සත්‍ය ඇත්තේ හකීම් - සන්නස්ගල වරණයට ඔබ්බෙනි



 - මහේෂ් හපුගොඩ - 


ඇත්තම ගැටළුව වී ඇත්තේ දැන් මිනිස් අධ්‍යාත්මය පිළිබද ප්‍රශ්නය හකීම් සහ සන්නස්ගල අතර තෝරා ගැනීමක් (වරණයක්) බවට පත්ව තිබීමයි. හකීම් මුස්ලිම් සමාජයේ වීරයෙක් සහ පොදු සමාජයේ ද්‍රෝහියෙක් බවට පත් කිරීමටත් සන්නස්ගල මුස්ලිම් ද්‍රෝහියෙක් සහ පොදු සමාජයේ වීරයෙක් බවට පත් කිරීමටත් මේ කොරෝනා පැනික් තත්වය බල කර තිබේ. ඒ කියන්නේ 'සෙනඟ' (ගිලි ඩෙලූස් ගේ වචනය) දැන් ඉන්නේ සන්නස්ගල පැත්තේ ය. ඒ සියළු අය කොරෝනා පැනික් තත්වය විසින් කෙසේ හෝ පණ බේරා ගන්නා තත්වයට ඇද දමා තිබීම නිසාය. මේ ධනේශ්වර ක්‍රමය මිනිසුන් ඇත්තට ජීවත් කරනු වෙනුවට ඒ මිනිසුන්ට ෆේස්බුක් නිදහසක් දී ඇත්ත පැවැත්ම තුළ මහපාරේ මැරෙන තත්වයට ඇද දමා ඇති නිසා ය. මේ නිදහස ඇත්ත නිදහසක් නොවේය. පවත්නා වෛද්‍ය පහසුකම් වල උපරිමයට ළඟා වූ පසු සියල්ලන්ට මැරෙන්න සිදු වන්නේ මහපාරේය. සුනාමිය, පාස්කුව වගේම මේ තත්වයත් සමස්ත ක්‍රමයේ නො-සුදානම පිළිබද දැවැන්ත ප්‍රශ්නයක් විනා අල්ලා හෝ යේසුස් හෝ බුදුන් 'වැළලීම' පිළිබද ම ප්‍රශ්නයක් නොවේය. මේ පාදඩ ක්‍රමය විසින් වළලා දමා ඇති මිනිස් අධ්‍යාත්මය (මිනිස් ආචාර ධර්මය) ගැන යම් පමණකින් හෝ කතා කරන්නේ ආගම පමණි. ඒවායේ දැවැන්ත අර්බුද නොමැති යයි මා නොකියන නමුත් කොරෝනා වට පෙර මේ ජඩ සුඛ පරමවාදය ට එරෙහි යම් හෝ දේශපාලනයක් කරමින් සිටියේ ද ඉස්ලාම් මූලධර්මවාදයයි. ඒ ඉස්ලාමීය දේශපාලනය, 'දේශපාලන නිරවද්‍යභාවට' (political correctness) හසු වුවේ නැති බවද මා දනිමි.

මේ කොරෝනා මරණ සියල්ල මැද ඩේවිඩ් බෙකම් සහ වික්ටෝරියා බෙකම් පවුම් මිලියන ගණනක නිවසක් මිළදි ගැනීම ගැන ඔබ සිතන්නේ කුමක් ද? චීනය මේ අස්සේ දැවැන්ත ලෙස ව්‍යාපාර හා කොටස් මිලදී ගැනීම ගැන කියන්නේ කුමක් ද? මේ සියල්ල මැද ට්‍රම්ප් ඇමෙරිකාව ව්‍යාපාර සඳහා නැවත විවෘත කිරීමට කඩි මුඩියේ උත්සාහ කිරීම ගැන ඔබ සිතන්නේ කුමක් ද? ආතතිය නිසා ජර්මන් මුදල් ඇමති වරයා සියදිවි නසා ගැනීම ගැන ඔබ සිතන්නේ කුමක් ද? ඒවා ස්වභාවික ද? ඉස්ලාමීය උමතුව ගැන වදවෙන ඔබ මේ ක්‍රමය 'උමතු' යැයි මොහොතකට වත් නොසිතන්නේ ඇයි? ඒ මේ ක්‍රමය ඔබට අවිඥාණික නිසාද ?

සියලු දේ උල්ලංඝනය කරන ලෙස අපට නියෝග කරන මෙම ක්‍රමය තුල එම විපරීත බව යම් තරමක් හෝ පාලනය කරන්නේ ආගම විසිනි. අපගේ තෙරක් පරක් නැති සුඛ පරම වාදයේ විනෝදය පාලනය කරන්නේ අන් කිසිවක් විසින් නොව මේ මොහොතේ ආගම විසිනි. මේ මොහොතේ එය ඉතාම රැඩිකල් දේශපාලනයක් කරයි. ඒ නිසා විසි වන සියවසේ පරමාදර්ශ බිඳ වැටෙන ලෝකයක අප ක්‍රිස්තියානි උරුමය වෙනුවෙන් සටන් කළ යුතු යැයි ජිජැක් කියා සිටී. ඒ අර්ථයෙන් හොඳ ආනාගමිකයෙක් විය හැක්කේ හොඳ ක්‍රිස්තියානුවෙකුට යැයි ද ඔහු වැඩිදුරත් කියා සිටී.

යුරෝපීය උරුමය ගැන ජිජැක් එසේ කියන විට පෙරදිග මිනිසෙක් ලෙස මා සිතන්නේ හොඳ ආනාගමිකයෙක් වීම සඳහා මුලින් හොඳ බෞද්ධයෙක් විය යුතුය කියා ය. එසේම සත්‍යය තිබෙනු ඇත්තේ හකීම් - සන්නස්ගල වරණයට (forced choice) ඔබ්බෙන් තැනක බවත් විශ්වාස කරමි.

එසේම අධිනිශ්චය වී ඇති ඉහත දයලෙක්තියක අභිබවා යා හැකි දෘෂ්ටිමය බලයක් මේ සටහනට නැති බවත් මා විශ්වාස කරමි. ආමෙන්!




මූලාශ්‍ර 

Zizek, S. (2000). The Fragile Absolute: Or, Why Is The Christian Legacy Worth Fighting For? London. Verso.

Zizek, S. (2016). Is God Dead, Unconscious, Evil, Impotent, Stupid...Or Just Counterfactual? International Journal of Zizek Studies. Vol.10, No. 01. (Online).