මහා මැතිවරණය පැවැත්විය යුත්තේ ඇයි ?

යෝජිත මහා මැතිවරණය පැවැත්විය යුතුය.  මීට අදාලව පැවති නඩු විභාගයේ තීන්දුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද පස්වරුවේදී ලබා දීමට නියමිතය. තීන්දුව කුමක්දැයි අපට කිව නොහැකිය. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයන්ට අනුව මැතිවරණය පැවැත්වීම ඉතාම වැදගත් බව අපේ හැඟීමයි. එය නිර්දේශ කරනු ලබන සෞඛ්‍ය ක්‍රමවේදයන් යටතේ පැවැත්වීම යෝග්‍යය වේ. ඒ සඳහා ක්‍රමවත් සමාජ වැඩපිළිවෙලක් සකස් කිරීමේ වගකීම සියලු වගකිවයුතු පාර්ශවයන්ට තිබේ.  නිදහස් සහ සාදාරණ මැතිවරණයක් පවත්වා ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍යය පියවරකි. 



කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් ප්‍රකශ වෙමින් තිබේ. බලය ලබා දුන් පසු ඉන් හරි හැටි ප්‍රයෝජනය ගන්මින් ජනතාවට සේවය කිරීම වෙනුවට තම තමන්ගේ කුට්ටිය වෙනුවෙන් කුලල් කා ගත් එක්සත් ජාතික පක්ෂය සහ එහි පාර්ශවයන් මැතිවරණයක් පැවැත්වීම  ගැන කිසිඳු මනාපයක් නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කියන්නේ, කොවිඩ් වසංගතය නිමා වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බවය. දේශපාලන ඉතිහාසයේ අභ්‍යන්තර කුලල් කා ගැනීම සහ මහන්තත්වකම හේතුවෙන් කුණු වෙමින් තිබෙන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බලවේග වලට ජනතාව කෙරෙහි පහළ වී ඇති ආදරය නම් අරුම පුදුමය.  මොවුන්ගේ මේ ආදරය ඔවුහු බලයේ සිටින අවස්ථාවල නොමැත. 

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීමට ජනාධිපති ගෝතභය රාජපක්ෂගේ උත්සාහය පැසසිය යුතුය. නැන්දම්මාගේ සහ ලේලියගේ සාම්ප්‍රදායික ගැටුම පිළිබිඹු කළ පසුගිය සභාග ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රට පාලනය කළේ නම්, මෙම දුෂ්කර කාලය තුළ රටට කුමක් සිදුවේදැයි අපට සිතාගත නොහැකිය. මෙම අවස්ථාවෙහිදී වැදගත් වන්නේ ශක්තිමත් රජයක් සඳහා අඩිතාලම දැමීම සහ ඉතිහාසය පුරා විවිධ බාධක මධ්‍යයේ වුවද අප ජාතියක් ලෙස සංරක්ෂණය කර ඇති පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීමයි.