නිර්මාණය කර ඇති බවයි. එය ඔවුහු වීරත්වයක් ලෙස මෙන්ම එහි ඇති විශාල පරතරයක්ද දකිති. මගේ වැටහීම අනුවනම් රාජපක්ෂ හෝ ඔහුගේ කුලී හේවායෙකු කියන ආකාරයේ විශාල පරතරක් මේ කිසිවක් තුළ නැත. එය යුක්තිය පසින්දලීමට ඇති සමාජයක කාලය සමග යැපී තිබෙන කාරණයක් වන අතර යුක්තියක් හෝ මුලික නීතියක් නැති වූ වල්වැදුණු වැදුණු සමාජයක එය එම සමාජයේ බලය හසුරුවන්නා සතුවන බලය මගින් කලින් කලට වෙනස් කළ හැකි කාරණයක් වේ. මේසඳහා මිට වසර පහකට පෙර තමන්ට හිමි නොබෙල් ත්‍යාගය ලබා ගනිමින් හැරල්ඩ් පින්ටෝ, " කලාව, සත්‍ය සහ දේශපාලනය" නමින් කළ දේශනය යලි යලිත් කියවීම අප කටත් ප්‍රයෝජනවත් වේ. හැරල්ඩ් පින්ටෝ එහිදී , සිළුමිණ කතුවරයා ආණ්ඩුවේ කුණු සහ තමන්ගේ පරණ කුණු සේදීමට දරන නිවට උත්සාහයට වඩා වැදගත් කාරණයක් මතු කළේය. එනම් මේ කිසිවක් අතර සැලකිය යුතු මට්ටමේ පරතරයක් නොමැති බවයි. අප සිතන වීරත්වයම තවත් විටෙන වංචාවක් විය හැකිය. අපි සත්‍ය ලෙස දකින දේ තුළම අප වේලි සිටින්නේ මුලාවක විය හැකිය. මෙහිදී හැරල්ඩ් පින්ටෝ උපුටා දැක්වීම "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්" ලෙස විමල් වීරවංස වැනි සමාජය තුළ මායාව වපුරා එය තමන්ගේ අදායම් මාර්ගය කරගත් පවුකාරයින් ඊට ප්‍රතිචාර දැක්විය හැකිය. මෙය අප සමාජයේ දක්නට ලැබෙන වඩාත් ප්‍රබලම අවාසනාවන්ත තත්වයයි.

රාජපක්ෂගෙන් ශිලාචාර දේශපාලනයක් තැනීමට හැකියි මහා පරිමාණයේ කතිකාවක් නිර්මාණය කර ගැනීමට රාජපක්ෂ වීරයෙකු කළ රාවය පුවත්පතේ කතෘ වික්ටර් අයිවන් පැටලී සිටියේද එකී මෝහය ක්‍රමෝපායික මෙහෙයුමක් කරගෙනය. ඉන් පසු 18 වන සංශෝධනයෙන් පසු ඔහුගේ හැව ඉවත් කොට දැමීමට සිදු වූවා පමණක් නොව ඉදිරියේදී තමන් රාජපක්ෂ ගැන කළ ගුණ ගායනා වල කිසිඳු සතයක් නැති බව අවබෝධවීමට ඉඩ තිබේ. නමුත් අපේ සමාජය තුළ මායාවෙන් මෝහයට පත් වූවන් සහ එය සමාජය පුරා ව්‍යාප්ත කොට සමාජයම මෝහයට පත් කළවුන් අඩු නැත. බෙන්ගමුවේ නාලක වැනි රාජපක්ෂ තුළින් බුදුන් දැකීමට යන්ත දරන බෞද්ධ බික්ෂුන් " ජනරාල් ෆොන්සේකාට දුන් දඬුවම මදි" යැයි කියන්නේ මේ නිසාය. හෙතම හමුදා අධිකරණය තුළ සිටියේනම් ඊට එහා දඬුවමක් දෙන බවටද උදම් අනන්නේය. රාජපක්ෂගේ අත්කොලුවක් බවට පත්වෙමින් තිබෙන සමස්ත හමුදාවේ මීළඟ අණ දෙන නිලධාරියා වීමටද අදාල හිමිට හැකියාව ඇති බව හෙතම විසින්ම පෙන්වා තිබේ. එනම් පත් කිරීම් සහ උසස් වීම් තීරණය වන්නේ සුදුකම මත නොවන බව අපි දන්නා අතර එය තමාට කෙතරම් දුරට මර්ධකයා විෂයෙහිලා බඩුවක් වීමට හැකියාව තිබේද යන්න මත තීරණය වේ. එකී සුදුසු කම ඕනෑවටත් වඩා අදාල හිමිනම පෙන්වමින් සිටිති. මෙය හින්දු කුලවාදී බමුණන් විසින් විනාශ කළ බෞද්ධ ධර්මයද ? බෙන්ගමුවේ නාලක සේම වටිනාපහ සොමනානන්ද සහ ඔවුහු වටා අදාල මායාව සත්‍යක් යැයි ඒත්තු ගැන්වීම සඳහා පෙළගැසී සිටින අයවුලුන් උත්සහ කරන්නේ සමාජයේ රාජපක්ෂ විසින් ඇති කර මෝහය තව දුරටත් පවත්වා ගැනීමටය. එය එසේ නොවේනම් බේබද්දෙකුටවත් කියවෙන්නේ නැති මෙවැනි ඔලමොට්ටල කතා කියන්නේ නැත. මෙම ලියුම්කරු මීට පෙර ලිපියක සඳහන් කළ ආකාරයෙන් ," නිතිය, ශිෂ්ටත්වය මරා දමා ඇති රටක එහි විත්ති පාර්ශවයක් වන භික‍ෂු පරපුර පවතින මායාව තුළ සුන්දර සිහින දැකීමට සාමාන්‍ය ජනතාව තල්ලු කොට තම සුළු අපේක්ෂා ඉටු කර ගැනීමට දරණ අයුරු මෙයින් පැහැදිලි වේ."

මෙම වටපිටාව ඔස්සේ ජනරාල් සරත් ෆොන්සේකා සිර කර තැබීම සහ තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා "සමාව" ඉල්ලීම ලාංකික දේශපානය නමැති තක්කඩි කුලකයේ "සමාව" නමැති පෘතුල සංකල්පය බඩුවක් බවට හරවා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට යන්ත දැරීමක් ලෙස පෙනේ. මේ වනවිට ලාංකික සමාජයට අවශ්‍ය වන්නේ මෙවැනි ප්‍රථමික මට්ටමේ විදි නාට්‍ය නොවේ. අවශ්‍ය වන්නේ පසුගිය සතියේදී සරත් ෆොන්සේකා වෙනුවෙන් පෝස්ටර් ගැසීමට සහ උද්ගොෂණයට සහභාගී වූ එකතරා කාන්තාවක් පාන් වල මිල මතක් කරමින් කළ අනුවේදනීය ප්‍රකාශය වැනි රටේ පවතින සබැ ගැටලු විසඳා ගැනීම සඳහා බලපෑම් කිරීමයි. ජනරාල් ෆොන්සේකා වෙනුවෙන් කෑ ගැසීම වූ කලී රාජපක්ෂගේ අරමුණු ඉටු වීමකි. රාජපක්ෂ සෑම විටම යුද්ධය ජයගැනීම සහ විපක්ෂය ඇවිස්සීමට කටයුතු කොට රටේ සැබෑ ගැටලු සඟවා තැබීමට යන්ත දරන්නෙකි. රාජපක්ෂට පවතින මුලික ගැටලු වලට මුහුණ දීමට හැකියාවක් නොමැති බව මේවනවිටත් පෙන්වා තිබේ. එය ඔහු විසින් ජි. එස්. පි. ප්ලස් අහිමිකරගැනීම තුළින් සේම මෑතකදී සවුදි අරාබිය මෙරටින් ගෘහ සේවිකාවන් ගැනීම තහනම් කිරීමට ගත් තීරණය සමඟ ගනු දෙනු කළ ආකාරයෙන් පැහැදිලි වේ. තමන්ගේ වාසි සඳහා කිට්ටු වී සිටින චීනය, ඉන්දියාව සහ ඉරානය හැරෙන්නට ලංකාව අනෙක් රටවල් සමඟ ගනුදෙනු කිරීමේ කිසිඳු ප්‍රගතියක් දක්වා නැත. වෝල් ස්ට්‍රීට් ජර්නල් ජනාධිපති සමඟ සම්මුඛ සාකච්චාවක් පැවැත්වීමෙන් එය සිදු වන්නේ නැත. එය සිදුවන්නේ රැවටීම තුළින් නොව බිම් මට්ටමේ සිදු කරන ශිලාචාර දේශපාලන පරිවර්තනයකිනි. බලය විසින් උනමන්තකයෙකු කළ අයෙකුට ශිෂ්ටත්වය වූ කලී සිතිජ ගත වූ නොවටිනා දෙයකි. විපක්ෂ තේරුම් ගත යුත්තේ රටට අවශ්‍ය වී ඇති කාටත් පොදු මුලික නීතයක් සහ මිනිස්සුන්ට අවශ්‍ය ආහාරයක් ගැනීමට ඇති මුලික නිදහසක් තහවුරු කිරීමය. රාජපක්ෂ වටා සිටින දේශපාල බඩු යොදාගෙන සාමාන්‍ය ජනතාවගේ එදා වේලට පහර ගැසීම වඩාත් හොඳින් තේරුම් ගත හැකි වන්නේ එවිටය.

එනම් සිදුවිය යුත්තේ ජනරාල් ෆොන්සේකා පුද්ගලයෙකු ලෙස නොව සංසිද්ධියක් ලෙස තමන්ගේ දේශපානයට සම්බන්ධ කර ගැනීමය. රටේ අවනිතියේ ගොදුරු බවට පත් වුයේ ජනරාල් ෆොන්සේකා පමණක් නොවේ. දහස් ගණනක් එහි ගොදුරු බවට පත් වී සිටිති. රාජපක්ෂගේ සපත්තු ලේවකන්නෙක් හැරෙන්නට අද කිසිවෙකුට තමන්ගේ නිදහසේ ජිවත් වීමට හැකියාවක් නැත. තමන්ගේ ඉඩමට හිමි නිසි භුක්තිය විඳීමට උතසහ කළ ගාල්ලේ උපාලි මෙන්ඩිස් පොලිසිය විසින් පැහැරගෙන යාම සහ ඊට ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂ සිදු කර ඇති මැදිහත් වීම වූ කලී සිදුවන දහසක් දෑ අතර එක් බිහිෂුනු සිදු වීමක් පමණි. ජනරාල් ෆොන්සේකාට සමාව ඉල්ලන්න යැයි බල කරන්නේ මෙවැනි මානසික තත්වයක සිටින පාලන තන්ත්‍රයකිනි. ජනරාල් සහ ඔහුගේ පව්ලේ අයවලුන් හැරෙන්නට අනෙක් සියලුම දෙනා " සමාව " විකුණනු ලබන්නේ එක්කෝ රාජපක්ෂ ගැන දන්නා ප්‍රමාණය අනුවය නොඑසේනම් තම තමන්ගේ පැවැත්ම තහවුරු කරගනු පිණිසය.

බලයෙන් උමතු වී තමා එකම නිතිය යැයි සිතාගෙන පාලනයට වඩා මර්ධනයට නැඹුරු වූ සමාජයක ඇති විය නොහැකි දෙයක් නැත. මෙවැනි මර්ධනයක් සහ නිවටවීමේ ස්වභාවක් 70- 80 දශකයේ දෙමළ සමාජය තුළද විය. වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු දෙමල තරුණයින් සේම විජේවීර වැනි සිංහල තරුණයින්ගේ නැගිටීමට හේතු වුයේද මෙවැනි සමාජ වටපිටවකි. එහි සැබෑව තේරුම් ගත් අයෙක් කිසිම විට ඉන් සමාව ඉල්ලන්නේ නැත. රාජපක්ෂ සමඟ සිටි ජනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් " සමාව" ඉල්ලීමට යැයි රාජපක්ෂ සහ ඔහුගේ සේවකයින් කරන ඉල්ලීම ඔහු සහ පවුලේ අයවලුන් එක් පයිසයකටවත් මායිම් නොකරන්නේ මේ නිසාය. ජනරාල් ෆොන්සේකා හිරේ දමා බරපතල වඩා දීම කලී ඔහුගේ දේශපාලනයට තව දුරටත් ශක්තියක් දීමකි. රාජපක්ෂ තමාගේ ඉදිරියෙන්ද පිටුපසින්ද සිදු කොට ඇත්තේ නොකළ යුතු කටයුත්තකි. ඔහු සැබෑ සිහියෙන් සිටින්නෙක් නම් එය තේරුම් ගැනීම එතරම් අපහසු නැත. එනම් මේ ආකාරයෙන් සිදු කරන මර්ධනය නිසා ඔහුට සිදුවන්නේ කක්කුට්ටේකු මෙන් හරහට ගමන් කිරීමටය. විමල් වීරවංස, හෙළ උරුමයේ දේශපාලකයින් තමාගේ පැවැත්ම සිදු කරන්නේ මෙයයි. ඔවුහු සිංහල ද්‍රෝහී නමැති කුලකය තුළ තම දේශපාලන පැවැත්ම තහවුරු කරගෙන සිටින ආකාරයෙන් රාජපක්ෂට සිදුවන්නේ තම මිලිටරරිය සහ ජාති ද්‍රෝහියත්වය බලය රැක ගැනීමේ එකම මෙවලම කර ගැනීමටය. නයා කෙතරම් කේන්තියෙන් පෙනේ බුම්බාගෙන දඟලුවත් ශුක්ෂම මුගටියා හමුවේ මරණය උදාකරගන්නා බව අමතක නොකළ යුතුය. පසු ගිය කාලය පුරාම මෙරට ජනතාව ඕනෑතරම් සිල්වන්ත නාගයින් තමන්ගේ නායකයින් ලෙස තොර ගෙන ඇත. නමුත් පසුව උන් පෙනේ පුම්බාගෙන දඟලු ආකාරයද ඔවුහු වඩා හොඳින් දැක ඇත. Tell a Friend