ජනවාරි 08: ඓතිහාසික දිනය අදයි

රාජපක්ෂ හෝ රාජපක්ෂලාගේ දේශපාලනය වූ කලී සංස්කෘතියේ කොටසකි. එය සංස්කෘතියේ නිර්මාණයකි. රෝගී සමාජයක රෝග ලක්‍ෂණයකි. මෙම සංස්කෘතික ගැටලුව මඟින් දැවැන්ත පෞද්ගලික අනාරක්ෂාවක් පැලපදියම් කොට ඇත. එය ඉහළ සිට පහළට සමාජ ධූරාවලීයේ සෑම තැනකම විවිධ සාන්ද්‍රණයන්ගෙන් දක්නට ලැබේ. බලය තමන් වටා ඒකරාශී වූ විගස රාජපක්ෂ  පෙර-මිතුරාගෙන් පවා වැඳුම් පිදුම් බලාපොරොත්තු වන්නේ මේ නිසාය. ඔහුට අනුව තම බලය රැක ගැනීම සඳහා එවැනි නියාලු හැදියාවක් තමන් වටා සිටින අයවලුන් පෙන්වීම අනිවාර්ය වේ.

| නිලන්ත ඉලංගමුව

ඒ දිනය උදා වී ඇත. වෙනදා මෙන්ම දවස ගෙවනු ඇත. නමුත් අද දින ගෙවන සෑම මොහොතක්ම අතිශය තීරණාත්මක වේ. එය සෑම දෙනෙකුගේම මතකයේ රැඳනු ඇත. රටක හැරවුම් ලක්ෂයන් මුලික වශයෙන් නිර්මාණය කරනු ලබන්නේ මෙවැනි අවස්ථාවන් වලදීය.

අත්හල සහ මඟ හැරුණු අවස්ථා රැසක් මෙන්ම ලැබුණු අවස්ථා අයාලයේ යැවීම් වෙනත් රටවල් වල සේම අපේ මාතෘ භූමියටද ඉතා පොදු මෙන්ම කටුක අත්දැකීම බව ඉතිහාසය පැහැදිළි කොට ඇත. මෙවර උදා වී ඇති තත්වය මඟින් මැජික් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් මෙම අවස්ථාව වූ කලී, කිසිවක් නැති තැනට යමක් ලැබීමකි. අඳුරට තල්ලු වී සිටි ජාතියක් අභිමුඛයට ආලෝකයක් පැමිණීමකි. ජාතියකට බුද්ධියක් තිබේද? එය මෙහෙයවීමට එම ජාතිය සතුව ශක්තිය තිබේද? යන්න තීරණය කරනු ලබන්නේ මෙවැනි අවස්ථාවන් මඟිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුවහොත්, එමඟින් සමස්ථ සමාජයට ලබා දෙන්නේ විශාල අභියෝගයකි. එසේම ඔහු ජයග්‍රහණය කළහොත් හෙටින් පසු උදා වන්නේ සටන යළි සකස් කිරීමේ ඍතුවයි. එය ඓතිහාසික වන්නේ මේ නිසාය. අපි ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථානයක මුදුනට තල්ලු වී සිටින්නෙමු. බහුතරය විසින් ගන්නා තීන්දුව මඟින් රටේ මතුපිට තලය වෙනසකට හෝ පැවති රටාවම පවත්වා ගැනීමකට ඇති කැමැත්ත තීරණය වනු ඇත. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ සුන්දර වූ අත්දැකීමයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවනත විය යුතු මූලධර්මයයි. 

මෙවර මැතිවරණය වූ කලී සුවිශේෂී එකක් වීමට බොහොමයක් හේතු කරනා තිබේ. එනම්, පෙර මැතිවරණවලට වඩා මෙවර මැතිවරණයේදී විපක්ෂය සහ ඊට සම්බන්ධ වූ පක්ෂ වඩාත් සූක්‍ෂමව කටයුතු කරනු ලැබීය. ඔවුන්ට ආවේණික දේශපාලන ආස්ථානයන් තුළ සිටිමින් තම ප්‍රමුඛ සතුරා සමාජය හමුවේ තාර්කිකව බිඳහෙලීමට විපක්‍ෂයට හැකි විය. තර්කය බොහෝ දුරට න්‍යායයෙන් වියුක්ත වුවද, එය මෑත ඉතිහාසය තුළ ලංකාවේ දේශපාලනය තුළ දැකගත හැකි වූ වඩාත් වැදගත් ප්‍රවණතාවයකි.

මෙවර මතුපිටට පැමිණි රටාව අඛණ්ඩව පැවතුණහොත් තවත් වසර කිහිපයක් තුළ මෙම දේශපාලන ප්‍රවණතාවය හුදු තර්කයෙන් ඔබ්බට ගොස් න්‍යායන් වෙතට තල්ලු කරනු ඇත. එම න්‍යායන් වලින් රාජ්‍යක් සතු මූලික බුද්ධිමය  පදනම සකස් කරනු ඇත. වසර 30ක් තුළ විවිධාකාර හේතු මඟින් විනාශ වී ගියේ එම පදනමයි. මෙවර මැතිවරණයේ පුර්ව නාටකය තුළින් පෙන්වා දෙනු ලැබුවේ නැති වූ යමක් යළි සමාජය වෙත ආදේශ වීමට දරණ උත්සහයයි. මෙය සැබවින්ම මානව ලෝකය තුළ දැකගත හැකි ප්‍රියජනක සමාජීය කාරණයකි.

තාක්ෂණික මෙවලම් හමුවේ ක්‍රමිකව චලනය වන සමාජයක් තුළ මෙවැනි දෑ තව දුරටත් දවල් හීන නොවනු ඇත. සෑම දෙනෙකුටම හිමි පෞද්ගලික විමුක්තිය ( පර්සනල් ලිබර්ටි) වූ කලී කුමක්ද යන්න තේරුම් ගැනීමට නම් එම පුද්ගලයා ලෝකය සමඟ මුහු විය යුත්තේය. තමන් සිටින වට පිටාවෙන් ඔබ්බෙහි සිදුවන දෑ පිළිබඳව අවදියෙන් සිටීම මඟින් ඔහු හුදෙකලා වූ චරිතයක් නොවී වර්තමානය සමඟ බද්ධ වූ චරිතයක් වනු ඇත. මෙය සිදු වීමේ සීඝ්‍රතාවය අනුව එම සමාජයේ වෙසෙන අයවලුන්ගේ පෞද්ගලික විමුක්තියේ ගැඹුර හෙවත් පුද්ගලයාට ඇති ආත්මීය විශ්වාසය වර්ධනය වේ.

මෙවර මැතිවරණය තුළ විපක්ෂයේ ප්‍රචාරණ ව්‍යාපෘතිය ඉතාමත් දරදඬු මාධ්‍ය වාරණයක් යටතේ වුවද සාර්ථක වූයේ මේ නිසාය. මෙමඟින් පැහැදිලි කරන මූලික සමාජීය කාරණය වූ කලී “බලය ඇත්තා විසින් ඔබ ඉදිරියේ මවාපාන ලෝකයට” වඩා එහා ගිය ඇත්තක් ඇති බව තේරුම් ගැනීමට සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට අවශ්‍ය වටපිටාව සකස් වන ආකාරයය. මෛත්‍රිපාලගේ ආගමනය විසින් ගලවනු ලැබුවේ බලය ඇත්තා විසින් විවිධ නාම විශේෂණ යොදා නිර්මාණය කර තිබූ සමාජීය වෙස් මුහුණයි.

කෙසේ වෙතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම වූ කලී පුද්ගලයෙකු හෝ පවුලක් මෙන්ම ඒ වටා ඒකරාශී වූ කල්ලියක් පරාජය කිරීමක් පමණක් නොවේ. රාජපක්ෂ පෞද්ගලිකව පරාජය කිරීමෙන් පසු  උදාවන්නේ රාජපක්ෂ වැනි අයවලුන්ට, රටක රාජ්‍ය ව්‍යුහය අප්‍රසන්න ලෙස ව්‍යාකූල කොට පැවති අපිළිවෙල තවදුරටත් සංකීරණ කිරීමට අවකාශය ලබා දුන් පරිසරය නැති කිරීම මෙහි ඇති මීළඟ බැරෑරුම් සහ පළල් අභියෝගය වේ.

රාජපක්ෂ හෝ රාජපක්ෂලාගේ දේශපාලනය වූ කලී සංස්කෘතියේ කොටසකි. එය සංස්කෘතියේ නිර්මාණයකි. රෝගී සමාජයක රෝග ලක්‍ෂණයකි. මෙම සංස්කෘතික ගැටලුව මඟින් දැවැන්ත පෞද්ගලික අනාරක්ෂාවක් පැලපදියම් කොට ඇත. එය ඉහළ සිට පහළට සමාජ ධූරාවලීයේ සෑම තැනකම විවිධ සාන්ද්‍රණයන්ගෙන් දක්නට ලැබේ. බලය තමන් වටා ඒකරාශී වූ විගස රාජපක්ෂ  පෙර-මිතුරාගෙන් පවා වැඳුම් පිදුම් බලාපොරොත්තු වන්නේ මේ නිසාය. ඔහුට අනුව තම බලය රැක ගැනීම සඳහා එවැනි නියාලු හැදියාවක් තමන් වටා සිටින අයවලුන් පෙන්වීම අනිවාර්ය වේ.

ජනාධිපති රාජපක්ෂ අමීබාකරණයට ලක්වූයේද මෙම ගූඪ සමාජ භාවිතය මඟිනි. සැබවින්ම ඔහු රාජ්‍ය නායකයෙකු ලෙස වසර දහයකට ආසන්න කාලයක් කටයුතු කළ බව සැබෑය. නමුත් ලංකා ඉතිහාසයේ නිදහසින් පසු පත් වූ නායකයින්ගෙන් අඩුම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම නායකත්ව ලක්ෂණ පිහිටි නායකයා වූයේ රාජපක්ෂය. ඔහුගේ නායකත්වය වූ කලී යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කළ එකක් මිස ස්වභාවික නායකත්වයක් නොවේ. නමුත් ඔහුට විශ්වාසයට වඩා වාසනාව තිබුණි. ඔහුගේ දෛවඥයා රටේ ප්‍රතිපත්ති තීරකයා වන්නේ මේ නිසාය. එය වෙන කිසිවෙකුටත් වඩා රාජපක්ෂ දන්නේය. මේ නිසා ඔහුට ඥාති සංග්‍රහය මූලික මෙවලම ලෙස භාවිතා කිරීමට සිදු විය. ඒ වටා ගොඩ නැගුනු මූලික ජාලයකින් සමාජ ප්‍රශ්න විසඳීමට හැකිබව ඔහු අනුමාන කරන්නට ඇත. 

මීට අමතරව සාමාජ වටපිටාව විසින් ලබා දෙන රැකවරණයද මෙවැනි පාලනයක පැවැත්ම සඳහා හේතු වේ. වසර 30ක් තිස්සේ යුධ වැදුණු රටක දේශපාලනය වූ කලී ව්‍යාකූලත්වයේ සංඛේතයකි. යුධවදින පාර්ශවයන්ට පවතින අර්බුධය විසඳීමට වඩා එමඟින් අත්කර දී ඇති වාසිය වැදගත් වේ. එම නිසා ගැටුම පවත්වා ගැනීම වැදගත් වේ. 30 වසරක් තිස්සේ පැවති යුද්ධයේ සැබෑ සත්‍යය එයයි. මෙය පුපුරා යන්නේ කොටි සංවිධානයේ ඇති වූ අභ්‍යන්තර ආරවුලක් දුරදිග යෑමෙන් සහ ඊට දකුණේ සමාජය විසින් ලබ දුන්  පුළුල් සහයෝගය මඟිනි.

ඉන් පසු  උදා වූ සංක්‍රාන්ති සාමය තුළ රාජපක්ෂ වීරත්වයට පත් වන්නේය. කටුස්සාගේ කරේ රත්තරන් බැඳීමක් වූ එමඟින් රාජපක්ෂ තම කෛරාටක උපායන් මඟින් තම පෞද්ගලික ආශාවන් ඉටුකර ගනී. ඉතාමත්ම සීමා සහිත දෑ මුදුන් පමුණුවා ගැනීම සඳහා සීමා රහිත ආශාවක් සමඟ පොර බැදීමට සිදු වීම “රාජපක්ෂලාගේ” දේශපාලනය තුළ දැක ගත හැකි වූ මුලික ලක්ෂණයකි. ඊට පක්ෂ දේශපාලනය හෝ එහි න්‍යාය පත්‍රය වැදගත් නැත.

එම සංක්‍රාන්ති සමයෙන් පසු උදාවන තත්වය තුළ මතුව එන්නේ මෛත්‍රීගේ දේශපාලන ප්‍රතික්‍රියාවයි. එහි ශක්තිය කෙතරම්ද යන්න තීරණය වන ඒ ඓතිහාසික දිනය අදයි. මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කළ ජනධිපති මහින්ද රාජපක්ෂ මෙවර පරාජය වීම වූ කලී ලංකාවේ ඉතිහාසය පුරා සිදුවන දැවැන්තම දෙදරීම හෙවත් පරාජය වීම වේ.

නමුත්, ඔහු ජයග්‍රහණය කළහොත් ( රටේ පවතින තත්වය අනුව ඊට ඇති ඉඩ ඉතා සීමා සහිත වුවද) මේ වන විට පිපිදී ඇති සමාජ ව්‍යුහය යළි සකස් කිරීමේ වැඩපිළිවෙල නමැති සමාජ අවබෝධය තම මීළඟ සටනට සුදානම් විය යුතුව ඇත. රාජපක්ෂ මින් ජයග්‍රහණය කළද ඊට දීර්ඝ පැවැත්මක් තිබේ, යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද සිදුවිය යුතුව තිබූ බෙදීම යළි රාජපක්ෂට සකස්කළ නොහැකි පරිදිම බෙදී ඇත.

රටේ පවතින පොදු ගැටලුවට අවශ්‍ය පිළිතුර තවත් පැය කිහිපයකින් විසඳෙනු ඇත. සගයිනි; ඒ ඓතිහාසික දිනය අදයි.