චීනයේ අවවාදය

 චීනය විසින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ඉගැන්වීමට උත්සහ කරන මූලික පාඩම තේරුම් ගත යුතුය. මන්ද , ගෙවුණු වසර කිහිපය පුරාම ලේ ඥාතියෙකු සේ කුළුපඟව  සිටිමින් සෑම දුෂ්කර අවස්ථාවකදීම සහය ලබා දුන් චීනය ගැන තේරුම් ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රතිපත්ති තීරකයින් සමත්වීද යන්න ගැටලුසහගත බැවිනි. චීනයට තවදුරටත් ද්විපාර්ශවීය සම්බන්ධතා වලට මුවාවී මෙරට හොරුන් සහ වංචාකාරයින් නඩත්තු කිරීමේ වුමණාවක් නැත.

කතුවැකිය 

චීනය අනතුරු ඇඟවීමක් සිදුකොට ඇත. ඒ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බ්න්ධයෙනි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති බොහෝමයක් විදේශීය ආයෝජකයින්ට සාදාරණ ලෙස සැලකීම වෙනුවට එය විවිධ දේශපාලන අවශ්‍යතාවයන් පිනවීම සඳහා සකස් ඇතැයි  නැගෙන බරපතල චෝදනාවක් තිබේ. ඉන්දියාවේ බලපෑම නිසා උතුරේ දූපත් තුනක ඉදිකිරීමට නියමිතව තිබූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරය චීන සමාගමකට ප්‍රදානය කරනු ලැබූ අතර දින කිහිපයකින් පසු කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව අවලංගු කරනු ලැබීය. එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර හිටපු මහමාර්ග ඇමතිවරයාගේ ආශාව පිනවීම සඳහා එක්තරා කූඨ සමාගමකට ලබා දී ඇත්තේ  ඊට වඩා අඩු මුදලකට ලංසු තැබූ චීන සමාගම නොසලකා හැරීමෙනි.ශ්‍රී ලංකා ආණ්ඩුවේ අහේතුක සහ අවිද්‍යාත්මක හැසිරීම මෙම සිදුවීම් දෙකෙන් මනාව පිළිඹිබු වේ. එසේම ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව රාජතාන්ත්‍රික කටයුතු හසුරුවීමේදී දක්වන නොමේරූ ස්වභාවය මෙම කටයුතුවලින් දක්නට ලැබේ.  

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන අභියෝගය වන්නේ සැබෑ බුද්ධිමත් පරිපාලකයින් සහ රාජ්‍යය ස්ථාවරත්වයට වැදගත්  අව්‍යාජ ධනයක් ඇති පොහොසතුන්ගෙන් සැදුම්ලත් ව්‍යාපාරික ප්‍රජාවක් නැතිකමය. යම්කිසි වගකීමක් ඉටු කිරීමට හැකියාව ඇති ඉතාම සුළු කණඩායම අතරද සමගියක් නැත. මෙරට අංක එකේ පොහොසතා යැයි නම් දරන පුද්ගලයාද රජයට අයවියයුතු බදුමුදල් දීර්ඝ කාලයක් තිස්සේ පැහැර හරිනු ලැබූ වංචාකාරයෙකි. රට වෙනස් කිරීමට අවශ්‍යය වන්නේ නම් වෙනස ආරම්භ කළ යුත්තේ  කොතනින්ද යන්න තේරුම් ගැනීමට මෙය ප්‍රමාණවත් නොවේද? රාජ්‍යය නඩත්තු කිරීම සඳහා අවශ්‍යය ඍජු බදු අය කරගත යුත්තේ වත්කම් අනුව මිස, එදාවේල සොයා ගැනීමට දහදුකක් විඳින අහිංසකයින්ගේ කරමතින් නොවේ. ආණ්ඩුව සමග සිටින විවිධ ස්වරූපයේ වංචනිකයින්ට අතිවිශාල බදු සහන ලබාදීමෙන් රාජ්‍යයක් දියුණු කළ නොහැකිය 

ශ්‍රී ලංකාවේ ප්‍රත්පත්ති තීරකයින් තීරණ ගැනීම සඳහා මූලිකත්වය ලබාදෙනු ලැබුවේ ප්‍රධාන කොටස් දෙකකටය. එනම් පවුලට සහ වරිගයටය. මහින්ද රාජපක්‍ෂ  විෂයෙහිලා පමණක් නොව දේශපාලන බලය සමග සෙල්ලම් කරනු ලැබූ සියලු දෙනාම පාහේ අඩුවැඩි වශයෙන් අනුගමනය කරමින් සිටින්නේ මෙම ප්‍රතිපත්තිය වේ. මේ නිසා රාජ්‍යය හෝ ජාතික ප්‍රතිපත්ති සෑම විටම ඔවුන්ගේ පෞද්ගලික අවශතාවයන් වලට දෙවැනි වේ. දේශපාලනයේදී පමණක් නොව ව්‍යාපාරික, අධ්‍යාපන සහ කලාව ඇතුළු සියලුම විෂය ක්ෂේත්‍ර ගෙන බැලුවද ඔප්පු වන්නේ මෙම මූලික කාරණයයි. අප ඓතිහාසික වශයෙන් ගෝත්‍රගත වී ඇත්තේ සැබෑ නිදහස වෙනුවෙන් නොව අනුගාමිකයින් නොහොත් යටත්වැසියන් වශයෙන් ජීවිතය ගෙවා දැමීමටය. ඉතිහාසය පුරාම සිදුවූයේ මෙයයි. යුරෝපීය යටත් විජිතවාදීන්ට එරෙහිව සිදුකළේ යැයි කියන නිදහස් අරගලය, සැබෑ නිදහස් අරගලයක් නොව එය දේශප්‍රේමීන් ලෙස වෙස්වලාගෙන සිටි අවස්ථාවාදීන් යුරෝපීයන්ගෙන් බලාපොරොත්තු වූ තනතුරු නොලැබීම නිසා ඇතිවූ ආරෝවකි. අවස්ථාවාදය පෙරදැරි කරගෙන ජීවත්වීමේ මෙම රටාව අද දක්වාම සමාජ විඥානයේ ගැඹුර නිර්ණය කරන ප්‍රධාන සාධකය වී තිබේ. 

මෙම සන්ධර්භය හමුවේ චීනය විසින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ඉගැන්වීමට උත්සහ කරන මූලික පාඩම තේරුම් ගත යුතුය. මන්ද , ගෙවුණු වසර කිහිපය පුරාම ලේ ඥාතියෙකු සේ කුළුපඟව  සිටිමින් සෑම දුෂ්කර අවස්ථාවකදීම සහය ලබා දුන් චීනය ගැන තේරුම් ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රතිපත්ති තීරකයින් සමත්වීද යන්න ගැටලුසහගත බැවිනි. චීනයට තවදුරටත් ද්විපාර්ශවීය සම්බන්ධතා වලට මුවාවී මෙරට හොරුන් සහ වංචාකාරයින් නඩත්තු කිරීමේ වුමණාවක් නැත. චීන තානාපතිවරයා, චීනය සෑමවිටම මූලිකත්වය ලබා දේනේ සාමන්‍යය මිනිසුන් අතර සම්බන්ධතාවයට මිස දේශපාලනඥයින් සමග සිදුකරන ගනුදෙනු වලට නොවන බව යළි යලිත් පවසන්නේ මේ නිසාය. චීනය තේරුම් ගැනීමට සහ ඉන් නිවැරදිව ප්‍රයෝජනය ගැනීමට, සෑම විටම කොමිස් කුට්ටියට සහ විවිධාකාරයේ සන්තෝසම් වලට ජාතික ප්‍රතිපත්ති පාවාදෙන පිරිසකට හැකියාවක් සහ වුමණාවක් තිබේ යැයි සිතීම සිහිනයකි. අප ජාතියක් ලෙස පසුකරමින් සිටින දුෂ්කර කාලය කෙටි කර ගැනීම සඳහා ඇති එකම මාර්ගය වන්නේ  හොරකම සහ වංචාව වෙනුවට රට සහ  හෘදය සාක්ෂිය තොරාගැනීමය. එවිට චීනය,ඉන්දියාව, අයිඑම්එෆ් පමණක් ලෝකයේ බොහෝ රටවල් අපට සැබෑ ලෙස සහයෝගය ලබාදෙනු ඇත.  පළමුව වැදගත් වන්නේ අපි අපට අවංක වී අපේ වැරදි නිවැරදි කරගැනීමය.