The Most/Recent Articles

Showing posts with label චැනල් 4. Show all posts
Showing posts with label චැනල් 4. Show all posts

වසර 85 ක් පුරා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්වෙලා - Channel 4

‘‘පුද්ගලයින් දෙදෙනෙකු තමන් අගමැත‍ි යැයි ප්‍රකාශ කරන බැවින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයක‘‘ යන ශීර්ෂයෙන් යුතුව බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව වීඩියෝ පටයක් ඊයේ (22) දිනයේදී විකාශය කර තිබෙන අතර මෙහි විදේශ කටයුතු සම්බන්ධයෙන් වාර්තා කරන මාධ්‍යවේදී ජොනතන් මිලර් මෙම වීඩියෝ පටයේ පෙනී සිටී.


මිලර් සිය පුවතින් දක්වන්නේ, මෙම අගමැතිවරුන් දෙදෙනා අතර සිටින  මීට පෙර ජනාධිපතිධූරය දැරූ තැනැත්තා මානව හිමිකම් බරතල ලෙස උල්ලංඝනය කළ බවට චෝදනා ලබා ඇති බවත්, පසුගිය වසර 85 තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තර්ජනයට ලක්වූ බවත් මෙමගින් දක්වයි.


ජොනතන් මිලර්, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කරන්නේ ‘‘මෙරට අගමැති ඔබද ? නැත්නම් ඔහුද ?‘‘යන්නයි.

ඊට පිළිතුරු දෙන වික්‍රමසිංහ මහතා පවසන්නේ, ‘‘පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ මටයි, මට බහුතරය නැති බව විශ්වාස කරන්න බැහැ.‘‘ යන්නයි.

මංගල සමරවීර මහතා සමග කතාබහේ  යෙදෙන දර්ශන මෙන්ම ඔවුන් වත්මන් දේශපාලන තත්ත්වය ගැන පළකල අදහස් ද මෙම වීඩියෝ පටයේ වැඩිදුරටත් දක්වා ඇත.


අදාළ වීඩියෝව නරඹන්න

‘අපේ රටවල හැමතැනකදීම දෙවියෝ වැඩඉන්නවා‘ - නවාල් අල් සඩාවි

‘අපේ රටවල දෙවියෝ හැමතැනකදීම ඉන්නවා. සැමියා හා බිරිඳ අතරේදී නිදියහනේදීත් දෙවියෝ හැමදේකටම මැදිහත්වෙනවා.‘-නවාල් 

 

ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women's Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women's Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ පළමු කොටසයි.

 

ඔබ, ඔබව දකින්නේ කොහොමද ?

මං මිනිස් සත්වයෙක්. ම්ම්, ලේඛිකාවක්, විරුද්ධවාදිනියක්, කාන්තාවක්, අපි ගැන හැබෑවටම කියන්න උත්සහ දරන කාන්තාවක් - මේ ජීවිතය ඇතුළේ අපි විශ්වාස කරන දේවල් ගැන පැහැදිලි කරන්න යත්න දරන කෙනෙක්.

 

ඔබ මීට පෙර කිව්වා විරුද්ධවාදිනියක් කියලා. ඇත්තටම, ඔබ ඉපදෙන්නේ කැරලිකාරියක් විදියටද, ‘නැහැ, ඒක එහෙම නෙමෙයි‘ කියාගෙන, අනෙක් අය ඔබට කියන දේවල් ඒ විදියටම ඉටුනොකරන්න ඉපදුණු කෙනෙක්ද ?

ඔව්, මං එහෙම හිතනවා. විරුද්ධවාදිනියක් වීම මගේ ජාන තුළම තිබෙන බව මගේ විශ්වාසයයි. මගේ ආච්චි විප්ලවවාදිනියක්. ඇය බොහොම ප්‍රසන්න ගැමි කාන්තාවක්, නමුත්, ඇයට අකුරු ලිවීමේ හෝ කියවීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත්, ඇය විප්ලවවාදිනියක් වුණා. ඉතිං, මේ කැරලිකාරී ගතිය අපේ ලේ ඇතුළේම තිබෙනවා. ඇගේ ඒ ජාන මටත් ආවා. තවත් කොටසක් මං සිදුකළ පුහුණුව, කියවීම, සැරිසැරීම වගේ දේවල් හරහා අත්පත් කරගත්ත ඒවා. ජාන හරහා වගේම මගේ හැකියාවන් තුළින් ලබාගත්ත ඒවත් තියෙනවා.

 

ඔබේ කුඩා වියේදී ඉඳන්ම පුරුෂ මූලික සමාජය ගැන ඔබ මනාව දැනුවත්වී සිටි බව පසුකලෙක රචනා වූ ස්වයංචරිතාපදානයේ සඳහන්වී තිබෙනවා. මේ ගැන සඳහන් කළොත් ?

පොතපත කියවන්න හා ලියන්න මට ඉගැන්නුවේ මගේ තාත්තා නෙමෙයි, මගේ අම්මා තමයි. අවුරුදු 6 දී විතර ඉඳන් පාසල යන්න පටන්ගද්දි මගේ ගුරුවරයා කිව්වා ‘ඔයාගේ නම ලියන්න‘ කියලා. ඉතිං, මං ‘නවාල්‘ කියලා ලිව්වා. ‘නැහැ, මේක නෙමෙයි, ඔයාගේ සම්පූර්ණ නම ලියන්න‘ කියලා ඔහු අයෙත් කිව්වා. ‘නවාල් සේනබ්‘ කියලා මං කිව්වා. ඒ මගේ අම්මගේ නම. ඇය මට හෝඩිය  ලියන්න කියලා දුන්නු නිසා ඇගේ නම කිව්වා. ‘නවාල් සේනබ්‘ කියා ලියා තිබුණු අකුරු ටික බොහොම සැර පරුෂ විදියට කපාදැම්ම ඔහු ‘නෑ මේ නම නෙමේ, ඔයාගේ තාත්තාගෙයි, සීයාගෙයි නම ලියන්න‘ කිව්වා.

ඇයි මගේ අම්මගේ නම කැපුවේ කියන ප්‍රශ්නය ඒ මොහොතේ මගේ හිතට දැනෙන්න ගත්තා. මට දෙන්න පුළුවන් හැම දේම දුන්නු, ලියන්න - කියවන්න කියාදුන්නු ඇගේ නම කපාදැම්මේ ඇයි ?

 



අවුරුදු හයක පුංචි දරුවෙක් විදියට ඒ මොහොතේදී ඔබේ හිතට අසාධාරණයක් ගැන හැඟීමක් දැනුණද ?

ඔව්, මේක හරිම අසාධාරණයි, බොහොම දරුණුයි කියලා මගේ දැනෙන්න ගත්තා. මං ඒ මොහොතේ ඉඳන් කැරලිගහන්න පටන්ගත්තා. මං මේක පිළිගන්නේ නැහැ කියලා හිතාගත්තා.

මේ පුංචි දැරිය ක්‍රමයෙන් වැඩි වියට පත්වෙද්දී කාන්තා අයිතීන්, ස්ත්‍රීවාදය ගැන හැඟුණද ?

නැහැ, නැහැ

1940 දී වගේ ?

මගේ අම්මයි, තාත්තයි දෙන්නම අනික් ළමයින්ගේ මාපියන් වගේ නොවෙයි බොහොම ලිබරල්. මොකද, මගේ නෑනා අවුරුදු 10 දී විවාහ වුණා. මගේ ඥාතීන් අවුරුදු 10 වෙද්දී මාවත් බන්ඳලා දෙන්න උත්සහ ගත්තා. නමුත්, මං කැරලිකාරියක් බවට පත්වුණා. ඉගෙනගන්න බොහොම කැමැත්තෙන් හිටි මට ඉස්කොලේ යන්න වුවමනා වුණා, අම්මා වගේම තාත්තත් ලොකු අත්වැලක් වුණා.

නමුත්, පවුලේ අනික් උදවිය ඔවුන්ගේ ආධිපත්‍ය පතුරවන්න ගත්තා. අනික් හැම කෙල්ලක් වගේ මාත් විවාහ විය යුතු බව ඔවුන් පුන පුනා කියන්න ගත්තා. නමුත්, ඔවුන්ට ඒක කරන්න බැරිවුණා. මොකද මං කැරලිකාරියක් වුණා වගේම මගේ මවත් පිටුපසින් හිටියා. පාසලේදී අතිදක්ෂ ශිෂ්‍යාවක් වුණු නිසාම අධ්‍යාපනය හමාර කලේ නැහැ. ඒ වගේම අවසානයේදී වෛද්‍ය විද්‍යාලයට යන්නත් වරම් ලැබුණා. ඒ කාලේ වෙද්දී, ඒ කියන්නේ 1930 දී වගේ මගේ පවුලේ හිටිය හැම ගැහැණු ළමයෙක්ම කුඩා වියේදීම විවාහ වී හිටියා.

ඔබට වයස අවුරුදු 10 – 12 වෙද්දි ඔබව විවාහ කරගන්න ඉදිරිපත් වුණු පිරිමි ගැන මොකද හිතන්නේ ?

මගේ කුඩා වියේදී ඉඳන් ඔවුන්ට වෛර කළා. මට වැඩිය අවුරුද්දක් වැඩිමහල් මගේම සහෝදරයා පාසලේ අතිදක්ෂ ශිෂ්‍යයෙක් වුණේ නැහැ. කොල්ලෙක් විදියට එයා හරිම නරක් වෙලා හිටිය නිසා පාසලෙන් දෙන ගෙදර වැඩවත් කළේ නැහැ. නමුත්, මං හොඳට ඉගෙනගත්තා. පාසලෙන් දෙන ගෙදර වැඩ කළා. අවසානේදී ඔහු, ඔහුගේ නිදහස හොයාගෙන ගෙදරින් ගියා. එයා කොල්ලෙක් වුණු නිසාම මට වඩා බොහෝ වරප්‍රසාද භුක්ති විඳින්න හැකිවීම ගැන මං වෛර කළා. මගේ පවුලේ අය කිව්වේ එයා කොල්ලෙක් නිසා දෙවියෝ එයාට ඒ දේවල් දීලා තියෙනවා කියලයි. අයියට වගේම දෙවියන්ටත් මං වෛර කළා

හ්ම්, ඔබේ පවුලේ අයගේ උත්තරේ වුණේ ‘ඒක තමයි දෙවියන්ගේ කැමැත්ත‘ යන්නයි ?

ඔව්, සත්තකින්ම. ‘දෙවියෝ කියලා තියෙන්නේ එහෙමයි‘ කියන උත්තරේට වඩා වැඩි යමක් ඔවුන් කිව්වේ නැහැ. ‘එයා කොල්ලෙක්, ඔයාට නැති වරප්‍රසාද එයාට තියෙනවා‘. ඔන්න ඒකයි කිව්වේ.

මැදපෙරදිග ජීවත් වෙන අය අදටත් කියන්නේ ඒ කතාව නේද ?

ම්ම්, මැදපෙරදිග අය නෙවෙයි. ලෝකයේම ඉන්න අය කියන්නේ ඔය කතාවයි.



 

ඔව්, ලෝකය පුරාම ඉන්න මිනිස්සු ඒ කතාව කියනවා. ඒත්, මං හිතන්නේ විශේෂයෙන්ම මුස්ලිම් පිරිස් ජීවත් වන රටවල ඒ කතාව කියැවෙන බවයි ? ඔබ මොනාහරි දෙයක් ගැන ප්‍රශ්න කරලා ‘එහෙම වෙන්නේ ඇයි ?‘ කියලා ඇහුවොත් ඒකට ලැබෙන උත්තරේ ‘ඒක දෙවියන්ගේ කැමැත්ත‘ බවයි.

හ්ම්. දෙවියන්ගේ කැමැත්ත. නමුත්. මේක විශ්වීයයි. ක්‍රිස්තියානි, යුදෙව් වගේම හින්දු වැනි ජාතිකයින් ජීවත් වන මුස්ලිම් නොවන රටවලත් මං දිවිගෙවා තියෙනවා. නමුත්, ගොඩක් දුරට ඉන්දියාවේදී ඒ කතාව වැඩිපුර ඇහෙන්නේ නැහැ. ‘දෙවි‍යෝ හැමදේම කරනවා‘ කියලා ඒ හැමෝම කියනවා.

විශේෂයෙන්ම, අපේ රටවල දෙවියෝ හැමතැනකදීම ඉන්නවා. සැමියා හා බිරිඳ අතරේදී නිදියහනේදීත් දෙවියෝ හැමදේකටම මැදිහත්වෙනවා. (සිනාසෙමින්). වෙන දෙයක් තියා මගේ ජීවිතේදී මුලින්ම ලිව්ව වචනේ වුණෙත් ‘දෙවියන්‘ යන්නයි.

මොකද මං දෙවියන්ට කිව්වේ ‘දෙවියනේ ඔබ සාධාරණ නැහැ. ඔබ මට සලකන්නේ බොහොම නරක විදියටයි. අයියට වඩා මං බොහොම බුද්ධිමත් කෙනෙක් වුණත් ඔබ මට වඩා ඔහුට සලකනවා. මේක සාධාරණ නැහැ. ඔබ සාධාරණව සැලකුවේ නැත්නම්, මං තවදුරටත් ඔබව විශ්වාස කරන්නේ නැහැ.‘. පුංචි දරුවෙක් විදියට මං එහෙම ලිව්වා.

ඒ සිද්ධියෙන් කාලයක් ගතවී ගිය තැන මං මනෝ උපදේශිකාවක් බවට පත්වුණා. තමන්ගේ කුඩා අවදිය ගැන කතාකරන්න මා ළඟට පැමිණෙන කාන්තාවන් බොහොමයක් දෙනා ඔය කතාව මට කියනවා. ඔවුන්ගේ කුඩා අවදියේදී ඔවුන් හා දෙවියන් අතර ගැටුමක් පැවති බව කියනවා.

 

 

අනුවර්තනය වින්ධ්‍යා ගම්ලත් 

මීළඟ කොටසින් බලාපොරොත්තුවන්න 

‘‘මං මාක්ස්වාදියෙකු නොවුණේ මාක්ස් ගැන හදාරපු නිසයි‘‘  - නවාල්