ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් ඩුබායි වෙළඳපලට එක්වේ


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන හා සන්නිවේදන උපාංග සමාගමක් වන ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් (පුද්.) සමාගම [Trans Asia Cellular (Pvt) Ltd.] සිය ප්‍රථම විදෙස් අලෙවිසැල පසුගිය මැයි 29 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී විවෘත කළේ ය. මෙය ඉදිරියේදී ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සමාගමේ ව්‍යාපාර කටයුතු ලොව පුරා ව්‍යාප්ත කිරීමේ සැලසුමක ආරම්භක පියවරකි. 

ඩුබායි නගරයේ සුප්‍රකට ඩෙයිරා හි පිහිටා ඇති මෙම නව අලෙවිසැල විවෘත කිරීම සඳහා පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ෂීක් මොහොමඩ් අල් ෂෙහි විසින් එම අලෙවිසැල විවෘත කරන ලදි. මෙම අවස්ථාවට ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සමූහයේ සභාපති මුෆීල් යසීන් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක්ද එක්වූහ. 



1994 වර්ෂයේදී ආරම්භ වූ ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සමාගම, පසුගිය දශක තුනකට ආසන්න කාලය තුළ උසස්ම තත්වයේ ජංගම දුරකථන සහ සන්නිවේදන උපාංග මෙන්ම විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් සැපයීම සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත් වී ඇත. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට සමගාමීව ලොව නවතම උපකරණ හා උපාංග මෙරටට හඳුන්වා දීමටද එම සමාගම නිරන්තරයෙන් පියවර ගෙන තිබේ. ඩුබායිහි අලුතින් විවෘත කරන ලද අලෙවිසැලට අමතරව ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සමාගම කොළඹ සහ කුරුණෑගල යන ප්‍රදේශවල අලෙවිසැල් විවෘත කර ඇති අතර, ඉතාමත් පහසුවෙන් භාණ්ඩ මිලදීගත හැකි වෙබ් අඩවියක්ද පවත්වාගෙන යයි. 



“මෙය අපට ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සන්නාමය ජාත්‍යන්තර තලයට රැගෙන යාමට ලැබුණු අගනා අවස්ථාවක්. එමෙන්ම මෙය අපට මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපය තුළ ව්‍යාප්ත වීමට ශක්තිමත් අඩිතාලමක් බවට පත්වේවි. ඉදිරි වසර 5 තුළ නව අලෙවිසැල් විවෘත කිරීම සඳහා දැනටමත් අප ඕමානය, සෞදි අරාබිය සහ කටාර් වැනි රටවල පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.” ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සමාගමේ කලාපීය ව්‍යාපාර සංවර්ධන කළමනාකරු අබු අහමඩ් බින් අලි මහතා පැවසී ය.