ත්‍රස්තවාදයෙන් වසර එකොළහකට පසු

ත්‍රස්තවාදය පරාජය කොට වසර එකොළහක කාලය දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන මූලික කාරණයක් තිබේ. එනම් අපට අවශ්‍යය වන්නේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පම්පෝරි ගසන පුද්ගලයන් නොව, තමන්ගේ පාඩුවේ තම වගකීම් ඉටුකරන නිහඬ නායකයින් බවය. 

කතු වැකිය 

මීට වසර එකොළහකට පෙර දෙමළ ජනතාවට මහත් හිසරදයක් වූ  කොටි ත්‍රස්තවාදය අවසන්  කරනු ලැබීය. කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී  ක්‍රමයෙන් වඳ වෙමින් සිටි දෙමළ  ජනතාවට සැබෑ නිදහසක් ලැබුණි. ඔවුන්ගේ දුවා දරුවන් ළමා සොල්දාදුවන් බවට පත්වීම වෙනුවට පාසල් ගොස් අනාගතය ගැන සිහින මැවීමට පටන් ගත්හ. ඔවුන්ට ලෝකය දැකීමට අවශ්‍යය මාර්ගය නිර්මාණය විය. එසේම අනෙකුත් සහෝදර ජනතාවගේ කතාවද ඊට නොදෙවෙනිය.



ගැටුමේ අවසානය සිදු වූ ආකාරය ගැන නොයෙකුත් දෙනා නොයෙක් කතා කියනු ලැබුවද, මෙරට ජනතාවගේ සිවිල් ජනජීවිතය පැත්තෙන් ගත්විට සිදු වූයේ ඉතාමත් යහපත් දෙයකි. ගැටුම් මුවාවෙන් විවිධාකාරයේ දේශපාලන වාසි ලබාගත් යුගය අවසන් විය. එසේම, රටේ ජනතාවට භීතියෙන් තොරව ජීවත් වීමට ඇති පරිසරයක් සකස් විය. ඇත්ත, සමාජ ගැටළු තිබේ. නමුත් ඒවා ඉතාම ප්‍රවේශමෙන් විසඳිය යුතු ගැටලුය. 

ගැටුම් නිමා වී අදට වසර එකොළහක් ගත වී ඇත. ගෙවුණු වසර එකොළහ තුළ ආණ්ඩු තුනක් බලයට පැමිණියේය. බලයට පැමිණි ඇතැමුන් යම් කිසි අර්ථාන්විත කටයුත්තක් කිරීමට උත්සහ කළෝය. තවත් සමහරුන් රටේ ජනතාවගේ මුදල් සහ කාලය නාස්ති කොට ආඩපාලි කතා කියමින් පම්පෝරි ගැසුහ. ඇතැමුන්, තමන්ට රටට වැඩක් කළ  නොහැක්කේ තමන්ගේ දුර්වලකම් නිසා නොව අනෙකාගේ බලපෑම නිසා බව කියමින් වීදී දිගේ හඬා වැලපුණේය. 

සැබෑ නායකයෙකු යනු වැඩිය කතාබහක් නැති නමුත් සිදුවන කටයුතු ගැන මනා ඉවසීමෙන් සහ ඉවසිල්ලෙන් බලා සිටින පුද්ගලයෙකි. සැබෑ නායකයෙකු කිසිම කොන්දේසියක් යටතේ හොරුන් සහ වංචාකරුවන් නඩත්තු කරන්නේ නැත. ප්‍රජාතන්තවාදයේ මූලික අරමුණ වන්නේද එවැනි නායකයෙකු පත්කර ගැනීමය. ජනතාවට හොඳ කලක් උදා වන්නේ එවිටය. 

මේ වනවිට රට තවත් මහත් උවදුරකින් ගැලවෙමින් සිටිනේය. කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකය පුරා පැතිරී ගිය වසංගතයට ලංකාවද ගොදුරු විය. කුමන දේශපාලන මතිමතාන්තර දැරුවද ඕනෑම අයෙකුට මෙහිදී සන්තෝෂ විය හැකි කාරණයක් තිබේ. එනම්, රටේ වත්මන් නායකත්වය වගකිවයුතු විලාසයෙන් තම රාජකාරි කටයුතු කරන ආකාරයය. එය නිර්ලෝභීව පැසසිය යුතු කාරණයකි. එසේම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම දෙනා විවිධ තාඩන පීඩන හමුවේ කරමින් සිටින සේවය ඉතා වටින්නේය.  

ත්‍රස්තවාදය පරාජය කොට වසර එකොළහක කාලය දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන මූලික කාරණයක් තිබේ. එනම් අපට අවශ්‍යය වන්නේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පම්පෝරි ගසන පුද්ගලයන් නොව, තමන්ගේ පාඩුවේ තම වගකීම් ඉටුකරන නිහඬ නායකයින් බවය.