“New Ink” - ජනවාරිය නැවුම් කරන්නට සාහිත්‍යය



2019 වසරේදී ප්‍රකාශයට පත්කෙරුණු ශ්‍රී ලාංකික ඉංග්‍රීසි සාහිත්‍යය කේන්ද්‍රකොටගත්, සාහිත්‍යයේ හා කලාවේ වෙනත් කාලීන සාකච්ඡා හා මතවාද එක්තැන් කෙරෙන “New Ink” සාහිත්‍ය සැසිය ජනවාරි 19 වන දින කොළඹ 8, කිතුල්වත්ත පාරේ ශ්‍රී ලංකා කාන්තා විද්‍යාර්ථීන්ගේ සම්මේලන (Sri Lanka Federation of University Women – SLFUW) ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කාව්‍ය හා ප්‍රබන්ධ ආශ්‍රිත ඉදිරිපත්කිරීම්, කලාව හා සබැඳි සාකච්ඡාවන් මෙන්ම මෙරට ලේඛන ක්ෂේත්‍රයේ කීර්තිමත් ලේඛකයන් වූ මෑතකදී වියෝවට පත් ජීන් අරසනායගම් හා කාර්ල් මලර් යන ලේඛකයන් ස්මරණය කෙරෙන වැඩසටහනකින්ද යුතුව සැසිවාර හතකින්  “New Ink” සමන්විත වේ. ජීන් අරසනායගම් නමට පිදෙන, ලේඛකයින් විසිදෙනෙකුගේ නිර්මාණ ඇතුලත් කාව්‍ය සංග්‍රහයක් ද මෙදින එලිදැක්වීමට නියමිතය.

වැඩසටහනට සම්බන්ධ ප්‍රකට හා නැගීඑන ලේඛක-ලේඛිකාවන් අතර පසුගිය වර්ෂය තුල නව නිර්මාණ ඉදිරිපත් කරමින් පාඨක පරිකල්පනය ආමන්ත්‍රණය කල අයතුරෙයි සාන්තන්, මන්ඩුලී මෙන්ඩිස්, ඇන්ඩෲ ෆිදෙල් ෆර්නැන්ඩෝ, චතුෂ්කි ජයසිංහ, ලවණ්‍යා විජේසේකර, ඩිලන්ත ගුණවර්ධන, ඩිචෙන් යොසෙල් චෝඩන් මෙන්ම සෙනීෆා සෙනීර් ද ඇතුළත් ය. 

ප්‍රබන්ධය හා මතක සැමරුම් ආශ්‍රිත සාහිත්‍යකරණය පිළිබඳ සැසියට ලේඛකයින් වන විසාකේස චන්ද්‍රසේකරම්, රතිකා පද්මනාදන්, සහ චිරන්ති රාජපක්ෂ සිය දායකත්වය ලබාදීමට නියමිතය. 

සිනමා නිර්මාණකරුවන් වන පරාක්‍රම ජයසිංහ, විෂ්ණු වාසු සහ රොෂාන් එඩ්වඩ් අදහස් දක්වන වත්මන් සිනමාවේ අර්බුදයන් හසුකරගන්නට හැඩගැසුනු සැසියකින්ද වැඩසටහන සමන්විත වේ. ජීන් අරසනායගම් හා කාර්ල් මලර් සැමරුමට ශ්‍රී ලංකා සාහිත්‍යය ගැන පර්යේෂණවල නිරතවන විද්‍යාර්ථීන් දෙදෙනෙකුවන හර්ෂණ රඹුක්වැල්ල හා ක්‍රිස්ටල් බේන්ස් දායකත්වය සපයයි.  

නව වර්ෂයට අත්පොත් තැබීමක් ලෙස අවසන් සංස්කරණ අවස්ථාවේ පවතින, ඉදිරියේදී ප්‍රකාශනය කිරීමට නියමිත රුචිනි අභයකෝන්, ෂෙස්මිනා කුට්ටිලාන් සහ ටිනාස් අමිත්ගේ සාහිත්‍ය පිටපත් තුනක් ද “New Ink” හිදි ඇගයීමට භාජනය වේ. 

සාහිත්‍යකාමී සහෘදයන් හා මිතුරන් වෙනුවෙන් වෙන්වුණු අවකාශයක් ලෙස “New Ink” හැදින්විය හැක. ආයතන රාමුවකින් පිට, ස්වාධීනව සංවිධානය කෙරෙන අතර නැගී එන මෙන්ම ප්‍රකට සාහිත්‍යකරුවන් සමූහයක් සමග දිනක සංවාදයකට සහභාගි වන්නට හිතැති සැමට සමසිතින් කෙරෙන ආරාධනයකට පහත මේ ඔස්සේ  පිවිසිය හැක.