‘‘කොරෝනා මැඩලන්න ආණ්ඩුව ක්ෂණිකව මැදිහත්වන බව පේන්නේ නෑ‘‘ - විජිත


ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල සීඝ්‍ර ලෙස අඩුවී තිබෙන පසුබිමක එහි වාසිය ජනතාවට ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැති බවත් කොරෝනා මැඩලීමේදී ආණ්ඩුව අසාර්ථක වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද (11) දිනයේදී කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වාදුන්නේ,


වසර 29කට පසු ලෝක වෙළඳපොල් බොරතෙල් මිල අඩුවෙලා 

වසර 29කට පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සීග්‍රලෙස අඩුවෙලා තිබෙනවා. මැදපෙරදිග රටවල් සහ ඔපෙක් සංවිධානය නිෂ්පාදනය අඩු නොකර තෙල් මිල පහත හෙලීමේ තීරණයකට එළඹීම නිසා මෙලෙස මිල පහත වැටී තිබෙනවා. මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 35ක්, 36ක් පමණ වෙනවා. ඩොලර් 65ත් 67ත් සීමාවල තිබුණු බොරතෙල් මිල මෙලෙස 50%කින් පමණ අඩුවෙලා තිබෙනවා. පසුගිය මාස 3 ඇතුළත තෙල් මිල පහත වැටුණා. එයිනුත් පසුගිය සති දෙකක කාලය තුළ සීග්‍ර ලෙස තෙල්මිල පහත වැටුණා. එහි වාසිය ජනතාවට ලබාදෙන්න පුළුවන්කම තිබියදී ආණ්ඩුව එය නොදෙන්නේ ඇයි?

තෙල් මිල තීරණය වෙන්නේ ආනයන වියදම, තෙල් සංස්ථාවේ වියදම සහ රජයේ බදු එකතුව අනුවයි. ආනයන වියදම සීග්‍ර ලෙස අඩුවෙලා තිබෙනවා. රජයේ බදු, සංසථාවේ වියදම් වෙනස් නොවුණත් තෙල් මිල අඩුවීමේ සහනය පහසුවෙන්ම ජනතාවට ලබාදෙන්න පුළුවන්. මේ වනවිට රු.137ක් වන පෙට්‍රල් ලීටරයක් 100-105ත් අතර මිලකටත් ඩීසල් ලීටරයක් රු.90කටත් ලබාදෙන්න පුළුවන්. තෙල් මිල අඩු කළොත් ප්‍රවාහන ගාස්තු අඩුවෙනවා. බඩුමිල, බස් ගාස්තු, ත්‍රීවීල් ගාස්තු සියල්ල අඩුවෙලා උද්ධමනය අඩුකරගත හැකි වෙනවා. ජනතාවගේ මාසික වියදම අඩුකරගන්න තෙල් මිල අඩු කිරීමේ වාසියක් විශාල පිටිවහලක් වුවත් ආණ්ඩුව ඒ වාසිය ජනතාවට ලබාදෙන්නේ නැහැ.


තෙල්මිල අඩුකළොත් ජනතාව වාහනවලින් රස්තියාදු වේවි කියලා මන්ත්‍රීවරයෙක් කිව්වා 

රාජ්‍ය ඇමතිවරයෙක් මීට දින කිහිපයකට කලින් කිව්වා ආණ්ඩුව විසින් ඉන්ධන මිල අඩුකිරීමේ තීරණයක් ගත්තා කියලා. තවමත් මිල අඩුකරලා නැහැ. ආණ්ඩුවේ කටමැත දොඩවන මන්ත්‍රීවරයෙක් කිව්වා, තෙල්මිල අඩුකළොත් ජනතාව වාහනවලින් රස්තියාදුවේ යයි කියලා. මේ රස්තියාදුකාර මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලින් ජනතාවට වැඩක් නැහැ. ආණ්ඩුව කළ යුත්තේ ඉන්ධන මිල අඩු කිරීමයි. රටේ ආර්ථිකය බරපතළ අවුලක තිබෙනවා. ජනතාවගේ ආර්ථිකය සැහැල්ලු කරන්න සහනයක් දෙන්න පුළුවන්. ආණ්ඩුවට කිසිදු පාඩුවක් නොවී, තෙල් සංස්ථාවට කිසිදු අලාභයක් නොවී ජනතාවට මෙම සහනය ලබාදෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුව හිතනවා නම් තෙල් සංස්ථාවට පහුගිය කාලයේ සිදුවුණු පාඩුව මේකෙන් පියවාගන්න පුළුවන් කියලා ඒක අසාධාරණයි. පහුගිය කාලයේ පාඩු පියවා ගන්න හිතනවා නම් ආණ්ඩුවට පෙට්‍රල් ලීටරයක් රු. 1,000ක් වත් කරන්න වෙයි. අපි ආණ්ඩුවට කියනවා, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන්න පෙට්‍රල් සහ ඩීසල් මිල අඩුකරන්න කියලා.

පසුගිය දින කිහපය තුළ කටුනායක ගුවන්තොටුපොළේ උණුසුම් තත්වයක් ඇතිවුණා. එයට හේතුව වුණේ, කොරෝනා වෛරස් තත්වය වැළඳුණු ශ්‍රී ලාංකිකයින් ආපසු ලංකාවට ඒමත් සමගයි. කොරෝනා වෛරසය වැළඳුණු පළවැනි ශ්‍රී ලාංකිකයා හඳුනාගෙන තිබෙනවා. ඔහු සංචාරක මග පෙන්වන්නෙක්. ඔහු ඉතාලි ජාතිකයින් පිරිසකට සේවය සපයා තිබෙනවා. ඒ අනුව ඉතාලියෙන් ආ පිරිසෙන් වෛරසය වැළඳුණු බවට සැක කෙරෙනවා. අපි රටක් ලෙස කොරෝනා වෛරසයට එරෙහිව පියවර ගත යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුවේ ක්‍ෂණික මැදිහත්වීමක් පේන්න නැහැ.

සෞඛ්‍ය අමාත්‍යංශය පවා කියන්නේ ආණ්ඩුව චීන ජාතිකයින් නිරෝධායනයට පියවරක් ගෙන නැහැ කියලා

07වැනිදා දිනය තුළ ගුවන්තොටුපොළ වාර්තා අනුව චීනයේ සිට ගුවන් යානා දෙකක් පැමිණ තිබෙනවා. එක් ගුවන් යානයක චීන ජාතිකයින් 79ක්ද අනෙක් ගුවන් යානයේ චීන ජාතිකයින් 101ක් ද පැමිණ තිබෙනවා. එම චීන ජාතිකයින් 180 දෙනා කිසිදු නිරෝධායන කටයුත්තකින් තොරව රටට ඇතුල් වෙලා. ඒක බරපතළ තත්වයක්. 10වැනිදා පැමිණි ගුවන් යානයකින් චීන ජාතිකයින් 60කට ආසන්න පිරිසක් කිසිදු නිරෝධායනයකින් තොරව රටට ඇතුල් වෙලා. කොරෝනා වෛරසය ඇතිවූ චීන රටේ පුද්ගලයින් නිරෝධායනයට ලක් නොකර රටට ඇතුල්වීම බරපතළ තත්වයක්. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලියවිල්ලක තිබෙන්නේ ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරාන ජාතිකයින් පමණක් නිරෝධායනයට ලක්කළ යුතුයි කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවා කියන්නේ ආණ්ඩුව චීන ජාතිකයින් නිරෝධායනයට තීරණයක් ගෙන නැති බවයි. ඒ වගේම විවිධ රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයට කියලා මඩකලපුවට ගිහින් දානවා. නමුත් ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ පැහැදිලි නැහැ. චීන ජාතිකයින් නිරෝධායනයට ලක් නොකිරීම ගැන ශ්‍රී ලාංකිකයින්ගෙන් විරෝධයක් පවා මතුවී තිබෙනවා.


දකුණු කොරියාව සහ ඉතාලිය වැනි රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් තමයි අපේ රටට විශාල විදේශ විනිමයක් උපයලා දෙන්නේ. වසරකට ඩොලර් මිලියන 7,000ක් පමණ විදේශ විනිමයක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් රටට එවනවා.

ඉතාලියේ පමණක් එක්ලක්‍ෂ හාරදාහක් පමණ ශ්‍රී ලාංකිකයින් ජීවත් වෙනවා. විශාල සේවයක් රටට කරන ශ්‍රී ලාංකිකයින් ලංකාවට එනකොට ඔවුන් පිළිගන්නේ කොහොමද? ආණ්ඩුව කලින්ම දන්නවා, කොපමණ ප්‍රමාණයක් දිනකට ලංකාවට නැවත එනවද කියලා. එසේ දැනුවත් බවක් තිබෙන නිසාම නිරෝධායනයට ගෙනයන පුද්ගලයින්ට ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබාදීමට සැලසුමක් සකස්කළ හැකියි. නමුත් ආණ්ඩුවට එවැනි සැලසුමක් නැහැ. ඇතැම් අය ලංකාවට එන්න පැය 09ක් ගතකරනවා. ඔවුන් තවත් පැය 08ක් ගුවන් තොටුපොළේ රස්තියාදු වෙනවා. එසේ එන පුද්ගලයින් සඳහා පත්‍රිකාවක් බෙදා තිබෙනවා. මෙහි පැහැදිළිව සඳහන් වෙනවා, ආහාර සහ අනෙකුත් පහසුකම් සඳහා රු. 7,500ක ගෙවීමක් කළ යුතුයි කියලා. විදේශ මුදල් මාරු කිරීමට පහසුකම් සලසා ඇති බවත් ලියවිල්ලේ සඳහන් වෙනවා. වතුර බෝතල් මිලදී ගත හැකි බවත් සඳහන් කර තිබෙනවා. විශාල විදේශ විනිමයක් රටට එවන ශ්‍රී ලාංකිකයින් අමාරුවේ වැටුණු වෙලාවක ආණ්ඩුව ඔවුන්ට සලකන්නේ මෙහෙමද? ඔවුන්ට ලබාදෙන පහසුකම්වලට, වතුර බෝතලයට පවා මුදල් අයකිරීම සාධාරණද? පෝලිම් ගහලා රස්තියාදු කරන එක හරිද?

මුදල් අයකරන්නේ නැහැ කියලා හමුදාපති කියන්නේ කොහොමද ? 

පත්‍රිකාවේ මුදල් අයකරන බව සඳහන් කළත් පසුව හමුදාපතිවරයා මුදල් අය කරන්නේ නැති බව ප්‍රකාශක් සිදුකර තිබුණා. නමුත් හමුදාපතිවරයා එවැනි ප්‍රකාශයක් කරන්නේ කොහොමද? ඔහුට තිබෙන බලය කුමක්ද? මේක හමුදා රාජ්‍යයක් නෙවෙයි. එවැනි වගකිව යුතු ප්‍රකාශයක් ඇමතිවරයෙකු විසින් සිදුකරන්න තිබුණා. එසේ බෙදාහැරපු පත්‍රිකාව කූඨ ලේඛනයක්ද? එය කූට ලේඛනයක් නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන්. නමුත් තවමත් එම පත්‍රිකාව කූඨ ලේඛනයක් බව ඔප්පු වෙලා නැහැ. එනිසා ආණ්ඩුව මේ පිළිබඳව මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි. ආණ්ඩුවේ මේ නොසැලකිල්ල අපි හෙළා දකිනවා. ඒ වගේම අපි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට, ඔවුන්ගේ පවුල්වල ජනතාවට කියනවා මේ තමයි ආණ්ඩුවේ සැලකිල්ල. ඔබ එය තේරුම් ගත යුතුයි. පිටරට ජීවත්වන තමන්ගේ ඥාතීන් පිළිබඳව ලංකාවේ පවුල්වල සාමාජිකයින් පසුවෙන්නේ බියකින්. එවැනි මොහොතක ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් මෙවැනි අපහසුතාවයකට ලක් කරන්නේ ඇයි?

කොරෝනා වෛරස් තත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ඉදිරියේදී ආහාර, fඖෂධ හිගයක් පවා ඇතිවෙනන් පුළුවන්. අපේ රටේ තිබෙන ආර්ථික අර්බුදයත් සමගම අපිට එය බරපතල ලෙස දැනෙන්න පුළුවන්. අපි ස්වාධීන රාජ්‍යයක් නොවෙයි. අපේ රටේ නිෂ්පාදනය කඩා වැටිලා. බොහෝ ආහාර ද්‍රව්‍ය අපි ගෙන්වන්නේ පිටරටවල්වලින්. එනිසා ඉදිරියේදී ජාතික ව්‍යසන තත්වයක් පවා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව දැන් සිටම පියවරක් ගත යුතුයි. පක්‍ෂ, පාට, ජාති, ආගම් භේද නොසලකා පොදු ජාතික මැදිහත්වීමක අවශ්‍යතාවය දැනෙමින් තිබෙනවා. අපි පක්‍ෂයක් ලෙස සහාය දෙන්න සූදානම්. මුලින්ම ආණ්ඩුව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි...‘‘ යන්නයි.