‘‘කොරෝනා ආසාදිත පළමු රෝගියා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා‘‘ - අනිල් ජාසිංහ


COVID - 19 මෙරට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවහොත් දැඩි අර්බුදකාරී තත්ත්වයක් උදාවනු ඇති බවත් වෛරසය ආසාදිත මෙරට පළමු රෝගියා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 52ක් වන පිරිමි තැනැත්තෙකු බවත් ඔහු සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස කටයුතු කරන අයෙකු බවත් මේ වනවිට ඔහු අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අද (11) මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වාදුන්නේ, 

‘‘අපට එක් රෝගියෙකු ගැන වාර්තා වෙනවා. වයස අවුරුදු 52ක පිරිමි පුද්ගලයෙකු ගැන වාර්තා වෙනවා. ඔහු සංචාරකයින් රැගෙන යන පුද්ගලයෙකු ලෙසත් කටයුතු කරන කෙනෙක්. ඉතාලි ජාතික සංචාරකයින් රැගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංචාරය කරලා තියෙනවා. 

මෙම පුද්ගලයාට මේ කෝවිඩ් 19 වැළඳී ඇති බව ඊයේ රාත්‍රියේ දැනගන්නට ලැබුණා. අද උදෑසන සිට ඔහුගේ පවුලේ උදවිය, ඒවගේම ඔහු ආගිය තැන් වල සම්බන්ධ වෙච්ච උදවිය, ඒ සමග සිටි ඉතාලි ජාතිකයින් සම්බන්ධ වුණු ස්ථාන සහ ඒ පුද්ගලයින් සම්බන්ධයෙන් ඒ විමර්ශනය කරගෙන යනවා. අවශ්‍ය පියවර ගන්නවා.'' යන්නයි.