පක්ෂ නායකවරයාට තමන්ගේ දේශපාලන අනාගතය ගැන වුවමණාවක් තිබේ නම් වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය වහාම තම ග්‍රහණයට හසුකර ගත යුතුය. මෙය ඔහුට ලැබී ඇති එක් තීරණාත්මක අවස්තාවකි. බොහෝ දුරට මෙය ඔහුට ලැබී ඇති අවසන් අවස්ථාවද විය හැකිය.
කතුවැකිය
මෙම සටහන ඔහු වෙනුවෙන් ලියන ලද්දක් නොවේ. නමුත් ඔහු ගැන ලියන ලද්දකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බොහෝ දේශපාලන සහ ආර්ථික කාරනා ගැන ප්‍රාමාණික දැනුමක් ඇත්තෙකි. නමුත් මෙරට දේශපාලනය ගැන ඔහු ගත් බොහෝ තීන්දු එතරම් ප්‍රායෝගික නොවන බව අපේ හැඟීමයි. අවාසනාවට මෙන් මේ මොහොතේ රට මුහුණ දී සිටින දැවැන්ත දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේද ඔහුගේ දේශපාලන කටයුතු වල කැපීපෙනන වෙනසක් දක්නට නොලැබේ. විශේෂයෙන් ප්‍රයෝගික නොවන දේශපාලන යෝජනා ඉදිරිපත් කරමින් ඔහු මග හරිමින් සිටින්නේ ඔහුට ලැබී ඇති තවත් එක් අමිල අවස්ථාවකි.
සජිත් මේ මොහොතේදී කටයුතු කළ යුතුව ඇත්තේ තම පක්ෂයේ සහ අනෙකුත් දේශපාලන පක්ෂ වල සිටින විෂය කරුණු ගැන අවබෝධයක් ඇති පිරිස සමග එකතු වී අන්තර්වාර ආණ්ඩුවක් තනා එහි අගමැති වීමටය. එහෙත් ඔහු අවධානය යොමු කරමින් සිටින්නේ, ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් පසු අගමැතිවරයා ඉවත්කිරීම කෙරෙහිය. සජිත්ට පළමුව අවශ්‍යය වන්නේ භූමිය පවිත්‍ර කොට කලඑළි බැසීමටය. මෙරට දේශපාලන ඉතිහාසය ගැන අවබෝධයක් ඇති කිසිවෙකු එය බුද්ධිගෝචර තීන්දුවක් ලෙස නොදකී. මන්ද රෝගාතුර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් මත ගොඩනැගී ඇති මෙරට දේශපාලනය අනෙකුත් බොහෝ රටවල දේශපාලනය මෙන් විවිධාකාරයේ අභ්‍යන්තර ගැටුම් වලින් සහ කුමන්ත්‍රණ වලින් පිරී තිබෙන්නෙකි. එවැනි ගැටුම්කාරී තත්වයකදී දේශපාලන බලය රැකගැනීම සඳහා වැදගත් වන්නේ දේශපාලන උපක්‍රම මිස අලංකාර දේශපාලන න්‍යායන් නොවේ.
මෙහිදී අවබෝධකරගත යුතු මූලික දේශපාලන යථාර්ථයක් තිබේ. විශ්වාසභංගයකින් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව පාරාජය කිරීමට හැකියාවක් ඇති නමුත් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගත හැකි වනු ඇතැයි සිතීම ප්‍රයෝගික නොවේ. මෙවැනි පසුබිමකදී දේශපාලනික වශයෙන් ජනාධිපතිවරයා සමග දේශපාලන සහවාසයකට යෑම දෙපාර්ශ්වයට පමණක් නොව රටටද වාසිදායක විසඳුමකි. මේ මොහොතේ අවශ්‍යය වන්නේ ආණ්ඩුවේ අසමත් බව වෙළඳ භාණ්ඩයක් කරගැනීම නොව ප්‍රඥාගෝචර දේශපාලන සම්මුතියකි. සජිත් මේ මොහොතේ ඉගෙනගත යුත්තේ මැකියාවලීගෙන් මිස ගාන්ධිගෙන් නොවේ. මැකියාවෙලී විශ්වාස කළේ 'සිංහයා' සහ 'නරියා' යන සත්ව විශේෂ දෙකේම ලක්ෂණ පෙන්නුම් කිරීමට සාර්ථක කුමාරයෙකු පෙනී සිටිය යුතු බව ය. මන්ද මෙම සුසමාදර්ශයන් වල ලක්ෂණවල එකතුවක් පාලකයෙකුට බලය ලබා ගැනීමට සහ පවත්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය ලෙස මැකියාවෙලී දුටුවේය. දේශපාලන බලය ගැන සැලකීමේදී මෙම කාරණය ඕනෑම දේශපාලනඥයෙකු මුහුණ දෙන පැහැදිළි යථාර්ථයයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අපේ යෝජනාව වන්නේ වහාම ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සමග දේශපාලන සංවාදයක් වෙනුවෙන් කැමැත්ත පල කරන ලෙසය. දෙදෙනා අතර සිදුකරන සාධනීය දේශපාලන සංවාදයකින් පසු පැහැදිළි දේශපාලන එකඟතාවයකට පැමිණිය හැකිය. එම එකඟතාවය මත පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අන්තර්වාර ආණ්ඩුවක් වහාම පත්කිරීම සඳහා කටයුතු කළහැකිය. එම අන්තර්වාර ආණ්ඩුව නියෝජනය කිරීම සඳහා චම්පික රණවක, සරත් ෆොන්සේකා, හර්ෂ ද සිල්වා වැනි ඔහුගේ පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් සහ වෙනත් පක්ෂවල නියෝජිතයින් වන විජේදාස රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ, එම් ඒ සුමන්තිරන් වැනි දේශපාලනඥයින් මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ කිට්ටුම උපදේශකයෙකු වන ආචාර්යය දයාන් ජයතිලක වැනි මතභේදාත්මක නමුත් සාධනීය බුද්ධිමතුන් සම්බන්ධ කරගත හැකිය.
විපක්ෂ නායකවරයාට තමන්ගේ දේශපාලන අනාගතය ගැන වුවමණාවක් තිබේ නම් වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය වහාම තම ග්‍රහණයට හසුකර ගත යුතුය. මෙය ඔහුට ලැබී ඇති එක් තීරණාත්මක අවස්තාවකි. බොහෝ දුරට මෙය ඔහුට ලැබී ඇති අවසන් අවස්ථාවද විය හැකිය. ඔහු මෙම අවස්ථාව ග්‍රහණයට ලක්කර ගතහොත් එය ඉදිරියේ පවත්වන ජනාධිපතිවරණයකදී ඔහුගේ දේශපාලන බලය තහවුරු කිරීමට මගපාදනු ඇත. මෙම ප්‍රයෝගික පියවරට පයින් ගසමින් විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීම වැනි සංකීරණ දේශපාලන කාරනා මත එල්ලීමෙන් විපක්ෂ නායකවරයාට දේශපාලනික වශයෙන් සිදුවන සුගතියක් නැත. තීන්දුව ගැනීම ඔබට භාරයි, සජිත්.
Post a Comment