ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම් සංගමය (Sri Lanka Association of Inbound Tour Operators
– SLAITO) සංවිධානය කරන, ශ්‍රී ලංකාවේ එකම සංචාරක කර්මාන්ත ප්‍රදර්ශනය වන ‘සංචාරක උදාව’ ප්‍රදර්ශනය 10 වන වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම සංගමය පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව එම ප්‍රදර්ශනය 2020 මැයි 15 සහ 16 යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
සංචාරක ක්ෂේත්රයේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාර යන අංශ දෙකම ඉලක්ක කරගත් ‘සංචාරක උදාව’ ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ ක්ෂේත්රයේ කුඩා, මධ්‍යම හා විශාල පරිමාණ ව්‍යාපාර වලට තම පාරිභෝගිකයන් සමග සම්බන්ධතා පුළුල් කරගන්නා අතරම, අදාළ රාජ්‍ය ආයතන සමගද සමීපව කටයුතු කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් කරදීම ය.
සංචාරක උදාව ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනුයේ 10 වන වරට වන අතර, එය මෙතෙක් පැවති විශාලම සංචාරක උදාව ප්‍රදර්ශනයද වනු ඇත. දේශීය හා ජාත්‍යන්තර සමාගම් හා ආයතන 300 කට අධික සංඛ්‍යාවකට අයත් කුටි මෙම ප්‍රදර්ශනයේදී දැකගත හැකි වනු ඇති අතර, 10,000 කට අධික පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැයි 15 හා 16 දෙදින තුළ පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.
ප්‍රදර්ශනය නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සංචාරක උදාව 2020 වැඩසටහනේ ප්‍රධානී නුශානි එදිරිවීර ඩයස් මෙසේ පැවසුවා ය. “පසුගිය දශකයක කාලය තුළ සංචාරක සේවා සමාගම් සහ වෙනත් ක්ෂේත්‍ර වල ප්‍රධාන පෙළේ සාමාජිකයන් අතර සම්බන්ධතාවන් ගොඩනංවමින් මෙම ක්ෂේත්රයේ උන්නතියට විශාල මෙහෙවරක් සිදුකිරීමට සංචාරක උදාව ප්‍රදර්ශනය සමත් වී තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැංවීම සඳහා ක්ෂේත්රයේ විවිධ අංශ සමීපව කටයුතු කරමින් සිටින නිසා මෙවර ප්‍රදර්ශනය අන් කවරදාටත් වඩා වැදගත් ඉසව්වක් වනු ඇති බව පැහැදිලියි.”
සංචාරක උදාව 2020 ප්‍රදර්ශනය අතරතුර ක්ෂේත්රයට වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම සඳහා සංවාද, සාකච්ඡා හා සම්මන්ත්රණ පෙළක් පැවැත්වීමටද සංවිධායකවරුන් කටයුතු යොදා තිබේ.
සංචාරක ක්ෂේත්රය සහ අනෙකුත් ක්ෂේත්‍ර අතර පවතින සමීප සම්බන්ධතාව නැවත වරක් තහවුරු කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සංචාරක පොලීසිය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු අංශ කිහිපයකට ප්‍රදර්ශන කුටි නොමිලයේ ලබාදීමට සංවිධායකවරුන් පියවර ගෙන ඇත. එමෙන්ම සංචාරක ක්ෂේත්රයේ රැකියා සඳහා උනන්දු වන සිසුන්ට ප්‍රදර්ශනය වෙත පැමිණ ක්ෂේත්රයේ ප්‍රවීණයන් හමුවී අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් කොළඹ, ඌව වෙල්ලස්ස, කැලණිය, සබරගමුව හා රජරට යන විශ්ව විද්‍යාල වලටද නොමිලයේ ප්‍රදර්ශන කුටි ලබාදී ඇත.
ප්‍රදර්ශනය අවසානයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන අතර එහිදී සංචාරක ක්ෂේත්රයේ ප්‍රවීණයන්ටත් නවකයන්ටත් එකිනෙකා හමුවී සුහදතාව වර්ධනය කරගැනීමට අවස්ථාව හිමි වේ. ඉන් අනතුරුව පැවැත්වෙන සම්මාන උළෙලේදී විශිෂ්ටතම ප්‍රදර්ශන කුටි සඳහා සම්මාන පිරිනැමෙනු ඇත.
ප්‍රදර්ශනය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් එය වඩාත් සාර්ථක කරගැනීම සඳහා, දිවයින පුරා ප්‍රචාරණ හා අලෙවිකරණ වැඩසටහන් මාලාවක් පැවැත්වීමටද සංචාරක උදාව ප්‍රදර්ශනයේ සංවිධායකවරුන් කටයුතු යොදා තිබේ.
‘සංචාරක උදාව 2020’ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමෙන්, රටේ සංචාරක ක්ෂේත්රය මගින් දීපව්‍යප්තව පිරිනමනු ලබන සේවාවන් මොනවාද යන්න දැනගැනීම සඳහා ජනතාවට මහඟු අවස්ථාවක් ලැබෙනු ඇත.
Post a Comment