හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගනයට මහජන මුදල් වැයවන්නේ නැතිලු



ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව සියලු පහසුකම් සහිතව හෝමාගම ඉදි කිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා කිසිදු මහජන බදු මුදලක් වැය නොවන බවත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ  ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව සිදු කරන ආයෝජනයක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.  

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි. එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන  ප්‍රචාරයන්ට පිළිතුරු ලබාදෙමින් තවදුරටත් අඳහස් දැක්වූයේ, තමන් මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේ දී ද මෙවැනි ප්‍රචාර සිදු කළ බවත් එහෙත් අද එහි සිසුන් සාමාන්‍ය පෙළ  ආදී විභාග සමත් වෙමින් ප්‍රගතියක් අත් කර දී තිබෙන බවද පෙන්වා දුන්නේ ය.

අභියෝග ජයගත හැකි පැහැදිලි වැඩපිළිවෙළක් වත්මන් රජයට පවතින බව සඳහන් කළ ඔහු පැවසුවේ, කොවිඩ් වසංගතය සමග ජීවත් වෙමින් එම අභියෝගය ජය ගනිමින් සංවර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදී හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණය මූලික  කරගෙන ක්‍රීඩාව සඳහා විශේෂ විශ්ව විද්‍යාලයක් ඉදිකරන බවත්ය. 

තවද ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව සියළු පහසුකම් සහිතව නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සකස් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අක්කර  26ක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට පවරා දී ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක්ව මෙම ආයෝජනය සිදු කරනු ලබන බවද කීය.

පළමු අදියරේදී ආසන 40,000ක් සහ දෙවන අදියර යටතේ ආසන 60,000ක් සහිතව රථ ගාල් ඇතුළු අනෙකුත් පහසුකම් සහිතව ඉදිකරන මෙම ක්‍රීඩාංගණය ,ඇමරිකානු ඩොලර් මිලියන 30ක  පමණ ව්‍යාපෘතියක් බවත් ක්‍රීඩාංගණය තනා නිම වන විට වසර 03ක් ගත වන බවද ඔහු පැවසීය.