කර්තෘභාගය මාර්තු 1 වෙනිදා සිට




වසර 40කට අධික කාලයක් පුරා මෙරට කලා ශිල්පීන් මුහුණදෙමින් සිටි දැවැන්ත අර්බුදයක්ව පැවති  බුද්ධිමය දේපළ නීතිය යටතේ ගීත රචකයින්ට, ගායන ශිල්පීන්ට හා සංගීත ශිල්පීන්ට ලැබිය යුතු කර්තෘභාගය ගෙවීම එළඹෙන මාර්තු පළමුවෙනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) දිනයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.  

වයස්ගතවීමත් සමග කලා ශිල්පීන්ට කිසිදු විශ්‍රාම වැටුපක් හිමිනොවන අතර රජයේ ආදායම් නොලැබීමත් සමග ඔවුන්ගේ ආර්ථික ශක්තිය ද ගිලිහී යන බවත් බුද්ධිමය දේපළ නීතිය අනුව ඒ නීතිය ක්‍රියාත්මක වීමේ අයිතිය හිමිවන බවද එතුමා පෙන්වාදුන්නේය.

අලෙවි සංවර්ධන පාරිභෝගික ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේදී කලා ශිල්පීන්ට කර්තෘභාගය ලබාදීමට තමන් උත්සහ දැරූ බවත් මෑතකදී ඔස්කා සංවිධානය සියළුම කලාකරුවන් සමග පැමිණ යළි මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවත් මාධ්‍ය ආයතන විසින් කර්තෘභාගය ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා පැවසුවේය.

මේ අනුව ගුවන්විදුලියෙන් ගීතයක් ප්‍රචාරය වන අවස්ථාවේදී එක් වරකට රු. 30 ක මුදලක් ගෙවීමට ද එම මුදල ගායන ශිල්පියා, ගී පද රචකයා හා සංගීත නිර්මාණ ශිල්පියා අතර රුපියල් 9 බැගින් කොටසක් තුනකට බෙදෙන බව ද එතුමා පෙන්වාදුන්නේය. අනෙක් රුපියල් 3 ක මුදල මෙම ගීත ප්‍රචාරය වීම පරිගණක ආශ්‍රයෙන් අධීක්ෂණය කරන ඔස්කා පදනමේ මෙහෙයුම් කටයුතු සඳහා ගෙවනු ලබයි. 

ගීතයක් ප්‍රචාරය වීමේදී රු. 100 ක මුදලක් ගෙවීමට රූපවාහිනී මාධ්‍ය එකඟවී ඇති බවත් මාධ්‍ය නාලිකාවලට අපහසුතා පවතින බැවින් දෙපාර්ශ්වය අතර එකඟතාවයෙන් ගුවන්විදුලියෙන් රු. 20ක මුදලක් ද රූපවාහිනියෙන් රු. 100ක මුදලක් ද ලෙස මාර්තු මාසයේ පළමුවැනිදා සිට ගෙවීමට සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා කලා ශිල්පීන්ගේ හමුවේදී ඊයේ දින එකඟතාවක් ඇතිවූ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය.