‘‘ජපුර සිසුවාගේ සිද්ධිය ගැන ජවිපෙට අවලාද නගන්න එපා‘‘ - විජිත



ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවාට වූ අනතුර සම්බන්ධයෙන් උපකුලපතිවරයාගේ හා පොලිසියේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් දියත් කළයුතු බවත් මේ සිද්ධිය මගින් ජවිපෙට මඩ, අවලාද චෝදනා නොනගන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද (11) දිනයේදී කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. 

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වාදුන්නේ, 

‘‘ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවාගේ සිදුවීම නවකවදය නිසා සිදුවූ දෙයක්ද, සාදයකදී සිදුවීමක්ද යන ගැටලුවට පිළිතුරක් ලෙස වැඩබලන උපකුලපතිවරයාම ප්‍රකාශයක් කර තිබුණා. ඔහු කියා තිබුණේ එය පළමු වසරේ සිසුන්ගේ සාදයක් අතරතුර සිදුවුණ සිදුවීමක් කියලා. 

සාදයකදී වූන සිදුවීමක් වුවත් අපි එය අනුමත කරන්නේ නැහැ. ඒ වගේම අපි වගකීමෙන් කියනවා, නවකවදය අනුමත කරන්නෙත් නැහැ. එම සිදුවීම සම්බන්ධයෙන් උපකුලපතිවරයාත් පොලීසියත් මැදිහත්වී පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි. අපි ඉල්ලනවා, පරීක්‍ෂණ කඩිනම් කරන්න.

සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යය විවිධ ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. සිසුවාගේ ඔලුවේ වැදුනා කියලා එක එක මාධ්‍ය එක එක වර්ගයේ ටයර් පෙන්වනවා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බැරිකම, බංකොළොත්කම වහගන්න මෙම සිදුවීම පාවිච්චි කරමින් ඉන්නවා. සමාජ ජාලාවල ආණ්ඩුවට සහාය දක්වන පුද්ගලයින් මෙම සිදුවීම පදනම් කර ගනිමින් ජවිපෙට මඩ, අවලාද එල්ල කරමින් තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, තමන්ගේ බංකොළොත්කම වහගන්න අනෙක් අයට පහර දෙන්න මේ සිදුවීම යොදා ගන්නේ නැතිව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකර එහි ඇත්ත තත්වය රටට හෙළිකරන්න කියලා...‘‘ යන්නයි.