1956 : බමුණු කුලය බිඳ වැටුණා ද?


සෝමචන්‍ද්‍ර විජේසූරිය

‘බමුණු කුලය’ වශයෙන් වික‍්‍රමසිංහ හැඳින්වූයේ 1956 වන තෙක් අප පාලනය කළ ‘සුදු මිනිසුන් හා ඔවුන්ගේ ශ‍්‍රාවකයෝ ලෙස උගැන්ම ලැබූ සිංහලයන් අත ලොස්සක්’ බව ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහල සිරිත පහත් කොට සලකන සිංහල නොදත්තෝ ය. බමුණු කුලය වැටීම පිළිබඳව හේතු සෙවීමට මහ ගත්කරු පෙළඹුණේ 1956 එක්සත් ජාතික පක්‍ෂය ලත් මැතිවරණ පරාජය නිසා ය. ආසන හැට පහක් දිනා ගන්නා අදහසින් තරඟ බිමට බට එක්සත් ජාතික පක්‍ෂය සුන්බුන්ව විසිරෙන තරමේ පරාජයන් ලැබුවේ කුමන කරුණු නිසා ද? හර්තාලයකට හේතුවන සේ හාල් මිළ වැඩිකර පාසැල් සිසුන්ට බනිස් ගෙඩිය නොදීම එම පරාජයට හේතු වශයෙන් ඇතැම් සමාජවාදීහු තර්ක කරන බව වික‍්‍රමසිංහ සඳහන් කරයි. මෙයට වෙනස්ව එම පරාජයට හේතුව සංස්කෘතික ප‍්‍රශ්නයක් ලෙස වික‍්‍රමසිංහ දකී. කවර ජනතාවගේ වුව ද සංස්කෘතිය ඔවුන්ගේ සිතුම් පැතුම් නොව කායික ගති පවා පාලනය කරන බව හේ කියා සිටී.

ජනතාවගේ සංස්කෘතිය නම් කුමක් ද?


පොදු ජන වැටහීම අනුව අපේ සංස්කෘතිය නම් අපට ආවේනික වූ කලා ශිල්ප බව ය. නමුත් ඉතිහාසය පිළිබඳව භෞතිකවාදී නිගමනයන්ට අනුව සංස්කෘතිය යන්නට වෙනත් විවරණ සැපයී ඇත.
සංස්කෘතිය


‘සංස්කෘතිය’ යනුවෙන් එක් කළෙක හැඳින්වූයේ නගුලෙන් පස් පෙරලා වගා කරන ලද භූමියකට ය. ස්වභාව ධර්මයාගේ වරප‍්‍රසාද මානුෂික ක‍්‍රියාවලියෙන් වෙනස් කිරීම ‘සංස්කෘතික’ කටයුත්තකි. මිනිසා තමාට සංස්කෘතිකයක් ගොඩනගා ගන්නේ එනම් සත්ව ලෝකයෙන් වෙන්වූයේ – ඔහු අත්වලට ගල්, පොළු වැනි උපකරණ ගත් විට ය. එය භෞතික කාර්ය්‍යයකි. එම හැකියාවන් මිනිසාගේ විඥනය බවට පත්ව අපේ උපකරණ චාරිත‍්‍ර නිපුනතා යන්න ගොඩනැගුනේ ය. නූතන සිංහලයා පරිහරණය කරන යාන වාහන, පාරවල්, දුම්රිය මාර්ග, පාසැල්, ආරෝග්‍ය ශාලා යන මේ සියළු සංස්කෘතික අංග ගෙනාවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ය. එම මැදිහත්වීම නොමැතිව සිංහලයා ආසියාතික වැඩවසම්වාදයේ සිරකරුවෙකුව මිනිස් මනස මිත්‍යා විශ්වාසවල හා ඇඳහිලිවල හා චිරාගත නීති රීති යටතේ දාස භාවයට පත්ව මේ වනවිටත් සිටිනවා නිසැක ය.


වික‍්‍රමසිංහට දේශපාලන දැනුමක් නොවූ බව ඔහුගේ ‘බුදු සමය හා සමාජ දර්ශනය’ කෘතියේ පිටු පෙරලීමෙන් වටහා ගත හැකි ය. මේ කරුණ නිසා 1956 පෙරළියකට හේතු වූ දේශපාලන හා ආර්ථික කරුණු ඔහු දැක නැත. ආර්ථික කරුණු අනුව ලෝක බැංකුවේ නියමයන් අනුව බඩු මිළ ඉහළ දැමීමට එවකට සිටි යූ. ඇන්. පී ආණ්ඩුව මෙහෙය වීය. මෙයට විරුද්ධව 1953 හර්තාලය සිදු විය. බණ්ඩාරනායක බලයට පැමිණීමට උද්ගතවූ මූලික කරුණු වූයේ එම හර්තාලය නියමයන්ට දේශපාලන නායකත්වයක් නොමැති ව අඩාල වීමයි. හර්තාලය කොතරම් උද්වේගකාරී ජන නැගිටීමක් වූයේ ද යත් යු. ඇන්. පී. ආණ්ඩුව වරායේ නවතා තිබූ එස් එස් නිව්ෆවුන්ලන්ඞ් නැවට සීමා කිරීමට ජනතාව සමත් විය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියළු ජන කොට්ඨාශයන්ගෙන් සමන්විත වූ එය පීඩිත පංති නැගිටීමක ප‍්‍රකාශනයක් ය. ස්ටැලින්වාදින් විසින් පතුරුවා තිබූ අවධි දෙකේ විප්ලව න්‍යාය අනුව ජාතික ධනපති පංතිය ප‍්‍රගතිශීලී භූමිකාවක් ඉතිහාසයේ රඟපානු ඇතැයි යන ප‍්‍රතිවිප්ලවවාදි අදහස්වලට ලංකා සමසමාජ පක්‍ෂය යට වී තිබුණේ ය. එම නිසා ඔවුන් සැඟවී සිටි යූ. ඇන්. පී ආණ්ඩුව නැවෙන් එළියට ගෙන ඔවුන්ට බලය පැවරීය. දේශපාලන පාවාදීමකට ලක් වූ පීඩිත පංතිය බණ්ඩාරනායක බලයට ගෙන ආවේ ය. 1956 දේශපාලන පෙරලියට හේතු වූ මූලික කරුණු එ්වා ය. සංස්කෘතික කරුණු නොවේ.
කම්කරු පංතිය


1956 බලයට පැමිණි සඟ ගුරු වෙද ගොවි කම්කරු යන බලවේග ප‍්‍රගතශීලී බලවේග ලෙස සිංහල ධනපති පංතියට අටුවා ලිවූ වික‍්‍රමසිංහ ඇතුළු පත්තර කාරයෝ හඳුන්වා දුන්හ. කම්කරු පංතිය බණ්ඩාරනායක බලයට ගෙන එ්මට උදව් දුන්නේ නැත. 1958 ලංකාවේ වාර්තාගත ස්ට‍්‍රයික් ප‍්‍රමාණයක් ඇති වීමෙන් එය පැහැදිලි විය යුතු ය. ඞී. බී. ධනපාල වැනි කම්කරු විරෝධී පුවත් පත් කලාවේදීන් මෙම කරුණ වසන් කළේ ප‍්‍රථම ජනතාවාදී අගමැති සෑම පංතියකම නියෝජිතයා වශයෙන් පෙන්වීමට ය. නියම වශයෙන්ම බමුණු කුලය වූයේ ඉංග‍්‍රීසි උගත් පංතිය නොව සිංහල සඟ ගුරු වෙද පංතිය යි.


‘බමුණු කුලය බිඳවැටීම’ රසවාහිණියේ පළවී වැඩිකලක් ගතවීමට පෙර මාර්ටින් වික‍්‍රමසිංහ හා අනිකුත් ලේඛකයින් විසින් ප‍්‍රගතිශීලින් ලෙස හඳුන්වා දෙනු ලැබූ නව පංතියේ නග්න ප‍්‍රතිගාමිත්වය ජනතාවට දක්නට ලැබුණේ ය. මහා සංඝයා විසින් අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකට වෙඩිතබා මහදවාලේම මරා දැමීම එම ප‍්‍රතිගාමිත්වයේ සංකේතයක් විය. එහි පිටුපස වූයේ කැළණියේ බුද්ධරක්ඛිත හිමි නමට නැව් ඉන්ෂුවරන්ස් සමාගමක් පටන් ගැනීමට තිබූ උවමනාව ය. බණ්ඩාරනායක එයට විරුද්ධ වූයේ එම සමාගමට වත්කම් පෙන්වීමට අපහසු වූ නිසා ය. එය හෙළිදරව්වූයේ බණ්ඩාරනායක මිනී මැරුම් නඩු විභාගයේ දී ය. මෙම ප‍්‍රතිගාමිත්වය වසා ”බුද්ධ ශාසනය” රැුකගැනීමට ඉදිරිපත් වූ ඞී. බී. ධනපාල එම ඝාතනය ශ‍්‍රමණ වේශධාරියෙක් විසින් කරන ලද්දක් බවක් සිල්වත් සංඝයා එයට සම්බන්ධ නොවූ බවත් ඔහුගේ ලංකාදීප පත‍්‍රය පුන පුනා කීවේ ය. එසේ නමුත් බුද්ධ රක්ඛිත එහි ප‍්‍රධාන කුමන්ත‍්‍රණකරුවෙක් ව සිටි බව නඩු විභාගයේ ද හෙලි විය.
බි‍්‍රතාන්‍ය


මාර්ටින් වික‍්‍රමසිංහ මාක්ස්වාදය පිළිබඳව දුර්මත දැරීම නිසා ඔහුට සමාජ සත්තාව පිළිබඳ නිවැරදි ෙඓතිහාසික අවබෝධයක් ලබා ගැනීමට නොහැකි විය. ‘බුදු සමය හා සමාජ දර්ශනය’ කෘතියේ සංඥපනයේ දී ඔහු මෙසේ කියයි. ‘එංගලන්තයේ පාලන බලය අතට ගත් කම්කරු පක්‍ෂය සමාජ වාදීන්ගෙන්ම සෑදුනකි. ඔවුන්ගේ පරමාර්තය වන උත්තර සමාජයත් රුසියාවේ කමියුනිස්ට් වාදීන්ගේ පරමාර්තය වන උත්තර සමාජයත් දෙකක් නොව එකකි. ඔවුන් අහසට පොළොව මෙන් දුරස්තීන වන්නේ එ් සමාන පර්මාර්තයනට ලඟාවීම සඳහා ගන්නා මඟ විසිනි. උත්තර සමාජය පිහිට විය යුත්තේ වර්තමාන සමාජය ක‍්‍රමයෙන් සකස් කිරීමෙනි ය. යන්න බි‍්‍රතාන්‍ය සමාජවාදීන්ගේ මතයයි.’


අවුරුදු 200ක් පමණ බි‍්‍රතාන්‍ය කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය නම් එය වෘත්තීය සමිතිවාදය තුළ කම්කරු පංතිය සිරකර තැබීමයි. කම්කරු පංතිය ස්වාධීනව බලය ගත යුතු ය යන මාක්ස්වාදී න්‍යාය බි‍්‍රතාන්‍ය වෘත්ති සමිති තුළ පීලි පැන්වූයේ එකී සංශෝධනවාදී වෘත්තීය සමිති නායකත්වය විසිනි. බි‍්‍රතාන්‍ය කම්කරු පංති ඉතිහාසය පිළිබඳව වික‍්‍රමසිංහට දුර්වල දැනුමක් තිබුණි.


වික‍්‍රමසිංහගේ මෙම දේශපාලන අනවබෝධය ගලා එන්නේ කොතනින් ද?
එය ගලා එන්නේ ගත් කතුවරයාගේ විඥන වාදයෙනි. වික‍්‍රමසිංහ දාර්ශනිකව භෞතිකවාදි චින්තනය ප‍්‍රගුණ නොකළේ ය. එමනිසා ඔහු තමා තර්ක භෞතික වාදියෙකියි වර්ග කරගෙන සිටියද ඔහුගේ විධි ක‍්‍රමය තර්ක භෞතිකවාදී විදික‍්‍රමයට සතුරුව සිටියේ ය. ‘මා තර්ක භෞතික වාදය විවරණය කරන්නේ මගේම බසිනි; මා සිතන සැටියෙනි; මා එ් දර්ශනය වටහාගත් සැටියෙනි. එහෙයින් මා අනුගමනය කරන්නේ මට හුරුවූ සිතුම් ක‍්‍රමයකිනි.’ (බුදුසමය හා සමාජ දර්ශනය පිට 04)
සත්‍යය


යමෙකු දෛයිලක්තිකය තමාගේ පූර්ව නිගමනයන් ඔප්පු කිරීමට පාවිච්චි කළ විට එය එහි විරුද්ධ පැත්තට මාරුවෙයි. වික‍්‍රමසිංහ ඔහුගේ පුර්ව නිගමනයක් වූ සුදු මිනිසුන් හා ඔහුගේ ශ‍්‍රාවකයන්, සිංහල සිරිත පහත් කොට සලකන සිංහල නොදත්තෝ හා බමුණු කුලය යයි හඳුන්වන විට සිදුවූයේ එයයි. ‘සුදු මිනිසුන් හා ඔවුන්ගේ ශ‍්‍රාවකයන්’ ඇත්ත වශයෙන්ම ප‍්‍රගතිශීලී පංතියක් විය. අප කළින් කිවූ සංස්කෘතික අංග මෙන්ම මුද්‍රණ ශිල්පය, පුවත් පත්, පාර්ලිමෙන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මැකඩම් පාරවල්, ටෙලිග‍්‍රෑම් හා විදුලි බලය මෙරටට හඳුන්වා දුන්නේ වික‍්‍රමසිංහ බමුණු කුලය යයි හැඳින්වූ ඉංග‍්‍රීසි උගත් නිලධාරි පංතිය මිස සිංහල රජවරුන් නොවේ. අපේ නූතන සිංහල සංස්කෘතිය ඉංග‍්‍රීසින්ගේ කාර්මික විප්ලවයේ ප‍්‍රතිඵලයකි. අවුරුදු 3000 කටත් වැඩිය මේ රට ආසියාවේ වැඩවසම් ක‍්‍රමය අනුව පාලනය කළ සිංහල රජුන් වැඩවසම් නිශ්පාදනය තුළ ස්වභාව ධර්මයා වන්දනාමාන කරනු විනා ස්වභාව ධර්මය සමග මිනිසා කරන අරගලය මිනිස් සමාජයේ වර්ධනය සඳහා යෙදවීමට මෙහෙය නොවූහ. වික‍්‍රමසිංහගේ රචනාව ඔහුගේ ශෛල්‍යයේ නිතර දකින්නට ලැබෙන දුර්වලකමක් වන සාරසංග‍්‍රහ වාදයෙන් අනූන වෙයි. එහෙන් මෙහෙන් කරුණු ඇහිඳගෙන තමාගේ ස්වාධීන අදහස් වෙනුවට අදහස් සංකලනයක් – බොහෝවිට නිගමනයන් නොමැතිව – ඉදිරිපත් කිරීමට වික‍්‍රමසිංහ මෙහෙය වී තිබේ. එයට මූලික හේතුව කුඩා ¥පතක බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටත් වූ සංස්කෘතික වර්ධනයක ඔහු සිරකරුවා වූ නිසා විය හැක.
පුනරුදය


යුරෝපයේ බටහිර දර්ශනය වර්ධනය වීමට විශේෂ හේතු තිබුණේ ය. රෝම ග‍්‍රීක කාලයේ සිට පැවති ප‍්‍රාණවාදී (animism) ඇදහිලි වෙනුවට එක දෙවියකු ඇදහීම ක‍්‍රිස්තුන් වහන්සේගේ පසුව ඇති වීම බටහිර චින්තන ක‍්‍රමයේ එක්තරා වර්ධනයකි. එම වර්ධනය නිසා පාප් වහන්සේ ශුද්ධ රෝම රාජ්‍යයේ ප‍්‍රධානියා වශයෙන් පදවි ප‍්‍රාප්ත වීමෙන් පසුව යුරෝපයේ විශාල භූමි ස්කන්ධයක් කතෝලික පල්ලිය යටතේ විය. මෙයට විරුද්ධව වැඩවසම් ක‍්‍රමය දියවී යාම ඉන්පසුව යුරෝපයේ වූ පුනරුදය, රෙපරමාදුව නැගීම බුද්ධි වර්ධනය සඳහා වූ මූලික කරුණ විය. බටහිර ලෝකයේ මේ සිදුවීම් තාර්කික ඥනය වර්ධනය වීමට හේතු විය. එම වර්ධනය විප්ලවකාරී වීය. ප‍්‍රංශ විප්ලවයට හේතු වූයේ එම වර්ධනය ය. මේවා දේශපාලන වර්ධනයන් ය. වික‍්‍රමසිංහ මෙම වර්ධනයන් දැක ඇත්තේ විඥනවාදියෙකුගේ මනස තුලිනි. ඔහුගේ Revolution and Evolution නම් ග‍්‍රන්ථයේ ඔහු ‘Revolution is an aspect of Evolution’ යි කියයි. (විප්ලවය ද විකාශනයේ අංගයක) මෙය ඇත්ත නොවේ. විප්ලවය යන මිනිස් විඥනයේ පිම්මකි. මේ කරුණු නිසා මාර්ටින් වික‍්‍රමසිංහගේ චින්තනය වර්ධනය වී ඇත්තේ ආත්මීය විඥනවාදියකුගේ චින්තනය වශයෙනි. ඔහුගේ ලෝක දෘෂ්ඨියේ තිබුණ සීමාකම් නිසා 1956 බලය ගත් දේශිය ධනපති පංතියේ නියෝජිතයන් ඔහු දුටුවේ ඉංග‍්‍රීසි උගතුන්ට වඩා උසස් පංතියක් ලෙස ය. ඔහුගේ චින්තන ප‍්‍රවාහය යුතෝපියානු ප‍්‍රවාහයට වැඩියෙන් වර්ධනය නොවී ය. යුතෝපියානුවන් මොකක් හෝ ක‍්‍රමයකින් සමාජය වෙනස් වනු ඇතැයි බලාපොරොත්තු වූ කුලයකි. ප‍්‍රංශයේ ෆූරියර් ගේ අදහස් එබඳු විය. රුසියාවේ නැරොඞ්නික් වරුන් ඇතුළු ආත්මීය සමාජ විද්‍යාඥයන්ද මෙවැනි අදහස් දැරුවෝ ය. යුතෝපියන්වරුන් සමාජ වර්ධනය සඳහා එකිනෙකාට ආවේනික වූ අදහස් දැරුවෝ ය. රුසියානු ගම්බද ජනතාව මැදි කරගෙන ‘වර්ධනයේ න්‍යායන්’ සෑදීම ඔවුන් අතර ජනප‍්‍රිය විය. ගම හදා රට හැදීම ද මෙවැනි යුතෝපියානු මතයකි. ”රටේ පාලනය අතට ගත් ඉංග‍්‍රීසි උගත් බමුණු කුලය කෙරෙහි පොදුජනයා තුළ හටගත් අමනාපය හා කෝපයත් යට බැස කැකෑරෙමින් පැසෙන්නට විය. ඔවුන්ගේ එ් අමනාපයන් කෝපයෙන් පිට කරනු පිණිස බෞද්ධ කොමිෂන් සභාව නිසා ඔවුන්ට අවස්ථාවක් ලැබිණ” එසේම ”සංස්කෘතියක් විසින් සකස් කරනු ලබන ජනකායකගේ ගති සිරිත් නොදැන, නොතකා, එ් ජනකාය පාලනය කරන්නට වෑයම් කරන මන්ත‍්‍රීන්ට පමණක් නොව අත්තනෝමතික පාලකයන්ට වුවද විපතකට මුහුණ පාන්නට වන්නේ ය.”යි වික‍්‍රමසිංහ ඔහුගේ රචනාවේ කියයි. වික‍්‍රමසිංහගේ මෙම යුතෝපියානු අදහස් පශ්චාත් නිදහස් යුගයේ සිංහල අන්තවාදී ප‍්‍රවණතාවයන්ට හේතු විය.
මොන්ටෙස්ක්‍යු


ප‍්‍රංශයේ සිටි සිස්මොන්සි, ගුයිසෝට් මොන්ටෙස්ක්‍යු, සාන්ත සයිමන් වැනි අය නැගී එන ධනවාදය විවේචනය කළහ. නමුත් එම විවේචනවල විද්‍යාත්මක පදනමක් නොමැති නිසා ඔවුන් මනඃකල්පිත යුතෝපියානු සමාජවාදීන් විය. ඔවුන්ට සමගාමීව ජර්මනියේ විඥනවාදී දර්ශනය වර්ධනය වූයේ හෙගල් අතිනි. හෙගල් කීවේ අපෝහකය මුළු ජීවිතයේම පදනම බවයි. ජර්මන් විඥනවාදී චින්තනයේ අග‍්‍ර ඵලය වූයේ හෙගල්ගේ දර්ශනවාදි විධි ක‍්‍රමයයි. එහි විඥනවාදී අංශය නිශේධනය කිරීමෙන් කාර්ල් මාක්ස් අපෝහක විධික‍්‍රමය හා විප්ලවවාදී දේශපාලන න්‍යාය වර්ධනය කළේ ය. ලෙනින් මනුෂ්‍ය සමාජයේ ප‍්‍රථම සමාජවාදී රාජ්‍යය පිහිටුවීමට 1917 දී එය භාවිතයට ගනී. මාක්ස්වාදය බිහිවුනේ ඉංග‍්‍රීසි දේශපාලන න්‍යාය, ප‍්‍රංශ සමාජවාදය සහ ජර්මන් විඥනවාදි දාර්ශනික ධාරාවේ සංකලනයකින් නමුත් යුතෝපියානු සමාජවාදයේ සිට විද්‍යාත්මක සමාජවාදයට පැමිණියේ දීර්ඝ කාලීන න්‍යායික අරගලයකිනි. එන්ගල්ස්ගේ Socialism: Utopian and Scientific ග‍්‍රන්ථය එම න්‍යායික අරගලය පැහැදිලි කරයි.
මහගත්කරු මාක්ස්වාදයේ මෙකී න්‍යායික වර්ධනයයේ ඉතිහාසය හදාරා නැති බව ඔහුගේ විධි ක‍්‍රමයන් හැදෑරීමෙන් වටහාගත හැකි ය. එම නිසා ඔහු මාක්ස් එන්ගල්ස් ලෙනින් වැනි අයගේ උද්ධෘත පාඨ තමන්ගේ ගතානුගතික අදහස් සනාථ කිරීමට මන්තර ලෙස පාවිච්චි කරයි. වික‍්‍රමසිංහගේ සාර සංග‍්‍රහවාදයේ පදනම මෙය වන අතර පසුකාලීන සුළු ධනේශ්වර සිංහල ලේඛකයින් ගනනාවකගේ ශෛ්‍යලියට මෙය බලපා ඇත. සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, නලින්ද සිල්වා නිදසුන් ය. ජාතික චින්තනයට ද මෙම ප‍්‍රවණතාවයන් මුල් විය.
වික‍්‍රමසිංහ ප‍්‍රගතිශීලී බලවේගයක් වශයෙන් සැලකු සඟ වෙද ගුරු පංතීන් ඇත්ත වශයෙන්ම
ප‍්‍රතිගාමී බලවේග වශයෙන් එදා මෙන්ම අදත් ක‍්‍රියාකරන අතර ඔවුන් දාමරිකත්වය ඔවුන්ගේ දාර්ශනය කරගෙන වැජඹෙති. සඟ පරපුර බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීමට මුල්වූ නිසා මෙරට දමිළ ජනතාවට දේශපාලන අන්තගාමයට යාමට සිදු විය. මෙම බලවේගවල අන්තගාමිත්වය කොපමණ මට්ටමකට පැමිණ ඇත්දැයි සලකතහොත් මීට අවුරුදු දෙකකට පමණ ඉහත ලංකාවට පැමිණි ෂාරුක් ඛාන් නළුවාට බෝම්බ ගැසීමට පවා ඔවුන් මෙහෙය විණ. බෝම්බ ගැසූ අයට මේ වනතෙක් දඬුවම් පැමිණවූ බව හෙලවී නැති වීමෙන් මෙම අන්තවාදී බලවේගවල ග‍්‍රහණයේ රාජ්‍යය පැවතෙන බව පෙනී යයි.
සිරිසේන


පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා හෝ ජී. බී. සේනානායක වැනි 20 වැනි ශතවර්ෂයේ අනෙකුත් ලේඛකයන්ට වෙනස්ව මහගත්කරු ඉතිහාසය පිළිබඳ සංකල්ප වර්ධනය කිරීමේ ව්‍යායාමයක් ඔහුගේ ‘බමුණු කුලය බිඳ වැටීම’ රචනාවෙන් විදහා දක්වයි. නමුත් එම ප‍්‍රයත්නය රටේ පවතින බෞද්ධ විඥනයට යට කිරීම නිසා එම ප‍්‍රයත්නය අඩාල වී ඇත.


20 වැනි ශතවර්ෂය තුළ දී ශ‍්‍රී ලංකාව, ඉන්දියාව වැනි ආසියාතික රටවල ඉතිහාසයේ සිදු වූ ශ්‍රේෂ්ඨතම සංසිද්ධිය නම් එම රටවල වෙරළට යුරෝපයේ සිට මාක්ස් වාදය සේන්දු වීම ය. ඓතිහාසිකව බලන කල මෙය ආසියානු චින්තනයේ අවුරුදු 3000 ක පමණ ඉදිරි පිම්මකි. එයට හේතුව වැඩවසම්වාදී ආර්ථික ක‍්‍රමය යටතේ මිථ්‍යා විශ්වාස හා ඇදහිලිවලට භාජනය වෙමින්, එකතැන පල්වෙමින් තිබුණු චින්තන ධාරාවන් ලෝක ඉතිහාසය තුල වර්ධනය වුණු උසස්ම යුරෝපීය චින්තනයෙන් පෝෂණය වීම ය. 1935 දී ලංකාවේ සමසමාජ පක්ෂය පිහිටුවීමෙන් අවුරුදු 3000 ක පමණ සිට ග‍්‍රීක ශිෂ්ටාචාර කාලයේ සිට වර්ධනය වූ චින්තන ධාරාවේ ආභාෂය මෙහි සිටි බුද්ධිමතුන්ට ලැබීමය. මාර්ටින් වික‍්‍රමසිංහ මෙම චින්තන ප‍්‍රවාහයට ආකාර්ශනය වූයේ නැත. එමනිසා ඔහු වර්ධනය කිරීමට උත්සාහ කළ ඉතිහාසය පිළිබඳ න්‍යාය අර්බුදයට ලක් විය. ඔහුගේ ඉතිහාසය පිළිබඳ අවබෝධය සාරසංග‍්‍රහ වාදී ප‍්‍රතිඵලයකි.


කාල් මාක්ස් සහ එ්ංගල්ස් ‘මෙතෙක් පැවති සමාජ ඉතිහාසය පන්ති සටන්වල ඉතිහාසය වේ යැයි පැහැදිලිව ප‍්‍රකාශ කළ ඇත්තේ ඉතිහාසය පිළිබඳව භෞතිකවාදී න්‍යාය අනුවයි.


වික‍්‍රමසිංහගේ ‘බමුණු කුලය බිඳවැටීම’ අතිශයින් ව්‍යාකූල රචනාවක් බවත් – වික‍්‍රමසිංහ එසේ අදහස් කරන්නට නොමැති වූවත් – උග‍්‍ර සිංහල වර්ගවාදයට සහ අවුරුදු 26 ක සිවිල් යුද්ධයකට පාදක වූ බව පැහැදිලි වනු ඇත.
Tell a Friend