amanté නවතම අලෙවිසැල මීගමුවේදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමය වන amanté හි නවතම ස්වාධීන අලෙවිසැල පසුගියදා මීගමුවේදී විවෘත කරන ලදි. amanté ශ්‍රී ලංකාව තුළ විවෘත කරන ලද 5 වන අලෙවිසැල මෙයයි. 

මෙම අලෙවිසැල විවෘත කිරීමේ උත්සවය 2023 අගෝස්තු 10 දින පැවති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ බුද්ධි බතික්ස් ප්‍රධාන විධායක නිලධාරිනී සහ අධ්‍යක්ෂිකා දර්ශි කීර්තිසේන මහත්මියයි. amanté කළමනාකාරීත්වයේ නියෝජිතයන් මෙන්ම තවත් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

“මම කවදත් amanté රසිකාවියක්. ඒ වගේම, කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් amanté සන්නාමයේ දැක්ම අගය කළ යුතුයි. ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව තුළ amanté අත්කරගත් දියුණුව දෙස උනන්දුවෙන් බලා සිටි කෙනෙකු ලෙස, ඔවුන්ගේ නවතම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටක්.” දර්ශි කීර්තිසේන මහත්මිය පැවසුවා ය. 



මේ වනවිට දිවයින පුරා අලෙවිසැල් 200 කට අධික සංඛ්‍යාවක amanté ඇඟලුම් අලෙවි කෙරේ. මීගමුවේ නව අලෙවිසැල, amanté විසින් ක්‍රියාත්මක කරනු ලබන, කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ස්වාධීන 2 වැනි අලෙවිසැල වන අතර, එය amanté රසික රසිකාවියන්ට රිසි සේ amanté විශිෂ්ටත්වය අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ඇත. කාන්තා යට ඇඳුම්, ‘Athleisure’ වර්ගයේ ක්‍රීඩා ඇඟලුම්, නිදන ඇඳුම්, පිහිනුම් ඇඳුම් සහ නව යෞවනියන් සඳහා වෙන් වූ නවතම ඇඟලුම් එකතුව ඇතුළුව amanté ඇඟලුම් වර්ග සියල්ලම මෙම නව අලෙවිසැලෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. 

“අපගේ අලෙවිසැල් ජාලය පුළුල් කිරීමේ පියවරක් වශයෙන් මේ ආකාරයට මීගමුව ප්‍රදේශයේ අලෙවිසැලක් විවෘත කිරීමට හැකි වීමට අපට මහත් සතුටක්. මාස 4 කට පෙර අපගේ 4 වැනි අලෙවිසැල විවෘත කිරීමෙන් අනතුරුව ඉතාමත් කෙටි කාලයක් තුළ තවත් අලෙවිසැලක් විවෘත කිරීමට හැකි වීම මගින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සමීප ඇඟලුම් සන්නාමය බවට පත්වීම සඳහා අප ගන්නා උත්සාහය වේගයෙන් සාර්ථක වෙමින් පවතින බවයි.” amanté Sri Lanka ව්‍යාපාර ප්‍රධානී පද්මාල් සිල්වා මහතා පැවසී ය. 



amanté ඇඟලුම්වල විශේෂත්වය වන්නේ, එහි සෑම නිෂ්පාදනයක්ම මාස 12 ක කාලයක් පුරා දැඩි තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියකට භාජනය වීම ය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කෙරෙන මෙම ඇඟලුම් වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ ඉන් අනතුරුව ය. මෙවැනි ජාත්‍යන්තර තලයේ ක්‍රියාවලියකට යටත් කරනු ලැබුවද, ප්‍රමිතියෙහි කිසිදු වෙනසකින් තොරව, සහනදායී මිලගණන් යටතේ මෙම ඇඟලුම් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට amanté කටයුතු කරයි. එමෙන්ම නවතම ගෝලීය ප්‍රවණතා හඳුනා ගනිමින් හැකි ඉක්මනින් එම ප්‍රවණතා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙතද හඳුන්වා දීමට amanté පියවර ගනියි. 

2007 වසරේ ඉන්දියාවේදී ආරම්භ වූ amanté, 2012 වසරේදී ශ්‍රී ලංකාවටද පිවිසුණු අතර, මේ වනවිට මෙරට ජනප්‍රියම සමීප ඇඟලුම් සන්නාමයක් බවට පත්වීමට එය සමත් වී ඇත. මීගමුව ප්‍රදේශයේ විවෘත කළ නව අලෙවිසැලට අමතරව Racecourse Mall (කොළඹ 07), Marino Mall (කොළඹ 03), Kandy City Centre (මහනුවර) සහ Cool Planet Shopping Centre (නුගේගොඩ) යන ස්ථානවලද amanté අලෙවිසැල් විවෘත කර තිබේ. එමෙන්ම රටපුරා පිහිටි අනෙකුත් ප්‍රධාන පෙළේ ඇඟලුම් අලෙවිසැල් 230 කට අධික සංඛ්‍යාවක් වෙතින් මෙන්ම amanté නිල වෙබ් අඩවිය වන www.amante.lk වෙතින්ද amanté ඇඟලුම් මිලදීගත හැක. 2021 වසරේදී ඉන්දියාවේ විශාලතම සමාගමක් වන Reliance Retail Ventures Ltd. විසින් amanté හිමිකාරීත්වය පවරා ගන්නා ලද අතර, එය ආත්ම විශ්වාසයෙන් යුත් කාන්තාවන් සඳහා සුවපහසු හා අලංකාර ඇඟලුම් නිර්මාණය කිරීමේ amanté මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරන පියවරක් විය. 

වැඩිදුර තොරතුරු සඳහා amanté නිල විද්‍යුත් ලිපිනය වන reachus@amante.lk ඔස්සේ විමසන්න. නැතිනම් amanté ක්ෂණික ඇමතුම් අංකය වන 0114534707 අමතන්න.