The Most/Recent Articles

Showing posts with label Sanatha Balasooriya. Show all posts
Showing posts with label Sanatha Balasooriya. Show all posts

වදකාර අතීත මතකයන් බුල්ඩෝසර් කරමු!

| සනත් බාලසූරිය

අහිංසකයන්ගේ ආරාමය පොළොවට සමතලා කැරුණේ බුල්ඩෝසර් හඬ පමණක් වාතලයට මුසුකරමිනි. එතැන් පටන් ගතවූ මාසය පුරාවටම ඒගැන නැඟ=ණු බලවත් හඬ ක් අසන්නට නොලැබිණි. තැනක දෙකක ඇතිවන්නට ගිය කතිකාවන්ද, බුල්ඩෝසර් හඬ වාතලයේ වියැකී ගියාක් සේම වියැකී ගොසිනි.

එක් අතකට රටතුළ දිනපතා සිදුවන ගත හිවුඩු නංවන සිදුවීම් දාමයේ හැම කේවල සිද්ධියක් ගැනම ප්‍රමාණවත් පරිදි හ~නඟන්නේ කෙසේද යන්න, ඒගැන හ~නඟන්නට ඉතිරිවී සිටින අතලොස්සක් නිදානොගත් මිනිසුන්ට ගැටලූවක් වී ඇතිබව පෙනේ. සිදුවීම් සිදුවෙමින් පවතින්නේ එතරම් වේගයකිනි. අනෙක් අතට සිය වරදකාරී හෘදය සාක්ෂියට වදදෙන බැවින්ම අමතක කර දමන්නට වඩා කැමැති යටගියාවක මතකයන්, මේ අයුරින් හෝ සමතලාවී යාම බහුතරයක් වෙතින් සැනසුම් සුසුමන් පිටවීමට හේතුවී ඇත. තමන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකය සමතලා වීමේ වේදනාව වෙනුවෙන් හඬ නඟන්නට, මෙයින් වසර විසි ගණනකට පෙර නන්නාඳුනන ඝාතකයන් අතින් අනීතිකව අහිමි කරන ලද පණනල වාතලයට මුසුකළ අහිංසකයන්ටද හැකියාවක් නැති බැවින්, අහිංසකයන්ගේ ආරාමය සිහින් කෙඳිරියකින් හෝ තොරව බිම්බත්කැරී තිබේ.

එහෙත් මේ පිළිබඳ අත්හැර දැමුණු කතිකාව ගැන, මාසයකට පසු හෝ සටහන්කළ යුතුම වැදගත් කාරණාවක් දෙකක් ඇතැයි විශ්වාස කරමින් මෙය ලියමි. විශේෂයෙන්ම මෙම ස්මාරකය මෙසේ මකා දමන්නට අවශ්‍යවන්නේ හා ඒගැන ප්‍රමාණවත් විරෝධතාවක් නොව අවධානයක්වත් යොමු නොවන්නේ ඇයිද යන්න අවධානයට ලකවීම වැදගත් වේ.

කවුරුත් දන්නා හඳුනන 'නාඳුනන ඝාතකයන්' අතින් 88 89 භීෂණ සමයේ ඝාතනයට ලක් වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිසුන් පිරිසක් සිහිකරමින් 1999 දී ඉදිවී, පුරා වසර 12ක් ආයු වළඳා බිම්බත්වූ අහිංසකයන්ගේ ආරාමය, එම භීෂණ සමයේ ගෞරවණීය මරණයක් අහිමි කරන ලද හැටපන්දහසකට අධික දකුණු ලක පුරවැසියන් පිළිබඳ සංඛේතයක් විය. '94 ආණ්ඩු පෙරළියට ද මේ ඝාතනය වූවෝ නන්නාඳුනනා මිනීවලවල්වල සිට උරදුන්හ. අදටත් බලයේ සිටින්නේ ඒ අහිංසකයන් මතින් බලයට පැමිණ, මේ ස්මාරකය ගොඩනැඟ+ ආණ්ඩුවමය. එදා මේ තරුණ ජීවිතවලට අත්වූ ඉරණම ජාත්‍යන්තරයට කියන්නට පෙරමුණ ගනිමින්, පැවැති ආණ්ඩුවේ දහසක් බාධාකිරීම් හමුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපතිවරයාය. එහෙත් තමන්ට බලයට එන්නට නිහ~ මිනීවලවල්වල සිට පාරකැපූ අහිංසකයන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකය, ඒ ආණ්ඩුවේම, ඒ දේශපාලකයාගේම පාලනය තුළ සමතලා කැරිණි.

සිදුවීමක් වශයෙන් මෙය දැවැන්ත එකක් නොවෙතත්, සංඛේතමය වශයෙන් එය දැවැන්තය. තමන්ට බලයට ඒමට උදව් කළ මළවුන් වෙනුවෙන් ඉදිවූ ප්‍රධානතම ස්මාරකය වනසන්නට, ඒ මළවුන්ගේ අහිමි කරන ලද ජීවත්වීමේ අයිතිය ගැන ලොවට කියන්නට පෙරමුණගත් දේශපාලකයාටම අවශ්‍යවන්නේ ඇයි? රජයේ හමුදා අතින් ඝාතනය වූ තමන්ගේ දරුවන් සමරන්නට ඉදිවූ ස්මාරකය බිමට සමතලා කරනවිට, දරුවන් අහිමි වූ දකුණ ඒගැන වචනයක් නොකියන්නේ ඇයි? මෙතරම් වෙනසක් වසර දොළහක් තුළ සිදුවීමට තරම් අප සමාජය මත පතිතවූ විපරිවර්තනය කුමක්ද?

පිළිතුර සරලය. ඒ විපරිවර්තනය නම්, සිය අයිතිවාසිකම් ඉල්ලා සටන්කළ උතුරේ ජනයාගේ විමුක්ති අරගලය බුල්ඩෝසර් කරමින් ආණ්ඩුව හා දකුණ ලද යුද ජයග්‍රහණයයි.

88 89 දී ඝාතනය වූයේ ආණ්ඩු බලය ගන්නට හෙවත් රට අල්ලන්නට ගිය දකුණේ සිංහල තරුණයන්ය. 2005 2009 දී ඝාතනය වූයේ තමන්ගේ සාධාරණ අයිතිවාසිකම් නොදෙන්නේ නම් රටෙන් කෑල්ලක් හෝ අල්ලාගන්නට ගිය උතුරේ දෙමළ තරුණයන්ය. දකුණේ සිංහල තරුණයන් ඝාතනයට ලක්වූයේ 'ආණ්ඩුවේ මිනීමරු හමුදා' අතිනි. උතුරේ දෙමළ තරුණයන් ඝාතනය වූයේ 'අපේ රණවිරුවන්' අතිනි. අවාසනාවකට මේ 'ආණ්ඩුවේ මිනීමරු හමුදාත්, අපේ රණවිරුවනුත්' යන සංස්ථාවන් දෙක, එක මත එක අතිපිහිතවී තිබේ. එනම්, එදා අපේ කොල්ලන් මැරූ මිනීමරු හමුදාත්, මෙදා දෙමළ කොල්ලන් මැරූ රණවිරුවනුත් යන සංස්ථා දෙක දෙකක් නොව එකකි.

ඉදින් මේ දැවැන්ත විපරිනාමය තවදුරටත් ආණ්ඩුවක් හෝ ජනතාවක් හැටියට අප දරාගන්නේ කෙසේද? එය අපේ හෘදය සාක්ෂිය පාරවයි. අපේම ඥාති මිත්‍රාදී මලවුන්ගේ ආත්ම පැමිණ අපටම කරදර කරයි. කළ හැක්කේ එකම දෙයකි. එකිනෙකට එදිරිව අප හමුවේ නැඟීසිටින සංඛේතකරණයන්ගෙන් එකක් මකාදැමිය යුතුය. 'රණවිරු' සංඛේතය නම් මේ මොහොතේ කීයටවත්ම මකාදැමිය නොහැකිය. දහසක් ප්‍රශ්න මධ්‍යයේ අප අදටත් ජීවත් කරවන්නේ ඒ සංඛේත මතකයයි. මකාදැමීම සඳහා ඉතිරි වූයේ 'ආණ්ඩුවේ මිනීමරු හමුදා' නම් පැරණි සංඛේතය පමණි.

88 89 භීෂණ සමයේ දකුණේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ලෝකයට කියන්නට ජිනීවා ගිය, අද උතුරේ සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝනයවීම් ලෝකයට කියන්නට උත්සාහ කරන්නන් මත 'රට පාවාදෙන දේශද්‍රෝහීන්' යන ලේබලය අලවමින් දශක එකහමාරකට දෙකකට පෙර තමන් කළ දේශපාලනයම නොපිට පෙරලාගෙන ඒ මත සැතපී සිටින මහින්ද රාජපක්ෂට, ඒ අතීතය නිතර දෙවේලේ මතක් කරවන අහිංසකයන්ගේ ආරාමය වදයකි.

නගරය අවලක්ෂණ කරන්නේයයි කියමින් මේ ස්මාරකය ඩෝසර්කර දමන්නට අණදෙන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඔහුද 88 89 භීෂණ සමයේ දකුණු ලක රාජකාරියේ නියුතුව සිටි හමුදා නිලධාරියෙකි. එනම් එදා නිර්වචනයට අනුව දකුණේ දරුවන් අමු අමුවේ ඝාතනය කළ මිනීමරු කුලීහමුදාවේ නියෝජිතයෙකි. අනෙක් අතට අද 'රණවිරු' වීර පදක්කම ලත් හමුදාව යොදා අයියාගේ පාලනය ශක්තිමත් කිරීමේ වගකීම දරන්නා ඔහුය. ඉතින් ඒ අතීතය ඔහුටද වදයකි.

අහිංසකයන්ගේ ආරාමය දකුණේ සිංහලයන්ට සංඛේතවත් කරමින් සිටියේ, රජයේ හමුදා විසින් නීතියක් යුක්තියක් නැතිව මරාදැමූ සිය දරුවන්ය. එහෙත් එතැනින් දශක එකහමාරක් ගියතැන ඇරැඹුණු උතුර තලාදැමීමේ අවසන් යුද්ධයේදී, දස දහස් ගණනින් දෙමළ වැසියන් මරාදැමූ හමුදාවන් රණවිරුවන් සේ බෝධිපූජාවලින් පිදූ ඔවුන්ටද, අර පැරැණි මතකය සිය හෘදය සාක්ෂියෙහි ඇනුණු පොල් උලකි. ඉදින් අද රණවිරුවන් වී සිටින හමුදාවේ ඒ මිනීමරු ඉතිහාසය පිළිබඳ මතකයේ අවසාන සිහිවටනද පොළොවට සමතලා කිරීම, මේ සිංහල සමාජයටත් කොතරම් සැනසීමක්ද? එදා ඇඹිලිපිටියේ ඝාතනයවූ අහිංසකයන්ගේ ලේ කඳුළු අලෙවි කළ ජාතියේ ආඩම්බරකාර පුවත්පතකින්ම, මෙදා ඒ අහිංසකයන්ගේ ස්මාරකය 'ඌරු ඛෙට්ටක්' බවට නාම කරණය කරන කිංබානට් පත්තර කලාවක් දක්නට ලැබීම, ඛේදයක් වුව විස්මයක් නොවේ.

අහිංසකයන්ගේ ආරාමය අද ජවිපෙවත් ගණන් ගන්නේ නැති බව, එහි නිර්මාතෘ ජගත් වීරසිංහ පවසා තිබිණි. එය නිකම්ම ගණන් නොගැනීමක් නොව, හිතාමතා කරන ගණන් නොගැනීමකි. අහිංසකයන්ගේ ආරාමය ජවිපෙට මතක්කර දෙන්නේ ඔවුන්ගේම එදා හැඳින්වීමට අනුව 'මිනීමරු ආණ්ඩුවේ කුලී හමුදා' විසින් භීෂණ සමයේ තමන්ගේම නායකයා ඇතුළු සාමාජික සාමාජිකාවන්ට අත්කර දුන් කුරිරු ඉරණමය. එහෙත් ඒ මිනීමරු කුලීහමුදාම, තමන්ගේ ශබ්ද කෝෂය තුළ රට රකිනා රණවිරුවන් බවට පෙරලාගන්නට ජවිපෙට ගතවූයේ දශකයකටත් අඩු කාලයකි. දෙමළාගේ විමුක්ති අරගලයට එරෙහිව අප්‍රමාණ වූ ප්‍රචණ්ඩත්වයක් මුදාහරිනු වස් රජයේ හමුදාවන් උත්කර්ෂයට නැංවීමේ කාර්යයේ ලා සිහල උරුමය සමඟ කරේ අතදාගෙන ඉහළම බරක් අදින ලද දේශපාලන සංවිධානය වූයේ ඔවුන්ය. එදා ඔවුන්ගේම සහෝදර සහෝදරියන් අමානුෂික ලෙස ඝාතනය කරන ලද්දේද, එයින් දශකයකට එකහමාරකට පසු ඊටත් වඩා අමානුෂික හා කුරිරු අයුරින් උතුරේ දෙමළ ජාතික අරගලයේ නිරත වූ, නොවූ දෙමළ ජනතාව ඝාතනය කරන ලද්දේද එකම හමුදාවකින් වුවත්, තමන්ගේ උන් ඝාතනය කරන විට මිනීමරු කුලී හමුදා වූ ඒ මිලිටරි යන්ත්‍රයම, උතුරේ ඒ කෘෘරත්වය ඊට වඩා වැඩි ගුණාකාරයකින් මුදාහරින විට 'රට රකිනා රණවිරුවන්' ලෙස නාමකරණය විය.

උතුරේ යුද අපරාධ පිළිබඳ චෝදනා එල්ලවන විට, zඅපේ හමුදාව යුද අපරාධ කිසිත් නොකළ විනීත හමුදාවක්Z බව අද ජවිපෙ කියයි. දැන් මේ කතාව කියන්නේ දශක දෙකකට පෙර මේ කියන හමුදාවේම විනීතකම ස්වකීය අත්දැකීමෙන්, හැටදහසක් ජීවිතවලින් විඳගත් ව්‍යාපාරයකි. අහිංසකයන්ගේ ආරාමය තමන් නිතර යන එන පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ රැඳී හිඳිමින් ජවිපෙට මතක්කර දෙමින් සිටියේ මේ අප්‍රසන්න සත්‍යයයි. ඉදින් ඒ වැලලූණු හැටදහසක මතකය සමතලා කරන්නට අණදුන්නවුන්ගේ සිට, බුල්ඩෝසරය දැක්කූ කම්කරුවා දක්වා සියල්ලන්ට, එළිපිට නැතත් රහසින් හෝ ඔවුන් පින් නොදුන්නා නම් නොවේද පුදුමය?

ශිෂ්‍ය නායකයන්ට පරාල ඇණගැසූ බවට චෝදනා ලද දේශපාලකයෝ, විධිමත් නීතිමය කි්‍රයාදාමයක විනිශ්චයට මුහුණනොදීමේ වරය ලබා ආණ්ඩුවේ නිලතල අරා යෙහෙන් වැජඹෙති. වධකාගාර පවත්වාගෙන ගියබවට චෝදනා ලද දේශපාලන නායකයෝද එසේම නීතිය හමුවේ සිය වරද හෝ නිවරද ඔප්පු කිරීමේ කි්‍රයාදාමයකින් තොරව තවමත් දේශපාලනයේ නියැලෙති. එදා දකුණේ ඝාතන හා අතුරුදහන්කිරීම් ගැන රටට ලෝකයාට කරුණු කී සියල්ලෝද ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සිටිමින්, මේ චෝදනා ලද්දවුන් සමඟ කිසිත් නොවූ පරිද්දෙන් සිය කටයුතුවල නියැලී සිටිති. රාජපක්ෂට අමතරව ඔහුගේ සහායට ජිනීවා ගිය හිටපු වාමාංශික වාසුදේවද, අහිංසකයන්ගේ ආරාමය ඉදිකිරීමේ මූලිකයකු වූ මංගල සමරවීරද, තවත් බොහෝ අයද ඒ අතර වෙති. අහිංසකයන්ගේ ආරාමය සමතලා කිරීම මේ සියල්ලන්ට ද මහත්ම සැනසීමකි.

එදා 'යදමින් බැඳ විළංගු ළා මගේ පුතා රැගෙන යන්Zයි ගී ලියූ සුනිල් ආරියරත්න, මෙදා උතුරේ යුද අපරාධ ගැන චෝදනා හතර වටින් එල්ල වනවිට හා එදා තමන් ගී ලියූ පුතුන් උදෙසා ගොඩනැඟ=ණු ස්මාරකය සමතලාකරන විට, ඒ ගැන වගේ වගක් නැතිව කුසපබා හදාගෙන පෝලිම පන්නවා එය ප්‍රදර්ශනය කරමින් සිටී. 'මගේ පුතා' කීවේ සිංහල පුතාට මිස දෙමළ පුතාට නොවන නිසා, එය එසේ සිදුවූවා වන්නට බැරිනැත. එහෙත් සුනිල් ආරියරත්න යනු දෙමළ සාහිත්‍යය ගැන පර්යේෂණ කෘති රචනා කළ විද්වතකු ලෙස රට හඳුනාගෙන සිටීම ඛේදයක්ද නැතිනම් දෛවයේ සරදමක්දැzයි නොවැටහේ.

දැන් උදාවෙමින් ඇත්තේ සියල්ල යළිත් කණපිට හැරෙන යුගයක පෙරමඟ ලකුණුය. යථා ස්වභාවයෙන් තිබූ දෙයක් කණපිට හැරී, යළිත් කණපිට හැරෙනවා යන්නෙහි අරුත, එය එහි යථා ස්වභාවයට යළිත් පත්වීමය. පරණ මිලට භූමිතෙල් බෝතලයක් ඉල්ලු හලාවත වැල්ලේ ධීවර තරුණයකුට ගිනිබිඳ ඇත්තේද, එදා උත්කර්ෂයට නංවා බෝධිපූජාවලින් සෙත් ශාන්ති කරන ලද රණවිරුවකු අතරැඳි තුවක්කු බටයකි. මීට පෙර රොෂේන් චානකගේ ජීවිතයට වගකීවේද ඒ රණවිරු අවියමය. සිය අණදෙන්නා වෙනුවෙන් තුවක්කුව නම් අජීවී වස්තුවට පණපොවන හමුදා සෙබලාට, උතුර දකුණ කියා හෝ සිංහල, දෙමළ, මුස්ලිම් කියා හෝ භේදයක් නැතිබවට හා ඇත්තේ අණ ලැඛෙන්නේ කුමකටද යන්න පමණක් බවට වූ පාඩම අප අමතක කරමින් සිටින්නේ, නැවතත් ඒ පාඩම ම ඉගෙනීමේ අවස්ථාවට අප සම්මුඛ වෙමින් සිටින බියකරු හෝරාවේදීමය.

දශක දෙක හමාරකට පෙර 'මිනීමරු ගහලයන්' වී පසුව 'රණවිරුවන්' සේ උත්කර්ෂයට නැංවී සිටින රාජ්‍යයේ මර්දන යන්ත්‍රය වූ හමුදාව, හෙට දවසේ අප සමාජය ඉදිරියේ නාමකරණය වනු ඇත්තේ කෙසේද යන්න දැකබලාගැනීම කාලය පිළිබඳ ගැටලූවක් පමණක් වීමට ඉඩඇත. එදාට උතුරේ ඝාතනයට ලක්වූවන්ගේ සොහොන්කොත්ද බුල්ඩෝසර් කැරී, දකුණේ අහිංසකයන්ගේ ආරාමද පොළොවට සමතලාවී තිබීම හේතුවෙන්, කතාන්තරය අලූත් පිටුවකින් පටන් ගැනීමට පුළුවන.

අතීතය යනු අනාගතය පෙර දකින්නට උපයෝගී කරගත හැකි පාඩම් පොතක්ය යන්න අමතක කරන ජන කොට්ඨාසයකට සිදුවන්නේ, අනාගතය පෙර දකින්නට හා යළි පුණරුච්චාරණය වීමට ඉඩඇති ඉතිහාසයේ ඛේදයන් වලක්වා ගන්නට නොව, නැවත නැවතත් අත්දැකීමෙන්ම ඒවායේ බිහිසුණු බව විඳගන්නටය. එහෙත් ඒ සඳහා මිල ගෙවිය යුත්තේ රුපියල් හෝ ඩොලර්වලින් නොව, මනුස්ස ජීවිතවලිනි.





කටුනායක කම්කරු මර්දනයේ බබා පාට්



සනත් බාලසූරිය

විසි එක් වියැති කම්කරු තරුණයකු බිල්ලට ගනිමින් ද, තවත් වසර දෙකක් තනතුරේ රැඳී සිටීමේ සියලූ ශක්‍යතාවන් හා ලැදියාවන් පෙන්වූ මහින්ද බාලසූරියගේ පොලිස්පති ඇඳුම ගලවා ගෙදර යවමින් ද, නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සිය ගණනකගේ ඔලූ පලමින් ද, යෝජිත පෞද්ගලික අංශ සේවක විශ්‍රාම වැටුප් පනත කල්තැබීමට ආණ්ඩුව තීරණය කර තිබේ. 

කැබිනට් මණ්ඩල තීරණයක් වූ පෙන්ෂන් පනත ගෙනඒම, කැබිනට් තීරණයකින් නොව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා තීරණයකින් මෙසේ තාවකාලිකව අකුලා ඇත. මෙය කැබිනට් මණ්ඩලයක් හෝ ආණ්ඩුවක් වෙනුවට ආණ්ඩුවේ සර්වබලධාරී ප්‍රධානියා සිය පක්ෂය නම් ජුන්ටාවට මුවා වී ඒකාධිපති තීන්දු ගැනීමේ ක්‍රමවේදයයි. මේ ගැන ප්‍රශ්න කිරීමෙන් වැඩක් නොවන්නේ කැබිනට් මණ්ඩලයක්, ආණ්ඩුවක් කියා දෙයක් තබා ශ්‍රීලනිපයක් කියා දෙයක්වත් වත්මන් පාලනය තුළ යථාර්ථවාදී ව නොපවතින බැවිනි. එහෙයින් කැබිනට් මණ්ඩලයේ හෝ ශ්‍රීලනිපයේ මතු නොව පාර්ලිමේන්තුවේ තීරණයක් වුව රජගෙදර බිතක්කන දී වෙනස් වීම කාටවත් මහාලොකු ගැටලූවක් නොවන සන්දර්භයක අපි වෙසෙමු.

ඛේදවාචකයක් මධ්‍යයේ වුව ආණ්ඩුව මේ අන්දමින් පසුබැස්සවීමට හැකිවීම නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන් විසින් සාමූහිකව අත්කරගන්නා ලද අතිවිශිෂ්ට ජයග්‍රහණයකි. එසේම විවිධ සාමූහිකයන් සිය අයිතිවාසිකම් උදෙසා කරන පොදු අරගලවලට කලකට පසු එන්නත් කැරුණු ප්‍රබල ජවයකි. එම ජයග්‍රාහීත්වය උද්දාමයෙන් මෙනෙහි කරන අතරම, ඊට පසුපසින් ආ පොලිස්පතිගේ ඉල්ලා අස්වීමේ නාඩගම ඇතුළු ක්‍රියාදාමය ගැනද අවධානයෙන් පසුවීම වැදගත්යයි සිතමි.

මෙම සිදුවීමෙන් පසු පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන්නට සිදුවීම, කිසියම් පොදු අනර්ථකාරී ක්‍රියාවක වගකීම භාරගනිමින් මෙරට දේශපාලන බලවතකුට හෝ දේශපාලන පක්ෂග්‍රාහීත්වය මත රඳාපැවැති බලවත් නිලධාරියකුට හෝ ගෙදර යන්නට සිදුවූ ඉතාම දුර්ලභ අවස්ථාවකි. සැබෑවටම මෙය ලංකා දේශපාලනයේ මෑතකාලීන ආශ්චර්යයකි. අප ජීවත් වන්නේ එකෙක් නොව සනුහරයක්ම මරා දැමුවත්, කී දාහකගේ ඔලූ පැලූවත් රාජපාක්ෂික නම් කිසිදු විපාකයක් නොලබා යහතින් වැජඹීමට හැකි දේශපාලන සංස්කෘතියකය. එසේනම් සිය පක්ෂපාතීත්වය හැකි සෑම අයුරකින්ම පෙන්වීමෙන් හැට විය සපිරෙන තුරුත් පොලිස්පතිකමේ රැඳී සිටීමේ අවශ්‍යම සුදුසුකම සපුරා සිටි පොලිස්පතිවරයාට ගෙදර යන්නට සිදුවන්නේ ඇයි?

කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අරගලයට එරෙහිව මේ මෘග පොලිස් ප්‍රහාරය එල්ල වන්නේ ආණ්ඩුව ඉතාම තීරණාත්මක අවදානමක සිටින අවස්ථාවකය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙනවා පමණක් නොව, අන්තර්ජාතික විශේෂඥයන් කිහිප පොළක් විසින්ම සත්‍යතාව විද්‍යාත්මකව තහවුරු කරන ලද චැනල් ෆෝ වීඩියෝව පිළිබඳ කතාබහ නැවතත් එළියට ඇදී ආණ්ඩුව මහත් අසීරුතාවකට පත්ව සිටී. එවැනි තීරණාත්මක අවස්ථාවක, වෙනත් ජාතිකත්ව අනන්‍යතාවක් සහිත පිරිසකගෙන් සැදි සන්නද්ධ ව්‍යාපාරයකට එරෙහි සටනේ දී පමණක් නොව අගනගරයට නුදුරු නිදහස් වෙළෙඳ කලාප ප්‍රදේශයක නිරායුධ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අරගලයකදී පවා සිවිල් වැසියන් ඝාතනය කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හා එහි ආරක්ෂක හමුදා පසුබට නොවනබව ඔප්පු වීමට මේ සිද්ධිය නිසැක උදාහරණයකි. එබැවින් දේශපාලන නායකත්වය හා සැබෑවටම මේ මර්දනීය කි්‍රයාවලියට අණ දෙනලද බලවතුන් බේරාගැනීම සඳහා පොලිස්පති නොව වෙනත් ඕනෑම අවශේෂ පුද්ගලයකු බිල්ලට දීම හැර ආණුඩුවට කළහැක්කක් නොතිබූ බව පෙනේ.

මේ ඝාතනය හා කම්කරු මර්දනය සිදුවන කාල වකවානුව තවත් අතකින් ආණ්ඩුවට තීරණාත්මකය. ලොව දසතින් යුද අපරාධ චෝදනා නැඟ එද්දීත්, තමන් කළේ මානුෂික මෙහෙයුමකැයි ඛෙරිහන් දෙමින් සිය යුද පූචානම ලෝකයට කීම සඳහා විදෙස් හමුදා ලොක්කන් කැඳවා ත්‍රස්තවාදය පරාජය කිරීමේ සිය මාහැඟි සූත්‍රය එළිදැක්වීමේ සම්මන්ත්‍රණය කොළඹ පැවැත්වෙන්නේද මෙසමයේදීය. ආරාධනා කළ රටවල්වලින් බාගයකවත් නියෝජිතයන් එහි නොආවද, ලෝකයේ බලවත් රටවල් බොහොමයක් එය මඟහැර සිටියද, හමුදා ලොක්කෙක් කියා පෙන්වීමට ඊට සහභාගී වී සිටින්නේ සෙනෙගාලයේ හමුදා නායකයා පමණක් වුවද, ත්‍රස්තවාදය අවසන් කළේත් නිදහස් වෙළෙඳ කලාපයේ සේවක උද්ඝෝෂණ අවසන් කළාවගේදැයි කිසියම් කටකැඩිච්ච විදේශ හමුදා ලොක්කෙක් ඇසුවොත් දෙන්නට පිළිතුරක් නැතිව යන බව ආණ්ඩුව දනී.

ඒ අනුව පොලිස්පතිවරයා මැදිවූයේ ලෙහෙසියෙන් පහසුවෙන් ශ්‍රී ලංකාවේ බලවතකු මැදි නොවන අන්තිම නීච ග්‍රහචාරයකටය. ඔහුට ගෙදර යන්නට සිදුවන්නේ මේ ග්‍රහචාරයේ නීචකම නිසා මිස මෙරට දේශපාලන සංස්කෘතියේ කිසියම් වැදගත් පරිවර්තනයක් නිසා නොවේ.

කටුනායක කෘර කම්කරු මර්දනය පොලිස්පතිවරයාගේ සහ පොලිස් පොඩ්ඩන් කිහිපදෙනකුගේ කරපිටින් යවා ලෝකය හමුවේ ජාමේ බේරාගැනීමට අද ආණ්ඩුව කටයුතු කළත්, යථාර්ථය එය නොවන බව සකල ලංකා වාසීන්ගේ අත්දැකීමයි. ව්‍යවස්ථානුකූල සේනාධිනායකයා වන ජනාධිපතිවරයාගේත්, විශේෂයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභයගේත් අවසරය නැතිව කිසිදු කලබලකාරී අවස්ථාවකට මැදිහත් වන්නට හෝ නොවන්නට පොලීසියට බැරිබව ලොවටම කියාපෑ මෑතකාලීනම සිද්ධියක් නම් කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට රඟදුන් විමල් වීරවංශගේ මාරාන්තික උපවාස නාඩගමය.

එදා එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ආරක්ෂාව සැපයීමට ගියායයි සිතිය හැකි පොලිස් කණ්ඩායමේ ප්‍රධානියකුට විමල් කනේ තබාගෙන සිටි ජංගම දුරකථනය ඔස්සේම ඇමතූ ආරක්ෂක ලේකම්වරයා මොකටද ඔතෙන්ට ගියෙ? ඕන්නැති වැඩක්නෙ කරල තියෙන්නෙයි කියමින් එහි යාම පිළිබඳව තදබල දෝෂාරෝපනයක් කළ රූපරාමු ලොවටම දැකගන්නට හැකිවිය. තමන් එහි පැමිණියේ පොලිස්පතිවරයාග් උපදෙස් පරිදියයි කී පොලිස් නිලධාරියාට කඩාපනිමින්, තමන් වහාම පොලිස්පතිවරයා ගෙදර යවන බවට ගෝරනාඩු කළ ගෝඨාභය, එකදු පොලිස් නිලධාරියකු හෝ එහි නොතබා ඉවත් කරගන්නැයි දුරකතනය ඔස්සේම අණ දුන්නේය. පොලිස්පති අණ ඉක්මවා යාමේ තම නීතියෙන් පිටස්තර බලයත් එය ක්‍රියාවට නැඟීමේ අධිකාරී ස්වරූපයත් ගෝඨාභය එදා දෙස් විදෙස් මාධ්‍ය කැමරා හමුවේ පෙන්වූයේ එලෙසිනි. ඒ ආණ්ඩුවේ බළල් අතක් වූ උද්ඝෝෂණයකට ගෝඨාභය සිය තනතුර හා ජනාධිපති අයියාගේ හයිය පාවිච්චි කරමින් රැකවරණ සැපයූ හැටිය.

ඒ සිදුවීමෙන් අනතුරුව පොලිස්පතිවරයා මත ගෝඨාභය විසින් හෙළන්නට ඇති දෝස්මුරයේ තරම සිතාගැනීමට ඒ අධිකාරී සංවාද ඛන්ඩය හොඳටම ප්‍රමාණවත්ය. ඒ පොලිස්පතිත් මෙදා කටුනායක ප්‍රහාරයේ වගකීම භාරගෙන විශ්‍රාම ගිය මේ පොලිස්පතිත් දෙදෙනකු නොව එකම අයෙකි. එදා පටන් අද දක්වා ඔහු තම නිලය රැකගෙන සිටියේ ආරක්ෂක ලේකම්වරයාට අවශ්‍ය තැනට යාමටත් අනවශ්‍ය තැනට නොයාමටත් කැපවී ක්‍රියාකළ හෙයිනැයි තේරුම්ගැනීමට මේ සිදුවීම ප්‍රමාණවත්ය. එසේනම් කිසිදු දේශපාලන නායකයෙක් උපදෙස් නොදී තිබියදී කටුණායකට පොලීසිය යැව්වේත් උද්ඝෝෂණයේ යෙදුණු කම්කරුවන්ට පන්න පන්නා පහරදී වෙඩිතැබුවේත් පොලිස්පතිගේ හිතුමනාපයට හෝ ඒ ස්ථානයට ගිය අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ වුවමනාවටයයි බබාපාට් දැමීමෙන් ඇති පලක් නැත.

මෙය පොලීසියේ තනි කැමැත්තට එල්ල වූ ප්‍රහාරයක් නොව දේශපාලන වුවමනාව හා මෙහෙයවීම මත සිදුවූවක්යයි කීමට අමුතු තර්ක අවශ්‍ය නැතත්, ප්‍රහාරය දියත් වී ඇති ආකාරය දෙස බලන විට ද එය කරුණු සහිතව පැහැදිළි වෙයි. එය හුදෙක් උද්ඝෝෂණකරුවන්ට පහරදීමක් නොවේ. උද්ඝෝෂණය කළ නොකළ නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සොය සොයාගොස් කරන ලද පහරදීමකි. ගැබිනියෝද, බයිපාස් සැත්කම්වලට ලක්වූවෝද මේ ප්‍රහාරයට ලක්වී ඇත්තාහ. පහරදුන් පොලිස් පිරිස් මැද ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ මැරකණ්ඩායම්ද සිට ඇතැයි වාර්තා වේ. එසේනම් මෙය ඒ සේවක කණ්ඩායමට නැවතත් නොනැගිටින්නට දෙන පණිවිඩයක් සහිත දේශපාලනමය උසිගැන්වීමක් සහිත ප්‍රහාරයකි. අවසානයේ පොලිස් ලොක්කා සහ පොලිස් පොඩ්ඩන් කිහිප දෙනකු බිලිදී සැබෑවටම මීට වගකිවයුතු පාලක රෙජීමය සිය ගැලවීම සොයමින් සිටී ජාත්‍යන්තරය හමුවේ තමන් වැටී සිටින ආගාධයෙන් ගොඩ ඒම සඳහා ගන්නා ලද මේ ක්‍රියාව මඟින්, රාජපක්ෂ රෙජීමය හමුදා සහ පොලීස් සාමාජිකයන් වෙත නිකුත් කරන වැදගත් පණිවුඩයක් තිබේ.

ඒ සාමාජිකයන් රජ පවුලේ අණට කීකරුව කරන කෘරකම් හා පාදඩකම් මෙතෙක් දවස් කළේ ඒ රජ හස්තයෙන්ම තමන් බේරාගන්නා බව විශ්වාස කරමින් නම්, ඒ අන්ධ විශ්වාසයෙන් මිදීමට මේ හොඳම අවස්ථාව බව ඒ පණිවුඩයයි. ඔවුන් ඔබ බේරාගන්නේ ඔවුන්ට ගැටලූවක් නොවන තාක් පමණි. ඔවුන් ගැටලූවට මුහුණ පාන පළමු අවස්ථාවේදීම, ඔවුන්ගේම අණ කි්‍රයාත්මක කළ හමුදා පොලිස් සාමාජිකයන්ට සිදුවන්නේ කිසිම දේශපාලන අණකින් තොරව තමන්ගේ කැමැත්කට කරන ලද සැහැසිකම් ලෙස ඒවාට වන්දි ගෙවීමටය. තමන්ගේ බේරීම උදෙසා අන්ධානුකරණයෙන් සිය අණ ක්‍රියාත්මක කළවුන් දංගෙඩියට යැවීමට පාලකයා කිසිසේත් පසුබට නොවන බව මේ සිදුවීම විසින් මනාව කියාපායි. යුද අපරාධ තොණ්ඩුව අන්තිමට තදවන අවස්ථාවේදී සිදුවන්නට ඉඩඇති දෙය මේ තුළින් පැහැදිළි වනබව තේරුම්ගැනීම නුවනට හුරුය. එහෙත් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරි හෙයින් ඉදිරියේදීවත් මේ ගැන සැලකිලිමත්වීම හමුදා පොලිස් සාමාජිකයන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකර වනු ඇත.

වීරවංශ වැනි ආණ්ඩුවේ හොරණෑකාරයෝ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අරුම පුදුම තර්කයක් ගොඩනගති. ඊට අනුව මේ පොලිස් ප්‍රහාරය ද ආණ්ඩුවට එරෙහි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයේ හා එහි උල්පන්දම්කාරයන්ගේ වැඩකි. කුමන්ත්‍රණ කතාවල හෙළුව හැරෙන්නට මෙයින් හෙළිවන වෙනත් කිසිදු වැදගත් දෙයක් නැත.

සැබෑව නම්, විශ්‍රාම වැටුපක් නමින් මගඩියක් ඉදිරියට දමා, පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් දුක් මහන්සියෙන් උපයාගත් ඊටීඑෆ් ඊපීඑෆ් යන දැවැන්ත අරමුදල්වලට සේම සේවා පාරිතෝෂිකයටද විදින්නට ආණ්ඩුව මාන බැලූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්වීමෙන් බවය. එනම් සැබෑ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය දියත්කළේ ආණ්ඩුවයි. ඒ අරුතින් ගත් කල, තමන් දහදිය මහන්සියෙන් උපයාගත් අරමුදල් ආණ්ඩුව ලවා කොල්ලකෑමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට එරෙහිව සටන් කළේ මේ කම්කරු සහෝදර සහෝදරියන්ය. ඒ අනුව ආණ්ඩුව අද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයේ ඒජන්තයා බවත්, ඊට එරෙහිව සටන් කිරීම මෙරට වැඩකරන ජනතාව ඇතුළු සියලූ පීඩිතයන්ගේ වගකීම බවත් පැහැදිළිව පෙන්නුම් කරන සන්ධිස්ථානය බවට මනුෂ්‍ය ජීවිතයකින් වන්දි ගෙවූ මෙම සටන පත්ව ඇතිබව අප තේරුම්ගත යුතුය.

(එක් අතකට ජැක්සන් එන ඇන්තනී නම් ව්‍යාපාරික ඉතිහාසඥ කලාකරුවා සිය බඩගෝස්තරය උදෙසා රාජපක්ෂවරුන් හා බුදුහාමුදුරුවන් අතර ලේ නෑකමක් සොයාදුන් පසුගිය ඉරිදා පටන් රාජපක්ෂවරුන් සිය සිරුරේ ලේ බොන මදුරුවකුට උකුණකුට හෝ නියපිටින් නොරිදවන තරම් දැහැමි වීමට තීරණයක් ගෙන තිඛෙනවා වන්නටත්, ඒ තීරණය ගැන දැනුවත් නොවූ පොලීසියම පරණ පුරුදු අනුව යමින් සිය කැමැත්තට මේ දේ කළාවන්නටත් බැරි නැත)

 Tell a Friend

ටියුනීසියාවේ උපන් සොඳුරු සිහිනය

සනත් බාලසූරිය

ටියුනීසියාව හා ඊජීප්තුව විසින් අත්හදා බැලූණු, ලිබියාව විසින් රුධිර ගංගාවක් තුළ මේ මොහොතේත් අත්හදාබලමින් සිටින දේශපාලන අරගලයට සමාන්තර අරගලකාරී මාවතක් ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන ගමන්මඟ සකස්වීමට ඇති ඉඩකඩ පිළිබඳ ඇතැමුන් ගේ අවධානය යොමුවී තිඛෙනු පෙනේ. ඇතැම් තැනෙක එය බලාපොරොත්තුවක් හෝ ප්‍රාර්ථනාවක් ලෙසද, තවත් තැනෙක කි්‍රයාමාර්ගයක් ලෙස ක්ෂූද්‍ර තලයේ හෝ යෝජනා කැරෙන්නක් ලෙසද පවතී.

ඉහත රාජ්‍ය තුනේ වැසියන් ඒ අරගලකාරී මාවත කරා යොමු වූ හේතුකාරණා, අපේ පොළොවේ දේශපාලන අත්දැකීම් ඇසුරෙන් සම්පින්ඩනය කරගන්නට උත්සාහ දැරීම මෙහිදී වැදගත් ය.

පවුල්ගස්

රාජ්‍ය පාලනය තුළ පැවැති උග්‍ර පවුල්වාදය හා දීර්ඝ කාලයක් නොවෙනස්ව පැවැති ඒකාධිපතිත්වයට කිට්ටු පාලන ව්‍යූහයන් මෙම රාජ්‍යයන්හි හදිසි ජනතා නැගිටීම්වල එක් සාධකයක් විය.

ශ්‍රී ලංකාවේ දේශපාලනයට පවුල්වාදය යන්න අරුමයක් නොවේ. එහි අර්ථය ඉහත රාජ්‍යයන්හි ජනතා අරගලයන්ට උත්තේජකයක් වූ පවුල්වාදය යන්න ශ්‍රී ලංකාවේ දී නොසලකා හළහැකි ප්‍රපංචයක්ය යන්නද? එය එසේයයි සාධනය කිරීමට යමකු කැමැති වුවත්, එය එසේ නොවේයයි තර්ක කිරීමටද වර්තමාන පවුල් බලසාධකය තුළ සාධාරණ ඉඩකඩක් පවතී.

2005 දක්වා ශ්‍රී ලාංකේය දේශපාලනය ගිලගත් පවුල්වාදයට වඩා වෙනස් හැඩතලයක් හා සංවිධිත ව්‍යූහයක්, 2005න් පසු පාලක පවුල්වාදය තුළ දැකගත හැකිය. කේවල අවස්ථාවක දෙකකදී හැර ඒ දක්වා දේශපාලන බලඅධිකාරයේ මුල්පුටුව පවුල්වාදයට නතුවීම, ඒ මොහොතේ ඊට අනුගතව පැවැති දේශපාලන ප්‍රවාහයන් තුළ අතිවිශාල ප්‍රතිරෝධයක් නොමැතිව, එහි කිසියම් අනුමැතියක් සහිතව ඉදිරියට තල්ලූ වූවකි.

එහෙත් වර්තමානය ඉන් වෙනස්ය. 2005 දී රාජපක්ෂවරුන්ට දේශපාලන බලාධිකාරයේ මුල්පුටුව පුදන විට එසේ පිදූවන් තුළ පවා තවත් පවුල්ගහක් රෝපණය වීමේ මූලබීජය එතැනින් හටගන්නේය යන්න, එයින් කෙටි කලක් ඇවෑමෙන් දැනෙන්නට ගත් තරම් භීතියකින් හා අසහනයකින් දැනුණේ නැත. ශ්‍රීලනිපය තුළ පවා ඊළඟ පක්ෂ බලධූරාවලියේ සිටියවුන්ට අනාගත ඉඩකඩක් නිර්මාණය වන්නේය යන හැඟීම මුළුමනින්ම නැතිවී නොතිබිණි.

එහෙත් රාජපක්ෂ ආගමනයත් සමඟ ශ්‍රී ලංකාවේ පවුල් බලව්‍යූහයට එතෙක් නොවූ විරූ ඒකාධිකාරී දෘඪභාවයක් හා උග්‍ර දරදඬු ස්වභාවයක් ආරූඪ වී තිබේ. ජනාධිපති ධූරය දරන්නා පසෙකින් තැබුවත්, රටේ මුළුමහත් මිලිටරි කි්‍රයාදාමයම හැසිරවෙන්නේ පවුලේ හස්තයක් යටතේය. ඊට ඇඟිල්ලක් හෝ ගැසීමට පිටස්තරයකුට හැකියාවක් නැත. මුළුමහත් ආර්ථීකයේ සුක්කානම ඇත්තේ පවුලේ හස්තයකට යටත්වය. උතුරු වසන්තයේ සිට විදෙස් ආයෝජකයන් පැමිණීම දක්වා "සංවර්ධනයන්ට" පමණක් නොව, කිසිදු මහාපරිමාණ ආර්ථීක කටයුත්තකට ඒ හස්තයෙන් මිදුණු ස්වායත්ත පැවැත්මක් නොමැත. ව්‍යවස්ථාදායකය තුළ බලගතුම පුටුවද පවුල් හස්තයේ අණසක යටතේ පවතින්නේ ව්‍යවස්ථාදායකය තුළ මේ පවුල් බලඅධිකාරයේ නිරුපද්‍රිතබව වෙනුවෙනි.

ඊට අමතරව 2005 මේ පවුල්ගසේ බීජය පැලවෙන අවස්ථාවේ කිසිවකුත් වැඩි සැලකිල්ලට නොගත් අනාගත ඔටුන්න හිමි කුමාරයා ද කරලියට වඩම්මා සිටී. මේ ඔටුන්න හිමි කුමාරයාට වෙට්ටුවක් දමා ඔහු ඉස්සරකර යාමේ සිහිනයක් මෙයින් වසරකට ඉහතදීත් කාට හෝ තිබිණිනම්, 18වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඒ සිහිනය ද බිඳවැටී හමාරය. දැන් මෙය නොපෙනෙන අනාගතයකට අතු විහිදෙන පවුල්ගසක ලක්ෂණ පෙන්වයි.

දිගුකාලීන බලය

ඉහත අරගලයන් සිදුවූ රාජ්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව වෙනස්වන තැනක් වන්නේ, දීර්ඝ කාලීනව නොවෙනස් වූ පාලනයක් පැවැතීම යන්නෙනි. රාජපක්ෂ පාලනය පමණක් තනිකොට ගත්කළ එහි දැනට වයස වසර හයකි. අනාගත කාලය ද එකතු කළ විට එය 2016 දී වසර එකොලහක් සපුරනු ඇත. එහෙත් Z94 සිට මේ දක්වා වසර 17ක කාලයක් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයන් විසින් රට පාලනය කර ඇත. ඊට පෙර එජාප සමයද වසර 17කි. අනෙක් අතට මේ දීර්ඝ කාලය වුව ප්‍රමාණවත් නොවෙතැයි යමකු සිතන්නේ නම්, 18වැනි සංශෝධනයෙන් පසුව ඈෙඳන අනාගතයද මෙයට එකතු කරගත් විට කැමැති කාලයකට මේ කතාව දික්ගස්සාගත හැකිය.

මැතිවරණ ක්‍රමයේ ගරාවැටීම

මේ ඇතැම් රටවලද මැතිවරණ පැවැත්විණි. නිදසුනකට 2009 ඔක්තෝබරයේ පැවැති ජනාධිපතිවරණයෙන් ටියුනීසියානු ජනාධිපති ඛෙන් අලී පස්වැනි වරටත් ජනාධිපති ධූරයට පත්වන්නේ 90%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයකිනි. ශ්‍රී ලංකාවේ පාලක රෙජීමයද 2005න් පසුව ගත්තත් එක පිට එක මැතිවරණ ජයග්‍රහණ ලබමින් සිය දැවැන්ත ජනප්‍රියත්වය පෙන්වමින් සිටී. එහෙත් සැබෑවටම සාමාන්‍ය මිනිසුන් තුළ කෙසේවෙතත් සිහිබුද්ධියෙන් දේශපාලනයේ නියැලෙන්නන් තුළ හෝ මේ මැතිවරණ ක්‍රමය තුළ සැබෑ ජනමතයක් පිළිබඹු වන්නේයයි විශ්වාසයක් පවතීද? ටෙලියකින් විසිවුණු පබා එජාපයේ නියෝජ්‍ය නායකයාවත් යටකරගෙන පාර්ලිමේන්තු පැමිණි ගමන අද වනවිට ගොස් ඇති දුර දෙස බැලීමෙන් හා පොලිස් පැමිණිලි පොතෙන් සේදී ගියද, ඇය ආණ්ඩුවට සහයෝගය දීමට ගත් තීරණය පසුපස වූ සැබෑ ගනුදෙනුමය හේතුගැන සැලකුව ද, මැතිවරණ කි්‍රයාදාමයේ ඇති විසුළුකාරී කෘත්‍රිම හා සැබෑ ජනමතය වෙනුවට එහි විකෘතියක් පොලාපැනීමේ තත්ත්වය තේරුම් ගතහැකිය. මේ විකෘති කි්‍රයාදාමයට "කොම්පියුටර් ජිල්මාට්" නම් අලූත් වචනයද එක්වී ඇත. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට මැතිවරණ කි්‍රයාදාමය ඔස්සේ රාජ්‍ය බලය වෙනස් කිරීම වෙන කවරදාටත් වඩා දුෂ්කර වීම අනිවාර්ය ය.


ආර්ථීකයේ ඵලවල අසමාන ඛෙදීයාම

ආර්ථීකයේ පල සාධාරණව ඛෙදී නොයාම, රටේ ධනය සුළු පිරිසක් අත , විශේෂයෙන් පාලක රෙජීමයේ ඥාතීන් හා හිතෛෂීන් අත සංකේන්ද්‍රණය වීම හා බහුතරය දුගී භාවයේ ගැලී සිටීම ද මෙම අරගලයන්ගේ පසුබිම නිර්මාණය කළේය. ශ්‍රී ලංකාවටද මේ තත්ත්වයේ කිසියම් පොදුබවක් ඇත. ශී්‍ර ලංකා මහබැංකුවට අනුව පසුගිය වසරේ මෙරට දළ දේශීය නිශ්පාදිතය අත්කරගත් වර්ධනය 8%කි. එහතේ රටේ බස්නාහිර පළාත දිගින් දිගටම දළ ජාතික නිශ්පාදිතය මත වැඩි බලයක් පතුරුවන බවද එම මහබැංකුවම පවසයි. ඊට අනුව රටේ දළ ජාතික නිශ්පාදිතයෙන් 45.5%කට හිමිකම් කියන්නේ බස්නාහිර පළාතයි. බස්නාහිර පළාතේ ඒක පුද්ගල ආදායම වන ඇමරිකානු ඩොලර් 3210 රටේ සමස්ත ඒක පුද්ගල ආදායම වූ ඩොලර් 2014 මෙන් 1.6 ගුණයකි රටේ ඉතිරි සියලූ පළාත් සිටින්නේ සමස්ත ඒක පුද්ගල ආදායමට පහළිණි. ඒ මහබැංකුවටම අනුව රටේ මුළු ජනගහනයෙන් 41.6%කගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් 2ට අඩුය. ඉහත රාජ්‍යයන් හා සන්සන්දනය කිරීමට නොගියත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියාගේ ආර්ථීක තත්ත්වයේ පවත්නා ඛේදය මේ සංඛ්‍යාලේඛනවලින් හෙළිවෙයි.

අධිකරණයේ විශ්වසනීයත්වය

සියලූ පුරවැසියන් විෂයයෙහි යුක්තිය හා සාධාරණය එක සමානව ඉටු නොවීමද මේ රාජ්‍යයන්හි ජනයා අරගලකාරී මාවතට තල්ලූ කිරීමට හේතුවූ බව පෙනේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුද? පුරවැසියාගේ සාමකාමී ජනජීවිතය වෙනුවෙන් වගකීමෙන් බැඳීසිටින, සියලූ අපරාධ නඩු සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකිරීමේ කටයුත්ත භාරව සිටින නීතිපතිවරයා එසේ චෝදනාවන්ට ලක්ව නීතිමය කි්‍රයාමාර්ගයක් හමුවට පමුණුවන ලද්දන්ගේ පවා දේශපාලන පාර්ශවීයත්වය සලකා ඔවුන්ට එරෙහි චෝදනා ඉවත්කරගනී. මිනීමැරුම් චෝදනා ලබාසිටි රාජපක්ෂ පාක්ෂික චන්දන කර්ත්‍රිආරච්චි හිටපු මන්ත්‍රීවරයා සේම, සමෘද්ධි මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබසිටි 18වැනි සංශෝධනයට අත එසවීම සඳහා පිල් මාරුකළ අබ්දුල් කාදර් වත්මන් මන්ත්‍රීවරයා ද ඔවුන්ට එරෙහි චෝදනාවලින් නීතිපතිවරයා විසින් මුදවා හරිනු ලබන්නේ හුදෙක්ම ඔවුන්ගේ දේශපාලන හිතෛෂීවන්ත භාවයන් නිසාවෙනි. මිනීමැරුම් චෝදනා ඔප්පුවීමෙන් ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගතකැරුණු දේශපාලන සබඳතා ඇත්තෝ ජනාධිපති සමාවෙන් නිදහස්වී ගෙදර යති. යුක්තිය හා සාධාරණය ඉටු වූ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු නොවන සරත් ෆොන්සේකාට එරෙහි නීතිමය කි්‍රයාවලිය තනිකරම දේශපාලන පළිගැනීමක ස්වභාවයක් ගනී. රාජ්‍ය පාක්ෂිකයකු වීම වරදක් කොට ද~ුවම් නොලබා සිටීමට හෝ සමාවක් ලැබීමට හේතුවනවා සේම රාජ්‍ය පාක්ෂිකවීම ප්‍රතික්ෂේප කිරීම වරදක් ඇතිව හෝ නැතිව දඬුවම් ලැබීමට හේතුවන්නක්ය යන්න මේ ඔස්සේ සමාජය මත තහවුරුවන ඇඟවුම්කාරකයන්ය. පොලීසිය මුළුමනින්ම දේශපාලන හිතෛෂීකම පළමු තැන තබාගෙන ජනයා පෙළමින් කටයුතු කරන බවට උදාහරණ දීම අනවශ්‍යය.

විරුද්ධවාදීන් මර්දනය

විරුද්ධවාදීන්ට එරෙහි දරුණු මර්දනයද ඉහත රාජ්‍යවල ප්‍රකට ලක්ෂණයක් විය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සමීප හිතවතකු බව පෙනෙන ලිබියානු නායක ගඩාෆි මේ මොහොතේත් තමන්ට එරෙහිව නැඟීසිටින පුරවැසියන්ට ගුවනින් පවා පහරදෙයි. ශ්‍රී ලංකාවේ අපට මේ ගැන අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැත. කොටින්ම නිදහස් දිනයේදී සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට හෝ විරුද්ධ දේශපාලන මත දරන්නන්ට නිදහසක් නැත.

කරුණු සියල්ල මෙසේ වෙතත්, අප ටියුනීසියාව ඊජීප්තුව හෝ ලිබියාව දෙස බලාගෙන කොතරම් කෙල හැලූවත්, පවත්නා පාලනයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ ජනයා එවැනි අරගලකාරී මාවතකට අවතීර්ණවනු තබා සිය ඡන්දය හෝ ඊට එරෙහිව පාවිච්චි නොකරන තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ඇයි? (තව දින කිහිපයකින් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදීද මෙය යළිත් වතාවක් සනාථ වනු ඇත)

පාලක සූත්‍රය හා මන්තරය

මේ ගැටලූව තේරුම්ගත හැක්කේ මෙම පාලනය සිය පාලිතයන් පාලනය කරන සූත්‍රය හරියට අල්ලාගැනීමෙනි සැබෑ ගැටලූව වන්නේ ඒ සූත්‍රය විරුද්ධ දේශපාලන කි්‍රයාකාරිකයින් කිසිවකුත් නොදැන සිටීම නොවේ. ඉන් පිරිසක් එය තමන්ගේ ද සූත්‍රය සේ වන්දනාමාන කිරීම යි. අනෙක් පිරිස එය දන්නා බව ඇඟවීමට එළිපිට කීමට හා ඊට ප්‍රසිද්ධියේ අභියෝග කිරීමට සූදානම් නොවීමයි.

ඉතාම කෙටියෙන් හඳුන්වන්නේ නම් මෙම ආධිපත්‍යධාරී මතවාදී සූත්‍රය වූකලී සිංහල අධිපතිවාදී ජාතිවාදය යි. සිංහල අධිපතිවාදී රාජ්‍යයට සන්නද්ධව අභියෝග කළ දෙමළා වනසාදැමීම සඳහා ශක්තිමත් කරන ලද සිංහල ජාතිවාදයයි "ඒකීය රට, භෞමික අඛණ්ඩතාව, රණවිරුවන්, සිංහල බෞද්ධයා, ස්වෛරීත්වය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා දෙමළ ඩයස්පෝරාව......"මේ සූත්‍රය ජනතාව වෙත ගෙනයවන මහාබලගතු මන්තරය සැදුම් ලබන වචන සෙට් එකෙන් කොටසකි. 2006 වසරේ යුද්ධය පටන්ගත් තැන් පටන් මේ දක්වා පාලකයන් සිය රාජ්‍යයේ පුරවැසියන් වශයෙන් සලකන සිංහල බහුතරය වශීකරගැනීමට ඔවුන් මත ආධිපත්‍යය පතුරුවමින් ඒ ආධිපත්‍යය සාධාරණීකරණය කිරීමට උසුරුවන මන්තරය මෙය යි. මේ ඉතාම සරල සූත්‍රය තුළ පුරවැසියා කොටස් දෙකකට ඛෙදා තිබේ. මේ සූත්‍රයට එකඟවන මේ මන්තරයෙන් දැපනෙවැටෙන එකා දේශප්‍රේමියා වේ. සූත්‍රය ප්‍රශ්නකරන, මන්තරයෙන් මෙල්ල නොවන එකා දේශද්‍රෝහියාය. පාලකයාගේ මේ පාලනය කිරීමේ සූත්‍රයට හා එහි ප්‍රකාශමානය වන මන්තරයට අභියෝග නොකර, ඊට එරෙහිව කෙලින් සිටගන්නේ නැතිව ශ්‍රී ලංකා පොළොව මත මේ මොහොතේ කිසිදු වෙනස්කමක් කිරීමේ හැකියාවක් නැත.

පසුගියදා හදිසි නීති යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැති දිමු ජයරත්න කියාසිටියේ උතුරේ සන්නද්ධ කි්‍රයාවල නිරතවීමේ අරමුණින් දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් දකුණු ඉන්දියාවේ සන්නද්ධ පුහුණු කඳවුරු පවත්වන බවය. එහි අරුත නම් සිංහලයා මුහුණදෙන අභියෝගය යුද්ධය නිමාවුවද අවසන් නැති බවය. එය තවත් බිල්ලකු මැවීමකි. මෙයින් යළිත් තහවුරු වන්නේ සිංහල සමාජය ත්‍රස්ත නොකර, ඔවුන් බියගන්වන්නේ නැතිව, ඒ බියට එරෙහි වීර වික්‍රමාන්විත කි්‍රයාවන් උත්කර්ෂයට නංවන්නේ නැතිව, තව තවත් වික්‍රමයන් ගැන ප්‍රතිඥා දෙන්නේ නැතිව මේ පාලනයට පැවැත්මක් නැතිබවය.


මන්තරයට වශීවීම

පාලක රෙජීමයට අභියෝග කිරීම හා ඊට එරෙහිව සිටගැනීම වෙනුවට අප අත්දකිමින් සිටින්නේ කුමක්ද? ඒ අධිපතිවාදී සූත්‍රය විසින් උගුලකට හසුකරගන්නා ලද ඒ මන්තරය විසින් මෙල්ලකරන ලද, ඊටම අනුගත වී කි්‍රයාකරන විපාක්ෂික දේශපාලන කි්‍රයාකාරීන් පිරිසකි. මෙහි ප්‍රකාශමාන චරිතයක් ලෙස එජාපයේ ඊළඟ නායකත්වය අපේක්ෂා කරන සජිත් ප්‍රේමදාස හඳුන්වා දිය හැකිය. ඔහුගේ දේශපාලන වාග්කෝෂය නිර්මාණය වී ඇත්තේ තනිකරම මේ රාජපක්ෂ පාලනයේ සූත්‍රයෙනි. ඔහුට අනුව ද රටේ ජාතිකත්ව අර්බුදයක් නැත. දෙමළා මේසා දීර්ඝ යුද්ධයකට මුලපිරූ මහපොළොවේ හේතුකාරණා නැත. තිබී ඇත්තේ හුදු ත්‍රස්තවාදී ප්‍රශ්නයකි. දැන් එයට අවශ්‍ය බේත දී හමාරය. ලෙඩේට ඛෙහෙත දී හමාරනම්, ඒ ඛෙහෙත දුන් වෙදාටම ඉතිරි ටිකත් කරගෙන යන්නට දුන්නාම කතාව ඉවර ය. එසේනම් අමුතුවෙන් දේශපාලන වෙනසක් හෝ සජිත් ප්‍රේමදාස කෙනෙක් අවශ්‍ය නැත. මේ අධිපතිවාදී සූත්‍රයට රිංගන්නා ඒ සූත්‍රය තුළම නන්නත්තාර වන්නේ එපරිද්දෙනි.

එජාප මහලේකම් මෙයින් මාස කිහිපයකට පෙර බීබීසී සන්දේශයට කියා සිටියේ මේ මොහොතේ උතුරේ සටනක් නොපවතින බැවින් උතුරට දේශපාලන විසඳුමක් දීමේ අවශ්‍යතාවක් දැන් නැති බවයි. තම පක්ෂය එදා එවැන්නක් ගැන කතාකළේ උතුරේ සටන්කාමී කණ්ඩායම් විසින් සටනක් ගෙන ගිය නිසා බවයි. ඊට අනුව දෙමළාට කිසිවක් ලැබීමට නම් ඔහු එය ආයුධයක් රැගෙනවිත් ම ඉල්ලා සිටිය යුතුය.

ජවිපෙ ද අද මේ රාජ්‍ය පාලිත සූත්‍රයේම අසරණ සිරකරුවෙකි. එදා දෙමළාගේ හිස මතට බෝම්බ දැමීමට අවශ්‍ය ආශීර්වාදය පමණක් නොව මතවාදී හයියද සැපයූ ඔවුහු අද තමන්ගේම ආශිර්වාදයෙන් කළ යුද්ධයෙන් විනාශවූවන්ගේ හා අත්අඩංගුවට පත්වූවන්ගේ නම් ලැයිස්තු ඉල්ලාගෙන යයි.

පාලක රෙජීමයේ මේ පාලන සූත්‍රයට අභියෝග කරමින් දේශපාලන වෙනසක් සඳහා සටන් කරනු වෙනුවට අද සිදුවන්නේ එම සූත්‍රයට ම වක්‍රව උදව් කරමින් ආර්ථීක කාරණා මත පමණක් ම පදනම්ව ඒ වෙනස කළහැකිවෙතැයි සිතීම යි. ඒ උපාය මාර්ගය විසින් නැවතත් උතුර හා නැගෙනහිර සමස්ත සටනින් තව තවත් ආන්තික කරනු ඇත. අනෙක් පැත්තෙන් මේ මොහොතේ රට පෙළන කේන්ද්‍රීය ප්‍රශ්නය විතැන්කර සිදුකරන කිසිදු දේශපාලන වෙනසක් රටට දීර්ඝකාලීන සංහිඳියාවක් ගෙන එන්නේ නැත. ටියුනීසියාවේ හා ඊජීප්තුවේ ජනඅරගල එහි ක්ෂණික අභිමතාර්තය ඉටුකරගත් බව සැබෑවකි. එහෙත් එහි අනාගත ගමන්මඟ ඒ අරගලයන්ගේ සැබෑ දීර්ඝකාලීන ජයග්‍රහණයන් වෙතට වැටෙනු ඇතිද නැතිනම් ඒ ජයග්‍රහණ වෙනත් ප්‍රජා පීඩක අවකාශයක සිරගතවනු ඇතිදැ යි අප අදටත් නොදන්නාක් මෙනි.

රටේ කේන්ද්‍රීය ගැටලූව වන දෙමළ ජාතිකයන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබාදෙමින් දේශපාලන ක්‍රමයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් ඇතිකිරීම පසෙක ලා යන ගමනක් ශ්‍රී ලංකාවට සාමය හා සංහිඳියාව ගෙනඑනු ඇතැයි විශ්වාස කළ නොහැක.

Tell a Friend

ඊ නිවුස්, උපත් පාලන උපකරණ සහ භූතයා


සනත් බාලසූරිය


අවසානයේ භූතයා පොලීසියට හසුවිය. පරිගණක දැවුණු තැන ගින්නෙන් නොදැවුණු "කාන්තා යටඇඳුම්" ගැන "දිනමිණේත්" දැන් වැඩි කතාබහක් නැත. දොර කඩා ඇතුළුවී ගිනිතබා ඇති, දොර ජනෙල්වලට ගින්නෙන් හානිවී නැති ඊ නිවුස් කාර්යාලයට, එහි දොර ජනෙල්වලට පිටතින් පෙට්‍රල් ඉස ගිනිතැබුවේය යි පාපෝච්චාරණය කළබව කියන සුසන්ත නොහොත් "සුසා" තාම රිමාන්ඩ් ය. ඊ නිවුස් කාර්යාලය තියෙන තැනක්වත් දන්නේ නැතැයි පසුගිය 15වැනිදා සිය නීතීඥවරිය මාර්ගයෙන් උසාවියට දැනුම්දුන් ජයලත් නොහොත් "භූතයා"ත් රිමාන්ඩ් ය.

මේ ජනමාධ්‍ය මර්දනයේ අලූත්ම සිදුවීමට අදාළව දැන් රඟදැක්වෙන නාඩගමේ ත්‍රාසජනකද, ශෝකජනකද, නැතිනම් හාස්‍ය ජනකදැ යි තාම කිවනොහැකි ජවනිකා කිහිපයකි.

පොලීසිය ලහි ලහියේ වැඩ

ලංකා ඊ නිවුස් කාර්යාලයට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කි්‍රයාත්මකවී සිටින බවක් බැලු බැල්මට පෙනේ. පසුගිය කාලයේ මාධ්‍ය ආයතනවලට පහරදීම් හා ගිනිතැබීම් කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් මහමඟ මරාදැමීම්, පැහැරගෙන ගොස් අතපය කඩාදැමීම් හෝ අතුරුදහන් කරවීම් ගැනවත් කිසිදු වැදගැම්මකට ඇති පරීක්ෂණයක් සිදුකරන බවක්වත් පෙන්නන්නට උනන්දු නොවූ පොලීසිය මේ අවස්ථාවේ හෝ අනලස් ව වැඩට බැස තිබීම ගැන කවුරුත් සතුටු විය යුතු ය.

එහෙත් එසේ සතුටු වීමෙන් අප වලකාලන බරපතල කාරණා ගණනාවක් මේ පොලිස් පරීක්ෂණවල දක්නට ලැබේ. යුක්තිය ඉටුවීම පමණට ම යුක්තිය ඉටු වූ බව පැහැදිළිව පෙනීයාම ද නීතිමය කි්‍රයාවලික සුජාතභාවය සම්බන්ධයෙන් වැදගත්ය යි කියමනක් ඇත. ඊ නිවුස් සම්බන්ධයෙන් සිදුකරන පොලිස් පරීක්ෂණවලින් මේ දෙවැනි කරුණ, එනම් යුක්තිය ඉටුවන බව පෙනීයාමේ අවශ්‍යතාව හුදෙක් විහිළුවක් බවට පත්කර ඇති තත්ත්වය ඇත්තේ බරපතල අවධානයට ලක්විය යුතු අඩියක ය.

යකඩින් තැනූ කාන්තා යටඇඳුම්

ගිනිතැබීම සිදුවූදාට පසුදා ආණ්ඩුවේ zදිනමිණZ කියාතිබුණේ වහලයේ සවිකර තිබූ විදුලි පංකා පවා උණු කරමින් නැඟ=ණු ගින්නෙනුත් විනාශ නොවූ කාන්තා යටඇඳුම්, නිල් චිත්‍රපට හා උපත් පාලන උපකරණ තොගයක් ගැන ය. මෙය "දිනමිණ" ඇතුළු රාජ්‍ය මාධ්‍යවල උපන්ගෙයි රෝගයක් ය කියා බැහැර කිරීමට යමෙකුට හැකිවෙතත් ඊට පසුදින "දිවයින" පුවත්පත පළකළ පුවතේ පටන් දිනමිණ හා දිවයින ඒ ගැන තරගයට රටට කීදෑ එසේම බැහැරකළ හැකිද යන්න ගැටලූවකි.

මාධ්‍ය වාර්තාවන්ට අනුව මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු පුද්ගලයා වන වැල්ලම්පිටියේ පදිංචි සුසන්ත නොහොත් "සුසා" නැමැත්තා අත්අඩංගුවට ගත් ස්ථානය හා එසේ අත්අඩංගුවට ගත්තේ කවුද යන්න පවා ගැටලූවකි. එබැවින් පොලීසිය විසින් ම පළමුව විසඳාගත යුත්තේ "සුසා" අත්අඩංගුවට ගත්තේ කවුරුන් විසින් කොතැනදී ද යන්න ය. එය හරිහැටි විසඳාගත නොහැකි නම් එතැනින් එපිටට පොලිස් පරීක්ෂණවල විශ්වාසනීයත්වය රැකෙන්නට විදියක් නැත.

මීළඟට "සුසා"ගේ "පාපෝච්චාරණය" මත අත්අඩංගුවට ගත් "භූතයා" නැමැත්තා ගැන සේම ඔහු හා සම්බන්ධව නම ඈෙඳන නිහාල් නැමැත්තා ගැන මාධ්‍ය වාර්තාවල ද මේ පරස්පරය ම එයි. පෙබරවාරි 12 "දිනමිණ"ට අනුව නිහාල් නැමැත්තා අත්අඩංගුවට ගෙන නැත. එදින ම දිවයිනට අනුව ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත.

පෙට්‍රල් ඉස ගිනිතැබුවත් ගිනි නොගත් දොර ජනෙල්

සුසන්ත නැමැත්තා පොලීසියට කරන ලද පාපෝච්චාරණය ද ගැටලූ සහගත ය. ඊට අනුව ඊ නිවුස් කාර්යාලයේ දොර ජනෙල්වලට පෙට්‍රල් ඉස ගිනිතබා ඇත. එහෙත් මේ පාපෝච්චාරණය දොර ජනෙල්වලට හානියක් නොවූ, දොර කඩාගෙන ගොස් ආයතනයට ඇතුළු වී සිදුකර ඇති ගිනිතැබීමේ සිද්ධිය හා සැසෙඳන්නේ නැත.

මේ පරස්පරතාවන් ගැන අපේ අවධානය මෙතරම් බඳවන්නේ, දිවයින සහ දිනමිණ පුවත්පත් දෙකම මෙම ගිනිතැබීම සම්බන්ධයෙන් පොලීසිය උපුටා දක්වමින් දෙන්නට හදන අර්ථකතනය යි. ඊට අනුව මෙය ඊ නිවුස් හිමිකරුවන් විසින් ම කොන්ත්‍රාත් දී සිදුකරගන්නා ලද්දකි. එහි අරමුණ 'ජාත්‍යන්තර ආයතනවලින් ආධාර ලබාගැනීම" හා 'රජය අපකීර්තියට පත්කිරීම යි'. zයුරෝපා රටවල දේශපාලන රැකවරණ ලබාගැනීම'දැනට මින් ගිලිහීඇති හේතුව වන අතර හෙට අනිද්දා එය ද එකතු වීමට හොඳට ම ඉඩ ඇත.

පිළුණු වූ අර්ථකතන

එහෙත් මේ අර්ථකතනයේ කිසිම නැවුම් බවක් නැත. පසුගිය කාලය මුළුල්ලේ ම ජනමාධ්‍ය ආයතනවලටත් ජනමාධ්‍යවේදීන්ටත් සිදුවූ බොහොමයක් අඩන්තේට්ටම් ආණ්ඩුවත් එහි ප්‍රචාරන යාන්ත්‍රණයත් හුවාදැක්වූයේ මේ ආකාරයෙනි. 2009 ජනවාරියේ 'සිරස'ට වෙඩිතබා ගිනතබාගත්තේත් ඔවුන් විසින්ම ය. ඉන් අනතුරුව "සිරස" ප්‍රධාන කාර්යාලයට ගල් ගසන ලද්දේ කුපිත වූ ජනයා විසිනි. 'සියත' ආයතනයට පහරදුන්නේ තරගකාරී මාධ්‍ය ආයතනයකි. ප්‍රගීත් අතුරුදන් වූවා නොව ඔහු විසින් ම වෙනත් කූට අභිලාශයක් නිසා සැඟවී සිටී. අනෙකුත් බොහෝ සිදුවීම් ද ඒ ඒ ජනමාධ්‍යවේදීන් විසින් හෝ ඒ ඒ ආයතන විසින් විවිධ කූට අරමුණු උදෙසා කොන්ත්‍රාත් දී කරවාගන්නා ලද දේ ය.

ඒ අනුව ඊ නිවුස් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ කියන්නේ පිළුණු වූ කතාවකි. ඒ නිසා ම කණකට ගතයුත්තක්වත් නොවේ.

එහෙත් ඒ කතාව ඔස්සේ ජනමාධ්‍ය මර්දන ක්‍රියාදාමයේ මෙතෙක් නොගත් නව මාවතක් ගැනීමට පොලීසිය ද, ජනමාධ්‍ය නම් වර්ගීකරණයට කොහෙත්ම නුසුදුසු ක්‍රියාකාරකම් හි නියැලෙන ලියන්නන් පිරිසක් ද හවුල් කරගෙන, බලධාරීන් කරගෙන යන්නේය යි සැක කළහැකි කුමන්ත්‍රණය නම් කිසිසේත් ම නොතකා හළ හැක්කක් නොවේ.

මේ එන්නේ මොකාටද?

මෙතෙක් ජනමාධ්‍යයට එරෙහි ව නැගුණු zතමන් විසින් ම ගස්සවා ගැනීමේZ චෝදනා නිකම්ම කටවචනයේ චෝදනා වූවා මිස ඒවා නීතිමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ සුදුහුණු ගල්වා සුජාත කිරීමේ බලවත් තැතක් පැවතියේ නැත. දැන් මේ අරඹන්නට යන්නේ ඒ අති භයංකර කි්‍රයාදාමය නොවන්නේද? ජනමාධ්‍යයට එල්ලවන ප්‍රහාරයන් වෙනත් කූට අරමුණු උදෙසා තමන් විසින් ම කරගන්නා ඒවා බව කටවචනයෙන් පමණක් කීමෙන් නොනැවතී, එය නීතිමය කි්‍රයාමාර්ගයක් හමුවේද ඔප්පු කර පෙන්වන්නට නොවේද මේ උත්සාහය? ඊට නින්දිත ලෙස ආවැඩීම හා උල්පන්දම් දීම සේම, ඒ හමුවේ තවදුරටත් ඇස කණ පියාගෙන සිටීම පවා ජනමාධ්‍යයේ මිනීවල කැනීමේ කි්‍රයාශීලී පාර්ශවකරුවන් ද නිහ~ සාක්ෂිකරුවන්ද වීමක් ලෙස ඉතිහාසයේ නොලියැවෙන්නේද?

"සිරස" ආයතනයට ගිනිතැබූ අවස්ථාවේ එය "සිරස විසින් ගස්සා ගැනීමක්' යයි නීතියෙන් ඔප්පු කරන්නට ගියේනම් ඒ පරීක්ෂණ අතේ පත්තු වන්නට හොඳට ම ඉඩ තිබිණි. ප්‍රහාරය "කමාන්ඩෝ ගණයේ ගේමක්" වූ බැවිනි. "සිරස" ප්‍රධාන කාර්යාලයට ගල්ගැසූ අවස්ථාවේ එය ද ප්‍රකෝපිත ජනයා ගේ කි්‍රයාවකැ යි නීතියෙන් ඔප්පු කරන්නට ගියේනම් එය ද අතේ පත්තුවන්නට ඉඩතිබිණි. ගල්ගැසූ "සාමාන්‍ය ජනයාගේ" රූපරාමු මාධ්‍ය සතුවූ බැවිනි. ප්‍රගීත් සිය කැමැත්තෙන් සැඟවී සිටින්නේය යි නීතිය හමුවේ ඔප්පු කිරීමට නම් ඔහු ම සොයාගෙන විත් තමන් ස්ව කැමැත්තෙන් සැඟවී සිටි බවට පාපෝච්චාරණයක් කරගත යුතුව තිබේ. එය ද අතේ පත්තුවන්නට පුළුවන් වැඩකි.

එහෙත් දැන් විවිධාකාර භූතයන් අල්ලාගෙනවිත් එකකට එකක් නොගැලපෙන පාපෝච්චාරණ කරවාගෙන, තමන්ගේ ම හොරණෑවලින් ඒවා ප්‍රචාරය කරගෙන "ඊ නිවුස් ප්‍රධානීන් කොන්ත්‍රාත් දී තමන්ගේ ම කාර්යාලයට ගස්සවාගත්තා" යි කීමේ අපූරු අවස්ථාවක් ඔවුන් හමුවේ නිරාවරණය වී තිබේ. හෙට අනිද්දා වන විට "භූතයාට" හෝ "සුසාට" වෙච්ච දෙයක් නැති වුවත්, නඩුව මෙතැනින් එහාට නොගියත්, අප මේ ගැන කතා නොකරන තාක්කල් "ඊ නිවුස්එකට ගස්සගත්තේ ඒගොල්ලොම කොන්තරාත් දීලානේ" යන මතය තහවුරුවීමට ඉඩ ඇත. එක් අතකින් මේ පරීක්ෂණවල අකටයුත්තක් සිදුවනවා නම් ඒ ගැන ඇස ගසාගෙන සිටීම සේම, නීතිය හමුවේ එවැන්නක් ඔප්පු නොවී ම නඩුව ඉවත විසිවුවත් තහවුරු වීමට ඉඩඇති ඉහත මතවාදය පරාජය කරලීමේ වගකීමද අප සතුවේය යි විශ්වාස කරමි.

අනාගතය උදෙසා අලූත් මාධ්‍ය මර්දන ක්‍රමවේදයක්

මෙය මේ අයුරින් නීතිය හමුවේ සුජාතකරණයක් ලැබුවහොත් සිදුවිය හැක්කේ කුමක්දැයි තේරුම්ගන්නා මෙන් සිහිබුද්ධියක් ඇති සියල්ලන්ගෙන් ඉල්ලමි. හෙට පටන් තමන් විසින් කොන්ත්‍රාත් දී ගිනිතබාගන්නා මාධ්‍ය ආයතන ලංකාවේ හැමතැන ම තිඛෙනු ඇත. තමන් ම කොන්ත්‍රාත් දී මරවා ගන්නා, අතපය කඩවාගන්නා, අතුරුදහන් කරවාගන්නා මාධ්‍යවේදීන් ගැන කොතෙකුත් අසන්නට ලැඛෙනවා ඇත. මෙතෙක් අප කීවේ මාධ්‍යයට එරෙහි කිසිදු හිංසනයකට එරෙහිව නීතිය කි්‍රයාත්මක වී නැත කියා ය. මෙතැනින් එපිටට නීතිය කි්‍රයාවේ නොයෙදුණු හිංසනයන් කිසිත් නොවනු ඇත. හිංසනයන් ද සිදුවනු ඇත. නීතිය ද කි්‍රයාත්මක වනු ඇත. ඒ දේවල් තමන් ම කොන්ත්‍රාත් දී කරගත් දේ ලෙස නීතිය හමුවේ "සාධාරණ සැකයෙන් තොරව" ඔප්පු වනු ඇත. "අනේ නීතිය නම් කි්‍රයාත්මක කරන්ඩ එපා" යි වැඳවැටී ඉල්ලා සිටින්නට කාලයක් ඒමටත් බැරි නැත. ගුටිත් කා නින්දාත් විඳින්නට සිදුවන බැවිනි.

ඇත්තටම කිසියම් ආයතනයක් කොන්ත්‍රාත් දී වෙනත් කූට අරමුණක් උදෙසා මෙවැනි ප්‍රහාරයක් එල්ලකරගත නොහැකිදැ යි යමකු අසන්නට ඉඩ ඇත. මේ ලියන මොහොතේත් ලියුම්කරු පුද්ගලයකු ලෙස ඊ නිවුස් තමන් විසින් ම කොන්ත්‍රාත් දී සිය කාර්යාලය ගිනිතබාගත්තාය යන්න නොපිළිගනී වෙනත් කිසිදු අද්භූත හේතුවක් නිසා නොව, "ඕනෑම සැකකරුවකු නීතිය ඉදිරියේ වරදකරුවන තුරු ඇය හෝ ඔහු නිර්දෝශී පුද්ගලයකි" යනුවෙන් නීතියේ මූලධර්මයක් පවතින බැවිනි. ඊ නිවුස් විසින් ම මේ විනාශය කරගත්තාය යි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නීතිය අසමත් වුවහොත්, ඒ ඔප්පුකිරීම සැක කරන්නට සාධාරණ හේතු කාරණා පැවතුණහොත්, කුමන නඩුතීන්දු හමුවේ වුව එය විශ්වාස නොකරන්නන් ගේ ගණයට ද ලියුම්කරු අයත් වෙයි. එහෙත් සාධාරණ සැකයකින් තොරව ඒ කරුණ නිවැරැදි බව නීතිය හමුවේ ඔප්පු කරන්නට නීතිය හා සාමය සුරකින ආයතනවලට හැකිවන්නේ නම් එය පිළිගැනීමට ද ලියුම්කරු නොපැකිලෙයි.

විවේචන

ලසන්තගේ, ප්‍රගීත්ගේ, සිරසේ, හා සියතේ මාධ්‍ය භාවිතාව ගැන කතා කළාක් මෙන් මෙ වැනි ප්‍රහාරයක් එල්ලවීමට තරම් හේතුවන මාධ්‍ය අවභාවිතාවන් ලංකා ඊ නිවුස් හි තිබිණැ යි තර්ක කරන්නන්ට ද මෙය තෝතැන්නක් වීමට ඉඩ තිබේ. මා නැවත ද කියන්නේ කිසියම් විනාශයක් සිදු වූ විටෙක, ඒ විනාශයට අදාළව නීතිය නිසිපරිදි කි්‍රයාත්මක වනබවක් පෙනෙන්නට නොතිඛෙන අවස්ථාවක, ඒ විනාශයට මුහුණ පෑ ආයතනය හෝ පුද්ගලයා ගේ නුගුණ ඒ විනාශයට කිසියම් සාධාරණීකරණයක ආවරණයක් සැපයෙන පරිදි කියාපෑම ඒ මොහොතේ කාර්යභාරය නොවේය ය යන්නයි.

ඒ හැරෙන්නට ලියුම්කරුට ද ලංකා ඊ නිවුස් මාධ්‍ය භාවිතාව පිළිබඳ ගැටලූ තිබේ එක් ප්‍රධාන ගැටලූවක් වන්නේ යුද්ධය පැවැති අවස්ථාවේදීත්, සරත් ෆොන්සේකා වෙනුවෙන් සහාය දක්වන අවස්ථාවේත් උච්චස්ථානයකට නැඟ=ණු, අදටත් එම වෙබ් අඩවිය පිහිටා සිටින ජාතිවාදී යුදවාදී ස්ථාවරය යි. මෙබඳු ගිනිතැබීම් සිදුවන්නේ ද ඒ ජාතිවාදී යුදවාදී ස්ථාවරය විසින් ශක්තිමත් කරන ලද දෑත්වලින්ම ය. තව ගැටලූවක් නම් ක්‍රමයට විරුද්ධ වීම වෙනුවට ක්‍රමයේ උපකරණ වන පුද්ගලයන්ට පමණක් විරුද්ධ වී පුද්ගල වෛරය මත පදනම් ව වෙනසක් පැතීමේ වැරදි දැක්මයි. එහෙත් ඒ විවේචන ඊ නිවුස් ගිනිතබන්නට යෝජනා නොකරයි ඊ නිවුස් ආයතනයට වූ විනාශයට සැබෑ වගකිවයුත්තන් සොයාගැනීම කෙසේවෙතත් සැලසුම් සහගතව ඔවුන් පටලවන්නට යන උගුලෙන් හෝ ඔවුනුත් සමස්ත මාධ්‍ය කලාවත් බේරාගැනීමෙන් පසු වඩාත් නිදහසේ ඒගැන වාද කළහැකි පසුබිමක් නිර්මාණය වෙතැයි සිතමි.

"ලියනප්පුලාට" වචනයක්

ජනමාධ්‍ය නමින් ජනමාධ්‍ය නමට කෙසේවත් නොගැලපෙන හිරිකිත යමක් කරගෙන යන මේ ප්‍රවෘත්ති ලියූවන්ට හා ඒවා පළකළවුන්ට ද වචනයක් කීමට කැමැත්තෙමි හෙට දිනයේ ඔබ හෝ ඔබේ ආයතනයත් මෙබඳු ඉරණමකට ම ලක්වුවහොත්, එදාටත් පාලකයන්ට ආවඩන අතලොස්සක් දෙනා ඔබ විසින් ම ඔබට ගස්සවාගත්තාය යි පුවත් පටබැඳ එය කිසිදු සාධාරණය යි නො පෙනෙන කි්‍රයාදාමයක් ඔස්සේ නීතිය හමුවේ ඔප්පු කරන්නට කටයුතු යෙදුවහොත්, ඔබ පත්වීමට ඉඩ ඇති තත්ත්වය කෙබඳුදැ යි මොහොතකට සිතා බලන්න.

එක් අතකට දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයකු වූ රටක ඊයේ ඊ නිවුස් ගිනිතැබීමත් හෙට එය "තමන් විසින්ම ගිනිතබාගැනීමක්" ලෙස නීතිය හමුවේ ඔප්පු වීමත් කුමන නම් අරුමයක්ද?

Tell a Friend

ගාලූ සාහිත්‍ය පාරාදීසයට ගල්ගැසීම


සනත් බාලසූරිය


පිටරටින් පැමිණෙන ජගත් කීර්තිධර ලේඛක බුද්ධිමතුන් හා ශ්‍රී ලාංකේය ඉහළ පාන්තික ප්‍රභූ ගණයා එකට වාඩිගෙන සාහිත්‍ය කලාදී විෂයයන් සේම මානව හිමිකම්, භාෂණයේ නිදහස ඈ බොහෝ දෑ පිළිබඳ හරබර සංවාදයක යෙදී, ඒ සාහිත්‍ය දෑවැන්තයන්ට අවට මුහුදේ තල්මසුන් ද ගල්මල් ද පෙන්නා, ශ්‍රී ලංකාව නම් සොඳුරු සංචාරක පාරාදීසයේ චමත්කාරය ඇස ගල්වා, වැඩි කලබලයක් නැතිව අවසන් කිරීමට නියමිත ව තිබුණු ගාලූ සාහිත්‍ය පාරාදීසයට ගල්ගසා තිබේ. මේ ගල්ප්‍රහාරය නිසා දැන් එය දෙබරයක් සේ ඇවිස්සී ඇත.

මෙසේ ගල්ගසා ඇත්තේ නෝම් චොම්ස්කි, අරුන්දතී රෝයි ඇතුළු තවත් දැවැන්තයන් කිහිප පොළක් විසින් අත්සන් කරන ලද ගාලූ සාහිත්‍ය උළෙල පිළිබඳ ආයාචනයක් ප්‍රසිද්ධියට පත්කළ දේශසීමා රහිත වාර්තාකරුවෝ (ආර් එස් එෆ්) සහ ෙජ් ඩී එස් නමින් ප්‍රකට, ජීවිතාරක්ෂාව පතා රටින් බැහැරව වෙසෙන ජනමාධ්‍යවේදීන් ගේ ජාලයක් වන "ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යවේදියෝ" විසිනි.
ගාලූ සාහිත්‍ය උලෙළට කි්‍රයාශීලී ව දායක වන පුද්ගලයෝ කිහිප දෙනෙක් ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සේම භාෂණයේ නිදහස වෙනුවෙන් ද කැපී පෙනෙන වැඩකොටසක නිරත ව සිටින්නෝ වෙති. ඔවුන්ගේ ඒ මැදිහත්වීම් සම්බන්ධයෙන් ලියුම්කරු තුළ ද ගෞරවයක් තිබේ. ඔවුන්ගෙන් ඇතැමෙක් මේ ආයාචනය ප්‍රසිද්ධ කිරීමට සම්බන්ධ ආර්එස්එෆ් සමඟ සේම ෙජ්ඩීඑස් ක්‍රියාකාරිකයන් සමඟ ද විවිධ අවස්ථාවන්හි දී සමීප ව කටයුතු කර තිබේ.

එසේ තමන්ට සමීප පිරිසක් විසින්, තමන් ද සම්බන්ධ ගාලූ සාහිත්‍ය උලෙළ අරබයා මෙවැනි ස්ථාවරයක් දැරීම ඉහත කී පිරිසට බලවත් ගැටලූවක් වී ඇත. මීට අදාළ කතිකාවෙන් මතුවන ප්‍රධාන වාද මාතෘකා කිහිපයක් වෙත අවධානය යොමු කිරීම ලියුම්කරු ගේ අරමුණ වෙයි.

"වර්ජන කැඳවීමක්" සේ හුවාදැක්වෙන "ආයාචනය"

මෙම ආයාචනයට එරෙහිව අදහස් පළකරන්නෝ, එය සාහිත්‍ය උළෙල වර්ජනය කිරීමට කරන ලද කැඳවීමක් සේ හඳුන්වති.

මෙම ජාත්‍යන්තර ආයාචනය උළෙලට සහභාගීවන්නට අදහස් කරන කිසිවකුට එය වර්ජනය කිරීමට බලකරන්නක් නොවේ. ඊට ඇරැයුම් ලැබූවන්ගෙන් එහි පැහැදිළිව ඉල්ලා ඇත්තේ "ශ්‍රී ලංකාවේ භයානක මානව හිමිකම් කඩවීමේ වාතාවරණය හා ජනමාධ්‍යවේදීන් ගොදුරු බවට පත්වීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස" ය. එසේම "කතා කිරීමට නිදහසක් නැති ශ්‍රී ලංකාවේ සහෝදර කලාකරුවන් වෙනුවෙන් නැඟී සිටින ලෙස" ය. මේ ඉල්ලීම සලකා බැලීමට වටින්නේ යයි කල්පනාකරන්නකුට, ඒ සඳහා ප්‍රතිචාර දැක්විය හැකි ආකාරයන් කිහිපයක් විවෘත වෙයි. උළෙලට සහභාගී වීමෙන් වැළකී සිටීමේ සිට, ඊට සහභාගී වෙමින් ම රටේ පවත්නා මානව හිමිකම් කඩවීමේ තත්ත්වය ඒ තුළ අවධාරණය කිරීම දක්වා ඒ ඉඩකඩ විවෘත ය. කෙසේ වෙතත් මේ ආයාචනය අවධානයට ලක්විය යුතු එකක් සේ සලකන්නකුට, ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස දෑස් විවරකර බැලීමට, ඒ පිළිබඳ හැදෑරීමක් කිරීමට බලකැරීම වැළැක්විය නොහැක. මානව හිමිකම් සම්බන්ධයෙන් අයහපත් වාර්තාවක් සහිත තැනක පැවැත්වෙන සාහිත්‍ය කලා උළෙලකට යාමට පෙර, තමන් යන තැන පවත්නා වාස්තවික තත්ත්වයන් ගැන ගැඹුරින් සලකා බලන්නට, බලපෑමක් සහිත යමකු පෙළඹවීඹ වරදකැයි කිව නොහැක.

මේ උළෙල ඍජු රාජ්‍ය සම්මාදමක් නැති, රටේ සාමාන්‍ය ප්‍රජාව ගේ කටයුත්තක් ලෙස පමණක් හුවා දක්වමින්, එවැනි කටයුත්තකට එරෙහිවීම යුක්ති යුක්තදැ යි ප්‍රශ්න කිරීම තවත් තර්කයකි.

බැලු බැල්මට මීට රාජ්‍යයේ ඍජු දායකත්වයක් නැත. එහෙත් ගැටලූව වන්නේ, මේ උළෙල ඔස්සේ ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරය තුළ තහවුරු වීමට ඉඩඇති මතවාදය, ආණ්ඩුව විසින් මේ වනවිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකයට ලබාදෙන්නට වැරදරන චිත්‍රය හා සාකල්‍යයෙන් සමපාත වීම යි.


පෙනෙන නොපෙනෙන ආණ්ඩුවේ ඇඟෑලූම

ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ ශ්‍රී ලංකාව යනු ත්‍රස්තවාදයෙන් මුදාගෙන ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලද, මානව හිමිකම් සුරැකෙන, ආරක්ෂාකරී, සුන්දර සංචාරක පාරාදීසයක් ය යන මතය ලෝකය තුළ තහවුරු කිරීමට ය. ඒ සිය ආර්ථීක අවශ්‍යතා හේතුවෙනි. එහෙත් ඒ ප්‍රබන්ධය පසුපස තිඛෙන කටුක යථාර්ථය අපට රහසක් නොවේ.

ත්‍රස්තවාදයෙන් මුදාගත්තාය කියන උතුරේ ජනතාවගෙන් සැලකියයුතු පිරිසක් අදටත් කඳවුරුවල ගාල්කර සිටිති. ආරක්ෂාවේ නාමයෙන් අත්පත් කරගත් ඔවුන්ගේ ගේදොර ඉඩකඩම් අදටත් ඔවුන්ට හිමි නැත. මේ මොහොතේත් උතුරේ මනුෂ්‍යයෝ නන්නාඳුනන තුවක්කුකරුවන් ගේ උණ්ඩවලට බිලිවෙති. ෆේස්බුක් පින්තූරයකුත් ඊට ප්‍රමාණවත්ය. නීතියෙන් බැහැර ඝාතන උතුරේ මෙන් ම දකුණේ ද නිදැල්ලේ සිදුවෙයි. වැසියෝ අතුරුදන් වෙති. ඔවුන්ට සිදු වූ දෙයක් දැනගන්නට ලැඛෙන්නේ නැත. දේශපාලන සිරකරුවෝ දහස් ගණන් නීතිමය කි්‍රයාමාර්ගයකින් තොරව රහසිගත ස්ථානවල සඟවා සිටිති. රැඳවුම් ස්ථාන තබා ඔවුගේ නම්ගම් කීම පවා බලධාරීහු ප්‍රතික්ෂේප කරති. නම් ඇහුවොත් ඔලූ පලති. ප්‍රගීත්ට වූ දෙයක් නැත. ලසන්ත මැරූ කෙනෙක් නැත. ලිවීමේ වරදට හිරේ යැවූ තිස්සනායගම් යන්තම් එළියේ වුවත් ඔහු දඟගෙයි ලෑ නීති එහෙම්මමය ඒවා හෙට වෙනකකු අරබයා කි්‍රයාවට නැෙඟනු ඇත නාට්‍ය පෝස්ටරයක් ගැහුවත් කුදලාගෙන යති. අක්ෂරය සදහට තහනම් ය. ගෑනු යටිකය වැස්මේ දිග නීතිගත කිරීමට සූදානමකි. ඒ සියල්ල එසේ සිදුවද්දී ආණ්ඩුව උත්සාහ දරන්නේ ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී, ආරක්ෂිත, සංචාරක පාරාදීසයක් බව ලෝකයට මවාපෑමට ය.

"සාහිත මංගල්‍යයේ" සැබෑ පණිවිඩය

තතු මෙසේ තිබිය දී ගාලූ සාහිත්‍ය උළෙල ඔස්සේ ලෝකයට යැවෙන පණිවුඩය කුමක්ද? ආණ්ඩුව කියන අර කාරණාවලට අමතරව, ශ්‍රී ලංකාව යනු රාජ්‍යයේ කිසිදු මැදිහත්වීමක් හෝ බාධාවක් නොමැතිව ලිබරල් සංස්කෘතික කලා ජීවිතයක් ද පිබිදෙමින් එන ස්ථානයක් බව ය. උළෙල අභ්‍යන්තරයේ මානව හිමිකම්වල හා ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීම් ගැන මොන විවේචන සංවාද සිදු වුවත්, ගෙඩිය පිටින් ගත්කළ විශ්ව කීර්තිධර කලාකරුවන්ට ශ්‍රී ලාංකේය සිවිල් බුද්ධිමතුන් හා ඉංගී්‍රසි සාහිත්‍යකාමීන් සමඟ එකතුව නිදහසේ සංස්කෘතිය පිළිබඳව පමණක් නොව රටේ දේශපාලන තත්ත්වය ගැන ද කතාකරමින්, ආණ්ඩුව පවා විවේචනය කළ හැකි නිදහස්, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් රටතුළ ගොඩනැඟී ඇතිබව ලෝකය හමුවේ පෙන්වා සිටීමේ මහඟු අවස්ථාවක් ආණ්ඩුවට නොලැඛෙන්නේද? ගාලූ සාහිත්‍ය උළෙලේ අස්වැන්න මොකක් වුවත්, එය ආණ්ඩුවට අවශ්‍ය හැටියට විකුණාගැනීමට අවශ්‍ය සියලූ අවකාශයන් නිර්මාණය වී ඇතිබව මෙයින් මොනවට පැහැදිළි වෙයි ආණ්ඩුවේ අවශ්‍යතාවත්, ගාලූ සාහිත්‍ය උළෙලේ ප්‍රතිඵලයත් කදිමට සමපාත වනබව කියන්නේ එහෙයිනි.

එසේම මේ සංස්කෘතික මංගල්‍යයට සහභාගී වන ආණ්ඩුවට වහකදුරු මෙන් වන ශ්‍රී ලාංකේය ප්‍රභූ සිවිල් සංවිධාන ප්‍රධානීන්ට පවා මේ කාර්යය අතරතුර දී අබමල් රොනක අතුරු ආන්තරාවක් සිදු නොවන බව ද නියත ය. එවැනි කිසිවක් සිදුකිරීමට කිසිදු පිරිසකට ද ආණ්ඩුව ඉඩ තබන්නේ නැත. (ආණ්ඩුව හෝ ආණ්ඩුවට හිතවත් පිරිස් හැර වෙනත් එවැනි දෙයක් කළහැකි පිරිස් අද නැත) අවශ්‍යනම් ඔවුන්ට ආරක්ෂාව ද සැපයෙනු ඇත.


දෑවැන්තයන් සියරට ගියපසු මහපාරේ ගුටිකෑම

එහෙත් ගාලූ සාහිත්‍ය මංගල්‍යයෙන් අනතුරුව ඒ ලාංකේය සිවිල් ප්‍රධානීන් ම දෙමළ ජනයා අතුරුදන් වීම ගැන කිසියම් විරෝධතාවක් සංවිධානය කළහොත්, අර ලැබුණු ප්‍රතිචාරය ම ඔවුන්ට එවිටත් ලැබේද? නැතිනම් ඔවුන්ට මර්දනයම සම්මුඛ වේද? මෙයින් පෙනෙන්නේ රටතුළ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, ආණ්ඩුව පවා විවේචනය කිරීමට ඉඩකඩක් විවර වී ඇති බවද, නැතිනම් ආණ්ඩුවට එවැනි ඉඩකඩක් රටතුළ පවතින බවට ලෝකයට හඬගා කීමේ මහඟු අවස්ථාවක්, මෙතෙක් මර්දනයේම ගොදුරු බවට පත්ව සිටියවුන්ගේ ද සම්මාදමෙන් පෑදී ඇති බවද යන්න ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ.

මෙහි තේරුම නම් රාජ්‍ය මර්දන යන්ත්‍රය සිල්ගෙන ඇතිනිසා ගාලූ සාහිත්‍ය උළෙලේ රැඩිකල් විවේචනවලට ඉඩලැඛෙන බව නොව, තමන්ට එය දැවැන්ත වාසියක් නිසා ආණ්ඩුව එහි සිදුවන රැඩිකල් කතා අසන්නට ආසාවෙන් සිටින බව ය. විශ්ව කීර්තිධර කලාකරුවන් රටින් පිටව ගිය පසු, ඔවුන් සමඟ බරසාර සංස්කෘතික සංවාද කළ, එකට මී බඳුන තොලගෑ, එකට තල්මසුන් බැලු ලාංකේය සිවිල් සමාජ කි්‍රයාධරයන්ට හෙටත් මහපාරේ දී ගුටිබැට ලැඛෙන බව ය. මේ විලම්බීත තත්ත්වය සේවය කරනු ඇත්තේ කාටද?

ගාලූ සාහිත්‍ය උළෙල ගැන ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදන නිකුත් කරමින් සිටී. මේ කාර්යාලය එබඳු සාධනීය ප්‍රචාරයක් ලබාදෙන්නේ සාමාන්‍ය ප්‍රජාව ගේ කිනම් වැඩසටහනකටද? ප්‍රජාව ගේ මූලිකත්වයෙන් කෙරෙන ප්‍රගීත් සැමරුමකට හෝ ලසන්ත සැමරුමකට ජනාධිපති ලේකම් කාර්යාලය එවැනි ප්‍රචාරයක් දෙන්නේද? එයින් පෙනෙන්නේ මේ zආණ්ඩුවේ සම්මාදමෙන් තොර ප්‍රජා මූලික" කතාව ඇස්බැන්දුමක් බව ය.
"අපට සංස්කෘතික ජීවිතයක් නැද්ද?"

"සමාජයට දැවැන්ත ව්‍යසනයක් සිදුවුණා කියා අපට කලා සංස්කෘතික ජීවිතයක් සමරන්නට අයිතියක් නැතිදැ" යි ප්‍රශ්න කරනු ද පෙනේ. මෙහි ඇති වඩාත් බැරෑරුම් හා සංවේදී ම ප්‍රශ්නයක් ලෙස මෙය සැලකිය හැකි ය.
80 දශකය අග දකුණේ හැටදහසක් මනුෂ්‍යයන් පාරවල් ගානේ මරාදමනු ඇපි දුටුවෙමු. එහෙත් අදවනවිට සිදුවී ඒ හැටදහසක මිනී කන්ද මත සුදු පිරුවට එළාගෙන අපි වාඩිලා සිටිමු. ඝාතකයෙක් සොයා නොගත් හැටදහසක මිනී කන්ද අප වාඩිලා සිටින පිරුවටය යටින් ඇති අතර, හැටදහසක් කෲර ලෙස ඝාතනය කළ, අප නොහඳුනනා මිනීමරුවෝ ද අප අසළින් ඒ සුදු පිරුවටය උඩ වාඩිලාගෙන සිටිති. රිචඩ් මැරූ ඝාතකයෙක් අදටත් නැත. ප්‍රේමකීර්ති මැරුවේ කවුදැ යි පසුගිය දිනවල ද යාන්තමට "හා හූවක්" මතු වුවත් එය ද බැරෑරුම් ලෙස ගත් කෙනෙක් නැති ගාණ ය. කොටින් ම එදා ඝාතනය වූ හැටදහස ගැන අද අපට වගේ වගක් නැත. අපි එතැන් පටන් සංස්කෘතික ජීවිත ගතකරමින් සිටියෙමු.

"ඛේදවාචක සිදුවුණා කියා අපට සංස්කෘතික ජීවිතයක් නැතිදැ" යි අසමින් අප දැන් කළ යුත්තේ උතුරේ තවත් දස දහස් ගණනක මිනී කන්දක් මත සුදු පිරුවට එළාගෙන වාඩිගැනීමද? එදා සිදුවුණා සේ, මේ ඝාතකයන් ද අප අසළින් පැමිණ සාන්තුවරුන් සේ වාඩිගන්නවා ඇත. මන්ද අප ඒ ඝාතකයන් හඳුනන්නේ නැති බැවිනි. zරිචඩ් මරපු කෙනෙක් තාමත් නෑ" යි අදටත් කියන්නා සේ තවත් වසර දහයකට පසු "ලසන්ත මරපු කෙනෙක් තාමත් නෑ" කියමින් අපට ඔහු සැමරිය හැක. "ප්‍රේමකීර්ති මරපු කෙනෙක් අදටත් නෑ" යි මේ දැනුත් කියන්නාක් මෙන්, තවත් වසර දහයකින් ප්‍රගීත් "පැහැරගත් කෙනෙක් අදටත් නෑ" යි කියමින් සැමරුම් පැවැත්විය හැකි ය. සමහර විට ඒ වනවිට උතුරේ හෝ දකුණේ තවත් දස දහස් ගණනක මිනී කන්දක් ගොඩගැහෙන පසුබිමක් නිර්මාණය වී ඇතුවා වන්නටත් පුළුවන. එදා දකුණේ හැට දහසකට වගකී ඝාතකයින්් ද, මෙදා උතුරේ තිස් හතලිස් දාහකට වගකී ඝාතකයින් ද, ඔවුන්ගෙන් ඝාතන කලාව උගත් නවතම ඝාතකයින් ද එදාටත් මේ පොළොව ලෙයින් නහවනවා ඇත.


මිනීකඳු මත පිරුවට එළා වාඩිලෑම

ඒ තත්ත්වය වැළැක්වීමේ කිසියම් හෝ උත්සාහයක් දැරිය යුතුනම්, මේ අප ගතකරමින් සිටින්නේ එය කළ හැකි අවසන් තීරණාත්මක මොහොත යි. ඒ මොහොත උපරිමයෙන් ප්‍රයෝජනයට ගත හැක්කේ "දැන් වෙච්ච දේ වුණා, මීට පස්සෙවත් හොඳ ළමයි වගේ හැසිරෙන්ඩ ඕනෑ"යි අතපිසදා ගැනීමෙන් නොවේ. එදා හැටදහසකට වගකී මිනීමරුවන් අල්ලාගන්නට බැරි වූ, ඒ නිසාම මිනීමරුවන්ගෙන් ආතුර වූ හෘදසාක්ෂියක් අහිමි සමාජයක ජීවත් වන්නට සිදු වූ අප, එයින්වත් පාඩමක් ඉගෙනගෙන මෙවර මේ මහා මානුෂික ඛේදවාචකයට වගකිවයුතු මිනීමරුවන් සොයාගෙන ඔවුන් නීතියේ කි්‍රයාදාමයට යටත් කිරීමට බලකිරීම තුළිණි. ඒ ඔස්සේ සමාජය තුළ කිඳාබැස ඇති අවනීතිය සුන් කොට නීතියේ සැබෑ ආධිපත්‍යය තහවුරු කිරීමට හැකි සෑම බලපෑමක් කිරීම තුළිණි.

අප මේ මොහොතේ ඒ යුතුකම ඉටු නොකළොත්, තවත් වසර කිහිපයකින් තවත් මිනී කන්දක් දකින්නටත්, මැරූ කෙනෙක් නැති සිවරාම්ලා, ලසන්තලා සේම, සිදු වූ දෙයක් නැති ප්‍රගීත්ලා බඳු දස දහස් ගණනක් සමරන්නටත්, අවසන ඒ මිනී කන්ද මත ද සුදු පිරුවටයක් එළාගෙන "ඔන්න ආයිමත් බෑ"කියමින් සිටීමටත් හැකිවනවා ඇත.

මේ තීරණාත්මක මොහොතේදී අප කළයුත්තේ ඒ සඳහා හැකි හැම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගනිමින් දේශීයව හා ජාත්‍යන්තරව කළහැකි උපරිම බලපෑම කිරීම ය. එසේ නැතිව ආණ්ඩුවේ ඊනියා සංචාරක පාරාදීසයට මතවාදී තාර්කිකත්වයේ හයිය ලබාදීමට කටයුතු කිරීම නොවේ.

Tell a Friend

රටේ අරාජිකත්වයේ කැඩපතක් වූ ප්‍රගීත් පිළිබඳ වසරක කතිකාව

 පසුගිය කාලය පුරා අතුරුදන් වූ බොහෝ මනුෂ්‍යයන් අතරින් ප්‍රගීත් යනු එක් තැනැත්තකු පමණි. එහෙත් ඔවුන් අතුරින් වැඩිම දෙස් විදෙස් අවධානයට ලක්වූයේ ද ඔහු ය. වසරකට පසුවත් කිසිදු හෝඩුවාවක් දැනගැනීමට නැත්තේ එබඳු ප්‍රබල අවධානයක් ලබාගත් මිනිසකු ගැන ය. එසේනම්, කිසිම තැනක නමක් ගමක් හෝ නොකියැවෙන අතුරුදන් වූ මිනිසුන්ගේ ඉරණම සිතාගත හැකිය.

සනත් බාලසූරිය

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වී වසරක් පිරීමට ඇත්තේ දින කිහිපයකි. වසරක කාලය පුරා ඒ අරබයා ඇතිවූ කතාබහ වූකලී, ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ රජකරන්නා වූ භයංකර අරාජිකත්වය අප හමුවේ මොනවට විදහා පාන කැඩපතකි.

මේ අරාජිකත්වය ඇත්තේ පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය සහතික කිරීමේ සමාජ සම්මුතික වගකීම දරන රාජ්‍ය තන්ත්‍රය හා ඊට අනුබද්ධ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ස්ථාපිත කර ඇති ආයතනවල පමණක් නොවේ. රාජ්‍ය තන්ත්‍රය ඇතුළු ඉහත ආයතනවල වගකීම හා වගවීම තහවුරු කරගැනීමේ අනුල්ලංඝනීය වගකීම දරන ජනමාධ්‍ය සමාජය ඇතුළු සිවිල් සමාජයේ කොටස්වලට ද මේ ආරාජිකත්වය බරපතල ලෙස කාන්දුවී ඇති බව මේ කතිකාව තුළ හෙළිදරව් වීම, එහි ඇති බරපතල ම ඛේදවාචකය යයි හඟිමි.

ප්‍රගීත් අතුරුදන් වූයේ පසුගිය ජනාධිපතිවරණයට පෙරදින රාත්‍රියේ ය. පසුදින, එනම් ජනාධිපතිවරණ දින උදෑසන වනවිට එවකට ද ජනාධිපති වූ, ජනාධිපති සටනේ ප්‍රධාන සටන්කරුවා ද වූ මහින්ද රාජපක්ෂ නියෝජනය කළ දේශපාලන බල කඳවුරේ නිල ප්‍රකාශකයන් මේ සම්බන්ධයෙන් කීවේ කුමක්ද? ජනාධිපතිවරණයේ ප්‍රබල ම විරුද්ධ පාක්ෂික තරගකරුවා වූ සරත් ෆොන්සේකාගේ ආධාරකරුවකු ද වී සිටි ප්‍රගීත්, ජනාධිපතිවරණයේ ප්‍රචාරක උපක්‍රමයක් ලෙස තමන් විසින් ම සැඟවී සිටින බව ය.

ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍යවේදීන් විශේෂයෙන් මැතිවරණ අවස්ථාවන්හි දී කිසියම් දේශපාලන පක්ෂයක ආධාරකරුවන් සේ කටයුතු කිරීම අලූත් තත්ත්වයක් නොවේ. රාජ්‍ය මාධ්‍යවල මාධ්‍යවේදීන් බහුතරයක් පමණක් නොව එම ආයතන ම පවා එවැනි අවස්ථාවන්හි දී හැසිරෙන්නේ මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන ලෙස නොව දේශපාලන යාන්ත්‍රණයන් ලෙස ය. ඒ ආකාරයෙන් ම අනෙකුත් මාධ්‍යවේදීහු ඇතැමෙක් ද තම තම රුචි අරුචිකම්වලට අනුව විවිධ කඳවුරුවල දේශපාලන කි්‍රයාකාරිකයෝ ලෙස හැසිරෙති.

ආණ්ඩු බලය දරන්නන් විසින් කරන ලද මේ ප්‍රකාශය කොතරම් වගකීම් විරහිත වුවක් වුව ද, පැවැති තත්ත්වය හමුවේ ඔවුන්ගේ ප්‍රතිචාරය තේරුම්ගත හැකි ය. මන්දයත් ප්‍රගීත්ගේ අතුරුදන්වීම පිළිබඳ ප්‍රවෘත්තිය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට වුව බලපෑ හැකිය යි පාලක සන්ධානය බියවූවේ නම් එය පුදුමයක් නොවන බැවිනි.

එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව හෝ මේ අතුරුදන් වූ මිනිසා ගැන සෙවීමේ අනුල්ලංඝනීය වගකීම ආණ්ඩුව වෙත විය. ප්‍රගීත්ගේ අතුරුදන්වීම රට තුළ මෙන් ම ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රබල අවධානයක් දිනාගත් සිද්ධියක් බවට ආරම්භයේ සිට ම පත්විය. ඔහු සොයාගැනීමට බලකරන ප්‍රබල ව්‍යාපාරයක් දෙස් විදෙස් වශයෙන් දියත් විය. එහෙත් ඒ සියල්ල මධ්‍යයේත් අප කවුරුත් දන්නා පරිදි, වසරක් ගතවන විටත් ආණ්ඩුව ඒ වගකීමෙන් අල්ප මාත්‍රයක් හෝ ඉටුකර නැත.

එවකට සිටි ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා කියා සිටියේ "හෙට අනිද්දා ම ප්‍රගීත් ගැන ආරංචියක් ලබා දෙන බව" ය. එහෙත් බාලගිරි දෝශය මෙන් ඔහුගේ හෙට අනිද්දාව වසරක් යනතුරුත් ආවේ නැත. එවකට ආරක්ෂක ප්‍රකාශකයා වූ කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියේ "ප්‍රගීත් එක්නැලිගොඩ ජනමාධ්‍යවේදියෙක්ද?" කියා ය. ඔහු සතුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය හැඳුනුම්පත නැති බව ද ඔහු කීවේ, කිසියම් පුද්ගලයකු ජනමාධ්‍යවේදියකු බවට පත්කරන එක ම නිර්ණායකය, කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැතිව, ඉතාම අවිධිමත් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කරන හැඳුනුම්පත ලෙස සලකමිනි.

මෙසේ ඇසූ රඹුක්වැල්ල ප්‍රගීත්ගේ අතුරුදන්වීමෙන් මාස තුනක් ඇවෑමෙන් රටේ ජනමාධ්‍ය ඇමැතිවරයා බවට ද පත්විය. ඉන් අනතුරුව ද ඔහු වතාවන් ගණනාවක් ප්‍රවෘත්ති සාකච්ඡාවල දී ජනමාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියේ "ප්‍රගීත් ඇත්තටම ජනමාධ්‍යවේදියෙක්දැයි" කියා ය. ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට යන කලදවස කුමක් වුවත්, එයින් ආණ්ඩුව ගම්‍ය කරන්නේ අතුරුදන් නොවිය යුත්තේ ජනමාධ්‍යවේදීන් පමණක් කියා ද? ජනමාධ්‍යවේදියකුත් නොවේනම් මාධ්‍ය හැඳුනුම්පතත් නැතිනම් අතුරුදන්වූවාට කමක් නැත කියාද?

මෑත කාලයේ දී රඹුක්වැල්ල කීවේ පොලීසිය ඒ සම්බන්ධයෙන් හරිහැටි වගකීම් ඉටුකර නැති නිසා තමන්ට කළහැකි දෙයක් නැති බව යි. (හරියට පොලීසිය හරිහැටි රාජකාරි නොකිරීමට වගකිවයුත්තේ රටේ සාමාන්‍ය මිනිසුන් මිස ආණ්ඩුව නොවන්නාක් වගේ ය) ජනමාධ්‍යවේදියකු අතුරුදන් වූ බවට බලවත් උද්ඝෝෂණයක් පවතින රටක ජනමාධ්‍ය ඇමැතිවරයකුට මෙ තරම් වගකීම් රහිත ප්‍රකාශ කළහැකිවීම විසින් සේම, ආණ්ඩුවකට ඒ අතුරුදන්වීම පිළිබඳ අබමල් රොනක අවධානයක් නොපෙන්වා යෙහෙන් වැජඹීමට හැකිවීම පමණක් නොව, ඒ ව්‍යසනය හාස්‍යයට ලක්කිරීමට ද හැකිවීම තුළ පෙන්වන්නේ අපේ රාජ්‍ය තන්ත්‍රයේ අරාජිකත්වය මිස අනෙකක් නොවේ.

පසුගිය වසරක කාලය තුළ පොලීසිය මේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ කෙසේද?

මුලින් ම ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාරගැනීම පවා පොලීසිය ප්‍රතික්ෂේප කළේ ය. ප්‍රගීත් සොයා වෙහෙසෙන ඔහු ගේ බිරිය සන්ධ්‍යාට වරෙක පොලීසිය උපදෙස් දුන්නේ, ඔහුට සිදු වූ දෙයක් ගැන සාස්තරකාරයකුගෙන් විමසන ලෙස ය. අද මේ මොහොත දක්වාත්, මෙතරම් උද්ඝෝෂණයක් පවතිද්දීත්, මේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලීසිය කිසිදු ඵලදායී කි්‍රයාමාර්ගයක් ගෙන නැත. මාධ්‍යවේදියකු නොව සාමාන්‍ය පුරවැසියකු අතුරුදන්ව සිටිය දී, ඒ පිළිබඳ මෙතරම් බලවත් උද්ඝෝෂණයක් රටතුළ මෙන්ම ජාත්‍යන්තරව ද පවතිද්දී, ඒ ගැන කිසිදු ප්‍රතිඵලදායක පරීක්ෂණයක් නොකර සිටීමේ හැකියාව පොලීසිය ඇතුළු රටේ නීතිය හා සාමය රැකීම සඳහා ස්ථාපිත ආයතනවලට ලැබී තිබීමෙන් පෙනී යන්නේ එම ආයතනවල පවත්නා අරාජිකත්වය නොවේද?

පසුගිය කාලය පුරා අතුරුදන් වූ බොහෝ මනුෂ්‍යයන් අතරින් ප්‍රගීත් යනු එක් තැනැත්තකු පමණි. එහෙත් ඔවුන් අතුරින් වැඩිම දෙස් විදෙස් අවධානයට ලක්වූයේ ද ඔහු ය. වසරකට පසුවත් කිසිදු හෝඩුවාවක් දැනගැනීමට නැත්තේ එබඳු ප්‍රබල අවධානයක් ලබාගත් මිනිසකු ගැන ය. එසේනම්, කිසිම තැනක නමක් ගමක් හෝ නොකියැවෙන අතුරුදන් වූ මිනිසුන්ගේ ඉරණම සිතාගත හැකිය.

ජනමාධ්‍ය සමාජයේ ම ඇතැම් පිරිස් ප්‍රගීත්ගේ ඛේදවාචකය කෙරේ දක්වන ලද්දේ කෙබඳු ප්‍රතිචාරයක්ද?

රාජ්‍ය මාධ්‍ය මුලසිට ම තහවුරු කරන්නට උත්සාහ කළේ ආරම්භයේ පටන් පාලක රෙජීමයේ අර්ථකතනය වූ "ප්‍රගීත් තමන් විසින්ම සැඟවී සිටින්නේය" යන්න යි. ඇතැම් රාජ්‍ය මාධ්‍ය ඔහු දුරබැහැර පෙදෙසක සැඟවී සිටිනු දුටුබවට පදනම් විරහිත ප්‍රවෘත්ති පවා පලකළේ ය. අද රාජ්‍ය මාධ්‍ය බිස්ස බොහෝදුරට මේ අතුරුදන්වීම ගැන නිහ~ ය. තමන්ගේ ම වෘත්තියේ නියැලූණ මිනිසකු වසරක් තිස්සේ අතුරුදන් වී සිටින බව හෝ ඔවුන් දන්නා පාටක් පෙනෙන්නට නැත. එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය පිළිබඳ කතාකිරීම පලකට ඇති දෙයක් නොවන නිසා ඒ ගැන වැඩි මනත් නොලියමි.

ඇතැම් පෞද්ගලික මාධ්‍ය ද රාජ්‍ය තන්ත්‍රයේ මතය අනුව යමින් ප්‍රගීත් මාධ්‍යවේදියකු නොවන බවටත් ඔහු සිදුකළ මාධ්‍ය භාවිතාව ආචාර ධාර්මික නොවන බවටත් කූට අරමුණකින් ඔහු තමන් විසින් ම සැඟවී සිටින බවටත් තර්ක කරන්නට පටන් ගත්තේ ය. මෙහි දී ඇතැමෙක් ඔහු සම්බන්ධ වී සිටි වෙබ් අඩවිවල පළ වූ නිර්ණාමික ලිපි පවා ඈඳාගත්හ. (මේ ඇතැම් ලිපියක වගකීම ප්‍රගීත් ගේ නොවන බවට ඒවා පළකල මාධ්‍යවල හිමිකරුවන් විසින් ම පසුව ප්‍රකාශ කර තිබිණි)

ඕනෑම මාධ්‍යයක හෝ මාධ්‍යවේදියකු ගේ ආචාරධාර්මික නොවන මාධ්‍ය භාවිතාවන් පිළිබඳ සාකච්ඡා කරන්නට හා විවේචනය කරන්නට අනෙකුත් මාධ්‍යයන්ට ඇති අයිතියට ලියුම්කරු අභියෝග නොකරයි. එය සියලූ මාධ්‍යවේදීන් ගේ අයිතියක් සේම වගකීමක් ද වෙයි. තමන්ගේ ම ජනමාධ්‍ය කාර්යයන් දෙස තමන් විසින්ම කරනු ලබන කතිකාවන් හා විවේචනයන් නිරෝගී, විශ්වාසදායී හා බලසම්පන්න ජනමාධ්‍ය සම්ප්‍රදායයක් උදෙසා අත්‍යවශ්‍ය ය.

එහෙත් කිසියම් මාධ්‍යවේදියකු අතුරුදන් ව සිටියදී, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ නීතිය හා සාමය රැකීමේ වගකීම සහිත ආයතන කිසිදු පලදායී සොයාබැලීමක් නොකරන අවස්ථාවක දී, ඒ වෙනුවට එම ඛේදවාචකය කටගැස්මකට ගෙන වගකීම් විරහිත ව හැසිරෙද්දී උක්ත මාධ්‍යවේදියා ගේ නුගුණ කියමින්, ඔහු නීතියට පිටින් විනාශ කිරීමට තරම් හේතුකාරණා තිබුණු බව ඇඟවීම වගකීමක් සහිත මාධ්‍ය භාවිතාවක් වන්නේ නැත. එය සේවය කරනු ඇත්තේ අදාළ ඛේදවාචකය පිළිබඳ සාධාරණ සොයාබැලීමක් කිරීම මඟහරිමින් එය විහිළුවකට ගෙන සිටින පාලකයන්ටම ය.

ප්‍රගීත් ගේ ජීවත්වීමේ අයිතිය අනීතික ව උල්ලංඝනය වී තිබේ. ඒ අයිතිය උල්ලංඝනය වූයේ කෙසේද කා අතින්ද යන්න සොයා බලන්නට කිසිදු සාධාරණ කි්‍රයාමාර්ගයක් ද නැත. එවැනි පසුබිමක ප්‍රගීත්ගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය වීමට හේතුකාරණා තිබිණැයි කිසිදු නිශ්චිත මූලාශ්‍රයක් පදනමක් නැති වගකීම් විරහිත ප්‍රකාශ කිරීම ආචාර ධාර්මික ජනමාධ්‍යයක් පිළිබඳ කතාකරමින් ඒ ආචාරධර්ම ම මරාදැමීමකි.
පළමුව ප්‍රගීත් එක්නැලිගොඩ නම් මිනිසා සොයාගනිමු. අවම වශයෙන් ඔහුට සිදු වූ දෙයක් එය සිදුකළ කෙනෙක් හෝ සොයාගනිමු. ඒ සඳහා වගකිවයුත්තන්ට බලකරමු. ඉන් අනතුරුව ඔහු ගැන ගුණදොස් විවේචනය කරමු. ඔහු ගේ මාධ්‍ය භාවිතාවේ ගුණාගුණ සොයමු. එහෙත් ඔහු ගේ මාධ්‍ය භාවිතාව කුමක් වුවත් ඔහුට ජීවත් වීමේ අයිතියක් ඇතිබව මේ මොහොතේ තරව අවධාරණය කරමු. පළමුව අනීතික ව උල්ලංඝනය වූ ඒ මිනිසාගේ ජීවත්වීමේ අයිතිය අරබයා සටන් කරමු.

ඇතැමෙක් ප්‍රගීත් සිය කැමැත්තෙන් සැඟවී සිටින්නේය යන මතය තහවුරු කිරීමට විවිධාකාර මනස්ගාත ලියූහ. ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය මුලිනුපුටා දැම්මේය යි පාරම්බාන, (අද වනවිට අහිංසකයකු වී සිටියත්) කේ පී වැනි "දැවැන්ත එල්ටීටීඊ නායකයකු" ජාත්‍යන්තරයට පවා විහිදුණු බුද්ධි මෙහෙයුමකින් අල්ලාගන්නට සමත්කම් පෑබව කියන ආරක්ෂක අංශයකට, ප්‍රගීත් වැනි මිනිසකු වසරක් තිස්සේ සැඟවීසිටින තැනින් සොයාගෙන ඒමේ හැකියාවක් නැතියි කීම ඒ බලසම්පන්න ආරක්ෂක අංශවලට කරන මදිපුංචිකමකි.

ප්‍රගීත් අරබයා ඉතාම අතලොස්සක් හෝ වූ මේ මාධ්‍ය භාවිතාවන්ගෙන් පැහැදිළි වන්නේ අපේ මාධ්‍ය සමාජය තුළ මෝරා ඇති අරාජිකත්වය හා හෘදසාක්ෂිය අහිමිවීමේ ඛේදවාචකය නොවන්නේද?
මේ අවලාද නැඟ+ ඇතැමෙක් තමන් ප්‍රගීත්ගේ පැරණි මිතුරෝ බව පවසති. මිතුරකුගේ ජීවත්වීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය වී තිතිබියදී, රටේ පාලකයන් ඒ අයිතිය තහවුරු කරන්නට කටයුතු නොකරන සන්දර්භයක් තුළ පවා මෙ වැනි අවලාද ඒ මිතුරා අරබයා ගොඩනැඟමින් පාලක රෙජීමයට සුදුහුණු ගෑ හැකිනම්, එයින් පෙනෙන්නේ පාලකයන් සතුටු කිරීමේ දී ලංකාව සමාජයක් වශයෙන් මිත්‍රත්වය නම් මනුෂ්‍ය සම්බන්ධතාව පවා පාවාදෙන තරම් අරාජික තැනකට වැටීඇති බව නොවේද?

ආණ්ඩුව පැහැදිළිව ම මේ අතුරුදන්වීමට වගකිවයුතුබව වසරකට පසුවත් තරයේ අවධාරණය කරමි. පොලීසියට පවා සිය යුතුකම් කොටස පැහැර හැරිය හැක්කේ, එසේත් නැතිනම් පැහැර හැරීමට සිදුවී ඇත්තේ ඒ නිසා නොවන්නේද? ආණ්ඩුවට මේ චෝදනාවෙන් ගැලවීමට අවශ්‍යනම් කළ හැකි එක ම දෙය, ප්‍රගීත්ට මේ ඉරණම අත්කළවුන් සොයා නීතිය ඉදිරියට පැමිණවීම යි. එය සිදු නොකරන තාක්කල් ආණ්ඩුවට මේ වගකීමෙන් ගැලවී යන්නට නොහැකි ය.

අවසන් වශයෙන් වසරක් තිස්සේ ප්‍රගීත් සොයන සටන මියයන්නට ඉඩ නොදී පවත්වාගෙන යන්නට උපරිම වීරිය දැරූ සන්ධ්‍යා එක්නැලිගොඩ සොයුරියට අපගේ ප්‍රණාමය පුදකරමු.

Tell a Friend

"එක මවකගෙ දරුකැළ බැවිනා" ගයමු සිංහලෙන් (පමණක්) වී නොපමා


ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට නියම කිරීමත්, එහි දෙමළ පරිවර්තනය උගුළුවා දැමීමත් විසින් නිශේධ කරනු ලබන්නේ යුද්ධයට එරෙහි වූ, යුද්ධය වෙනුවට සාමකාමී දේශපාලන විසඳුමක් තුළ ප්‍රශ්නය විසඳාගත යුතුය යි කී අප වැනි 'දේශද්‍රෝහීන්ගේ' තර්ක නොවේ. යුද්ධය වෙනුවෙන් ම කැපවී සිටි, 'කුරිරු ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් අහිංසක දෙමළ ජනයා බේරාගැනීමේ මානුෂික මෙහෙයුමක්' ලෙසින් යුද්ධය වර්ණ ගැන්වූ, 'කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගෙන එක්සේසත් කළ ඒකීය ලංකාවක් තුළ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් තහවුරු වී ඔවුන් නිදහස ලබන්නේය' යි අදටත් මුරගාමින් සිටින, ඊනියා 'දේශප්‍රෙමී' නඩයේ ම සටන් පාඨ යි.



සනත් බාලසූරිය 


ජාතික ගීය දෙමළ බසින් ගැයීම නවතා දමා සිංහලෙන් පමණක් ගැයීමටත්, එහි දෙමළ පරිවර්තනය පාසල් පෙළපොතේ පටන් මුලිනුපුටා දැමීමටත් පසුගිය දා ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර හමාරද, එසේත් නැතිනම් ඒ ගැන සලකාබලමින් සිටින්නේද යන්න හරියට ම පැහැදිළි නැත. කෙසේ වෙතත් මේ වූකලී අනාගත ශ්‍රී ලංකාව යළි යළිත් විනාශය කරා ගෙන යැවෙන, සිංහල මහජාතික උද්දච්ඡකමින් දූෂිත, අතිශය අදූරදර්ශී හා අඥාන තීරණයක් බව නොවැටහෙන්නේනම්, ඒ අන්ත සිංහල ජාතිවාදී උන්මත්තකයකුට ම පමණෙකි.

එසේ ම මේ වූකලී එක්සත් ශ්‍රී ලංකාවක් ගැන හෝ ජාතීන් අතර සංහිඳියාවක් සමාදානයක් ගැන ගැඟීමකින් නොව, අවම වශයෙන් ජාතිකත්වය මත පදනම්වන කලකෝලහාලවලින් තොර සාමකාමී රටක විසීමට කැමැතිවන කිසිවකු හෝ සිටීනම්, එවැන්නකු විසින් හෙළාදැකිය යුතු, නැවැත්වීමට හෝ අහෝසිකිරීමට බලකළ යුතු විනාශකාරී තීරණයකි.


යළි යළිත් පාරන තුවාලය

රටක ජාතික ගීයක් මොන භාෂාවෙන් ගැයුවත් නොගැයුවත් එයට අමුතු අර්ථයක් සැපයෙන්නේ නැත. ඊට සැබෑ අර්ථ සැපයෙන්නේ ඒ රටේ වෙසෙන ජනකොටස් කොතෙක් දුරට ඒ තුළ සංඛේතීය ව නියෝජනය වනවාද, ඒකරාශී කරනවාද ඒ සම්බන්ධයෙන් එහි ජනකොටස්වලට කෙබඳු සංජානනයක් තිඛෙනවාද වැනි කාරණා මත ය. එය බොහෝවිට රටක් සිය ජාතික රාජ්‍යය ගොඩනැංවීමේ මූලික අවදියේ දී සපුරාගත යුතු කාර්යභාරයන්ට අදාළ කාරණාවකි. එතැනින් එපිටට එය අදාළ රටේ සමාජ දේහයේ ගැඹුරට කාවැදී, ඒ තුළ කිඳී යන්නක් මිස වරින් වර හුදෙකලාව හාරා පාදා අමුතු අර්ථකතන සෙවීමට අවශ්‍ය කාරණයක් නොවීම ස්වභාවික ය. ජාතික ගීය මතු නොව, ඕනෑ ම ජාතික සංඛේතයක් සම්බන්ධයෙන් මෙය සැබෑවකි.

එහෙත් රටේ අධිකාරී බලය දරන්නන් විසින් ම එ වැනි සංඛේත කලින් කලට හාරාගෙන, විවිධ පටු අරමුණු උදෙසා ඒවායින් රටේ විවිධ ජනකොටස් පිටමං කිරීමට, පලවා හැරීමට, ඔවුන්ට ඇති සංඛේතීය නියෝජනයත් අහෝසි කිරීමට කටයුතු කරන්නේ නම්, එය ගැටුමක් නැති රටක වුව ජනකොටස් අතර සංහිඳියාව දැඩි කිරීමට නොව නව ගැටුමකට පාර කපන්නකි. දැවැන්ත ගැටුමකින් පසු යටත්කරන ලද්දේය යන මානසිකත්වය උරුම කරදුන් ජාතිකත්වයක් අරබයා මේ අන්දමින් කි්‍රයාකරන්නට යාම අතිශය බැරෑරුම් ප්‍රතිඵල ගෙනඑන්නක් බව එයින් ම පෙනීයයි.

අතේ පත්තුවන දේශප්‍රේමී තර්ක

ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට නියම කිරීමත්, එහි දෙමළ පරිවර්තනය උගුළුවා දැමීමත් විසින් නිශේධ කරනු ලබන්නේ යුද්ධයට එරෙහි වූ, යුද්ධය වෙනුවට සාමකාමී දේශපාලන විසඳුමක් තුළ ප්‍රශ්නය විසඳාගත යුතුය යි කී අප වැනි 'දේශද්‍රෝහීන්ගේ' තර්ක නොවේ. යුද්ධය වෙනුවෙන් ම කැපවී සිටි, 'කුරිරු ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් අහිංසක දෙමළ ජනයා බේරාගැනීමේ මානුෂික මෙහෙයුමක්' ලෙසින් යුද්ධය වර්ණ ගැන්වූ, 'කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගෙන එක්සේසත් කළ ඒකීය ලංකාවක් තුළ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් තහවුරු වී ඔවුන් නිදහස ලබන්නේය' යි අදටත් මුරගාමින් සිටින, ඊනියා 'දේශප්‍රෙමී' නඩයේ ම සටන් පාඨ යි.

මේ වූකලී සිංහල රාජ්‍යය පොරොන්දු වූ ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවට, ඛෙදුණු ලංකාවක අවශ්‍යතාව දෙමළාට තව තවත් තහවුරු කැරෙන පියවරකි. එල් ටී ටී සන්නද්ධ අරගලය තලාදැමීමෙන් අනතුරුව තමන්ගේ ජාතිකත්ව අනන්‍යතාව අහිමි කරමින්, තමන් තව තවත් දරුණු ලෙස සිංහල මහ ජාතිවාදයට යටත්කර දැමීමක් ලෙස දෙමළාට මෙය වැටහෙන බවත්, වෙන්වීම හැර මේ සිංහල මහ ජාතිවාදයෙන් නිදහස ලැබීමට තමන්ට වෙනත් මඟක් නැතිබව දෙමළාට නැවතත් තහවුරු වන බවත් මේ තීරණ ගන්නා පිරිස් හා ඒවාට හුරේ දමන පිරිස් තේරුම් නොගැනීම අවාසනාවකි. කිසිදාක ප්‍රායෝගික ව කි්‍රයාත්මක නොවූ සිය භාෂාවට ද ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතිය, නිල වශයෙන් ම උල්ලංඝනය වීමේ තවත් දරුණු සංඛේතාත්මක අවස්ථාවක් ලෙසින් නොවේද මෙය දෙමළ සමාජයට හැෙඟනු ඇත්තේ? එයින් නිශේධ වන්නේ ඒකීය ලංකාවක් තුළ දෙමළා ද සිංහලයා හා සමාන පුරවැසියකු වනබවට වහසිබස් දෙඩූ ඉහත ඊනියා දේශප්‍රේමීන්ගේ ප්‍රවාදයම ය.

මෙහි අනියම් ඇඟවුම වශයෙන් 'බිමට සමතලා කර දමන ලද තොප දැන් ඉතින් අප කියන හැටියට අපේ භාෂාවටත් අපේ සංස්කෘතියට වැඳ පුදාගෙන අපේ යටත් වැසියන් වශයෙන් සිටිය යුතුය' යන්න දෙමළාට සම්මුඛ වීම ස්වභාවික ය.


දෙබිඩ්ඩන්ගේ බොරු

කැබිනට් මණ්ඩලය තුළ මේ තීරණයට උඩගෙඩි දුන් ප්‍රධාන පුද්ගලයකු ලෙස වාර්තා වන්නේ විමල් වීරවංශ ය. ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයිය යුතුය යි අවධාරණය කරමින් ඔහු කීබව වාර්තා වන්නේ වෙනත් කිසිදු රටක මෙසේ භාෂා දෙකකින් ජාතික ගීය නොගැයෙන බව ය. එහෙත් වීරවංශ දැන දැන ම හෝ නොදැනුවත්කම නිසා මෙහිදී ද බොරු කියයි. භාෂා තුන්සියයකට වඩා ඇති ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ හින්දි භාෂාවෙන් පමණකැ යි කියා ඇති ඔහු ගේ කතාව බොරුවකි. ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ හින්දි භාෂාවෙන් නොව, ඛෙංගාලි බසෙනි. සංස්කෘත වදන් බහුලව යොදාගනිමින් ඛෙංගාලි බසින් එය ලිවේ රවීන්ද්‍රනාත් ථාගෝර් ය. එහෙත් භාෂා 300ක් වහරන, හින්දි බස ප්‍රමුඛ නිල භාෂාව වූ ඉන්දියාවට, තමන්ගේ ජාතික ගීය ඛෙංගාලි බසින් ගැයීම අදටත් ප්‍රශ්නයක් වී ඇතිබව දැනගන්නට නැත.

භාෂා කිහිපයකින් ජාතික ගීය ගැයෙන රටවල්වලට ඕනෑතරම් උදාහරණ තිබේ. දකුණු අප්‍රිකාවේ එය ගැයෙන්නේ ක්සෝසා :Xයදි්-, අප්‍රිකානු :Aරෙසන්්බි- හා ඉංග්‍රීසි යන භාෂා තුනෙනි. කැනඩාවේ ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා ද්වයෙන් ම ජාතික ගීය ගැයේ. ස්විට්සර්ලන්තයේ ජර්මන්, ප්‍රංශ, ඉතාලි හා රුමාන්ට්ෂ් :ඍමප්බඑිජය- යන නිල භාෂා හතරෙන් ම එය ගැයේ. මෙහි විශේෂත්වය වන්නේ රුමාන්ට්ෂ් භාෂාව 1%ක පමණ ස්විට්සර්ලන්ත ස්වදේශීය ජනකොටස පමණක් කතාකරන භාෂාවක් වීම යි. නවසීලන්තයේ ඉංග්‍රීසි හා මැඔරි :ඵ්දරස- භාෂා ද්වයෙන් ම ජාතික ගීයේ අනුවාද පවතින අතර සාමාන්‍යයෙන් පළමුව ගැයෙන්නේ මැඔරි අනුවාදය යි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු වචනය නොව කි්‍රයාවයි

මේ සම්බන්ධයෙන් තව තවත් උදාහරණ දීමට නොවෙහෙසෙමි. තමන්ට අවාසි සියලූ දෙයෙහි දී විදේශ ආදර්ශයන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ න්‍යායයෙන් හංවඩු ගසමින් 'දේශීය පොළොවේ උපන් විසඳුම්' නම් ජාතියක් සොයන මෙබඳු දෙබිඩ්ඩන්, මෙවැනි තැන්වල දී ජාත්‍යන්තර උදාහරණවලින් බොරු පවා ගොතමින් සිය මතය තහවුරුකරගන්නට දඟලන ආකාරය පමණක් හෙළිදරව් කරතැබීම ප්‍රමාණවත් ය.

එහෙත් ජාතික ගීය භාෂා කිහිපයකින් පවත්වාගෙන යන රටවල් එසේ කරන්නේ කුමක් සඳහාදැ යි සලකා බැලීම වැදගත් වේ. එහි අරමුණ වන්නේ ඒ ඒ භාෂාවන්ට අවශ්‍ය ගරුත්වය, සමානාත්මතාව, සැලකීම අදාළ රාජ්‍යය තුළ පවතින බවට ඒ ඒ භාෂා වහරන ජනකොටස්වලට හැඟීමක් ලබාදීම යි. එහෙත් ලංකාවේ ආණ්ඩුව කරමින් සිටින්නේ බිහිසුණු යුද්ධයකින් තලාදමා සිටින දෙමළ ජාතිකයා මෙතෙක් සංඛේතීයව හෝ භුකති විඳිමින් සිටි කිසියම් ම හෝ සැලකීමක් වී නම් එවා ද ඔහු කෙරෙන් උදුරා දැමීම යි.

'මුදාගත්' ජනතාව 'යටත්වැසියන්' කිරීම

ආණ්ඩුව එසේ කරමින් සිටින්නේ දෙමළා තමන් ගේ අයිතිය ඉල්ලා අරගල කරන අවස්ථාවක නොවේ. ඒ අරගලය තලා පොඩිපට්ටම් කර, ඒ භූමියේ සිටි ජනයාගෙන් සැලකිය යුතු පිරිසක් වසර එකහමාරක් තිස්සේ මිනිස් දුහුවිලි කර කඳවුරුවල අනාථයන් සේ ගාල්කර, තවත් තරුණ පිරිසක් රහසිගත ස්ථානවල දේශපාලන රැඳවියන් සේ ගාල්කර, ඔවුන් සතු භූමිය ආරක්ෂාවේ නාමයෙන් කොල්ලකාගෙන, සිය ලැබැඳියන්ට එරෙහිව සිදු වූ සකලවිධ ඝාතනයන් ඇතුළු මර්දනයන්ට කිසිදු පිළිසරණක් නොසපයා, මුළුමනින් අසරණකර දමා තිඛෙන තත්ත්වයක් යටතේ ය. ඇතිවෙන්නට බැට කා, නැතිවන්නට දෙයක් නැතිව, අමුතුවෙන් රිදුමක් කියා දෙයක් දැනෙන්නට තරම් සංවේදනාවක් පවා නැතිතරමට රිදුමෙන් හෙම්බත් ව සිටින අද දවසේ දී, මෙය ඔවුන්ට දැනෙනු ඇත්තේ කෙසේද යන්නත්, හෙට වනවිට ඔවුන් ඒ සම්බන්ධයෙන් දක්වන සංවේදීතාව කෙබන්දක්ද යන්නත්, අනාගතයේ දී එයට දැක්වීමට ඉඩඇති ප්‍රතික්‍රියාව කුමක්ද යන්නත් සිතාබැලීම, මේ තීරණ ගන්නන්ගේ කෙසේවෙතත් අවම වශයෙන් සාමකාමී රටක ජීවත් වන්නට හෝ බලාපොරොත්තුවක් ඇති මිනිසුන්ගේ යුතුකමකි.

යුද්ධය අවසන්බව ප්‍රකාශ කළ අලූත ජනාධිපතිවරයා අඩුපාඩු සහිතව හෝ දෙමළ බසින් දෙමළ පෙදෙස් හි ජනයා ඇමතීමට උත්සාහ ගත්තේ ය. විදෙස්හි දී රාජ්‍ය තාන්ත්‍රික සභා පවා දෙමළෙන් ඇමැතීමට කටයුතු කළේ ය. එයින් ඔහු රටටත් ජාත්‍යන්තරයටත් දෙන්නට හැදූ පණිවුඩය වූයේ දෙමළ ජාතිකත්වයට ද සිය ආණ්ඩුව යටතේ පිළිගැනීමක් ලබාදෙනවා ය යන්න නම් ඒ උත්සාහය අමූලික ව්‍යාජයක් හා රඟපෑමක් බවට සකල ලෝකයාට ම ඒත්තු ගැන්වීමට මේ තීරණය හේතුවනවා ඇත. සැබෑවට ම රටෙහි වසන තවත් ජාතියකට සැලකීම යනු ක්‍රියාවෙන් එය ඔප්පු කර පෙන්වීම මිස ඔවුන් ගේ භාෂාව කටපාඩම් කරගෙන වරද්ද වරද්දා රට තුළ හා ජාත්‍යන්තර සභා ඇමතීම නොවේ ය යන්න ශිෂ්ට ලෝකය හොඳින් දනී.

කැබිනට් සාමාජිකයන්ගේ ඔලූගෙඩියේ හා කශේරුකාවේ ප්‍රශ්නය

වාර්තාවන අන්දමට මේ සම්බන්ධයෙන් වචනයෙන් හෝ විරුද්ධ අදහසක් කැබිනට් මණ්ඩලය තුළ දක්වා තිඛෙන්නේ ඇමැතිවරුන් දෙ දෙනකු පමණි. ඒ විරෝධය ද 'පස්සට කල්දාන්ඩ' 'තවත් සලකාබලන්ඩ' වැනි දියාරු වදන්වලින් එපිටට ගිය එකක් ලෙස වාර්තා නොවන අතර තීරණාත්මක මොහොතේ කිසිදු හිරිකිතයක් නැතිව (දැනටමත් අතඋස්සා නැතිනම්) මේකටත් අත උස්සන්නට ඒ දෙදෙනා ද පසුබට නොවනු නිසැක ය.

අමාත්‍ය මණ්ඩලය වැනි රටක ගමන්මඟ ගැන තීන්දු ගන්නා ව්‍යූහයන් පැත්ත පළාතක වැද්දගන්නට නොගැලපෙණ සොරුන්, අපරාධකාරයන් සේම, එ වැනි තනතුරු දැරීමට තරම් උගත්කමක්, දේශපාලන දැනුමක් ඇති, එහෙත් තමන්ගේ ම ඛෙල්ල කැපෙන පනතට පවා ආණ්ඩුවේ ප්‍රධානියාට එරෙහිව අත උස්සන්නට තරම් කශේරුකා ශක්තිමත් නැති, රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහ අනතුරට හෙළුෑ 18වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් කිසිදු හිරිකිතයකින් තොරව අත එසැවූ 'ප්‍රාඥයින්ගෙන්', 'වම්මුන්ගෙන්' හා 'දේශපාලන පරිනතයන්ගෙන්' ද සමන්විත කැබිනට් මණ්ඩලයකින් මීට වඩා කුමක්නම් බලාපොරොත්තු වියහැකිද? 'ඔවුන් මීට විරුද්ධවීමෙන් ඇතිවන ප්‍රායෝගික වෙනසක් නැති බැවින් ඊට අතඋස්සනවා හැර වෙනත් කරන්නට දෙයක් ඔවුන්ට නොතිබිණැ'යි මෙයින් ඇතැමුන් වෙනුවෙන් චරිත සහතික ලියාදීමට න්‍යායාචාර්යවරුන් ද සිටින විට එය කොහොමත් අමාරු කටයුත්තක් නොවේ.

වචනයකින් හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්තියකට විරෝධයක් දැක්වීමට තරම් අවකාශයක් ඇති ශ්‍රී ලංකාවේ ඇතැම් දෙමළ පාර්ශවවලින් දැනටමත් මීට විරෝධය එල්ල වී ඇත. තමිල්නාඩු දේශපාලන ක්ෂේත්‍රයේ ද ඒ විරෝධය පවතී. යුද්ධයකින් යටත් කළ ජාතියක ගේ මෙ වැනි අවම අයිතිවාසිකමක් පවා සුරකින්නේ නැතිව ඒවා ද උගුල්ලාදමන රාජ්‍ය තන්ත්‍රයකින් ඒ ජාතියට අනාගතයේ ලැඛෙන්නට නියමිත සුපිරි සමතැන කුමක්දැ යි ජාත්‍යන්තර ප්‍රජාවට මෙයින් ඍජු සංඥාවක් යැවෙයි. මෛවැනි පියවරයන් ආණ්ඩුව කියන සුපිරි සංහිඳියාව ඇතිකිරීමට හේතු නොවනවා පමණක් නොව ඒ සංහිඳියාවේ රුවගුණ දැකබලාගැනීමට ඍජු ව උපස්ථම්භක වන අවස්ථා ද වේ.

ප්‍රඥාංකුරය වෙනුවට කහඹිලියා වැල හමුවීම

අසූව දශකය අග භාගයේ දී සිංහල බෞද්ධ ගැමි ප්‍රඥාංකුරයක් සොයමින් සිට, එයින් දශක දෙකක් ඇවෑමෙන් ඒ ප්‍රඥාංකුරය වෙනුවට ඇටුවම්බැසගත් අමු ග්‍රාම්‍ය සිංහල බෞද්ධ පවුල් වනාන්තරයකුත්, මැස්ස ඇති දෙසට දිවගිය කහඹිලියා වැලකුත් සම්මුඛ වී, එයින් අමන්දානන්දයට පත්ව සිටින හිටපු සාහිත්‍යවේදී මා මිත්‍ර ගුණදාස අමරසේකර, මේ තීරණය සම්බන්ධයෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් තප්පුලෑම ලංකාවේ වෙසෙන කාටවත් පුදුමයක් නොවීම නම් ස්වභාවික ය.

Tell a Friend

නව කැබිනෙට්ටුව: මහින්දගේ එඩිතරකම


සනත් බාලසූරිය


මහින්ද රාජපක්ෂ එඩිතර නායකයෙකැයි අපි කොතෙකුත් අසා ඇත්තෙමු. කොටියා උස්සා පොළොවේ ගැසූ පසුවත් එය පිළිගැනීමට අකැමැති වූ කිසිවෙක් සිටියේ නම්, මෙවර ඇමැතිකම් බෙදිල්ලෙන් පසුවවත් එය පිළිගැනීමට එවැන්නෝ සූදානම් විය යුත්තාහ. මේ එඩිතරකමේ රඟ තවමත් තේරුම්ගන්නට සමත් නොවූ හුදී ජනයා ගේ පහන් සංවේගය උදෙසා ය, මේ කෙටි පැහැදිළි කිරීම.

ජනපති මහින්ද ගේ ෙජ්්‍යෂ්ඨ ඇමැතිකම් බෙදිල්ල, ඒවා ලද්දන් ගේ කනස්සල්ලටත්, ආණ්ඩු විරෝධීන් ගේ උසුළු විසුළුවලටත්, ආණ්ඩුවේ ඊළඟ ෙජ්්‍යෂ්ඨයන් ගේ භීතියටත් හේතු වී ඇති බවක් කනින් කොනින් අසන්නට ලැබේ.

එහෙත් හිත රිදී සිටින කවුරු මොනවා කීවත්, මෙය එඩිතර මහින්ද ගේ එඩිතරකම මැනගත හැකි තවත් අනගි අවස්ථාවකැයි නොකියා සිටීම නම් කුහකකමකි.

මෙගා කැබිනට්ටු

ලෝකයාට විහිළු සැපයීමේ සද් චේතනාවෙන් මෙගා කැබිනට්ටු හැදීමේ අපේ ඉතිහාසය, අදක ඊයේක පටන්ගත් එකක් නොවන එබැවින් 'රාජපක්ෂ අලූත් ම මෙගා කැබිනට්ටුවක් හදා ඇතැ'යි අණබෙර ගැසීම විහිළුවකි. දෑත් ශක්තිමත් කිරීමට රොදබැන්ද එකසිය හැටකට වැඩි හැමෝම ඇමැති තනතුරුවලින් පුදා, මෙගා කැබිනට්ටු ගිනස් වාර්තාවත් තමන් සන්තක කරගැනීමට මහින්ද කල්පනා නොකිරීමේ අඩුව යාන්තමටවත් පිරිමැසුණානම් ඒ ගිනස් රැකෝඩ් කිරිබතෙන් ම පමණ ය.

රාජපක්ෂ ගේ ෙජ්්‍යෂ්ඨ ඇමැතිකම් බෙදිල්ල එඩිතරකමක් වන්නේ කෙසේදැයි අපි දැන් සොයාබලමු.

හැට පැන්නත් බිම නොයන වඳුරන්ගෙන් සේම, අසූව පැන සුෂුම්නාවේ වාරු නැතිවුණත් පුටුව දමා ගෙදර නොයන දේශපාලකයන්ගෙන් ද අපට අඩුවක් නැත. ඒ කිසිවකුත් 'දැන් මදෑ' කියා ගෙදර යවන්නට තරම් හිත හයිය, එඩිතර නායකයකු අපට මෙතෙක් පහළවූයේ ද නැත. එහෙත් ඒ හිත හයිය, එඩිතර නායකයා දැන් පහළවී සිටී. දැන් කෙලින් ම එකුන් දුසිමක් ඇමැතියන් 'දැන් මදෑ' ඇමැතිකම් දී නුදුරේදී ම ගෙදර යවන්නට ඒ එඩිතර නායකයා පිඹුරුපත සකසා ඇත.

තමන් දේශපාලන වශයෙන් විශ්‍රාම යාම හෝ නොයාම තීරණය කළ යුත්තේ තමන් බවත්, එහෙත් මේ ඇමැතිකම් ඔස්සේ මහින්ද එය තීරණය කර ඇති බවත්, එක් ෙජ්ෂ්ඨ ඇමැත්තකු කී බවක් මාධ්‍යයක පළවී තිබිණි. ප්‍රශ්නය වන්නේ, තීරණය කළ යුත්තේ තමන්ම වුවත් එහෙම තීරණයක් තමන්ගෙන් ම නො එන එක ය. ඉතින් තමන් තීරණය කරන්නට ඕනෑ දේ හරියට කලට වේලාවට තීරණය කරන්නට අසමත් අයවලූන් වෙනුවෙන් ඒ තීරණය ගන්නට වෙන කෙනෙක්වත් සිටීම හොඳ ය. අනෙක් අතට මේ ඇමැත්තන්ට සැනසීමට කාරණා ඇතිතරම් තිබේ. තමන් වෙනුවෙන් ඒ භාරදූර තීරණය ගෙන ඇත්තේ නිකම්ම නිකම් ලපයි සිපයි නායකයෙක් නොවේ. රාජ්‍ය මාධ්‍යවලට අනුව 'ලෝකය ජයගත් නායකයා' ය. 'දිවි ඇති තෙක් ජනාධිපති පුටුවේ වැජඹීමට වාසනා වේවා' යි දොහොත් මුදුන් දී පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ම එකසිය හැට ගණනක් කඳින් නැවී වරම් දුන් උත්තමයා ය. ඉතින් තමන් අරබයා තමන් විසින් ගත යුතු තීන්දුව, එවන් උත්තමයකු අතින් තමන් වෙනුවෙන් රැගෙන දීම පිනක් බව මේ ජෙෂ්ඨයෝ තේරුම්ගත යුත්තාහ.

"දැන් මදෑ" ඇමතිකම්

මේ "දැන් මදෑ" ඇමැතිකම්වලට විෂයයන් ඛෙදා ඇත්තේ ද අමුතු පිළිවෙලකට යයි කියති. එහෙම අමාත්‍යාංශ ජාතියකට අයවැයෙන් මුදල් වෙන්කරලාත් නැතිලූ. ඉන්නට හිටින්නට කාර්යාලත් නැතිලූ ලේකම්වරුනුත් නැතිලූ. වැඩක් කරගන්නට ගෝලබාලයකු තබා පියුං කොලූවකු හෝ ඉන්නවාද නැද්දැයි තාම ඔවුන්වත් දන්නා පාටකුත් නැතිලූ. කොටින්ම ව්‍යවස්ථාවටත් අඩංගුද නැද්ද දන්නේ නැතිලූ. "කරන්නට ඇත්තේ මොනවාදැ යි" මාධ්‍යකාරයකු මේ අලූත් ෙජ්ෂ්ඨ ඇමැත්තන්ගෙන් අසන ලදුව, "එයාගෙන්ම තමයි අහන්ඩ ඕනෑ'යි එක් ෙජ්ෂ්ඨයෙක් කීවේලූ. කරුණු යෙදී ඇත්තේ මෙහෙමනම් "දැන්වත් පව්නොදී යනවලා" යි, නොකියා කී එඩිතර කීමක් සේ මෙය ගන්නට මේ ජෙෂ්ඨයන් දැන්වත් නොසිතන්නේ කාගේ පවටද?

අනෙක් අතට"පල නොකියා පලා බෙදිල්ල" වැනි ගමේ ගොඩේ වැඩකට ඉහළම රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබාදීමට මහින්ද කටයුතු කිරීම පිළිබඳව, අපේ ගැමි සංස්කෘතිය අගයන "ජැක් - සූරිලා"ගෙන් ලැඛෙන ප්‍රශංසා හොඳටම මදිබව පෙනේ.

හිටපු අගමැතිවරයාත්, ඉන්නා අගමැතිවරයාත්, සියවස් අඩකට වඩා පැරණි වමේ පක්ෂ දෙකක වයස්ගත ලොක්කන් දෙ දෙනාත් "දැන් මදෑ" ඇමැතිකම්වල ඇද දමමින් මහින්ද පෙන්වූ එඩිතරකම සැබෑම එඩිතරකමක් නොවේය යි කාටනම් කිවහැකිද?.


අත ඉස්සීමේ "පරිනතකම"

පරිනත ජෙෂ්ඨයන් රටක දේශපාලනයට අවශ්‍ය බව "ජයගත් නායකයා" නොදැන ඉන්නට හේතුවක් නැත. එහෙත් අවශ්‍ය වන්නේ පරිනත දේශපාලන දැනුමක් ඇති, ඒ දැනුමින් රටේ වැදගත් තීන්දුවකට තීරණයකට සම්මාදම් විය හැකි පරිනතයන් ය යන්නද ඔහු හොඳාකාරව ම දන්නවා ඇත. එහෙම නැතිව පරිනත දේශපාලකයන් කියන්නේ ඇමැති පුටුව මත ම අවසන් හුස්මත් හෙළා, රජයේ වියදමෙන් අවසන් ගමනත් යමියි සිතා සිටින්නන් නොවේය යි ද මහින්ද නිච්චියටම සිතනවා ඇත. සිය පරිණත දේශපාලන දැනුමෙන් රටට වැඩක් කරන්නේ නැතිනම්, කරන්නේ "ලෝකය ජයගත් නායකයා" වශයෙන් තමන් කරන ඕනැ දේටයි එපා දේටයි හැම එකට ම හරියක් වැරැද්දක් නොබලා, තම තමන්ගේ පුටුව දෙස ම පමණක් බලා අත ඉස්සීම පමණක්නම්, චිරාත්කාලයක් ජනපති පුටුවේ වැජඹෙන්නට වරම් ඇති තමන්ට එහෙව් පරිණතයන්ගෙන් ඇති පලේ කුමක්දැ යි මහින්ද හිතන්නට ඇත. එහි වරද කිම?

තමන් ගේ මතු නොව පක්ෂයේ ද මුළුමහත් දේශපාලන ප්‍රතිපත්තිය ම පාවා දී ඇමැතිකම් ගැන පමණක් සිතා 18 වැනි සංශෝධනයට අත ඉස්සූ සමසමාජ කොමියුනිස්ට් ලොක්කන් දෙදෙනාගේ පරිනතකමින් ඇති වැඩේ මොකක්දැ යි "ලෝකය ජයගත් නායකයාට" නොහිතෙන්නට කිසිම හේතුවක් නැත.

කැබිනට් මණ්ඩලයේ ම තවදුරටත් එල්ලී ඉන්නට වරම් ලද ජෙෂ්ඨයන් එක්ක බලද්දී, එහෙමකට ජෙෂ්ඨයකුත් නොවන පියසේන උන්නැහේටත් ජෙෂ්ඨකමක් ලැබීම තමන්ගේ වාසනාවක් සේ උන්නැහේ ගණන්ගත යුතු ය. මන්දයත් නිකම්ම මස්තබාල්දු වී ගෙදර යන්නේ නැතිව, රත්තරන් සපත්තුවක් ලෑ පයකින් පශ්චාත් භාගයට අන්නවාගෙන ජෙෂ්ඨයකු සේ ගෙදර යන්නට තරම් වාසනාවක් තමන්ට පෑදී ඇති බව උන්නැහේට වැටහිය යුතු බැවිනි.

ජෙෂ්ඨ කැපිල්ල

පක්ෂය ඇතුළේ එහෙමකට ජෙෂ්ඨකමක් නැති පියසේනට මේ හදිසි ජෙෂ්ඨ නම්බුනාමය ලැබුණේ උන්නැහේ ගේ හපන්කමකින් නොව උන්නැහේ ගේ සහෝදරියක ගේ හපන්කමකින් බව දැනගන්නට තිබේ. තරු ගැලවූ ජනරාල්ට සෙත් පතා ජනරාල් ගේ බිරිය සමඟ පොල් ගහන්නට දේවාල ගානේ යාම ඒ හපන්කමලූ. එහෙව් පියසේන උන්නැහේට ජෙෂ්ඨ කමක් දීමෙන් මහින්ද පෙන්නා ඇත්තේ මැති ඇමැතිවරුන්ට පමණක් නොව ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ ඕනෑම අයෙකුට වුව ඔවුන් වෙනුවෙන් ජෙෂ්ඨ පට්ටමක් ලබාදීමේ පුණ්‍යකර්මයට කරගැසිය හැකි බවයි. ඉතින් එහෙමකට ජෙෂ්ඨත් නැති උන්නැහේ කෙනෙක් හත්මුතු පරම්පරාවේ කාගේ හෝ කෙරුවාවක් නිසා ජෙෂ්ඨයෙක් කිරීමට තමන්ට ඇති බලය පෙන්වීම, මහින්දගේ එඩිතරකම නොවන්නේ නම් වෙන කුමක්ද?

මේ තනතුරු ඛෙදිල්ලේ දී මහින්ද සිය එඩිතරකම පෙන්වූ එකම අවස්ථාව "දැන් මදෑ" ඇමැති පට්ටම් මැවිල්ල පමණක් නොවේ.


එඩිතරකමේ රඟ

ජනමාධ්‍ය ආයතනවලට කඩාවැදී යකා නැටූ, මහ දවාලේ ජනමාධ්‍ය ආයතවලට ගල්ගහන්නට කුපිත වූ අහිංසක ජනයාට ශක්තියක් වූ, රාජ්‍ය නිලධාරීන් ගස්බැදීමේ නාට්‍ය රඟදැක්වූ සිල්වාට උන්නැහේට නිකම්ම කැබිනට් ඇමැතිකමක් නොව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු වැනි හරියට ම කැපෙන කටයුත්තක් භාරදීමෙන් මහින්ද පෙන්වා ඇති එඩිතරකම සුළුපටුද? තමන්ට මෙවැනි පට්ටමක් දීමෙන් සිය නායකයා පෙන්වූ එඩිතරකම හෑල්ලූ කිරීමට සිල්වා උන්නැහේගෙන් කීයටවත් නොසිතන බැවින් තව හොඳ හොඳ සෙල්ලම් ද නාට්‍ය ජවනිකා ද එළිවෙන ජාමයට බලාගත හැකිවනු ඇත.

මාවිල් ආරු ගොවියන් ගේ සහනාධාර ගසාකෑවාය යි චෝදනා ලද උන්නැහේට ගොවිජන සේවා අමාත්‍යාංශය ම ලබාදීම තවත් එවැනි ම එඩිතරකමක් නොවන්නේ නම් වෙන කුමක්ද? සිය නායකයා තමන්ට සැලකීමේ දී දැක්වූ එඩිතරකමට සරිලන එඩිතරකමක් අප ඔහුගෙන් ද බලාපොරෙත්තුවුව මනා ය.


"කළ පින්" පලදීම

මහින්දට මේ සා එඩිතරකමක් කාන්දුවන්නේ කුමකින්ද? ඒ, පක්ෂයට පිටුපා හෝ කොලේ වසා, තමන් ගේ ඇමැතිකම් ගැන ම ලොබ බැඳ, සිය දේශපාලන ව්‍යාපාරයේ මෙතෙක් පවත්වාගෙන ආ කිසියම් ම වූ ප්‍රතිපත්තියක් වීනම් එය ද දෙකේ කොලයට දමා තිස්සලා ඩිව්ලා දහ අටට අත උස්සා ලබා දුන් හයියෙනි. උණ හෙම්බිරිස්සාවට පස් පංගුව සේ දේශපාලන විද්‍යාව දිරවාගත් ආචාර්ය මහාචාර්යලා කිසිදු විලිලජ්ජාවක් නැතිව දහ අටට අත උස්සා දුන් හයියෙනි. කටුකම්බි වැටවල් පැනගෙන හතරවටින් දිව ආ එකසිය හැට ගණනක් පබාලා සහ කොබාලා දහ අටට දෑත ම උස්සා දුන් හයියෙනි. ඒ හයියෙන් කාන්දුකරන ලද එඩිතරකම හෙට අනිද්දා වනවිට කොයි තරම් දුර යාදැ යි අද "වෙන්ඩ ජෙෂ්ඨයන්" සේ සිටින අයට පමණක් නොව රටේ කොයි කාටත් ඊළඟ අවුරුදු කිහිපයේ දී දැකබලා ගන්නට හේතුවාසනා වනවා නො අනුමාන ය.

"මේ රටේ පහළවූ එඩිතර ම නායකයාගෙන් පස්සට පයින් අන්නවාගෙන දේශපාලන කුණුබක්කියට වැටීමට තරම් අපි වාසනාවන්ත වීමු"යි උදම් ඇනීමේ පින ඩිව් තිස්ස සහෝදර දෙපොළට ළඟදීම පලදෙනවා ඇත. අවාසනාවකට වාසු සහෝදරයාට ඒ පින පලදෙන්නට තව ටිකක් කල් යන බව පෙනෙන්නට තිබේ.

(ජෙෂ්ඨ ඇමැතිකම් බෙදිල්ල මහින්දගේ එඩ්තරකම පෙන්වන අවස්ථාවකැයි මෙහි කියා ඇත්තේ විහිළුවටය යි යමෙකුට සිතෙන්නේ නම්, එය ලියුම්කරු ගේ ලිවිල්ලේ අඩුපාඩුවක් නිසා සිදුවූවකි. මෙය එඩිතර තීරණයක්ය යන්න කිසිසේත් ම විහිළුවට කාරණයක් නොවන බව සැලකුව මනා ය)

Tell a Friend