The Most/Recent Articles

Showing posts with label GMOA. Show all posts
Showing posts with label GMOA. Show all posts

GMOA අද තුට්ටු දෙකේ දේශපාලන ව්‍යාපෘතියක් වෙලා -- රාජිත




රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද ‘තුට්ටු දෙකේ දේශපාලන ව්‍යාපෘතියක්‘ බවට පත්වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න අද (16) අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යංශය ගැන සොයාබැලීමට ජනපති කොමිසමක් පත්කරන බවට වූ පුවත සාවද්‍ය බවත් මෙය රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් පතුරුවා හරින අසත්‍ය කතාවක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඊයේ දින තමන්ට දුරකතන ඇමතුමක් දුන් ජනපතිතුමා මේ ගැන පැවසූ බවත් අදාළ කොමිසම පිළිබඳ විමසූ අවස්ථාවේදී, ‘මොන කොමිෂන් ද ඩොක්ටර්, අමාත්‍යංශෙකට විරුද්ධව කොහොමද ජනාධිපති කොමිෂම් පත්කරන්නේ‘ යැයි පැවසූ බවත්, ‘කොමිෂන් එකක් පත්කරනවා නම් ජනාධිපතිවරයෙක් පත්කරන්නේ රජයට විරුද්ධව මිසක් අමාත්‍යංශෙකට විරුද්ධව නෙමේ. මං කිසිම දෙයක් කතා කරේ නැහැ. ඒගොල්ලෝ කතා කරා. මං ඕක තමයි කිව්වේ‘ යනුවෙන් පිළිතුරු දුන් බවත් අනාවරණය කළේය.

චමිලාගේ ඝාතනයට උඩගෙඩි දුන් අනෙක් වෛද්‍යවරයා කවුද ? - පනාවැන්න GMOA ප්‍රබලයෙක්

චමිලාගේ මරණය ගැන නොවිසඳුණු රහස්


2007 වසරේ මීගමුව රෝහලේදී   ඉන්දික සුදර්ශන බාලගේ  නම් ඉන්ටර්න්  වෛද්‍යවරයෙකු විසින් චමිලා දිසානායක නම්  23 හැවිරිදි ඇගළුම් සේවිකාවක දුෂණය කැර  රෝහලේ හය වැනි මහලෙන් බිමට  දමා මරා දැමුවේය. මේ අපරාධය කිරීම නිසා මීගමුව මහාධිකරණ විනිසුරු එච්.එම්.ඒ. ගෆුර් මහතා ඝාතනය පරිවේශනීය සාක්‍ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස්‌ ඔප්පු වූ බව පෙන්වා දෙමින් ඉන්දික සුදර්ශන බාලගේ හට මරණීය දණ්ඩනය නියම කරන ලදී. ඔහුට ස්ත්‍රී දුෂණ චෝදනාවට  වසර පහළොවක බරපතල වැඩ සහිත සිරදඩුවම් හා රුපියල් දහදාහක දඩයක් ද  මරණය සිදු කිරීමේ චෝදනාවට මරණ දඬුවම ද නියම විය.


මේ වන විට බාලගේ සිටින්නේ සිරගතවය. එහෙත් චමිලාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් නොවිසඳුනු ගැටළු කීපයක් තිබේ. එසේම මේ අපරාධය යට අනාවරණය නොවුනු කරුණු ඇත. චමිලා ගේ ඝාතනය සිදු කළ ඉන්දික සුදර්ශන බාලගේ  හට එක් පුද්ගලයෙකු දිගින් දිගටම කොන්දේසි විරහිතව සහාය දෙන ලදී. මේ පුද්ගලයා පිලිබඳව මුලින්ම හෙළි කරන්නේ ‘මීපුර‘ වෙබ් පුවත්පතේ කතෘ ෆ්‍රෙඩී ගමගේ මහතා විසිනි. මීපුර වෙබ් පුවත්පත පෙන්වා දෙන අන්දමට බෝගහවත්ත කිරිදිවැල පදිංචි වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත්  පනාවැන්න චූදිත සුදර්ශන බාලගේ හට වෘත්තිය මට්ටමටත් එහා ගොස්  වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනිවද උපකාර කොට තිබේ. තමන් ගේ වෘත්තියද අවධානමට හෙලමින් වෛද්‍ය  පනාවැන්න ස්ත්‍රී දූෂක  ඝාතකයෙකු රැක්කේ මන්ද ?




වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න ගැන මාධ්‍ය හොයාබැලුවද ?



චමිලාගේ ඝාතනයේදී තිරය පසුපස සිට මතභේදකාරී ක්‍රියාවන් සිදු කළ වෛද්‍ය  ඉන්ද්‍රජිත්  පනාවැන්න  පිලිබඳව කරුණු සොයා බැලීමට පොලිසිය මෙන්ම ජනමාධ්‍ය උත්සහ ගත්තේ නැත. එහෙත් මීපුර පුවත්පතේ කර්තෘ, ෆ්‍රෙඩී ගමගේ මහතා විසින්  ඔහුගේ පුවත්පත හරහා යම් යම් හෙලිදරව් කිරීම් කොට තිබුනද එය ප්‍රමාණවත් වූයේ නැත. මෑතකදී ෆ්‍රෙඩී ගමගේ මහතා ටොරොන්ටෝ නගරයට පැමිණි අතර මම ඔහුව හමුවී  චමිලාගේ ඝාතනය පිලිබඳව වැඩිමනත් තොරතුරු ලබා ගැනීමට උත්සහ කලෙමි. එහෙත්  කාලවේලාවේ මඳකම නිසා අපට හමු වීමට බැරි විය. එහෙත් ෆ්‍රෙඩී ගමගේ මහතා විසින් සොයා ගන්නා ලද තොරතුරු ඔස්සේ අපට  චමිලාගේ ඝාතනය සහ  වෛද්‍ය  ඉන්ද්‍රජිත්  පනාවැන්න  භූමිකාව පිලිබඳ යම් අදහසක් ලබා ගත හැකිය.


මොණරාගල, දඹලුගල, කටුකූරමණ්‌ඩිය ගමේ උපත ලද චමිලා දිසානායක  කටාන ‘‘ස්මාර්ට් ෂර්ට්" ඇගළුම් කම්හලේ සේවිකාවක වූවාය.  ඇයගේ පියයුරක වූ ගැටිත්තක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට 2007 නොවැම්බර් 12 වැනිදා ද ඇය මීගමුව රෝහලේ සායනය වෙත පැමිණ සිටියාය. ඇයව බලන ලද්දේ ඉන්දික සුදර්ශන බාලගේ නමැති වෛද්‍යවරයා. ඔහු සීමාවාසික වෛද්‍යවරයෙකු විය.  බාලගේ විසින් සායන පොත සෙවීම සඳහා යැයි කියමින් මීගමුව රෝහලේ හය වැනි මහලට චමිලාව ගෙන ගියේය. හය වැනි මහල යනු වෛද්‍යවරුන් ගේ නිළ නේවාසිකාගාර තිබූ මහල විය. මෙම මහලේදී ඔහු චමිලාව දූෂණය කොට පසුව ඇයව හය වන මහලෙන් බිමට තල්ලු කොට මරා දැමුවේය. ඇයව හය වන මහලෙන් බිමට තල්ලු කිරීමට පෙර බාලගේ සිහිසන්ව සිටි චමිලාව කාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යන අයුරු බියට්‍රිස් නම් රෝහල් කම්කරු සේවිකාව දුටුවාය.  බියට්‍රිස් මෙම සිදුවීම නොදැක්කේ නම් චමිලා ගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස සනිටුහන් වනු නිසැකය.



තරුණියගේ ඝාතනය සිදුවූ රාත්‍රියේ මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා වශයෙන් කටයුතු  කල පොලිස්‌ පරීක්‍ෂක තිලක්‌ කුමාර සුබසිංහ මහතා  බාලගේ ගේ 6 වන මහලේ 33 වෙනි කාමරය  පරික්‍ෂා කල අතර එම කාමරයේ තිබී ‘‘ව්‍යාඝ්‍රා" පෙති  හමු විය. තවද ඔහුගේ කාමරයට ඉදිරි පස තිබූ ගබඩා කාමරයෙන් චමිලා දිසානායක ගේ යට ඇඳුම සහ ඇයගේ හෑන්ඩ් බෑග් එක සොයා ගන්නා ලදී.  මරණ පරීක්‍ෂණයේදී  දූෂණයට ලක්විමට පෙර චමිලාගේ ගෙල මිරිකා තිබුණ බව  රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි බී. ප්‍රසන්න ප්‍රියංජිත් මහතා විසින් සනාත කළේය.   




චමිලාවගේ ඝාතනය සැලසුම් කළ එකක්ද ?


මේ ඝාතනය වූ අන්දම ගැන සිතන විට ප්‍රශ්න කීපයක් මතුවේ. චමිලාගේ  සායන පොත අස්‌ථානගත වූයේ කෙසේද ? මේ තරුණිය කිහිප වතාවක් සායනයට ආ තැනැත්තියකි. බාලගේ මෙම අපරාධය සැලසුම් කළේ ඝාතනය සිදු කළ දිනයට පෙරද ? එය හිතා මතා අස්ථාන ගත කලේද ? ඔහුගේ සැලසුම වූයේ තරුණියව කිසිවෙකු නොමැති හය වන මහලට ගෙන යාමටය. එම මහලේදී තවත් පුද්ගලයෙකු තරුණියව බිල්ලට ගැනීමට සූදානම්ව සිටියේද ? හය වන මහලට ගෙන ආ චමිලාට කෑගැසීමටවත් නොදී ඇයව මෙල්ල කර ගත්තේ කෙසේද ? ඒ වන විට ගොඩනැගිල්ල තුළ හෙදියන් සහ කම්කරු සේවිකාවන් කිහිප දෙනෙකු සිටි නමුදු ඔවුනට කෑගැසීමක් ඇසුණේ නැත. චමිලාව මෙල්ල කර ගැනීම සඳහා තවත් පුද්ගලයෙකු බාලගේට උදව් කලේද? එක් අයෙකු තරුණියව අල්ලාගෙන සිටින විට තවත් අයෙක් ඇයගේ ගෙල මිරිකුවේද ? කොට පුද්ගලයෙකු වූ බාලගේට විසංඥව සිටි තරුණියව ජනේලය දක්වා ඔසවා ජනේලයෙන් පහළට තල්ලු කල හැකි  වූයේ කෙසේද ?   තරුණියගේ ශරීරය ජනේලය දක්වා එසවීමට තවත් දෑතක් උපකාරී වූයේද ?




චමිලා සමූහ දූෂණයට ලක්වුණාද ?


චමිලා දූෂණයට ලක්ව සිටියද ඇයගේ යෝනි මාර්ගයෙන් ශුක්‍රාණු හමු නොවේ. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳ තරමක දැණුමක් තිබූ බාලගේ ඇයව දූෂණය කිරීමේදී කොන්ඩොමයක් පළඳන්නට ඇත. මෙහිදී අපට මතුවන ප්‍රශ්නය නම් චමිලා සමූහ දූෂණයට ලක් වූයේද යන්නයි. ඇයගේ ශරීරයේ තුවාල හැට ගණනක් තිබුණි. සමහර තුවාල දූෂකයා විසින් පහර දීම නිසා ඇතිවූ ඒවාය. චමිලා විදුළි සෝපානේ නැගී බාලගේ සමග ඉහළ මාලයට  යන්නේ උදෑසනය. ඇය හය වන මහලේ සිට බිමට තල්ලු කරන්නේ දහවලය. මේ කාලය වන තෙක් ඇය සිටියේ බාලගේ සතු නේවාසික කාමරයේය. මේ කාමරේ බාලගේට අමතරව යම් අයෙකු සිටියේද ? ඒ කාලය අතර තුර චමිලා තවත් පුද්ගලයෙකුගේ දූෂණයට ලක් වූයේද ?




[caption id="attachment_21323" align="alignright" width="300"] ඉන්දික සුදර්ශන බාලගේට ඉන්දික එස් බාලසූරිය යනුවෙන් බොරු නමක් දී තිබෙන අයුරු[/caption]




බාලගේ බේරන්න පනාවැන්න ඉදිරිපත් වුණේ ඇයි ?


මාගේ අදහස අනුව සුදර්ශන බාලගේ සීරියල් දූෂකයෙකු මෙන්ම සීරියල් ඝාතකයෙකි. චමිලාට අපරාධයක් කිරීමට පෙර ඔහු කාන්තාවන් කීප දෙනෙකුට අතවර කොට තිබුණි. මේ අතවර කිසිම පොලිස් පොතක සඳහන් වන්නේ නැත.  වරක් රාගම රෝහලේ හෙදියක් විෂක් එන්නත් කොට ගෙන දිවි නසා ගත්තාය. මෙය දිවි නසා ගැනීමක් නොව බාලගේ විසින් අතවර කොට විෂක් එන්නත් කොට මරා දමන ලද කාන්තාවක් බවටත් මතයක් පවතී. මෙම හෙදිය ඔහුගේ බිරිඳ ගේ යෙහෙළියකි. කෙසේ නමුත් මේ මරණය සනිටුහන් වන්නේ දිවි නසා ගැනීමක් ලෙසටය.  බාලගේ ප්‍රතිකාර සඳහා පැමිණි ගැහැණු ළමුන් කෙරෙහි  අනිසි බලපෑම් කරන බව සමහර වෛද්‍යවරු සහ හෙදියෝ ආවේදනය කොට තිබුණි. වරක් මීගමුව රෝහලේදී එක් තරුණ කාන්තාවකට රෝගී පරික්‍ෂාවේදී අනිසි අතවරයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් ආවේය. මේ අවස්ථාවේදී බාලගේ ගේ සහායට එන්නේ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්නයි. ඔහු අනෙකුත් වෛද්‍යවරුන් ද පොළඹවා අදාල කාන්තාව මානසික රෝගී කතක් බව කියමින් බාලගේව එම චෝදනාවෙන් මුදා ගනියි. යම් ලෙසකින් මේ අවස්ථාවේදී බාලගේට චෝදනා ගොනු වූයේ නම් මේ වන විට චමිලා ජීවතුන් අතර වීමටත් ඉඩ තිබුනි. එහෙත් පනාවැන්න ගේ මැදිහත් වීම නිසා බාලගේ බේරී ගියේය.


බාලගේ සහ පනාවැන්න අතර වෘත්තීය භාවයටත් එහා ගිය මිත්‍ර  සබඳතාවක් තිබුනේය. බාලගේ බිරිඳ හෙදියකි. ඇය සේවා මුරයන් කරන විට  බාලගේ   නේවාසික කාමරයට  කාන්තාවන් ගෙන ආ බව නම හෙළි කිරීමට අකමැති රෝහල් සේවකයෙකු පැවසීය. වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්නද බාලගේ ගේ කාමරයේ නිතර ගැවසුෙණ්ය. මේ දෙදෙනා අතර කුමන සබඳතාවක් තිබුනේද කියා පොලිසිය සොයා බැලුවේ නැත.  චමිලා ඝාතනය වූ පසු  මීගමුව පොලිසිය විසින් සුදර්ශන බාලගේව අත්අඩංගුවට ගත් වහාම වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න කලබල වෙයි. ඔහු එස්.එම්.එස් එකක් හයවන මහලේ නේවාසිකව සිටි වෛද්‍යවරු වෙත යවයි. මේ පණිවිඩයේ සඳහන් වන්නේ නේවාසිකාගාර කාමර වල දොර අගුල් සුරක්‍ෂිත නොමැති බව කියා මීගමුව රෝහලේ අධිකාරීවරයාට ලිඛිතව පැමිණිලි කරන ලෙසයි. තවද එහි පිටපතක් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයටද යවන ලෙස ඔහු දන්වයි. පොලිසිය යම් නඩු භාණ්ඩයක් මේ නේවාසික කාමර අතරින් සොයා ගනී කියා ඔහු බිය වූයේද ? එසේ වූයේ නම් නේවාසිකාගාර කාමර වල දොර අගුල් සුරක්‍ෂිත නොමැති නිසා එය භාණ්ඩය පිටස්තරයෙකු ගෙනා දැමූ බව කීමට පරිසරය සකස් කර ගැනීමටද ? වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න විසින් යැවූ එස්.එම්.එස් එක පිලිබඳව අනාවරණය කරන්නේ මීපුර පුවත්පත විසිනි. එහෙත් මීගමුව පොලීසිය මෙම එස්.එම්.එස් එක පිලිබඳව විමසිලිමත් වීමට හෝ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න ගේ නිල කාමරය පරික්‍ෂා කිරීම අතපසු කරයි.     




ඉන්ද්‍රජිත් පනාවැන්න හැමවිටම ඉන්දික සුදර්ශනගේ පිහිටට පැමිණියේ ඇයි 



චමිලාගේ ඝාතනය පිලිබඳ සැකකරුවෙකු වූ සීමාවාසික වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ රිමාන්ඩ් කෙරෙන අතර ඔහුව රඳවා තබන්නේ මීගමුව බන්ධනාගාරයේය. මීගමුව බන්ධනාගාරයේදීද ඉන්ද්‍රජිත් පනාවැන්න බාලගේ ගේ පිහිටට පැමිණේ. ඒ කෙසේද යත් වෛද්‍ය සමන්ත  ඉන්ද්‍රජිත් පනාවැන්න  මීගමුව බන්ධනාගාරයේ  වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන නිසාය. මීගමුව බන්ධනාගාරයේ  ප්‍රධාන බන්ධනාගාර නිලධාරියාව නම්මා ගන්නා වෛද්‍ය  පනාවැන්න බාලගේව සිරකුඩුවේ නොතබා බන්ධනාගාර රෝහලේ තබා ගනියි.



කොලඹ බන්ධනාගාර රෝහල මෙන්ම මීගමුව බන්ධනාගාර රෝහලද අති දූෂිත එකකි. අවංකව සේවය කරන වෛද්‍යවරු අතර පගාවට  ධනවත් සිරකරුවන් රෝහලේ තබා ගැනීම , ව්‍යාජ වෛද්‍ය සහතික ලබා දීම  මෙන්ම රැඳවියන්ට යම් යම් ඖෂධ හොර රහසේ විකුණන වෛද්‍යවරු  සිටිති. බාලගේ මීගමුව බන්ධනාගාරයේ මත් ද්‍රව්‍ය භාවිතා කල සිරකරුවන්ට ට්‍රැමඩෝල් වැනි ඖෂධ විකුණූ බවට තොරතුරු තිබේ. බාලගේට මෙම  ඖෂධ ලැබුනේ කා හරහාද යන්න ගැටළුවකි. කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පහළ මධ්‍යම පාන්තික  පවුලකින් එන වෛද්‍ය පනාවැන්න මේ වන විට අධික ධනයක්  උපයාගෙන තිබේ.  ඔහු ආදායම් බදු ගෙවන්නේද නැත. වෛද්‍ය පනාවැන්න වත්කම් සහ ධනය උපයා ගත් ආකාරය පිලිබඳව යම් විමර්ශණයක් කරන්නේ නම් තව බොහෝ කරුණු මතු වනු ඇත.


යම් කාලයට පසුව බාලගේට ඇප ලැබේ. මේ වන විට ඔහුගේ වැඩ තහනම් කොට ඇත. බාලගේට ආදායමක් නැත. යළිත්  ඔහුගේ පිහිටට එන්නේ වෛද්‍ය සමන්ත  ඉන්ද්‍රජිත් පනාවැන්නයි. වෛද්‍ය පනාවැන්න ඔහු  විසින් මීගමුව කුරණ අංක 7 දරණ  ස්ථානයේ පවත්වාගෙන ගිය ආරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන සේවය සඳහා බාලගේව බඳවා ගනියි. එහෙත් මෙය නීති විරෝධීය. බාලගේ මනුෂ්‍ය ඝාතනයක් පිලිබඳව ඇප පිට සිටින සැක කරුවෙකි.  ඔහු විසින් කරන ලද ඝාතනයේ ස්වභාවය අනුව ඔහුට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නීතිය අනුව ඉඩක් නැත. තවද ඔහු තවමත් සීමාවාසික හෙවත් ඉන්ටර්න් වෛද්‍යවරයෙකි. ඔහුට පුද්ගලික සේවයේ යෙදීමට ඉඩක් නොමැත. එහෙත් වෛද්‍ය පනාවැන්න  ව්‍යාජ  ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයක් සහිතව ඉන්දික සුදර්ශන බාලගේට ඉන්දික එස් බාලසූරිය  යනුවෙන් බොරු නමක් දී තමන් ගේ ආරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථානය භාර දෙයි. තවද වෛද්‍ය පනාවැන්න ගේ බලපෑම් මත ප්‍රදේශයේ  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාද බාලගේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිලිබඳව මුණිවත රකියි.





පනාවැන්න GMOA හිටපු ප්‍රබලයෙක්  



මීපුර පුවත් පත පෙන්වා දෙන අන්දමට වෛද්‍ය පනාවැන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හිටපු ප්‍රධාන නිළධාරියෙක්ද වෙයි. එමෙන්ම මීගමුවේ  පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ සංගමයේද නිළධාරියෙකි. බාලගේ මෙන් නොව ඔහුට වසර ගණනාවක සේවා අත්දැකීම් තිබෙන රජයේ සේවකයෙකි. එවැනි පුද්ගලයෙකු ඝාතක සැකකරුවෙකු වෙනුවෙන් මෙතරම් රිස්ක් එකක් ගත්තේ මන්ද කියා මීපුර පුවත්පත අසයි. සුදර්ශන බාලගේ වෛද්‍ය පනාවැන්නව බ්ලැක්මේල් කලේද කියා සැකයක් මතුවේ. එසේ බ්ලැක්මේල් කලේ කුමන රහසක් පොලිසියට  එළිදරවු නොකිරීම සඳහාද ?     


මේ  කාලය තුලදී මොවුන් දෙදෙනාගේ හැසිරීම නිරීක්‍ෂණය කරන විට  බාලගේ වෛද්‍ය පනාවැන්නව පාලනය කරන බවට සැක මතු වෙයි.  බාලගේ ගේ නඩුවට වියදම් කරන්නේ වෛද්‍ය පනාවැන්න ගේ ඩිස්පැන්සරියෙන් එන මුදල්‍ ය.  ඔහු දිවා රෑ ගත කරන්නේ මේ ස්ථානයේය. බාලගේ ගේ අනිසි  ක්‍රියාකලාපය නිසා පනාවැන්නගේ පුද්ගලික ඩිස්පැන්සරියේ සිටි තරුණියද ඉවත්ව යයි. මේ ගැටුමේදී වෛද්‍ය පනාවැන්න ගන්නේ  තම සායනයේ වසර ගනනාවක් සේවය කල තරුණියගේ පැත්ත නොව නීති විරෝධීව වෛද්‍ය ප්‍රතිකාර කරන චූදිත ස්ත්‍රී දූෂක ඝාතකයාගේ පැත්තයි.


ස්ත්‍රී දූෂක මිනීමරුවෙකු ලෙස නම් කල බාලගේට එරෙහිව මීගමුව නගරයේ උද්ඝෝෂණ පැවැත්වේ. එසේම මීපුර පුවත්පත විසින් ද දිගින් දිගටම ඝාතක සැකකරුවෙකු  කුරණ පවත්වාගෙන යන  ආරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථායේ රෝගීන්ට  ප්‍රතිකාර කරන බව  පෙන්වා දෙයි.  තමන් ගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වර්ධනය කර ගැනීමේ සහ රෝගීන් ආකර්ෂණ කිරීම සඳහා වෙහෙසෙන වෛද්‍යවරයෙකු කිසිසේත් සිදු නොකරන දෙයක් වෛද්‍ය පනාවැන්න කරයි. ඔහු මහජන කෝපය හමුවේදී පවා බාලගේ ඉවත් නොකොට ඔහුව තම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ තබා ගනියි. මේ නිසා සුදර්ශන බාලගේ වෛද්‍ය පනාවැන්නව බ්ලැක්මේල් කලේද  කියා සාධාරණ සැක මතුවේ.


බාලගේ සහ වෛද්‍ය පනාවැන්න අතර පවතින අසාමාන්‍ය සමිප සම්බන්ධතාව සම්බන්ධයෙන් මීපුර වෙබ් පුවත් පත මෙසේ ලියයි ; බාලගේ ට නඩු ගාස්තු  ගෙවාගන්නට හෝ කන්න අදින්න මුදල් නැති නම් එයට ආධාර  කරනවා විනා නිතිය ඉදිරියේදි මෙන්ම සිය වෘත්තිය ජිවිතය තුලදිද ඔහු බරපතල ලෙස පච වෙමින් මෙසේ කරන්නේ ඇයි?  මෙය එක්තරා අන්දමකට ගත් කළ   පනාවැන්න  ගේ වෘත්තිය ජිවිතය තුල මරාගෙන මැරෙන මෙහෙයුමකි.තමන්ගේ වෘත්තිය ජිවිතයත් කිර්තිනාමයත් පරදුවට තබා කිසිවෙක් මෙවන් ප්‍රවේශයකට යනු ඇතැයි සිතන්නටවත් නොහැකිය.අඩුම තරමින් මේසන් බාස් කෙනෙක්වත් එසේ නොකරනු ඇත- මීපුර.  නමුත් වෛද්‍ය පනාවැන්න බාලගේ වෙනුවෙන් අති විශාල අවධානමකට කර ගැසුවේය. එයට හේතුව කිම ?      





බ්‍රියටිස්ගේ අභීත උත්සහය




බාලගේ ගේ නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය බියට්‍රිස් ය. බාලගේ සිහි නොමැතිව සිටි චමිලා කාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යනු ඇය දුටුවාය. බ්‍රියට්‍රිස්  ඇසින් දුටු සාක්ෂිය මෙම නඩුවේ තීරණාත්මක සාක්ෂිය වන නිසා දැන් රෝහලේ කම්කරු සේවිකාවක වන බියට්‍රිස් හට  බාලගේ ගේ මෙහෙයවීම මත විවිධ බලපෑම් එල්ල වෙයි. නමුත් දුප්පත් බියට්‍රිස් තම ස්ථාවරය වෙනස් කරන්නේ නැත. ඒ නිසා ඇයගේ රැකියාව නැති කර දමයි. බියට්‍රිස් ගේ රැකියාව නැති කිරීම සඳහා අපගේ කතා නායකයා තිරය පසුපස සිට විශාල කාර්‍යභාරයක් කරයි. එය සිදු කරන්නේ බාලගේ ගේ නියෝගය සහ අවශ්‍යතා මතය.  තම රැකියාව නැතිවීමේ අවධානම තිබුනද බියට්‍රිස් අසත්‍ය සාක්‍ෂියක් දීම ප්‍රතික්ෂේප කළාය. මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව බියට්‍රිස් ගේ ධෛර්‍යය ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්‌  මහතා ගේ සම්මානයටද ලක් විය. 


බාලගේ ගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා ශල්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ  මහතාගෙන් අත්සන ලබාගැනීමට උත්සහ කරයි. එහෙත් රෝහලක් තුලදී රෝගී තරුණියක ඝාතනය කල බවට සැකකරුවෙකු වූ බාලගේ වෙනුවෙන් තම අත්සන යෙදීම ශල්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරයි. මෙහිදී බාලගේ වෛද්‍ය පනාවැන්න හරහා වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහට තදබල ලෙස බලපෑම් කරයි. වෛද්‍ය පනාවැන්න බාලගේට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට අනෙකුත් වෛද්‍යවරුන් ද පොළඹවවයි. බාලගේට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට වෛද්‍ය පනාවැන්න වෙහෙසුනේ මන්ද ?   ඔහු නොයෙකුත් විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් පසු පස ගොස් ආයාචනා කලේ   බාලගේ ගේ බලකිරීම් මත නිසාද ?




මීපුර මාධ්‍ය මෙහෙයුම නැවැත්වීමේ උත්සහයක්



මේ අතර වෛද්‍ය පනාවැන්න මහතා මීගමුවේ ජනප්‍රිය පුද්ගලයෙකු  අමතා  පනාවැන්න ගේ සියළු අනීතික ක්‍රියා හෙළි කරමින් මීපුර  වෙබ් අඩවිය විසින් ගෙන යන මාධ්‍ය මෙහෙයුම නවතා දමන්නට උදව්වක් කළ හැකිද කියා ඇසූ බව මීපුර  වෙබ්  පුවත් පත පවසයි. මීපුර පුවත්පත හෙළි කරන චෝදනා හමුවේ වෛද්‍ය පනාවැන්න භාවිතා කරන්නේ ෆ්ලැට් න්‍යායයි. නගරයේ හොර ගබ්සා මධ්‍යස්ථාන ගැන නොලියන්නේ මන් ද කියා ඔහු මීපුර පුවත්පතින් අසයි. එසේම තමන් ට චෝදනා කරන්නන් එන් ජී ඕ කාරයන් බව කියයි. මේ අතර ඔහු වැඩි ආරක්‍ෂාව සඳහා  දේශපාලන ව්‍යාපෘතියකට අත ගසා තිබෙන භික්‍ෂුවක් සමග මිතුදම් ඇති කර ගනියි.


චමිලාගේ ඝාතනය නිසා ප්‍රකට වූ බාලගේ ගේ නාමයට පසු ඈඳුනු අනෙක් නාමය වෛද්‍ය පනාවැන්න ගේ බව මීපුර වෙබ් පුවත්පත පෙන්වා දෙයි . මේ කරුණ හේතුවෙන් මම වෛද්‍ය පනාවැන්නව ඇමතුවෙමි. චමිලා ඝාතනය වූ දින උදෑසන නවයේ සිට දහවල් එක දක්වා කාලය තුලදී ඔබ සිටියේ කොහේද ? කුමන රෝහලේ කොයි වාට්ටුවේද ? එසේම  alibi  හෙවත් අන්‍යස්ථානිකභාවය සනාත කිරීමට සාක්‍ෂි තිබේද කියා මම වෛද්‍ය පනාවැන්න ගෙන් ඇසුවෙමි. මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු ෆ්ලැට් න්‍යායෙන් ගැලවී ගියේය. චමිලා ගේ  ඝාතනය පිලිබඳව විමර්ශණ කණ්ඩායමටද මේ ප්‍රශ්නය වෛද්‍ය පනාවැන්න ගෙන් ඇසීමට අමතක විය. නව විමර්ශනයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන්නේ නම් මේ ප්‍රශ්නය වැදගත් වෙයි.   


සුදර්ශන බාලගේ විසින් මෙතෙක් හෙළි කර නැතැයි පැවසෙන දේවල් රැසකි. චමිලා දිසානායක තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චුදිත ඉන්දික සුදර්ශන බාලගේට  තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර යමක් කීමට තිබෙන්නේ දැයි මීගමුව මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ ගෆුර් මහතා විසින් විමසන ලද අවස්ථාවේ බාලගේ අනපේක්‍ෂිත පිලිතුරක් දුන්නේය. වැරදිකරුවන් මීගමුව රෝහල තුළ සිටින බව සඳහන් කළ  බාලගේ ඔවුන්ටත් දඩුවම් ලබා දෙන ලෙස  ඉල්ලා සිටියේය. බාලගේ මේ පවසන්නේ කවරෙක් පිලිබඳවද කියා චමිලා ඝාතනය විමර්ශණය කලවුන් යළි සොයා බැලිය යුතුය.  එසේම  තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව දැඩි ලෙස ආතතියට හා බලාපොරොත්තු කඩවීමට ලක් වන බාලගේ චමිලාගේ මිනීමරුවන් (සහාපරාධියා ?) නීතියෙන් බේරී ගොස් නිදහසේ ඉන්නා බව කීවේය. බාලගේ මේ කියන්නෙ කවර පුද්ගලයා ගැනද ?






චමිලාගේ ඝාතනයට උඩ ගෙඩි දුන් අයද නීතිය හමුවට ගෙන ආ යුතුයි



බාලගේ මේ වන විට සිරදඞුවමට යටත්ව බන්ධනාගාරයේ සිටියි. බාලගේ ගෙන් යළි නව කට උත්තරයක් ලබා ගන්නේ නම් චමිලා ගේ ඝාතනයේ සැක මුසු ස්ථාන බොහෝමයක් නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇත. තවද දීර්ඝ කාලයක් සිරගතව සිටීම නිසා  බාලගේ ගේ සිතැඟි සහ බලාපොරොත්තු වෙනස්ව තිබේ. මේ වන විට ඔහුට කිසිවෙකු ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නොවේ. එම නිසා නව විමර්ශනයකට සුදුසු කාලය එලැඹී ඇති බව සිතමි. බාහිර බලපෑම් වලින් තොරව විත්තිකාර ඉන්දික සුදර්ශන බාලගේ ගෙන් චමිලා ගේ මරණය පිලිබඳව නව කට උත්තරයක් හෝ පාපොච්චාරණයක් ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් මැනවි. තවද මෙවර බාලගේ ගෙන් ප්‍රශ්න කිරීමේදී මනෝ විද්වතෙකුගේ සහාය ගැනීම කාලෝචිතය.


තම රෝගී තත්වයට ප්‍රතිකාර ගැනීමට ගිය චමිලා දිසානායක තරුණියට  සිය කන්‍යාභාවය පමණක්‌ නොව ජීවිතයද අහිමි  වූවාය. චමිලාට මේ අපරාධය කිරීමට  රුකුල් දුන් , අපරාධ සහායක ලෙස ක්‍රියා කළ හෝ අපරාධකරුවා ආරක්‍ෂා කිරීමට  කටයුතු කල, ඔහුට රැකවරණය දුන් යම් අයෙක් වේද ඔහුවද  නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. 







වෛද්‍ය රුවන් එම් ජයතුංග 



සියලු රාජ්‍ය සේවා ‘අත්‍යාවශ්‍ය’ සේවා කළොත් නරකද ?

වර්ජන, ගර්ජන හා තර්ජන

රටවැසියන්ට අනේක ගැහැට සහ දුෂ්කරතා ඇති කරවන සහ සමහර විට ඔවුන්ගේ අතපය සහ ජීවිත පවා විනාශ කෙරෙන ආකාරයෙන් සමහර කණ්ඩායම් විසින් දියත් කරනු ලබන අතොරක් නැති වැඩ වර්ජන ඉදිරියේ ආණ්ඩුව දක්වන බයාදු නියාළුභාවය ගැන රට්ටු සිටින්නේ බලවත් කලකිරීමෙනි. පසුගිය වසර තුන හතරක් තිස්සේ ඇති කළ වැඩ වර්ජන සඳහා සංවිධායකයන් යොදා ගත් නිශ්චිත දින වකවානු සහ ඒ වැඩ වර්ජනවල ස්වභාවය ගැන සලකා බලන විට පෙනී යන එක් පැහැදිළි කාරණයක් තිබේ. එනම්, ඒවා පසුපස පරමාර්ථ වශයෙන් පැවතියේ, වැඩ වර්ජකයන්ගේ සෘජු අවශ්‍යතාවන්ට වඩා ඔවුන්ගේ නායකයන්ගේ සංගෙකට නැති දේශපාලනික අවශ්‍යතා වූ බවයි.

රාජ්‍ය සේවකයන් මෙසේ දියත් කරන වැඩ වර්ජන සම්බන්ධයෙන් කටයුතු කිරීමට, මුලින්ම, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තම තමන් සතු බලගතු සහ ස්වාධීන තත්වයන්ට අනුගත වන ආකාරයෙන් එක්ව කටයුතු කළ යුතුව තිබේ. කූට වෘත්තීය සමිති නායකයනගේ ගෙරවිලි ඉදිරියේ කෙලින් සිට ගැනීමට ඔවුන්ට හැකි විය යුතුය. එසේ නොකොට ආණ්ඩුව ඒ හතර අතේ වැනෙන විට මේ නාකයන්ගේ ඉල්ලීම් ද දිනෙන් දින මෝරයි. එවැනි තත්වයක් තුළ රාජ්‍ය නායකයන් දෙන්නා තමන්ගේ පෞද්ගලික වාසි පෙරදැරිව එකිනෙකාට පහර දීම නතර කොට, ඊළඟ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමේ මාර්ග සෙවීම පැත්තකින් දමා, රට වෙනුවෙන් වැඩ කිරීමට මීට වඩා වෙහෙසිය යුතුව තිබේ. එසේම මේ දෙන්නාම තමන්ගේ අධිකතර විදේශ සංචාර අඩු කර ගත යුතුව තිබේ. ඒවා රටට විශාල සුගතියක් අත්කර දී ඇති බවක් ද පෙනෙන්ට නැත. සියල්ලටමත් වඩා, දෙන්නා අනොන්‍ය සහයෝගයන් කටයුතු කළ යුතුව ඇති අතර අනිකාගේ තත්වය හෑල්ලූ වන ආකාරයේ කිසිවක් සෘජුව හෝ වක‍්‍රව නොකළ යුත්තේය. ඔවුන් දෙන්නා එකිනෙකාට පිටිපස්සෙන් සිට පිහියෙන් ඇන ගැනීම තරම් වාසනාවක් ඔවුන්ගේ පොදු හතුරන්ට තවත් නොමැත. ඊටත් වඩා, එය රටේ බරසාර ආණ්ඩුවක් නැති බවට හැඟීමක් ඇති කිරීමට හේතු වෙනවා සේම රටේ ආර්ථික වර්ධනයටත් එය නරක අන්දමින් බලපෑම් කරනු ලැබේ.

එක වෘත්තීය ක්ෂේත‍්‍රයක ඉල්ලීම්වලට යට වීමෙන් සිදුවන්නේ තවත් වෘත්තීය ක්ෂේත‍්‍ර තුළ අසහනයන් බෝ කිරීමයි. එවිට ඔවුන් ද වැඩ වර්ජනවලට අවතීර්ණ වීමට බලනු ඇත. ඒ ඒ වෘත්තිකයන්ගේ ප‍්‍රශ්නවලට එදා වේලේ හැටියට වෙන වෙනම විසඳුම් දීමට යාම අලූත් වැඩ වර්ජන රැල්ලකට තුඩුදීම වැලැක්විය නොහැක. එබැවින් එක ක්ෂේත‍්‍රයක ප‍්‍රශ්නවලට තාවකාලික විසඳුම් දීමෙන් වැළකී සමස්ත වෘත්තිකයන්ට බලපාන ආකාරයෙන් ඔවුන්ගේ වැටුප් විෂමතා සහ වෙනත් ප‍්‍රතිලාභ පිළිබඳ ප‍්‍රශ්න විසඳිය හැකි, සමබර වූත්, නීතිමය වශයෙන් ක‍්‍රියාවේ යෙදැවිය හැකි වූත්, පොදු ප‍්‍රතිපත්තියක් ඇති කර ගත යුතුව තිබේ.

 

රාජ්‍ය සේවක වැටුප් ගැන සෙවීමට පත්කළ ජනපති කොමිසම - තිස්ස දේවේන්ද්‍ර කොමිසමක් නොවේවා

සියලූ රාජ්‍ය සේවකයන්ගේ ශ්‍රේණි සහ ප‍්‍රතිලාභ පිළිබඳ සාධාරණ පොදු ප‍්‍රතිපත්තියක් සකසා ගැනීම සඳහා තිස්ස දේවේන්ද්‍ර කොමිසම පත් කළ සැටි අපට මතකයි. එහෙත් අවාසනාවකට, දේශපාලනික මුග්ධ භාවය නිසා එය සමාප්තියකට පත්කර ගැනීමට නොහැකි විය. ඒ ආකාරයේම කරුණු සොයා බැලීමක් කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනත් දැන් ඉහළ පෙළේ කමිටුවක් පත්කොට තිබේ. එම කමිටුවේ වාර්තාව ඔක්තෝබර් අවසානයට පෙර බලාපොරොත්තු වෙයි. එය යහපත් පියවරක් වශයෙන් සැලකිය හැකි මුත්, දෙන ලද කෙටි කාලය තුළ අදාළ සියලූ පාර්ශ්වවල අදහස් ලබා ගැනීමටත්, ඒවා විෂයබද්ධව අධ්‍යයනය කිරීමටත් එම කමිටුවට හැකියාවක් ලැබේ ද යන්න සැක සහිත ය.

 

සියලු රාජ්‍ය සේවා අත්‍යාවශ්‍යසේවා කළොත් නරකද ?

මේ තත්වය තුළ, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය තත්වයන් පිළිබඳව හදිසියේ කරුණු කාරණා සොයා බැලීමට අමතරව, සියලූ රාජ්‍ය සේවාවන්, මූලික වශයෙන් ගත් විට, ‘අත්‍යාවශ්‍ය’ සේවාවන් වශයෙන් සැලකෙන නීතිරීති ගෙන ආ යුතුව තිබේ. එවිට රාජ්‍ය සේවයේ නියුතු සියලූ දෙනා යම් කිසි පොදු නීතිරීති මාලාවකින් බැඳ තැබෙනු ඇත. වැඩ වර්ජනයකට තුඩුදිය හැකි  ඕනෑම කාරණයක් පිළිබඳ හැම පැත්තක්ම නිශ්චිත කාල සීමාවක් තුළ සොයා බැලෙන විධිමත් යාන්ත‍්‍රණයක් තිබිය යුතු අතර, වර්ජකයන් සේම ආණ්ඩුවත්  ඕනෑම ප‍්‍රශ්නයක් කල් නොයාවා විසඳා ගැනීමේ නිශ්චිත ක‍්‍රියාපරිපාටියක් අනුගමනය කෙරෙන ආකාරයේ ප‍්‍රතිපත්ති මාලාවක් ඇති කර ගත යුතුව තිබේ.

ජනතා අවශ්‍යතාවන් ඉටු කර දෙනු ලබන රාජ්‍ය සේවයේ  ඕනෑම අංශයක සේවයේ යෙදිය යුතුව සිටින සේවකයන් වැඩ වර්ජනය කොට එම සේවයෙන් ඉවත්ව සිටීම, ජනතාවගේ අවශ්‍යතාවන් සේම ඔවුන්ගේ කාලයත්, ධනයත් කා දමන කාරණයක් බව පැහැදිළි ය. අවශ්‍ය කරන යම් කාරණයක් සම්බන්ධයෙන් රාජ්‍ය අනුමැතිය ලබා ගැනීමට සාමාන්‍ය ජනතාවට නොහැකි වීම නිසා බොහෝ දෙනාගේ ජීවිතවලට ඒ මගින් ඉතා නරක අන්දමින් බලපෑම් ඇති කළ හැකිය. සෑම රාජ්‍ය සේවයක්ම ‘අත්‍යාවශ්‍ය’ කළොත්, පිළිගත් ක‍්‍රමවේදයක් අනුගමනය නොකොට වැඩ වර්ජනය කරන සේවකයන් තමන්ගේ වෘත්තීය කොන්දේසි උල්ලංඝණය කරන පිරිසක් බවට පමණක් නොව, සමාජ-විරෝධී ක‍්‍රියාවක නියැලෙන්නන් වශයෙන් ද සැළකිය හැකි වෙයි. මෙවැනි ප‍්‍රතිපත්තියක් සාර්ථකව ක‍්‍රියාවේ යෙදවීමට නම්, ඒ සමගම, නිසි ක‍්‍රියා මාර්ගයන්ට පිටතින් ගොස් වැඩ වර්ජන මෙහෙයවන වෘත්තීය සමිති නායකයන්ගේ පමණක් නොව, එවැනි වැඩ වර්ජනවල යෙදෙන සේවකයන්ගේ දේපළත් රාජසන්තක කිරීම වැනි, අනිසි වැඩ වර්ජන අධෛර්යමත් කරවන ක‍්‍රියාමාර්ග පනවා ගත යුත්තේය. විශේෂයෙන්, සේවකයන්ගේ වෘත්තීය සුභ සාධනයට හෝ අයිතියට සෘජු සම්බන්ධයක් නැති  ඕනෑම කරුණක් පෙරදැරිව වැඩ වර්ජනයේ යෙදීම අපරාධයක් බවට නීතියෙන් පත්කළ යුත්තේය.

GMOA – LTTE ට දෙවැනි නෑ ?

වර්තමානයේ මේ සම්බන්ධයෙන් දකින්ට ලැබෙන ඉතා පැහැදිළි නිදර්ශනයක් වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ආණ්ඩුව සහ ජනතාව ප‍්‍රාණ ඇපයට ගනිමින් එම වෘත්තීය සමිතියේ නායකයන්ගේ දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කටයුතු කරන ආකාරය පසුගිය කාලයේ පැහැදිළිව දැක ගත හැකි විය. මීට පෙර ලිපියක අප සඳහන් කළ පරිදි ඔවුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාකාරකම් සමාන වන්නේ, එල්.ටී.ටී.ඊ සංවිධානයේ සහ අයි.එස්.එස්. සංවිධානයේ ප‍්‍රතිපත්තිවලට ය. මන්ද යත්, ඔවුන් අහිංසක මිනිසුන්ගේ ජීවිත පරදුවට තබන බැවිනි.

කළයුත්තේ කුමක්ද ? 

සේවකයන්ගේ වැටුප් මට්ටම් සහ වෙනත් අයිතීන් ගැන විද්වත් කමිටු වාර්තා ඉදිරිපත් කිරීම පමණක් නොව, ඊට පරිපූරක වන පරිදි, ඔවුන්ගෙන් ලැබිය යුතු සේවාවන්හි තිබිය යුතු තත්වය, ඔවුන් අනුගමනය කළ යුතු රෙගුලාසි ආදිය පිළිබඳවත් විධිමත් ප‍්‍රමිතීන් ඇති කර ගත යුතුව තිබේ. දැනටමත් ඒ සම්බන්ධයෙන් බොහෝ නීතිරීති සහ රෙගුලාසි තිබේ. එහෙත් ඇති කර ගන්නා නව යාන්ත‍්‍රණයන්ට ගැලපෙන සේ ඒවා සංශෝධනය කර ගත යුතුව තිබේ.

සියලූ රාජ්‍ය සේවාවන් ‘අත්‍යාවශ්‍ය’ කරන අතරේම, ප‍්‍රායෝගික හේතු සලකා, රාජ්‍ය සේවාවන් තුන් වර්ගයකට වෙන් කළ යුතුව තිබේ. ඔවුන්ගේ වැටුප් සහ සේවා තත්වයන් වැනි දේවල් ඒ අනුව නිශ්චය කර ගත යුතුය.

‘අත්‍යාවශ්‍ය’ සේවාවන්හි ප‍්‍රථම කාණ්ඩය වන්නේ, පරිපාලන කටයුතුවල නියුතු, නිශ්චිත වැඩ පරිපාටියක් තුළ සේවය කරන, නිශ්චිත සේවා පැය ගණන් වැඩ කරන පිරිස් ය. මොවුන් තමන්ගේ සේවාවන්ට අදාළ අවදානම්වලට මුහුණපාන්නේ නැත. එසේම ඔවුන්ගේ සේවා ස්ථානයන්ගෙන් බැහැරව ඔවුන්ට සේවාවන් සැපයීමට වන්නේ ඉඳහිට මැතිවරණ කටයුතුවලට අදාළ රාජකාරි සඳහා කැඳවීමේ දී පමණි.

දෙවැනි කාණ්ඩය වන්නේ, කාල සටහන්වලින් තමන්ගේ සේවා පැය ගණන් නිශ්චය කොට ඇති සේවකයන් ය. උදාහරණයක් වශයෙන් පොදු ප‍්‍රවාහණ සේවාව ගත හැකිය. එසේම, සේවා මුරවලට වැඩ කරන, විදුලිය සහ ජලය වැනි සේවාවන් සම්පාදනය කරන සහ බෙදා හරින සේවකයන් ද, ඇතැම් වෛද්‍යවරු, ඇතැම් හෙදියන්, බොහෝ ආගමන සහ විගමන නිලධාරීන් ද ඊට ඇතුළත් කළ හැකිය.

තුන්වැනි කාණ්ඩයට අයත් විය යුත්තේ, නීතිය හා සාමය ආරක්ෂා කරන පිරිස්, ගිනි නිවන හමුදා සේවකයන් සහ සන්නද්ධ සේවාවන් වැනි, දීර්ඝ සේවා මුර සහිත, ජීවිත අවදානම් දරණ සේවකයන් ය. බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ සේවාවත් මීට ඇතුළත් කළ හැකිය.

කෙටියෙන්ම කිවහොත් සියලූ රාජ්‍ය සේවාවන් ‘අත්‍යාවශ්‍ය’ කළ යුත්තේය. සමස්ත රාජ්‍ය සේවාවට අදාළ පොදු සංවිධාන ව්‍යුහයක් තිබිය යුතු අතර, එය ඉහත කී ප‍්‍රභේදයන්ට අනුගතව සැකසිය යුතුය. එසේම, ඒ ඒ සේවක කාණ්ඩවලට ඇති සුදුසුකම්, ඔවුන් සතු අත්දැකීම්, වගකීම්, සේවා මුර පැය ගණන් සහ සේවාවන්ට අදාල අවදානම් ආදී කරුණු ද සැලකිල්ලට ගත යුතුව තිබේ. අවසාන වශයෙන්, රාජ්‍යය සහ රාජ්‍ය සේවය අතර පවතින ප‍්‍රශ්න ඔඩුදිවීමට නොදෙන විසඳුම් ක‍්‍රම සඳහා වන යාන්ත‍්‍රණයන් සහ සරළ ක‍්‍රියාපරිපාටි සකසා ගත යුතුව ඇති අතර, විශේෂයෙන් මේ ප‍්‍රශ්න, එනම් මානව සම්පත් උපයෝජනයට අදාළ විධිමත් දැනුමක් නැති ඇමතිවරුන්ට ඒ ප‍්‍රශ්න අවුල් කිරීමට ඉඩ දිය යුතු නැත.

 

ආචාර්ය ඒ. සී. විස්වලිංගම්

(2018 සැප්තැම්බර් 8 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ, Discouraging Unconscionable Strikes නැමති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)