ළමා අපචාරය සම්බන්ධ විමර්ශන කටයුතු තවම ඉබි ගමනේ


ළමා අපචාරයක් සිදුවීම සම්බන්ධ අන්තර්ජාලය තුළ සංසරණය වූ වීඩියෝව පිළිබඳ සමාජය තුළ විශාල විරෝධයක් මතු විය. එහි තවත් විරෝධයක් ඊයේ (26) දින මාදිවෙල ළමා ආරක‍ෂක අධිකාරිය ඉදිරිපිට දී පැවැත්විය. මෙය අලූත් පියාපත් සංවිධානය හා අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රගති සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන්, විද්වතුන් ඇතුලූ පිරිසක් එක් වූහ.



විරෝධතාවයෙන් පසුව ඔවුන් ළමා ආරක‍ෂක අධිකාරියේ සභාපති වෙත ලියවිල්ලක් භාරදීම හා ඔහු සමග සාකච්ඡාවක්ද පැවැත්වීමට ගිය අතර එම අවස්ථාවේ සභාපතිවරයා නොසිට ඇති හෙයින් එහි නියෝජ්‍ය සභාපතිනි නීතිඥ සුජාතා අලහකෝන් හමුවිය. එම අවස්ථාවේ දී ඇයි ප්‍රකාශ කර ඇත්තේ, මේ සම්බන්ධව විමර්ෂණ කටයුතු කිරීමට කමිටුවක් පත් කර ඇති බවත් එහි විමර්ෂණ කටයුතු ආරම්භ වන්නේ අද (27) දිනයේ දී බවත්ය.


මෙහි දී අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපති සරෝජා පෝල් රාජ් අදහස් පලකරමින් ප්‍රකාශ කළේ, "මෙහි දි අප විසින් සංදේශයක් බාර දුන් අතර, විමර්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සිටියා. අපි සතුව ඇති තොරතුරු භාර දුන් අතර එම වීඩියෝ පටයෙන් දරුවා හා අපරාධකරුවා අනාවරණය කර ගන්නා ලෙසත්, මහජන සහය ලබාගන්නා ලෙසත් යෝජනා කරා." යන්නයි.