පාස්කු වින්ධිතයින්ගේ වතිකානු සංචාරය

2019 පාස්කු දින උදෑසන දේව මෙහෙය සඳහා කාදිනල් හිමි හදිසියේම සහභාගී නොවීමට තීරණය කළේ ඇයි? 

කතුවැකිය

අතිඋතුම් පාප් වහන්සේ හමුවීම සඳහා කාදිනල් මැල්කම් රන්ජිත් හිමි ඉතාම ප්‍රවේශමෙන් තෝරාගත් කණ්ඩායමක් සමග වතිකානුවට වැඩමකොට ඇත. 2019 පාස්කු දින ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වල සාමාජිකයින් උන් වහන්සේ සමග එහි ගොස් ඇති බව කාදිනල් හිමියෝ සඳහන් කොට ඇත. එසේම, උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන අන්දමට අදාළ සංචාරය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ තනි පුද්ගලයෙකු විසිනි. එම  ප්‍රහාරය සිදුවීමට වසර ගණනාවකට  පෙර සිටම ඉතාම අවලස්සන දේශපාලනයක නිරත වූ කාදිනල් හිමි ප්‍රහාරයෙන් පසු සිදුකළ එකම වැදගත් සහ පැසසිය යුතු කටයුත්ත වූයේ ආගමික ගැටුමක් ඇති වීමේ අවදානම පහ කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමය. නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කාදිනල් හිමි හැසිරෙන්නේ ඔහුගේ හෘදය සාක්ෂියට අනුව වරදක් කර ඇති විලාසයෙනි. ඔහුට අදාළ ප්‍රහාරය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හෝ අන්තවාදය රටින් තුරන් කළ හැකි ජාතික වැඩපිළිවෙලක් සඳහා සහයෝගය ලබා දීමට වුමණාවක් නැත. මේ නිසා දැනටත් රටේ විවිධ ප්‍රදේශවල ඉස්ලාමීය අන්තවාදය පෙරට වඩා ඉතාම සූක්ෂම අන්දමින් පැතිරෙමින් තිබේ. 

මෙහිදී නිවැරදි කිරීම් වලට යටත්ව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මූලික සිදුවීමක් ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ යැයි සිතේ. 2019 පාස්කු දින උදෑසන දේව මෙහෙය සඳහා කාදිනල් හිමි හදිසියේම සහභාගී නොවීමට තීරණය කළේ ඇයි? මීට පෙර වසර වලදී උදා වූ පාස්කු දින වලදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයට සහභාගී වීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන කාදිනල් හිමිපාණන් 2019 දී ඒ සඳහා සහභාගී නොවුයේ ඇයි? ඒ සඳහා සහභාගී නොවීමට උන් වහන්සේ තීන්දු කරනු ලැබුවේ ඊට පෙර ලැබුණු තොරතුරක් නිසාද? මෙහිදී අපට කිසිඳු කුමන්ත්‍රණයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නැත. එසේම අප වැරදි තොරතුරක් සමාජගත කරන්නේ යැයි සිතෙන්නේ නම් කාදිනල් හිමිට සහ කොළඹ කතෝලික පල්ලියට මේ ගැන නිවැරදි කිරීමක් අප වෙත ලබා දිය හැකිය.  මෙම සිදුවීමේ ඇති වැදගත්කම නිසා මේ ගැන අවධානය යොමු කිරීම ඉතාම තීරණාත්මක වේ යැයි අපි විශ්වාස කරමු. මන්ද  බොහෝ දෙනෙකුට මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන තොරතුරු ඊට පෙර ලැබී ඇත. ඔවුහු කිසිවකු ජනතාව බේරා ගැනීම සඳහා කටයුතු නොකළ නමුත් තම තමන්ගේ ආරක්ෂාව සහතික කරගත්තේය. මෙම සන්දර්භය යටතේ කාදිනල් හිමිද ස්වආරක්ෂාව තනාගත් පුද්ගලයින්ගෙන් අයෙකු බව කෙනෙකුට තර්ක කළ නොහැකිද? ප්‍රහාරයෙන් පසු කාදිනල් හිමි තම හෘදය සාක්ෂියට වරදක් කල ස්වරූපයෙන් හැසිරෙන්නේ ඒ නිසාද? 

ප්‍රහාරය සිදුවීමෙන් පසු කාදිනල් හිමි පළමුව එය ප්‍රභල බටහිර  රටක සැලසුමකට අනුව සිදුකළ බව සඳහන් කළේය. එම චෝදනාව සනාථ කිරීම සඳහා කිසිඳු සාක්ෂියක් ඔහුට නොතිබුණි.  කාලයාගේ අවෑමෙන් උන් වහන්සේ තම මතය විවිධාකරයෙන් වෙනස් කරනු ලැබීය.  මේ වන විට එම ප්‍රහාරය ගැන අදහස් දක්වන කාදිනල් හිමි ඇතුළු බොහෝ දෙනෙකු එය  වත්මන් ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණයක් බව වක්‍රාකාරයෙන් කියති. නමුත් එසේ කියන කිසිවෙකුට හුදු කල්පිත හැරෙන්නට කිසිම සාක්ෂියක් නැත.  අරයා එහෙම කියල තියෙන නිසයි මමත් ඒකම කියන්නේ, යන්න පමණක් මොවුන්ගේ අදහස් වලට පදනම වී ඇත.  මේ නිසා රටට සහ ජනතාවට සිදු වී ඇති විනාශය ගිණිය නොහැකිය.


කාදිනල් හිමි මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජයට සිදුකරමින් සිටින හානිය ඉතාම බරපතළය.  පළමුව උන් වහන්සේගේ මෙම අතාර්කික හැසිරීම නිසා රට තුල ව්‍යාප්ත වී ඇති ඉස්ලාමීය මූලධර්මවාදයට එරෙහිව නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. දෙවනුව මීට වසර දෙකකට පෙර ආණ්ඩුව ඉස්ලාමීය රැඩිකල්කරණය සමාජයෙන් තුරන් කිරීම සඳහා හඳුන්වා දුන් පුනරුත්තාපන වැඩපිළිවෙලට උන්වහන්සේ හකුල් හෙළනු ලැබීය. තෙවනුව කිසිඳු පැහැදිළි සාක්ෂියක් නොමැතිව මෙම ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇතිබව සමාජගත කිරීමෙන් සත්‍යය යටපත් කොට ඇත. සිව්වෙනුව ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ආණ්ඩුව සිදුකොට ඇති සේවය ඉතාම කනගාටුදායක ලෙස වසන් කරමින් සිටින්නේය. ( සැබවින්ම ප්‍රහාරයෙන් පසු විපතට පත් වූවන්ට ලක්ෂ තුන්දහස් එකසීකට වැඩි මුදලක් මූල්‍යම ආධාර ලෙස ලබා දී ඇති අතර තවත් විශාල පිරිසකට නව නිවාස ඉදිකොට පරිත්‍යාග කොට ඇත. එසේම අදාල ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ යැයි සැකකෙරන සියලුම පිරිස් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් තිබේ. නමුත් අවාසනාවට මෙන් ජමීල් සහ ඊබ්‍රාහිම් සහෝදරයින් වැනි මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග ඉතාම කිට්ටු සම්බන්ධතා පවත්වනු ලැබූ ඇතැම් නීතිඥයින් නිදහස් කිරීම වෙනුවෙන් කාදිනල් හිමි ඇතුළු රාජ්‍යය නොවන සංවිධාන වලින් සිදුකළ අනිසි බලපෑම්  නිසා මෙමෙ කටයුතු වලට බාධා එල්ල වී තිබේ.) පස්වනුව ප්‍රහාර හේතුවෙන් විපතට පත් වින්ධිතයින් වෙළඳ භාණ්ඩ බවට පත්කර ගෙන සිටින කාදිනල් හිමි ඇතුළු කණ්ඩායම ඉතාම අවලසන්න දේශපාලනයක නිරත වෙමින් සිටිති.  මෙම කරුණු වලින් පෙනී යන්නේ කාදිනල් හිමියෙ අවිද්‍යාවෙන් සහ වෛරයෙන් පිරිණු ක්‍රියාකලාපය හේතුවෙන් ඇත්ත යටපත් වී ඇති බවයි. මේ නිසා විවිධාකාර ව්‍යාජ තොරතුරු වලින් සමස්ථ ලෝකය මුලාවේ හෙලමින් ප්‍රචණ්ඩ අන්තවාදින්ට පෝෂණය වීම සඳහා භූමිය සකස් වී ඇත. 

අතිඋතුම් පාප් වහන්සේ ඉදිරියේ තම දුක කීමට ගොස් සිටින කාදිනල් හිමි ඉහත සඳහන් කළ කාරණා ගැන අවධානය යොමු කරන්නේ නම් වැදගත් වේ.  මන්ද දෙවියන් වහන්සේ පෙනී සිටින්නේ සත්‍යය වෙනුවෙන් මිස කෛරාටක පූජකයින් වෙනුවෙන් නොවන නිසාය. අතිඋතුම් පාප් වහන්සේ තමන්ගේ ලේට් අස් ඩ්‍රීම් කෘතියේ, සඳහන් කළ පරිදි, "අප ජීවත් වන්නේ පරීක්ෂණ කාලයකය. ඇත්ත වශයෙන්ම අප සියල්ලන්ම ජීවිතයේ පරීක්ෂාවට ලක්ව ඇත. එය අප වර්ධනය වන ආකාරයයි. ජීවිතයේ පරීක්ෂාවන්හිදී, ඔබ ඔබේම හදවත හෙළි කරයි: එය කෙතරම් ඝනද, කෙතරම් දයාන්විතද, කොතරම් විශාල හෝ කුඩාද." මෙම පරික්ෂාව මිනිසෙකු රඟපෑම් වලින් ඉවත් කොට සත්‍යය හමුවේ දැනගස්සන කටයුත්තකි. අනෙකුත් සියලුම දෙනා මෙන් කාදිනල් හිමිද, දෙවියන් වහන්සේගේ පරික්ෂාවට ලක්වන පුද්ගලයෙකි. එහිදී කාදිනල්හිමි මේ දක්වා සිදුකළ හොඳ මෙන්ම නරක කටයුතු පරික්ෂාවට ලක්වන්නේය. එය උන් වහන්සේගේ හෘද සාක්ෂිය සහ දේවියන් වහන්සේ අතර සිදුවන ගනුදෙනුවකි. ඉතින් එවැනි ගනුදෙනුවකට කුමන්ත්‍රණන්‍යායන් වලින් සුගතියක් ලැබේද?