‘‘ජනතාවට සහන සැලසීමේදී ආණ්ඩුවට අතදෙන්න අපි සූදානම්‘‘ - ටිල්වින්




කොරෝනා වෛරසයත් සමග පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ යාන්ත්‍රණය විධිමත් කළයුතු බවත් එවැනි වැඩපිළිවෙලක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් මැදිහත්වීමට සූදානම් බව අද (1) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, 

‘‘ලෝකය පුරාම කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්වයක් තුළ රටක් හැටියටත් අපි මේ තත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියන අභියෝගය තියෙනවා. මේ වනවිටත් අපේ රටේ සමාජය තුළ මේ රෝගය ව්‍යාප්තවීම තැන් තැන්වල හමුවූ පවුල් ආශ්‍රය කළ සමීතමයන්ගෙන් සිදුවූ ව්‍යාප්තියක් දකින්න ලැබෙන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවුණේ මාර්තු 31වැනිදා. ඒ සංඛ්‍යාව 21ක්. මේ අනුව බැලුවාම අපිට විශ්වාසයක් තිබෙනවා හැමදෙනාම එක් කරගත් ජාතික ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කිරීම තුළින් මේ උවදුරින් අපේ රට බේරාගන්න හැකියාව තිබෙනවා කියලා. විශේෂයෙන්ම මතක් කළ යුතු වන්නේ ලෝක ව්‍යාප්ත තත්වයක් තිබෙන මේ වසංගතයෙන් පැරදුණොත් පැරදෙන්නේ මුළු රටමයි. ඒ වගේම දිනුවොත් දින්නේ මුළු රටමයි.

මේ දක්වා වෛද්‍යවරුන්ගේ සිට පහළම සෞඛ්‍ය සේවකයන් දක්වා ආරක්‍ෂක අංශවල සියලු දෙනාගේ කැපවීම වගේම බැංකු ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවල යෙදී සිටින සියලුම දෙනාගේ කැපවීම නිසා අවම මට්ටමක රෝග ව්‍යාප්තිය පවත්වා ගන්න රටක් හැටියට අපි සමත්වී තිබෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාට අපි ස්තූතිවන්ත වෙනවා. ආණ්ඩුව පසුගිය කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ගවල යම් යම් අඩුපාඩු නිසා අද පවතින ව්‍යාප්ත වීමේ තත්වය තිබෙන බව පැහැදිළියි. අපි කරුණු සහිතව මීට පෙරත් පෙන්වා දුන්නා ඒ අඩුපාඩුකම් වළක්වා ගෙන නිසි පරිදි මේ ක්‍රියාදාමය වෙනුවෙන් යාන්ත්‍රණයක් ආණ්ඩුව සකස් කරයි කියලා අපේක්‍ෂාවෙන්. නමුත් අපි පෙන්වා දුන් මේ කරුණු කෙරෙහි ආණ්ඩුව ඒ තරම් අවධානයට ලක්කර නැති බව පේනවා. උදාහරණයක් හැටියට මේ රෝගය ලෝක මට්ටමන් ව්‍යාප්ත වෙන අවස්ථාවේ වරාය සහ ගුවන්තොටුපොළ වසා නිරෝධායන කටයුතු යෙදීමේ අවශ්‍යතාවය තිබුණා. නමුත් ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කළේ නැහැ. ඒ නිසා ගුවන්තොටුපොළෙන් පැමිණි මේ රටේ වැසියන් ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කර යැව්වා. දැන් පොලීසිය යොදවා මෙහෙයුම් සිදුකර ඔවුන්ව සොයා ගනිමින් සිටිනවා. මුලදීම ගත යුතු ක්‍රියාමාර්ග නොගත් නිසා මේ තත්වය ඇතිවුණා.

වර්තමානයේ ඇඳිරි නීතිය පනවා ගෙනයන ක්‍රියාමාර්ග නිසා යම් සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. මේ තත්වය තුළ ජනතාවගේ පැත්තෙන් මතුවී තිබෙන ගැටළු අවම කරගැනීමට ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ආණ්ඩුවේ වගකීමක්. අපට තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දීමටයි. අපි ඒ විදිහට හඳුනාගත්ත මූලික කරුණු කිහිපයක් තිබෙනවා.

එකක් තමයි අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සහ ඖෂධ ලබාදීම. මේ වෙනකොට අනුගමනය කරන ජනතාව දුරස්ථකරන ක්‍රියාමාර්ගයක් ලෙස ඇඳිරි නීතිය පනවා තිබුණත් ඇඳිරිනීතිය අයින් කළ වහාම ඔවුන් ඖෂධ ලබා ගන්නත් උකස් මධ්‍යස්ථානවලත්, බැංකුවලත්, එළවළු වෙළඳපොළ, මාළු වෙළඳපොළ වගේ තැන්වලත් පොදි ගැහෙනවා. මේ නිසා ඇඳිරිනීතිය පැනවීමේ අරමුණ ඉෂ්ඨ වෙන්නේ නැහැ. ඒ තත්වයට පිළියම් යෙදිය යුතුයි. විශේෂයෙන්ම ඖෂධ ලබාදීමේ ක්‍රියාමාර්ග ගැන ආණ්ඩුව ප්‍රචාරය කළත් දිගුකාලීනව ඖෂධ ලබාගන්නා වැඩිහිටියන් ගර්භනී මාතාවන් ළමුන් සම්බන්ධයෙන් බරපතළ තත්වයන් මතුවී තිබෙනවා. ඊට ඉක්මනින්ම විසඳුමක් අවශ්‍යයයි. ඇඳිරි නීිතිය ඉවත් කරන කාලයේ ෆාමසිවලට ජනතාව රොක්වීම වැලැක්වීමේ ක්‍රියාමාර්ග වගේම අත්‍යාවශ්‍ය ඖෂධ සහ රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රියාමාර්ග ආණ්ඩුවේ චක්‍රලේඛවලින් සහ ප්‍රකාශවලින් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ආහාර බෙදාදීමේ ප්‍රශ්නයත් ඒ වගේමයි. ජනතාව මේ වනවිටත් යම්කිසි කැප කිරීමක් කරමින් දරාගෙන ඉන්න බව අපි දන්නවා. නමුත් ඒ දරාගැනීමේ සීමාවල් තිබෙනවා. ඒ නිසා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

ඒ වගේම තවත් පැත්කින් මේ රටේ විශාල ජනතාවක් එදාවේල හොයාගන්න දෛනික වැටුප් මත වැඩකරන බව අපි දන්නවා. ඔවුන්ට මේ වනවිට ආදායම් අහිමිවී තිබෙනවා. ඒ වගේම ඒ අයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට නොමැති හිඟයකුත් තිබෙනවා. ඒ කියන්නේ ඒ අයට සල්ලිත් නැහැ, බඩුත් නැහැ. මේ තත්වය වැළැක්වීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. ආණ්ඩුව මේ වනවිට අරමුදලක් හදලා තියෙනවා. නමුත් ඒ අරමුදල තැන් තැන්වල ක්‍රියාත්මක වීම නවත්වා අත්‍යාවශ්‍ය අයට සහන ලැබෙන පරිදි යොදාගන්න කටයුතු කළ යුතුයි. මේ කටයුතු වෙනුවෙන් ග්‍රාම නිලධාරී මූලික කරගත්ත යාන්ත්‍රණයක් සකස්කිරීම ඉක්මනින්ම කළ යුතුයි. ඒ යාන්ත්‍රණයට සහයෝගය ලබාගැනීටම ස්වේච්ඡා සංවිධාන සහ පුද්ගලයන් එකතු කරගත හැකියි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ වෙනුවෙන් මැදිහත්වීමට සූදානම් බව ආණ්ඩුවට දන්වා තිබෙනවා. ඇතිවී තිබෙන මේ තත්වය ගංවතුර, නාය යෑම, සුනාමිය වගේ තත්වයක් නෙවෙයි. මුළු රටටම බලපාන ආපදාවක්. මේ වගේ තත්වයක් තුළ සෞඛ්‍ය කාර්යමණ්ඩල වගේම ආරක්‍ෂක අංශ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයන අයට සහයෝගය ලබාදීමේ ස්වේච්ඡා කණ්ඩායම්වල දායකත්වය ලබාගැනීම අවශ්‍යයි. අපි පක්‍ෂයක් හැටියට මේ වනවිටත් ආරක්‍ෂක අංශවලට, සෞඛ්‍ය කාර්යමණ්ඩවලට මුඛ ආවරණ ඇතුළු වෙනත් ආරක්‍ෂක උපකරණ ලබාදී තිබෙනවා. ඒ වගේ රෝහල් පිරිසිදු කිරීම සහ රෝහල් තුළ වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු සම්පාදනය කරදී තිබෙනවා.

නමුත් පක්‍ෂයක් හැටියට අපිට තිබෙන මානව සම්පත සහ මන්ත්‍රී වැටුප් අරමුදලේ සීමාවන් තිබෙනවා. ඒ තුළ උපරිම කටයුතු කරමින් ඉන්න අතර සකස් කරන යාන්ත්‍රණයක කොටස්කරුවෝ හැටියට අපිට ස්වේච්ඡාවෙන් ජනතාවට සහන ලබාදීමේ මැදිහත්කරුවන් විය හැකියි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලැබිය යුතු අවසානම කෙනා දක්වා ඒවා සපයා දීමේ කටයුතු අපිට ස්වේච්ඡාවෙන් කළ හැකියි. මේ වෙනුවෙන් ඉක්මනින් යාන්ත්‍රණයක් ආණ්ඩුව සකස් නොකළහොත් කොරෝනා වෛරසයේ බලපෑමට වඩා වෙනත් විශාල ගැටළු ප්‍රමාණයක් මතුවීමේ අනතුර අපි දකිනවා. මේ වනවිටත් සමාජයේ බොහෝ තැන්වලින් ඒ ගැටලු සම්බන්ධයෙන් තොරතුරු අපිට ලැබී තිබෙනවා.

අමතර කාරණයක් හැටියට අපේ රටේ ආගමික හා සංස්කෘතික ගැටළුත් මේ තත්වය තුළ මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසයෙන් මියගිය අය වගේම වෙනත් තත්වයන් යටතේ මියගිය අයගේ අවසන් කටයුතු කිරීමේදී ගැටළු ප්‍රමාණයක් මතුවී තිබෙනවා. අපි ජනතාවට අවධාරණය කරන්නේ වෛද්‍ය අංශ ලබාදෙන තොරතුරු අනුව රෝගයේ භයානකකම අවබෝධ කරගෙන එයින් වැළකීමේ ක්‍රියාමාර්ග මූලික කරගත යුතු බවයි. ආගමික හා සංස්කෘතික කටයුතු ඊට දෙවැනිව කල්පනා කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ වනවිට නිර්දේශ මාලාවක් ලබාදී තිබෙනවා. ඒ අනුව ක්‍රියා කිරීමේ අවබෝධය ජනතාවට ලබාදී ජන ජීවිතය පවත්වාගැනීමේ යාන්ත්‍රණය සකස් කිරීම ආණ්ඩුව ඉක්මනින් කළ යුතු බව නැවත අවධාරණය කරනවා. ඒ අඩුව නිසා සමාජයේ විවිධ තැන්වලින් මේ වගේ ගැටළු මතුවෙනවා. අපි අවධාරණය කරන්නේ ජාතික මට්ටමින් කල්පනා කර බලා ක්‍රියාකාරී සැලැස්මක් සකස්කර ස්වේච්ඡා සංවිධාන සහ අපි වගේ පක්‍ෂවල සහයෝගයත් ලබාගෙන මේ උවදුර ඉක්මනින් පරාජය කිරීමට ආණ්ඩුවේ තිබෙන වගකීම නිසි ලෙස ඉටුකළ යුතු බවයි.'' යන්නයි.