අනවසර විදුලි රැහැන් නිසා දකුණු පළාතේ විදුලි සැර වැදීම් මරණ වැඩිවේ


2019 වසරේදී විදුලිසැර වැදීම් හේතුවෙන් පුද්ගලයින් 103ක් මිය ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ 2019 විදුලි සැර වැදීම් මරණ වාර්තාව හෙලි කරනවා. 2018 වසරට සාපේක්ෂව එය සියයට 16ක වැඩවීමක්. මෙලෙස විදුලි සැර වැදීම් මරණ ඉහල යාම පාලනය සදහා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ආරක්ෂාව පිළිබද විශේෂ වැඩසටහන් මේ වසරේදී ක්‍රියාවට නගා තිබේ.

2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විදුලි සැර වැදීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් දකුණු පළාතෙන් වාර්තා වී ඇති අතර, අඩුම මරණ සංඛ්‍යාවක බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. එම පළාත් වලින් වාර්ථා වී ඇති මරණ සංඛ්‍යාව පිළිවලින් 30ක් හා 03 කි. පසුගිය වසර 5ක කාලය තුලදී ද මෙරට වැඩිම විදුලි සැර වැදීම්  මරණ දකුණු පළාතෙන් වාර්තා වී තිබේ.. එම මරණ සංඛ්‍යාව 97කි.

වගා ආරක්ෂාවට සහ වන සතුන් දඩයම සදහා අනවසර විදුලි රැහැන් ඇදීම විදුලි සැර වැදීම් මරණ සිදුවීමට බලපා ඇති ප්‍රධානතම හේතකි. , නිවසේ/රැකියා ස්ථානයේ අනාරක්ෂිත විදුලි ඇළුත්වැඩියා කටයුතු, විදුලි රැහැන් ආසන්නේ සිදුකරන අනාරක්ෂිත කටයුතුද විදුලි මරණ සඳහා හේතු වී තිබේ. 2019 සංඛ්‍යා අනුව වැඩි වශයෙන් විදුලි සැර වැදීම් මරණ වලට ගොදුරු වී ඇත්තේ පුරුෂ පක්ෂයයි. එය සියයට 88ක ප්‍රතිශතයකි. වයස් කාණ්ඩය අනුව  අවුරුදු 40 සහ 50 අතර පසුවන්නන් වැඩි වශයෙන් විදුලි සැර වැදීම් මරණ වලට ගොදුරු වී ඇත.

විදුලි සැර වැදීම් මරණ සම්බන්ධයෙන් වන අන්තර්ජාතික මිනුම් දණ්ඩට අනුව වසරක් තුලදී ජනගහනයෙන් මිලියන 01 කට විදුලි මරණ සිදු විය හැක්කේ 01 ක් පමණි. 2019 දී ශ්‍රී ලංකාවේ එම දර්ශකයේ අගය 05 ගුණයකින් පමණ ඉහල ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරක්ෂිත විදුලි භාවිතය ප්‍රවර්ධනය සදහා විවිධ රෙගුලාසි සහ නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාවට නගා ඇත.  ඒ හේතුවෙන් 2012 වසරේදී 180ක්ව පැවති විදුලි සැර වැදීම් මරණ ආසන්න වශයෙන් 100ක් පමණ දක්වා අඩුකර ගැනීමට හැකි වී ඇත. ජාත්‍යන්තර මට්ටම දක්වා විදුලි සැර වැදීම් මරණ අඩුකිරීම සදහා විදුලි ආරක්ෂාව සම්බන්ධයෙන් නව නියාමන පියවර මෙම වසරේදී ක්‍රියාවට නගනු ඇත.