අපේ සමරිසි ප්‍රජාවට අද අහිමියි ? 


අද 2019 ඔක්තෝබර් 11 වැනිදා ය. සෑම වසරකම ඔක්තෝබර් 11 වැනිදා සමරිසි ප්‍රජාව සිය ලිංගික අනන්‍යතාවය තම පවුලේ සාමාජිකයින්ට හා සමාජයට විවෘතව ප්‍රකාශ කිරීමේ දිනය ලෙස 1988 වසරේදී නම්  කෙරුණි. National Coming Out Day (NCOD) ලෙස මෙදින හඳුන්වනු ලැබේ.


ඇමරිකා එක්සත් ජනපදයෙන් පැතිරී ගිය ස්ත්‍රීවාදී හා සමරිසි විමුක්තිකාමය යන රැල්ලත් සමග මෙදින National Coming Out Day ලෙස නම්  කෙරුණි. සමලිංගික භීතිකාව නිහඬතාව හා නොදැනුවත් වාතාවරණයක වර්ධනය වන බව පදනම් විශ්වාසය වේ. පවුලේ සාමාජිකයින්ට, මිතුරන්ට සිය ලිංගික අනන්‍යතාව විවෘතව ප්‍රකාශ කර සමලිංගිකයෙකු ලෙස ජීවත්වීම සඳහා වන මූලික ක්‍රියාකාරීත්වය අවධාරණය කිරීමේ වැදගත්කම මේ දිනය ප්‍රකාශයට පත්කිරීමේ අරමුණ විය. 

NCOD දිනය නම් කිරීමට දැවැන්ත දායකත්වයක් දැක්වූවේ රොබට් අයිච්බර්ග් හා ජීන් ලැරී විසිනි. රොබට් එච්.අයි.වී. වලින් පීඩා විඳි අතර ඔහු මෙක්සිකෝවේ සිටි මනෝවෛද්‍යවරයෙකු වූවේය. ඕ ලැරී සමරිසියෙකු වූ අතර ඔහු තමන් නියෝජනය කරන ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටි  දේශපාලඥයෙකු වූවේය.

1988 පසුකර විත් වසර 30 කට අධික කාලයක් ගතවී ගොස් ඇති මොහොතක  ලාංකීය සමාජය තුළ සිටින සමරිසි ප්‍රජාවට සිය ලිංගික අනන්‍යතාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර පවුලේ මෙන්ම සමාජයෙන්ද රැකවරණය ලබාගැනීමට හැකිවී තිබේදැයි යන්න තවමත් අවිනිශ්චිතය.