SEDR වෙතින් මෙරට විකල්ප ආරවුල් නිරාකරණයට ප්‍රතිපත්ති සංක්ෂිප්තයක්




යුරෝපා සංගමයේ මුල්ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන SEDR ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ විකල්ප ආරවුල් නිරාකරණය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති සංක්ෂිප්තයක් එළිදක්වයි. යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ආසියා පදනම හා හවුල්කාරීත්වයෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින්  ක්‍රියාත්මක කෙරෙන  ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය, මෙරට ප්‍රජා පාදක විකල්ප ආරවුල් නිරාකරණ (ADR)
 යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා 'යුක්තිමත් විකල්පයක් ශක්තිමත් කිරීම' යන මැයෙන් ප්‍රතිපත්ති සංක්ෂිප්තයක් එළිදැක්වූයේය.

කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයේ පැවති මෙම එළිදැක්වීමේ උත්සවයට අධිකරණ අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන (අතුරුකාලීන) සංවර්ධන සහයෝගිතා ප්‍රධානී, බියට්‍රිස් බුසී මහත්මිය, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති ගරු විනිසුරු යාපා මහතා සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහභාගී වූහ.

උත්සවය ආමන්ත්‍රණය කළ බියට්‍රිස් බුසි මහත්මිය ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ සමථකරණයේ වැදගත්කම දෙයාකාර වන්නේය. එය පුරවැසියන්ට යුක්තිය සඳහා පහසු සහ මුල්‍යමය වශයෙන් පිරිමැසුම්දායක ප්‍රවේශයක් සහතික කරන අතරම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මත පැටවෙන බර අඩු කිරීමටද අවස්ථාව සලසා දෙයි. එහි සඵලතාවය සහ, ආරවුල් උත්සන්න වීම වළක්වමින් දේශීය ආරවුල් නිරාකරණයට ප්‍රජාවන්ට  ලබා දෙන වටිනාකම සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකේය ප්‍රජා සමථ මණ්ඩලවල ආදර්ශය මා ප්‍රශංසාවට ලක්කිරීමට කැමැත්තෙමි.” යනුවෙනි.

ගරු. (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා සභාවට අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ, "ආරවුල් කාර්යක්ෂමව නිරාකරණය සඳහා අවශ්ය නෛතික, ප්‍රතිපත්තිමය සහ ආයතනික රාමුව සකස් කිරීම සහතික කිරීම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයකි. සමථකරණය ඇතුළු විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණ මේ සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණවල සඵලතාවය පිළිබඳව, විශේෂයෙන්ම සමථකරණය සම්බන්ධයෙන්, ප්‍රජාව සහ විවිධ පාර්ශ්වකරුවන් අතර, විවිධ මත පවතී. මේ අතරතුර, ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණ යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍යාංශය ප්‍රතිසංස්කරණ ගණනාවක් ආරම්භ කර ඇත.
ඒ අනුව, විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයන් සම්බන්ධයෙන් සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමට පහසුකම් සැලසීම සඳහා, මෙවැනි සමීක්ෂණවල වැදගත්කම අමාත්‍යාංශය අවධාරණය කරයි. එබැවින්, මෙම සාර්ථක මුලපිරීම පිළිබඳව SEDR ව්‍යාපෘතියට සුබපැතුම් පිරිනැමීමට 
අමාත්‍යාංශය කැමැත්තේය." යනුවෙනි.

මෙම ප්‍රතිපත්ති සංක්ෂිප්තයට පාදක වන්නේ 2022 දී SEDR විසින් දියත්කරනු ලදුව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) විසින් ක්‍රියාත්මක කරන ලද දැනුම,
 ආකල්ප සහ පරිචයන් (Knowledge, Attitudes and Practices - KAP)පිළිබඳ සමීක්ෂණයක මූලික සොයාගැනීම් ය. සමථ මූල මණ්ඩල ඇතුළු විවිධ ප්‍රජා පාදක විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයන්හි දැනුම, ආකල්ප සහ පරිචයන් තක්සේරු කිරීම මෙම සමීක්ෂණයේ අරමුණ විය. මෙම සමීක්ෂණය ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් තුනම ආවරණය වන ලෙස කුටුම්බ 1,712 ඉලක්ක කර ගනිමින් දිවයිනේ 

දිස්ත්‍රික්ක හයක් ආවරණය කළේය.

එළිදැක්වීමේ උත්සවයේදී විශේෂඥ මණ්ඩල සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී KAP සමීක්ෂණයේ සොයාගැනීම් පිළිබඳව සහ, රට තුළ ADR මූලාරම්භයන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයන් විසින් මෙම සාක්ෂි භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව විද්වත් කමිටු සාමාජිකයින් කථිකා කළහ. සමථකරණ සේවා පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, ප්‍රජාවන් සමඟ නියැලීමේ සහ ප්‍රජා සහභාගීත්වයේ වැදගත්කම, සමථකරණයේ කාන්තාවන්ගේ භූමිකාව මෙන්ම වඩාත් ඵලදායී ADR සන්නිවේදන උපාය මාර්ගවල අවශ්‍යතාවය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

සමථකාරවරුන් සඳහා සමථකරණ පුහුණුව සහ ධාරිතා ගොඩනැගීම සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම, සමථකරණය සහ ADR පිළිබඳ මහජන දැනුවත්බව වැඩිකිරීම සහ ශ්‍රී ලංකාව තුළ සමථකරණය සඳහා නීතිමය සහ නියාමන රාමුව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම ප්‍රතිපත්ති සංක්ෂිප්තය අවධාරණය කරයි.ප්‍රධාන සමීක්ෂණ සොයාගැනීම් අතරින් සමහරක් වන්නේ:

ප්‍රජා සමථ මණ්ඩලවලට ප්‍රවේශ වූවන්ගෙන් 89%ක් ප්රකාශ කළේ තම ආරවුල් නිරාකරණය වූ ආකාරය පිළිබඳව සෑහීමකට පත්වන බවයි.
ප්‍රජා සමථ මණ්ඩල භාවිතා කළ පුද්ගලයන්ගෙන් 80%ක් අනාගතයේදී ඒවා නැවත භාවිත කිරීමේ සම්භාවිතාවක් ඇත.
බොහෝ ප්‍රතිචාර දැක්වූවන් තහවුරු කළේ සාම්ප්‍රදායිකව විධිමත් යුක්තිය පසිඳලීමේ ක්‍රම භාවිතා කරනවාට වඩා, ඔවුන්ගේ ආරවුල් නිරාකරණය සඳහා ප්‍රජා සමථ මණ්ඩල භාවිතා කිරීම හෝ ආගමික නායකයින් වෙත යාම
 වඩාත් ලාභදායී සහ වේගවත් බවයි.
ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 73% ක්, විශේෂයෙන් තරුණ ප්‍රජාව, පෙන්වා දෙන්නේ ඔවුන් ප්‍රජා සමථ මණ්ඩල ක්‍රියාවලීන් ගැන වැඩිදුර ඉගෙන ගැනීමට කැමති බවයි.
ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 67% ප්‍රකාශ කළේ ඕනෑම ADR සංසදයක පිරිමි සහ ගැහැණු සමාන නියෝජනයක් තිබිය යුතු බවයි.