ආණ්ඩුවේ දුෂ්ට ගමන්මග පරාජය කිරීම සඳහා වහා පෙළ ගැසෙමු!

දේශපාලන මණ්ඩලය | ජනතා විමුක්ති පෙරමුණ


සරත් ෆොන්සේකා මහතා වැරදිකරු කරමින් දෙවන යුධ අධිකරණය මගින් පසුගිය 17වැනිදා ලබා දුන් තීන්දුව ජනාධිපතිවරයා විසින් අනුමත කර ඔහුට මාස 30ක බරපතළ වැඩ ඇතිව සිර දඩුවම් නියම කර තිබේ.


ප්‍රෝඩාකාරී යුධ අධිකරණය මගින් ලබාදුන් තීන්දුවකට අනුමැතිය ලබාදීම මගින් ජනාධිපතිවරයා නැවත වරක් සිදු කර ඇත්තේ, තමන්ගේ පළිගැනීමේ අපේක‍ෂාව රට හමුවේ ප්‍රදර්ශනය කිරීමය. වෛරී දේශපාලනය අත්හළ යුතු බවට ලෝකයට වැදි බණ දෙසන අතරම තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා යමෙකු ක්‍රියාත්මක වන්නේ නම් එය අතිශයින් පිළිකුල් සහගතය.


රටේ නීතියටත් ස්වාභාවික යුක්ති ධර්මයටත් පටහැනි ඊනියා යුධ අධිකරණය ස්ථාපිත කරන ලද්දේම තමන්ගේ දේශපාලන විරුද්ධවාදියාගෙන් පළිගැනීම සඳහා බව රටට රහසක් නොවේ. ඊනියා යුධ අධිකරණය ලවා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තමන්ට අවශ්‍ය තීන්දුව ලබාගෙන තමන්ගේ පළිගැනීමේ දුෂ්ට අරමුණ සඟවාලීමට උත්සාහ ගන්නා අතරම එය රට හමුවේ නීත්‍යානුකූල කරවීමට උත්සාහ කරයි. එහෙත් පෙරළා යුධ අධිකරණයේ ඊනියා තීන්දුව පෞද්ගලිකවම අනුමත කරමින් හා දඩුවම් නියම කරමින් ගන්නා වූ ක්‍රියාමාර්ගය තුළ සියලූ දුෂ්ට අරමුණු සමාජය හමුවේ නිරුවත් වී තිබේ.


තම බලය වෙනුවෙන් සියලූ දූෂිතයන්ට, මැරයින්ට වරප්‍රසාද වරදාන දී තමන් ළඟට ගන්නා රාජපක්ෂ පාලනය කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම නිදහස් කර ගැනීමට වෙහෙස වූ සරත් ෆොන්සේකා මහතාට දූෂණ චෝදනා මත සිර දඩුවම් පැමිණවීම හාස්‍යජනකය. අනෙක් අතට සරත් ෆොන්සේකා මහතා කරන ලද සේවය අගයමින් ඔහු නිදහස් කරන ලෙසට විවිධ ආගමික නායකයින් විසින් ආණ්ඩුවෙන් කරන ලද ඉල්ලීම් කුණු කූඩයට විසි කර දැමෙන්නේද පළිගැනීම අවසාන අරමුණ වී ඇති නිසා බව පැහැදිලිය.


මේ තත්වය තුළ රාජපක්ෂ පාලනයේ දුෂ්ට අරමුණු මත ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අපි සරත් ෆොන්සේකා මහතාට පනවා ඇති අසාධාරණ ද~ුවම වහා අහෝසි කොට ඔහු නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු. එසේම ආණ්ඩුවේ දුෂ්ට ගමන්මග පරාජය කිරීම සඳහා වහා පෙළ ගැසෙන ලෙස යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.


Tell a Friend