කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යවශ්‍ය බඩු බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක්


කොරෝනා වෛරසය ව්‍යාප්ත විම සමග උද්ගතව ඇති තත්ත්වය හමුවේ ලබන අඟහරුවාදා (24) දින සිට කොළඹ දිස්ත්‍රික්කය පුරා අත්‍යාවශ්‍ය බඩු මිළ දී ගැනීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා ලෙස කොළඹ මහ දිසාපති ප්‍රදීප් යසරත්න නිළධාරීන්ට උපදෙස් දී තිබේ. 


කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමූපකාර (ඇතුල්කෝට්ටේ, දෙහිවල, ගල්කිස්ස, සීතාවක, කොළඹ දකුණ, මහරගම, හෝමාගම, කඩුවෙල, පිළියන්දල, බත්තරමුල්ල හා කොළොන්නාව) හා ඒ යටතේ පවත්නා ප්‍රාදේශිය සමූපකාර මෙන්ම නාරාහේපිට, රත්මලාන,මීගොඩ හා බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන හරහා ද මෙම ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට නියමිත වේ.

මේ සදහා අවශ්‍ය සියලු භාණ්ඩ තොග මේ වන විට විවිධ සේවා සමූපකාර සමිතිවලට රැස්කර ගන්නා ලෙසත්,ඒ සදහා අවශ්‍ය භාණ්ඩ කඩිනමින් විවිධ සේවා සමූපකාරවලට ලබා දිමට මාක් සෙඩ් ආයතනයේ සාමාන්‍යධිකාරි වෙත අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ. 

මෙම ඇඳිරි නීති කාල සීමාව තුළ ළමා නිවාස හා වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට අදාළ පුද්ගලයන්ගේ තොරතුරු රැස්කරන ලෙස ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබේ.  

එමෙන්ම සතොස මගින් සිවිල් ආරක්ෂක බලකාය යොදාගෙන රු. 515ක මිළකට බෙදාහැරීමට සකස්කරමින් පවතින බඩු පාර්සල් බෙදාහැරීමේදි, වඩාත් අවධානය යොමු කළ යුතු ප්‍රදේශ පිලිබදව ප්‍රාදේශිය ලේකම්වරුන් සම්බන්ධ කර ගනිමින් තොරතුරු ලබා ගන්නා ලෙසත් එහිදී විශේෂයෙන්ම තට්ටු නිවාස හා සමූහ නිවාස පිහිටි ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන ලෙසත් සතොස මෙහෙයුම් කළමණාකරුට හා සහකාර සමූපකාර කොමසාරිස් වෙත උපදෙස් ලබාදී ඇත. 

කඩුවෙලට බඩු බෙදන්න හොට් ලයින් එකක්

මේ අතර කඩුවෙල නගරාධිපතිතුමා විසින් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කිරිම සදහා Hot line එකක් හදුන්වා දී ඇති අතර එම අංකය හා සම්බන්ධවීමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තම නිවසට ගෙන්වා ගත හැකිය.