අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් එක් අයෙකු මරුට


අද (21) දිනයේදී අනුරාධපුර බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ සිද්ධියෙන් මේ වනවිට එක් අයෙකු මියගොස් ඇති බවයි. 

අදාළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, 

‘‘අද දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුල රැඳී සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යාමේදී නොසන්සුන්තාවයක් හටගෙන ඇත. ඒ අවස්ථාවේදී බන්දනාගාර තුල සිටි රැඳවියන් ඉන් මිදී පලා යාමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී එය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇත. වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් 05 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහල වෙත ඇතුලත් කර ඇත. ඔවුන් අතරින් එක් අයෙකු මියගොස් ඇත.

සිද්ධිය හේතුවෙන් රැඳවියන් කිසිවෙක් බන්ධනාගාරයෙන් පැන ගොස් නොමැති අතර, කලහකාරී රැඳවියන් එළියට පැමිණිම වැලැක්වීම සඳහා අනුරාධුපර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා ඇත.‘‘ යන්නයි.