MCC අවසන් වාර්තාව ගැන ඇමති මණ්ඩලයේ අදහස් ලබාගැනීමේ සූදානමක්


MCC (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම) අවසන් වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (02) දිනයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය. 

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව පසුගියදා සිය අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත් එම සම්පූර්ණ වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ අදහස් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල හමුවේ දී තීරණය වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. 

කුමන රටක් සමගවත් රටේ ස්වාධීනත්වයට තර්ජනයක් වන මොනම ගිවිසුමකටවත් අත්සන් නොකිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ සම කැබිනට් ප්‍රකාශකවරයා වත්මන් රජය සෑම රාජ්‍යයකටම පොදු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද පෙන්වා දුන්නේය.