ගීත නිර්මාණ වලට කර්තෘභාගය ගෙවීම මාර්තු 1 වෙනිදා සිට ඇරඹේ


මාර්තු 01වෙනි දා සිට ගීත නිර්මාණ සඳහා කර්තෘ භාගය ගෙවීමට කටයුතු කරන බවත් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (12) දින සියලු ම මාධ්‍ය ප්‍රධානීන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසුණු අවස්ථාවේදී පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘‘මේ කර්තෘභාගය ගැටලුව කාලයක් තිස්සේ ම යටපත් වෙමින් නැවත ත් ඉස්මතුවෙමින් පැවතුණා. මේ නිසා අහිංසක කලාකරුවන් රැසකට අසාධාරණකම් සිදු වුණා. ඔවුන් තමන්ගේ ජීවිතයේ අවසාන භාගයේ අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දුන්නා. තමන්ගේ ලෙඩට බෙහෙතක් ගන්න මුදල් හොයා ගන්න අමාරු තත්ත්වයකට පත් වුණා. මේ තත්ත්වය ඔබ සියලු දෙනා ම පිළිගනියි. ඒ නිසා අපි මේක මාර්තු පළවෙනිදා සිට ලබා දෙමු. බුද්ධිමය දේපළ පනත යටතේ ගීත ප්‍රචාරණය වීම සම්බන්ධ ව කර්තෘ භාගය ගෙවන්නට නීතියෙන් එකඟ වෙලා තිබෙනවා.

ඒවගේ ම මාධ්‍යෙව්දීන් සඳහා පොලී රහිත ණය ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමටත් වාහන ණය ලබාදීමටත් අපේක්ෂා කරනවා. ඒවගේ ම මාධ්‍යවේදීන් සඳහා නිවාස ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටි ස්ථානය මේ වනවිට පෞද්ගලික ආයතනකට පසුගිය රජය මඟින් ලබා දී තිබෙනවා. ඒක නැවත ලබාගෙන ඔබ මාධ්‍යෙව්දීන් වෙනුවෙන් නිවාස ලබා දීමට ද බලාලපොරොත්තු වෙනවා. මේ කටයුතු සම්බන්ධ ව මැතිවරණයෙන් පසු ව මුදල් වෙන්කොට ඉදිරි කටයුතු කරන්නට අපිට හැකි වේවි. මේ වනවිටත් පසුගිය රජය විසින් නොගෙවූ ණය රුපියල් මිලියන 300කට අධික ප්‍රමාණයක් කොන්ත්‍රාත්කරුවන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පවා දැන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි මැතිවරණයෙන් පසු ව මේ කටයුතු ක්‍රියාත්මක කරන්නට අපිට පුළුවන්.

ඒවගේ ම ජනසන්නිවේදනය පිළිබඳ වෙන ම විශ්විවද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කරන්නට කටයුතු කරනවා. ඒකට සුදුසු ම විශ්වවිද්‍යාලය ඔබ විසින් අප වෙත දැනුම් දෙන්න. එවිට අපිට පුළුවන් ඒ විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධ ව එම විශ්වවිද්‍යාල විද්‍යායතනය ආරම්භ කරන්නට. මේ අනුව උසස් පෙළ සමත් වීමෙන් පසු ජනමාධ්‍ය පිළිබඳ කැමැත්තක් දක්වන අයට හැකියාව තිබෙනවා මේ විශ්වවිද්‍යාල විද්‍යායතනයට ඇවිත් තමන්ට අවශ්‍ය පරිදි එක් අවුරුදු සහතිකපත්‍ර පාඨමාලාවක්, දෑවුරුදු ඩිප්ලෝමාවක් හෝ තුන් අවුරුදු උසස් ඩිප්ලෝමාවක් ලබා ගන්නට. උපාධිය දක්වා යාමට ඒ අනුව ඔවුන්ට හැකියාව තිබෙනවා. ඒක මෙරට ජනමාධ්‍ය සංවර්ධනයේ ලා සෘජු ව බලපායි. මේ විදියට ම සෞන්දර්ය විෂයයන්ට ත් සම්බන්ධ ව විශ්විවද්‍යාල විද්‍යායතන 10ක් රටපුරා පිහිටුවන්නට කටයුතු කරනවා.

ඒවගේ ම ජනමාධ්‍යෙව්දීන් සඳහා Press Club එකක් නැවත නිර්මාණය කරන්නට ත් අපි යෝජනා කරලා තිබෙනවා. ඒ සම්බන්ධ ව ජනමාධ්‍ය අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන්නට ඔබතුමන්ලා අතරින් කමිටුවක් පත් කරගන්න. එවිට අපට පුළුවන් ඒ කටයුත්ත ත් ඉක්මන් කරන්න.

එමෙන්ම මම කියන්න කැමතියි කිසි ම විදියක මාධ්‍ය වාරණයක් දාන්නට අමාත්‍යවරයා විදියට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මාධ්‍ය ආයතන විසින් අපි ස්වයං වාරණයක් දාගෙන කටයුතු කරමු. විශේෂයෙන් ම බුද්ධිමතුන්ගෙන් පැමිණිලි ලැබී තිබෙනවා සංස්කෘතික අපගමනයක් මේ වනවිට ඇතැම් මාධ්‍ය නිසා සිදුවෙනවා කියලා. ඒ නිසා ඒ පිළිබඳ ඔබේ කාරුණික අවධානය යොමු කරන්න. විදේශ ටෙලිනාට්‍ය, චිත්‍රපට ආදිය පිළිබඳ ප්‍රචාරණයේ දී ඒ පිළිබඳ සැලකිළිමත්වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මේ රටේ උසස් පෙළ සමත්වන සිසුන් සියලු දෙනාට ම උපාධිය දක්වා යන ගමන් මාර්ගය සාදා දීම සඳහා අපි කැපවෙලා මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඒක රටේ අනාගතයේ හැරවුම් ලක්ෂයක් වේවි. ඒ නිසා එවන් ජාතික කටයුත්තක් වෙනුවෙන් ඔබ ආයතනවල සහයෝගය ලබා දෙයි කියා මා විශ්වාස කරනවා.‘‘ යනුවෙන් ද පැවසී ය.