කතු වැකිය: උපකුලපතිගේ ඔලුවපැලිම සහ ඇමතිගේ වැදි බණ

ළමුන් 10,000 ක් වුනත් එළියට දමා විශ්වවිදයාල හදන බවට චන්ඩි ප්‍රකාශයක් උසස් අධ්‍යාපන ඇමති එස්. බි. දිසානායක ඊයේ කළේය. එස් බි. තමන්ගේ කට නිසා අනා ගත්තේ අද ඊයෙක නොවේ. එස්.බි. සිතන්නේ තමන්ට වඩා ලංකාව ගැන අවබෝධයක් ඇති කෙනෙක් මේ ලෝකෙවත් නැති ගානටය. ඔහුගේ මානසිකත්වයට අනුව ඔහු තරම් මේ ලෝක ඉතිහාසයේ දන්නා කෙනෙක්ද නැත. එය ඔහු සමඟ පැයක් ගෝ දෙකක් පමණ කතා කිරීමෙන් ඉතා පහසුවෙන් අවබෝධ කළ හැකිය.

මෙවර ඔහු එජාපයෙන් පැන ගොස් මහින්ද සමඟ එකතු වූ පසු, මහින්ද ඔහුට බැටදීමට වක්‍රාකාරයෙන් සමත් විය. ඒ ඔහුට උසස් අධ්‍යාපන අමාත්‍යංශය භාරදෙමෙනි. එය දෙවැනි වන්නේ නිමල් සිරිපාල විසින් කාබාසිනියා කරනු ලැබූ සෞඛ්‍ය, මෛත්‍රීපාල සිරිසේනට දීමටය.

කෙසේ වෙතත් අපේ වැටහීම අනුවනම් එස්බි මේවනවිටත් කට වරද්දාගෙන හමාරය. ඔහු සිතන ආකාරයේ හෝ ජවිපෙ මට්ටු කිරීම සඳහා කාන්තා උත්සාහයක යේදී සිටින වීරවංසට අනුව මේරට විශ්වවිද්‍යාලවල සිසුන් කටයුතු කරන්නේ නැත. ඔවුන්ගේ ගැටලු විසඳීමට, තමන් සියල්ල දන්නවා යයි සිතා ගෙන ඉදිමි සිටින දිසානායකටවත්, සිංහල ජාති ද්‍රෝහියත්වය සහ සමාජවාදය අතර මොංගල් වී සිටින වීරවංසටවත් කළ නොහැකිය. මේ නිසා පවතින ගැටලූ තව තවත් උත්සන්න විය හැකිය.

අද දින (ඔක්තෝම්බර් 20) සිසුවකුගේ කනට ප්‍රහාරයක් එල්ල කිරීම නිසා සිසුන්ගෙන් ගුටි කෑමට සිදු වූ රුහුණු සරසවියේ උප කුලපතිට මුහුණ දීමට සිදු වූ අලකලංචිය අනාගතය සඳහා වන අනතුරු ඇඟවීමක් පමණි. අදාල උපකුලපති වරයා සිසුවාට පහර දී ඇත්තේ ඔහු තම පෙම් වතියත් සමඟ කතා කළේ යයි පවසමිනි. මෙය සිදු වුයේ ජයවර්ධනපුර උප කුලපති වරයා එහි සිසුවියන්ගේ කන්‍යාභාවය පරික්ෂා කළ යුතු යයි බලපෑම් කිරීමෙන් සති කිහිපයකට පසුය. මෙයින් පෙනී යන්නේ රටේ දේශපාලකයා මෙන්ම විශ්වවිද්‍යාල වල සේවය කරන බුද්ධිමතුන් යයි කියා ගන්නා මෙම පිරිස තමන්ට අයිති දේ හැර අන් සියල්ලම සිදු කරන ආකාරයයි. විශ්ව විද්‍යාල සිසුන් දැඩි මර්ධනයකට යටත් කොට ඔවුන් තමන්ගේ පාලනයට ගත හැකි යයි කිසිවෙකු හෝ සිතන්නේ එය මුලාවක් සේම ඒ නිසා තව තවත් ගැටුම් උග්‍ර වනු ඇත.

වත්මන් ආණ්ඩුව ගෙන යමින් සිටින ප්‍රෝඩාකාරී වැඩපිළිවලට එරෙහිව සැබෑ අරගලය ආරම්භ වන්නේද විශ්විද්‍යාල භුමියෙනි. ඒ නිසා රාජපක්ෂ තමන්ගේ අය වැයෙන් වැඩිම මුදලක් ආරක්ෂාව සඳහා වියදම් කොට ඇත්තේ ද ඉදිරියේදී වියදම් කිරීමට බලාපොරොත්තු වන්නේද ඒ නිසාය. රාජපක්ෂට තමන්ගේ මුදල සහ මිලිටරිය හැර වෙනත් කිසිවක් විශ්වාස කළ නොහැකි මට්ටමට පත් වෙමින් තිබේ. මේ නිසා තවත් මාස කිහිපයකින් රාජපක්ෂ ඔළුබක්කන් ශිෂ්‍ය දඩයමේ යෙදුන හොත් එහි අරුමයක්ද නැත.

Tell a Friend