(November 05, Colombo, Sri Lanka Guardian) රජයේ සේවක වැටුප් (නොවැම්බර් සහ දෙසැම්බර් මස හිඟ වැටුප් සමග) 2010 ජනවාරි සිට වැඩිකරන බව ජනාධිපතිතුමා ඊයේ (නොවැ.03) ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් සමුළුවේදී ප්‍රකාශ කර තිබුනත් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද ඉදිරි වර්ෂයේ මාස 4 ක් වූ අතුරු සම්මත ගිණුමෙන් ඒ සඳහා මුදල් වෙන්කරන බවට කිසිදු සඳහනක් නැතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත සහෝදරයා පවසයි. ලාල් කාන්ත මේ බව කියා සිටින්නේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නමින් ජනාධිපතිවරයාට අද දින යවන ලද ලිපියක් මගිනි.
තවදුරටත් මෙම ලිපිය මගින් ප්‍රශ්ණ කර සිටින්නේ ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය තුල වැටුප් වැඩිවීමේ ප්‍රමාණය කොතෙක්ද යන වග සඳහන් කර නැති බවයි. මීට අමතරව වැඩිවන ජීවන අංකයට රු.180/- ක් ගෙවීම, 2009 ජනවාරි 01 දිනට හිමි වැටුප් වැඩිවීම ඉල්ලා ඛණිජ තෙල්, විදුලි, වරාය සහ ජල සේවකයින් ආරම්භ කර ඇති ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව සහ ඔවුන්ගේ ඉල්ලීම ගැන කිසිදු සඳහනක් නොකිරීම සහ ඒ සඳහා විසඳුමක් ඉහත ප්‍රකාශයෙන් නොලැබීම රජයේ සේවකයින්ගේ දේපල ණය දෙසැම්බර් 10 වන දින සිට බැංකු මගින් ලබා දීමට කටයුතු කරන බව පැවසුවත් දැනට පොරොත්තු ලේඛණයේ සිටින 45000 ක් පමණ වූ රජයේ සේවකයින්ගේ දේපළ ණය ලබාදීමට තරම් ප්‍රමාණවත් මුදල් වෙන් කර නොතිබීම යන කරුණු පිළිබඳව ජනාධිපතිතුමාගෙන් විමසා ඇත. ඉහත කරුණු අනුව ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් සමුළුවේදී කරන ලද ප්‍රකාශය සැලසුමකින් තොරව සිදුකරන ලද රැවටිලිකාර ප්‍රකාශයක් ලෙස සලකන්න සිදුවන බවද මේ පිළිබඳව අප වෙත අදහස් දක්වමින් ලාල් කාන්ත . ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය සම්පූර්ණ වශයෙන් පහත පලවේ.
2009-11-04
අතිගරු ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා
ජනාධිපති මන්දිරය
කොළඹ
ජනාධිපතිතුමනි,
සැලසුමකින් තොරව සිදු කරන රැවටිලිකාර ප්‍රකාශන නවත්වා වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටීම
රාජ්‍ය සේවක වැටුප් 2010 ජනවාරි මස සිට වැඩි කරන බවත්, එම වැටුප් වැඩිවීම 2009 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට අදාල කරන බවත් ඔබතුමා ඊයේ (2009-11-03) ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගම් සමුළුවේදී ප්‍රකාශ කර තිඛෙන අතර, එම ප්‍රකාශය සඳහා ජනමාධ්‍ය වලද සැලකිය යුතු ඉඩක් වෙන්කොට තිබේ.
ඔබතුමා එසේ කරන විට ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉදිරි මාස 04 ක් සඳහා වන අතුරු සම්මත ගිණුමෙන් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිම සඳහනක් නොමැති අතර, එමගින් වැටුප් වැඩි කිරීමක් සඳහා මුදල් වෙන් කිරීමක් ද සිදුකර නොමැත. එසේ නම් ඔබතුමා විසින් කියනු ලබන වැටුප් වැඩි කිරීම සඳහා 2010 ජනවාරියට පෙර පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු අතර ඒ සඳහා සැලසුමක් තිඛෙන බවද පෙනෙන්නට නැත. තවද ජනවාරියේ සිට වැටුප් වැඩි කරනවා යයි ප්‍රකාශ කර ඇතත් වැඩි කරන්නේ කොපමණ ප්රමාණයකින්් ද යන්න පිළිබඳව කිසිදු සඳහනක් නොකිරිමෙන් මෙම ප්‍රකාශය පිළිබඳව තවත් බරපතල සැකයක් මතුවේ.
එසේම වැඩිවන ජීවන අංකයකට රු. 180/} ක් ගෙවන ලෙසට වැඩ කරන ජනතාවගේ පාර්ශවයෙන් ප්‍රබල ඉල්ලීමක් මතුව තිබියදී ඒ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් ඔබතුමාගේ පාර්ශවයෙන් සඳහන් වී නැත. එසේම ඛණිජ තෙල්, විදුලි, වරාය, සහ ජල සේවකයින් 2009 ට හිමි වැටුප් වැඩිවීම ඉල්ලා මේවන විට ඒකාබද්ධ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ප්‍රකාශයට පත්කර තිබියදී ඔවුන්ගේ එම ඉල්ලීමද ඔබතුමා ජනවාරියේ සිට වැටුප් වැඩි කරනවා යයි කියන ප්‍රකාශයෙන් ඉටු වන්නේ නැති බවද පැහැදිලිය. 2009 ජනවාරි මාසයේ සිට එම ආයතන හතරේ සේවකයින්ට අදාල වැටුප් වැඩිවීම ලබාදිය යුතු අතර, ඒ පිළිබඳව සඳහනක් ඔබතුමාගේ ප්‍රකාශයේ සඳහන් වී නැත. තවද රාජ්‍ය සේවකයින් දේපළ ණය, දෙසැම්බර් 10 වනදා සිට බැංකු මගින් නැවත ලබාදීමට කටයුතු කරන බව පසුගියදා ඔබතුමා විසින් ප්‍රකාශ කර තිබුනද, දැනට දේපල ණය ඉල්ලා පෝලීමේ රැදී සිටින 45,000 කට අධික රාජ්‍ය සේවකයින්ට එම ණය ලබාදීමට ප්‍රමාණවත් මුදල් හෝ සැලසුමක් තිඛෙන බවක් ද පෙනෙන්නට නැත.
එසේම ජීවත්වීමට සරිලන වැටුප් වැඩිවීමක් ඉල්ලා අරගල කරමින් සිටින පෞද්ගලික අංශයේ සේවකයින් සම්බන්ධව වචනයක් හෝ කථා නොකිරීමට ඔබතුමා පරිස්සම් වී තිබේ.
මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගම් සමුළුවේ දී ඔබතුමා විසින් සිදුකරන ලද වැටුප් වැඩි කිරීම සම්බන්ධ ප්‍රකාශය කිසිදු සැලසුමකින් තොරව ඉදිරිපත් කරන ලද එකක් බවත්, වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න වලින් මගහැර යාම සඳහා සිදු කරන ලද රැවටිලිකාර ප්‍රකාශයක් බවයි. එසේම එම ප්‍රකාශය වැඩ කරන ජනතාවගෙන් මතු වී තිඛෙන උද්ඝෝෂණ කි‍්‍රයා මාර්ග යටපත් කිරීම සඳහා කරනු ලැබු ප්‍රකාශයක් බවද පැහැදිලිවේ. එසේම ඔබතුමා විසින් සිදු කරනු ලැබු ප්‍රකාශය සඳහා ඊයේ වන විට පැහැදිලි අදහසක් තිබුණා නම්, එය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමේ සඳහන් විය යුතුව තිබු නමුත්, එය එසේ සිදු නොකිරීම ඔබතුමාගේ ප්‍රකාශයේ කිසිදු සැලසුමක් නොතිබු බවද පැහැදිලිවේ.
ඒ අනුව ඔබතුමා විසින් සිදු කරන ලද ඉහත වැටුප් වැඩි කිරීම සම්බන්ධ ප්‍රකාශය 2010 ජනවාරියේ පැවැත්වීමට සැලසුම් කර ඇති ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් සිදු කරන ලද දේශපාලන ප්‍රකාශයක් ලෙස සැලකීමට අපට සිදුවන අතර, මෙවැනි ප්‍රකාශ වලින් තවදුරටත් වැඩ කරන ජනතාව රවටන්නේ නැතිව රු. 5000/} ක වැටුප් වැඩි කිරීම ඇතුළු වැඩ කරන ජනතාවගේ ඉල්ලීම වහාම ලබාදීමට කටයුතු කරන ලෙස මෙයින් ඉල්ලා සිටිමු.
මෙයට
විශ්වාසී
පා.ම. ලාල් කාන්ත
සභාපති
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය
-Sri Lanka Guardian
Home Unlabelled ජනවාරි සිට වැටුප් වැඩිවන බව ජනපති කීවත් අතුරු සම්මත ගිණුමෙන් ඊට මුදල් වෙන්කර නෑ. - ලාල් කාන්ත
ජනවාරි සිට වැටුප් වැඩිවන බව ජනපති කීවත් අතුරු සම්මත ගිණුමෙන් ඊට මුදල් වෙන්කර නෑ. - ලාල් කාන්ත
By Sri Lanka Guardian • November 05, 2009 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment