ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා රට අරාජික වන ලකුණු



- වික්ටර් අයිවන් - 



 විය හැක්කේ කුමක්ද ?

ලංකාව විශාල කඩා බිඳ වැටීමකටත් අවසානයේ ලොකු අරාජකත්වයකටත් තල්ලු වී යන රටක් බවට පත්වනු ඇති බව දීර්ඝ කාලයක් තිස්සේ මා විසින් ඇති කරගෙන තිබූ නිරීක්ෂණයක් විය. එය මගේ ප්‍රාර්ථනාවක් නොව, රටේ කටයුතු සිදුවන ආකාරය විමර්ශනයට ලක්කිරීමෙන් ඇති කරගත් නිරීක්ෂණයක් විය.

වර්ග, කුල, ආගම් භේද වාදයන් විසඳුමකින් තොරව ගලා යන්නට ඉඩ හැර තිබුණි. එනිසා ඇතිවූ ගැටුම් විශාල ජීවිත හා දේපළ විනාශයක් ඇති කිරීමෙන් නොනැවතී රටේ ආයෝජන හැකියාවන් උපරිම ප්‍රමාණයකට දුර්වල කළේය. දක්ෂ මිනිසුන් රට අතහැර පලා ගියේය. 1978 සිට වස්තු කොල්ලය ලංකාවේ රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබුණු අතර, එය රජය හා රජයේ සමස්ත ආයතන ක්‍රමය දූෂණයෙන් කුණු කිරීමට හේතුවී තිබුණි. මා ලංකාව තේරුම් ගෙන තිබුණේ සිදුවන කිසිදු බරපතළ වරදක් නිවැරදි කරගැනීමට සූදානම් නැති ඒ මගින් වැරදි ගල් ගැසීමට ඉඩදී බලා සිටින මෝඩ රටක් ලෙසය.

මේ ක්‍රමයට දිගින් දිගට ඉදිරියට යාමේ හැකියාවක් නැති බව හා කිසියම් කාලයකදී බිහිසුණු කඩා බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇති බව මා ඇති කරගෙන තිබුණ නිරීක්ෂණය විය. එම නිරීක්ෂණය මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබුණු අතර, ඉන් සිත නිදහස් කරගැනීම පිණිස ‘ලංකාව ගලවා ගැනීම’ නමින් 2011දී පොතක් ලියා පළකරන්නටද මට සිදුවිය. ඒ පොත අලෙවි වූ පොතක් ලෙස සැලකිය හැකි වුවත් පොත කියවූ පාඨකයන් තුළ ලංකාවට වෙන්න යන දේ ගැන ලොකු කම්පනයක් ඇතිවීද කියන්න මා දන්නේ නැත.

යුගයක අවසානය

මා ලංකාව පිළිබඳව මගේ එම නිරීක්ෂණය ප්‍රකාශ කිරීමෙන් පසු එය සැබෑ වෙන්න යන නිරීක්ෂණයක්ද යන්න දැනගැනීම සඳහා රටේ ඇතිවන සිදුවීම් දෙස විමසිල්ලෙන් හා විචාරාත්මක ලෙස බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට මට සිදුවිය. ඇත්තටම දේවල් සිදුවෙමින් තිබුණේ මාගේ නිරීක්ෂණ සැබෑ කිරීමට හේතුවන ආකාරයටය. මේ වන විට මාගේ එම නිරීක්ෂණය විශාල ප්‍රමාණයකට සැබෑ වී තිබෙන්නේ යැයි කිව හැකිය.

මගේ මතය අනුව රට විශාල අර්බුදයක තිබියදී පැවති මැතිවරණ දෙකෙන් පොහොට්ටුව පක්ෂය ලැබූ විශාල ජයග්‍රහණයත් සමග සංකේතාත්මක අර්ථයෙන් ලංකාවේ තිබූ එක දේශපාලන යුගයක් අවසන් වී තිබෙන්නේ යැයි කිව හැකිය. අවසන් වූ පරණ යුගය අවසන් වී තිබෙන්නේ ඊට හිමි පරමායුෂ ප්‍රමාණය භුක්ති විඳීමෙන් පසුව නොව, ඊට බොහෝ පෙරය. එය ක්‍රමය නිසි ලෙස නඩත්තු කිරීමට අසමත්වීම නිසා ඇතිවී තිබෙන අකල් මරණයක් ලෙස සැලකිය හැකිය.

රටේ සමාජ හා ආර්ථික ජීවිතයේ විශාල කඩා බිඳ වැටීමක් සිදුවී තිබෙනවාට අතිරේකව මැතිවරණවලට තරග කොට පරාජය වූ විරුද්ධ පක්ෂ ව්‍යාපාරය අතුගෑවී ගිය තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ යැයි කිව හැකිය. රටේ විශාලතම පක්ෂය ලෙස පැවති එජාපයට සිදුවී තිබෙන විනාශය ඇදහිය නොහැකි තරම් විශාලය. ඇතිවී තිබෙන දේශපාලන පරිවර්තනය විරුද්ධ පක්ෂ ව්‍යාපාර විනාශ කොට රාජපක්ෂ ව්‍යාපාරයට පමණක් ශක්තිමත් පැවැත්මක් හිමිකරදී තිබෙන්නක් ලෙස පෙනෙන්නට ඇතත්, මට පෙනෙන දේ ඊට වෙනස්ය.

විය හැකි දේ

විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල පැවැත්ම නැතිභංග කර තිබෙන්නේ යැයි කිව හැකිය. ඒවා තිබෙන්නේ යළි ශක්තිමත් කිරීමට බැරිතරම් අසරණ තත්ත්වයකය. රාජපක්ෂවරුන් මැතිවරණ දෙකෙන් ලොකු ජයග්‍රහණයක් හිමිකරගෙන ඇතත්, එය කල්පවත්නා හෝ ස්ථිර සාර ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැකිය. ඔවුන් අතට ලැබී තිබෙන්නේ පහසුවෙන් පවත්වාගෙන යා හැකි හොඳට තිබෙන රටක් නොව, ආණ්ඩුවට තිබෙන පිළිගැනීමද විනාශ කිරීමට හේතුවන අවුලෙන් අවුලට ගිය රටකි. මේ මොහොතේ රට තිබෙන්නේ කළමනාකරණය කළ හැකි තත්ත්වයක නොව කළමනාකරණයට අතගසන්නන්ද විනාශ කරන තත්ත්වයකය. දැඩි වර්ගවාදී ප්‍රවේශයක් ඇති කෙනෙකුට මෙම අර්බුදය සාර්ථක ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවක් ඇත්තේම නැතැයි කිව හැකි අතර එම තත්ත්වය ජනාධිපතිවරයා හිමි කරගෙන තිබෙන ජනප්‍රිය තත්ත්වය පමණක් නොව, ආණ්ඩුව හිමිකරගෙන තිබෙන ජයග්‍රාහී තත්ත්වයද විනාශ කිරීමට හේතුවිය හැකිය.

විදේශ රැකියා, අපනයන ඇඟලුම් කර්මාන්තය හා සංචාරක ව්‍යාපාරය වැනි රටට විදේශ විනිමය උපයන මාර්ග තිබෙන්නේ විශාල ප්‍රමාණයකට බිඳ වැටුණු තත්ත්වයකය. ම අංශ තුනේ පමණක් රක්ෂා අහිමි වී තිබෙන අයගේ සංඛ්‍යාව විශාලය. සමහරවිට එය දශ ලක්ෂයක් පමණ දක්වා ඉහළ යා හැකිය. එම තත්ත්වය ලංකාව විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට තල්ලු කිරීමට හේතුවී තිබේ.

රජයේ ආදායම වශයෙන් රජය උපයා ගනිමින් තිබෙන්නේ රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අවම වියදමෙන් සියයට 25කටත් වඩා අඩු ප්‍රමාණයකි. එම තත්ත්වය රජයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම ඉතාමත් දුෂ්කර දෙයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. වාණිජ පදනමකින් ලබාගෙන තිබෙන විදේශ ණය සඳහා ගෙවිය යුතු පොලිය හා වාරිකවලින් සමන්විත එක වාරිකයක්වත් හෝ ගෙවන්නට අසමත් වෙතොත් ලංකාව බංකොළොත් රටක් ලෙස ප්‍රකාශයට පත්වීමේ අවදානමක් පවතී. එසේ වුවහොත් රටට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත විය හැකිය.

දෘෂ්ටියේ දුප්පත්කම

ආනයන වියදම කපා හැරීම සඳහා ආනයන කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක් කපා හැර තිබේ. එම තත්ත්වය තවදුරටත් ආර්ථිකය අවුල් කිරීමට හේතු විය හැකිය. අමතර කොටස් ගෙන්වීම කපා හැරීම කර්මාන්ත අංශය කෙරෙහි සේ ම ප්‍රවාහන අංශ්‍ය කෙරෙහිද විනාශකාරී ලෙස බලපා හැකිය. රක්ෂා අහිමි වන අයගේ සංඛ්‍යාව ප්‍රක්ෂේපණය කර තිබෙන ආකාරයට දශ ලක්ෂයක් දක්වා ඉහළ ගියහොත් එය සමාජ - දේශපාලනය කෙරෙහි ඇති කරන බලපෑම පුපුරනසුලු තත්ත්වයකට පත්විය හැකිය.

ඇතිවී තිබෙන මෙම සංකීර්ණ අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන තිබුණු ප්‍රායෝගික දැක්මක් ආණ්ඩුවට තිබෙන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුව කල්පනා කරන බව පෙනෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන වැඩසටහනකින් ආණ්ඩුව අර්බුදයට යාමෙන් වළකා ගතහැකි වනු ඇති බවය. එහෙත් මේ තුරුම්පුව 2010-2015 කාලයේදී පාවිච්චි කරන ලද පරණ තුරුම්පුවකි. ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ද පාවිච්චි කළ තුරුම්පුවකි. මත්ද්‍රව්‍ය විෂයේදී අතරමැදි සුළු ව්‍යාපාරිකයන්ට අත ගැසීමේ හැකියාවක් ඇතත්, මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට අත ගැසීමේ හැකියාවක් නැත. දේශපාලනයට අවශ්‍ය ධනය සපයන ප්‍රධාන උල්පත් ලෙස ක්‍රියාකරන්නේ ඔවුන්ය. හෘදය සාක්ෂියට එකඟව ලොකු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට එරෙහිව සටන් කිරීමේ ඇත්ත හැකියාවක් ලංකාවේ දේශපාලකයන්ට නැත.

ආණ්ඩුවේ අර්බුදය

ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අර්බුදය මෙසේ පිඬු කළ හැකිය. තරගයේ වැදගත්කම හැමදාමත් රැඳී තිබුණේ ජයග්‍රහණය මත නොව, ජයග්‍රාහකයාට ජයග්‍රහණය වෙනුවෙන් ලැබෙන කේක් ගෙඩිය මතය. එහෙත් මෙවර ආණ්ඩු පක්ෂයට ජයග්‍රහණය වෙනුවෙන් කේක් ගෙඩියක් ලැබී ඇතත් එම කේක් ගෙඩිය තිබෙන්නේ ආහාරයට ගත නොහැකි තත්ත්වයකය. ආණ්ඩු පක්ෂයට ලැබී තිබෙන ජයග්‍රහණයේ අවුල තිබෙන්නේ එතැනය.

දැනට දේශපාලන ආධිපත්‍යයේ පූර්ණ ඒකාධිකාරය හිමිව තිබෙන්නේ ආණ්ඩු පක්ෂයටය. ජනාධිපතිවරයාට ඡන්දය දුන් ජනතාව අතර ජනාධිපතිවරයා කෙරෙහි ඇති කරගෙන තිබෙන විශ්වාසයේ ලොකු බිඳ වැටීමක් ඇතිවී තිබෙන බවක් පෙනෙන්නට නැත. එහෙත් රටේ තිබෙන අර්බුදය ජනාධිපතිවරයාගේ වාසන බලමහිමයෙන් විසඳිය හැකි අර්බුදයක් නොවේ. අර්බුදයේ බර පීඩාකාරී ලෙස මහජනයාට දැනෙන තත්ත්වයක් ඇතිවූ විට ජනාධිපතිවරයා කෙරෙහි සේ ම ආණ්ඩුව කෙරෙහි තිබෙන පිළිගැනීමද වාෂ්ප වී යන තත්ත්වයක් ඇතිවිය හැකිය. මතවාදී තලයේ ආණ්ඩුවට තිබෙන පිළිගැනීම බිඳ වැටී රට අරාජික තත්ත්වයකට යොමුවනු ඇත්තේ ඒ සමගය.