මේ ඇරඹුණේ සමාජවාදී විප්ලවයේ දශකයද?

විකිලීක්ස් ආරම්භක ජුලියන් අසාන්ජ් හා එක්සත් ජනපදයේ යුද අපරාධ තොරතුරු හෙලි කල චෙල්සි මැනිං වෙත සලකනු ලබන බිහිසුනු ආකාරය මඟින් සමස්ත ධනේශ්වර දේශපාලන ස්ථාපිතය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කෙරේ දක්වන ආකල්පය පිඬු කොට දැක්වේ. 

ඩේවිඩ් නෝර්ත් හා ජෝසෆ් කිෂෝර්

නව වසරින් පටන්ගන්නා දශකය, උග්‍රවන පන්ති අරගලයේ හා ලෝක සමාජවාදී විප්ලවයේ අවධිය වනු ඇත.

නව වසර එලැඹීම මඟින්, තීව්‍ර වන පන්ති අරගලයේ හා ලෝක සමාජවාදී විප්ලවයේ ආරම්භය සනිටුහන් කෙරේ. අනාගතයේ කිසියම් දිනෙක, විසි එක් වන සියවසේ මහජන නැඟිටීම් ගැන ලියන වියත් ඉතිහාසඥයන්, ලෝක ගෝලය සිසාරමින් කඩා වැදීමට නියමිත වූ විප්ලවවාදී කුනාටුව පිලිබඳව, 2020 වසර එලැඹෙන විට පල කෙරී තුබූ “නිසැක”‍ ඇඟවීම් සියල්ල සම්බන්ධව ගනන් ගනු නියතය. කරුනු, ලිපි ලේඛන, ප්‍රස්තාර, වෙබ් අඩවි හා සමාජ ජාලවල පලකිරීම්, සහ අනෙකුත් ආකාරයන්හි වටිනා සංඛ්‍යා තොරතුරු අතැති ශාස්ත්‍රාලිකයන්, 2010න් ඇරඹි දශකය ලෝක ධනේශ්වර ක්‍රමයේ අපාලිත ආර්ථික, සාමාජයීය හා දේශපාලන අර්බුදයක් විසින් සංලක්ෂිත කාලපරිච්ඡේදයක් ලෙස විස්තර කරනු ඇත.


ශත වර්ෂයේ තුන් වැනි දශකය ආරම්භයේ දී, කාල් මාක්ස් විසින් න්‍යායිකව පෙරදක්නා ලද පහත දැක්වෙන තතු කරා ඉතිහාසය ඉතා නිරවද්‍ය ලෙස එලැඹ පැවැති බව ඔවුන් සටහන් කරනු ඇත: “‍සිය වර්ධනයේ නිශ්චිත අදියරක දී සමාජයේ වෛෂයික නිෂ්පාදන බලවේග, ඒවා එතෙක් සේවය සලසමින් සිටි පවතින නිෂ්පාදන සම්බන්ධතා සමඟ - නැතහොත්, එහිම නෛතික ප්‍රකාශනය වන දේපල සම්බන්ධතා සමඟ - ගැටුමට එලැඹෙයි. එම සබඳතා නිෂ්පාදන බලවේගයන්හි වර්ධනයේ රූපාකාරයන්හි සිට ඒවායේ විලංගු බවට පරිවර්තනය වේ. එවිට සමාජ විප්ලවයේ අවධිය ආරම්භ වෙයි. ආර්ථිකයේ පදනමේ වෙනස්කම් ඇතිවීමත් සමඟ අතිමහත් සමස්ත උපරිව්‍යුහයම අඩු වැඩි වශයෙන් ශීඝ්‍ර ව පරිවර්තනය වෙයි.”‍

ඇත්තෙන්ම පසුගිය දස වසරේ ප්‍රමුඛ ලක්ෂන කවරේද?

කෙලවරක් නැති මිලිටරි ගැටුම් සම්මතය බවට පත්වීම හා න්‍යෂ්ටික ලෝක යුද්ධයක වර්ධනය වෙමින් පවත්නා අනතුර

පසුගිය දශකය තුල එක්සත් ජනපදය යුද නොවැදුනු එක් දිනක් හෝ නොවීය. ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුද මෙහෙයුම් දිගටම පවත්වා ගෙන යාමෙන් නොනැවතී, සිරියාව, ලිබියාව, යේමනය හා යුක්රේනය තුල නව මැදිහත්වීම් සිදු කෙරිනි. 2020 යන්තමින් ආරම්භ වූවා පමනි; ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අන පරිදි ඉරානයේ මේජර් ජනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනය කෙරින. ගනනය කොට නිම කල නොහැකි තරමේ ප්‍රතිවිපාක දනවන පරිපූර්න යුද්ධයක් එක්සත් ජනපදය හා ඉරානය අතර ඇතිවීමේ අනතුර මේ මොහොතේ පවා පවතී. තවත් ඉලක්කගත ඝාතනයකට ඇමරිකානු ජනාධිපතිවරයෙකු සම්බන්ධ වී සිටීම හා ඉන් පසුව සිදු කෙරුනු ලේ කුපිත කරන පුරසාරම් දෙඩීම, සමස්ත පාලක ප්‍රභූව ඇද වැටී ඇති ව්‍යාකූලත්වය වර්ධනය වී ඇති ගැඹුර පිලිබඳව සාක්ෂ්‍ය දරයි.

තවද, 2018 දී නව මූලෝපායික පිලිගැනීමක් කරා හැරීමෙන්, එක්සත් ජනපදයේ යුද මෙහෙයුම් අතිමහත් ලෙස වැඩි කෙරෙන බව සංඥා කෙරේ. නව මූලෝපාය පිලිබඳව නිවේදනය කරමින් එවකට ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් මෙසේ ප්‍රකාශ කලේය: “අද දවසේ අප නියැලී සිටින ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් අපි දිගටම පවත්වා ගෙන යන්නෙමු; එහෙත් දැන් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක අංශවල ප්‍රමුඛ අවධානය යොමු වී ඇත්තේ ත්‍රස්තවාදය කෙරේ නොව, මහා බල තරඟයක් කෙරේ ය.”‍ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”‍ ලෙස ඉහත දී හඳුන්වා දෙනු ලැබූ දෙයෙහි ආවශ්‍යක අරමුන වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අධිපති තත්ත්වය රැක ගැනීමට ප්‍රයත්න දැරීම බව නව මතවාදය විසින් හෙලිදරව් කෙරී ඇත.

ඒ සඳහා දැරිය යුතු මූල්‍ය පිරිවැය හා මිනිස් ජීවිතවලින් ගෙවීමට සිදුවන වන්දිය කවරක් හෝ වේවා, ඒ සියල්ල දරා මෙම ආධිපත්‍යය පවත්වා ගෙන යාමට එක්සත් ජනපදය අධිෂ්ඨාන කොට ගෙන සිටී. මූලෝපායික අධ්‍යයනයන් සඳහා වූ ජාත්‍යන්තර ආයතනය (අයිඅයිඑස්එස්) මෑතකදී නිකුත් කල එහි ‘මූලෝපායික සමීක්ෂනය‘ (Strategic Survey) ප්‍රකාශනයේ මෙසේ සඳහන් කරයි: “‍එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, ස්වේච්ඡාවෙන් වේවා, දෙගිඩියාවෙන් වේවා, නැතහොත් කිසියම් ආකාරයක යුද ගැටුමකින් පසු වේවා, මොනයම් හෝ මූලෝපායික යෂ්ටියක් චීනය අතට දීමට ඔවුන් සූදානම් දැයි සිතිය නොහැක.”‍

පසුගිය දශකය තුල සියලු‍ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවත්තු, ලෝක යුද්ධය සහ න්‍යෂ්ටික ගැටුමක් සඳහා සිය සූදානම උත්සන්න කලෝය. 2019 දී ට්‍රම්ප් පාලනය විසින් ඩිමොක්‍රටික් පක්ෂයේ සහාය ලබමින් සම්මත කර ගැනුනු ඩොලර් ට්‍රිලියනයක අයවැයකරය වූ කලී යුද අයවැයකි. ජර්මනිය, ප්‍රන්සය, එක්සත් රාජධානිය හා සියලු‍ අධිරාජ්‍යවාදී රටවල් සිය හමුදා සන්නද්ධ කරමින් සිටිති. රුසියාවේ හා චීනයේ පාලක ප්‍රභූන් ද ඇතුලු‍ව අධිරාජ්‍යවාදයේ ඉලක්ක බවට පත් ව සිටින්නෝ, යුද්ධ තර්ජන හා කිසියම් ආකාරයක එකඟත්වයක් ඇතිකර ගැනීමේ මංමුලාසහගත ප්‍රයත්න අතර මාරුවෙන් මාරුවට දෝලනය වෙමින් සිටිති.

තවත් ලෝක ගෝලීය ගැටුමක් ඇති වීම වලකාගනු පිනිස, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ගොඩනඟාගත් ආයතන නිෂ්ක්‍රිය වී ගොසිනි. Strategic Survey (ස්ට්‍රැටජික් සර්වේ)හි මෙසේ සඳහන් වේ:

2018 - 19 වසරවල ප්‍රවනතා සියල්ල විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ජාත්‍යන්තර සමාජය කැබිලි වලට කැඩී යාමයි. ‘බල තුලනය’ හෝ ‘ජාත්‍යන්තර නීති මත පදනම් වූ පාලනය‘ තවදුරටත් අනුක්‍රමය ඇති කිරීමේ මූලධර්ම ලෙස ක්‍රියා නොකරයි. ජාත්‍යන්තර ආයතන කොන් කර පසෙකට දමා ඇත. රාජ්‍ය තාන්ත්‍රික චර්යාවන් ලෙස රැස්වීම් පැවැත්වෙන නමුත්, එකිනෙක හා තරඟ වැදී සිටින ජාතික ප්‍රයත්නයන්හි ආයාසයන්, අන්‍යයන් සමඟ සමායෝජනය කෙරෙන්නේ ඉතා කලාතුරකින් පමනෙකි; ඊටත් වඩා - සහ බොහෝ විට, ඒවා ක්‍රියාත්මක කිරීම් වශයෙන් හා ප්‍රතිවිපාක දැනවීම් වශයෙන් යන දෙආකාරයෙන්ම අස්ථිරය.

“‍ගෝලීය නීති මත පදනම් වූ පර්යායේ”‍ - එනම්, යමෙකු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අභියෝග කල නොහැකි ආධිපත්‍යය මත රඳා පැවතීමේ - අවසානය ලඟා වීමෙන්, යුද්ධයට මඟ පාදන දේශපාලන තර්කනයක දිග හැරීමට ආරම්භක සංඥාව දී ඇත. ස්ට්‍රැටජික් සර්වේ අනතුරු හඟවන පරිදි: “‍නීතිය නිර්මානය කෙරෙන්නේ හා දරා සිටින්නේ දේශපාලනය විසිනි. නීතියට ගැටුම් සංසිඳවිය නොහැකි වූ කල ඒවා බේරුම් කිරීම සඳහා දේශපාලන විෂය ක්ෂේත්‍රය කරා හරවා යවනු ලැබේ.”‍ ස්ට්‍රැටජික් සර්වේ මෙහිදී සඳහන් කරන “විෂය ක්ෂේත්‍රය”‍ වටහා ගැනීමට නම් යමෙකු, යුද්ධය යනු අනෙකුත් විධිවලින් කර ගෙන යනු ලබන දේශපාලනයකැයි හැඳින්වූ ක්ලෝසෙවිට්ස්ගේ යුද්ධය පිලිබඳ ප්‍රකට අර්ථකථනය මතකයට නඟා ගත යුතුය.

තවද, අද්‍යතන ලෝක යුද්ධයක් අවශ්‍යයෙන්ම වෙලී ඇත්තේ කුමක් සමඟ ද? න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ නව සැලසුම් කෙරේ ස්ට්‍රැටජික් සර්වේ අවධානය යොමු කරවයි. “‍මේ අතර එක්සත් ජනපදය හා රුසියාව, තම අවි ගබඩා නවීකරනය කරමින් සහ ඒවා භාවිතා කිරීමට ඉඩ ප්‍රස්තා සැපයෙන පරිදි සිය මතවාදයන් වෙනස් කරමින් සිටින අතර, කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව හා පකිස්ථානය අතර වන ගැටුම න්‍යෂ්ටික අවි භාවිතය සඳහා අවශ්‍ය ගිනි පුපුර සැපයීමේ විභවයෙන් යුතුව, ජ්වලනාංකයට සමීප වූ උෂ්නත්වයක පැසෙමින් පවතී.”‍ උපායාත්මක න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සාධ්‍ය විකල්පයකැයි ප්‍රතිපත්ති සම්පාදකයන් අතර වර්ධනය වෙමින් පවතින ඒත්තු යාම, ඔවුන් අතර පැතිර පවත්නා සිහිවිකල්බවේ අද්දරටම සේන්දු වී ඇති ඔලමොට්ටලකම පෙන්නුම් කරන්නකි. ස්ට්‍රැටජික් සර්වේ මෙසේ ලියයි:

සාධාරන නිසැක බවකින් යුතුව කිව හැක්කේ, කලාපීය න්‍යෂ්ටික ප්‍රහාර හුවමාරුවකින්, ඇතැම් තතු යටතේ, කටුක ලෝක ගෝලීය පාරිසරික බලපෑම් ඇති කෙරෙනු ඇති බවයි. එහෙත් වෙනත් තතු යටතේ බලපෑම් අවම විය හැක. 

මනුෂ්‍ය වර්ගයා වැනසී යාමේ තර්ජනය ගෙන එන තුන්වැනි ලෝක යුද්ධයක් දෙසට වන ධාවනය, මානවවාදී ආයාචනයන් මඟින් නැවැත්විය හැකි නොවේ. යුද්ධ පැන නැගෙන්නේ, ධනේශ්වර ක්‍රමයේ අරාජකත්වයෙන් සහ ජාතික-රාජ්‍ය පර්යායේ යල් පැන ගිය ස්වභාවයෙනි. එබැවින් එය නැවැත්විය හැක්කේ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ලෝක ගෝලීය අරගලය හරහා පමනෙකි.

ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම

පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන්ගේ ලෝක පරිමාන බිඳවැටීමෙහි ප්‍රභවයන් ලෙස පවතින්නේ පන්ති ආතතීන් ආන්තික ලෙස උග්‍රවීම හා අධිරාජ්‍යවාදයේ ගතිකයයි. පලමුවන ලෝක යුද්ධය මධ්‍යයේ ලෙනින් ලියූ පරිදි: “‍අධිරාජ්‍යවාදය යනු; සෑම තැන්හිදී ම නිදහස සඳහා නොව ආධිපත්‍යය සඳහා පරිශ්‍රම දැරීම හඳුන්වා දෙන, මූල්‍ය ප්‍රාග්ධනයේ හා ඒකාධිකාරයන්හි යුගයයි. දේශපාලන ක්‍රමය කුමක් වුව ද සෑම තන්හිම මෙම ප්‍රවනතාවල ප්‍රතිඵලය වන්නේ, ප්‍රතිගාමිත්වය හා එම ක්ෂේත්‍රයේ ප්‍රතිවිරුද්ධතාවන්හි තීව්‍රවීමයි”‍

පසුගිය දශකය තුල පාලක ප්‍රභූන් ඒකාධිපතිවාදී හා ෆැසිස්ට්වාදී පාලන විධික්‍රම කරා හැරීම තුල ලෙනින්ගේ විශ්ලේෂනය සනාථ වී ඇත. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි, පිලිපීනයේ රොඞ්රිගෝ දුතර්තේ, ඊස්රායලයේ බෙන්ජමින් නෙතන්යාහු, ඊජිප්තුවේ අබ්දෙල් ෆටා අල්-සිසි, බ්‍රසීලයේ ජයිර් බොල්සොනාරෝ, එක්සත් ජනපදයේ ඩොනල්ඞ් ට්‍රම්ප් හා එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් වැනි සාපරාධී හා මනෝව්‍යාධික පවා වන පෞරුෂයන් බලය කරා නැඟීම වූ කලී, සමස්ත ධනේශ්වර ක්‍රමයේ ක්‍රමානුකූල අර්බුදය පිලිබඳ රෝග නිමිති පල කිරීමකි.

තුන්වැනි රීකය බිඳ වැටීමෙන් අනතුරුව හැත්තෑ පස් වසරක් ගත වීමෙන් පසු ෆැසිස්ට්වාදය ජර්මනිය තුලට පෙරලා පැමිනෙමින් සිටී. නව නාසීන්ට සුරලොවක් වන අල්ටර්නේටිව් ෆර් ඩොෂ්ලන්ඞ් (ජර්මනිය සඳහා විකල්පය) සංවිධානය පසුගිය දශකය තුල ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස ඉස්මතු විය. මහා සන්ධානයේ ආන්ඩුව ද, දූෂිත ජනමාධ්‍ය ද, නිසි ප්‍රතිවිපාක නොලබා හිට්ලර්ගේ තන්ත්‍රයේ අපරාධවලට සුදුහුනු ආලේප කරන ප්‍රතිගාමී ශාස්ත්‍රාලිකයන් ද විසින් එහි නැඟීමට පහසුකම් සලසන ලදී. ඊට සමරූපීව, 1930 හා 1940 ගනන්වල ෆැසිස්ට් නායකයන් - ප්‍රන්සයේ පෙටේන්, ඉතාලියේ මුසෝලිනි, හංගේරියාවේ හෝර්ති හා ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝ - සාංකාකූලව සිහිපත් කෙරෙන සිද්ධි දාමයන් මුලු‍ යුරෝපාකරය පුරාම ක්‍රියාත්මක වෙමින් පවතී.

යුදෙව්-විරෝධී ප්‍රචන්ඩත්වයේ පුනරුත්ථානයක් ද, ඉස්ලාම්භීතිකාව සහ ජාත්‍යෝත්තමවාදය හා වර්ගවාදය වගා දිගා කිරීම් ද මෙම දශකය විසින් දක්නා ලදී. මධ්‍යම හා දකුනු ඇමරිකාවෙන් පලා එන සරනාගතයන් සිරගත කිරීමට ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාවේ ද, යුරෝපා සංගමයේ සංක්‍රමන-විරෝධී පිලිවෙතේ ඉදිරි පෙල ලෙස යුරෝපයේ හා උතුරු අප්‍රිකාවේ ද රැඳවුම් කඳවුරු ඉදි කරන ලදී.

ධනේශ්වර පක්ෂ තුලින් සොයා ගත හැකි ප්‍රගතිශීලී ප්‍රවනතාවයක් නැත. ෆැසිස්ට්වාදී ජනාධිපතිවරයෙකුට මුහුන දී සිටින අවස්ථාවේ පවා ඩිමොක්‍රටික් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම මත පදනම් ව, විරුද්ධත්වයක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි. රජවාසලේ කුමන්ත්‍රනයක විධික්‍රම යොදා ගනිමින් දෝෂාභියෝගයකින් ට්‍රම්ප් ඉවත් කිරීමට ඩිමොක්‍රටිකයන් යත්න දරන්නේ, ඔවුන් දකින පරිදි, රුසියාවට එරෙහි ව්‍යාපාරයට හා යුක්‍රේනයේ තමන්ගේ රූකඩයින් යොදවා ගත් යුද්ධයට ට්‍රම්ප් යටින් වල කැපූ නිසාය.

විකිලීක්ස් ආරම්භක ජුලියන් අසාන්ජ් හා එක්සත් ජනපදයේ යුද අපරාධ තොරතුරු හෙලි කල චෙල්සි මැනිං වෙත සලකනු ලබන බිහිසුනු ආකාරය මඟින් සමස්ත ධනේශ්වර දේශපාලන ස්ථාපිතය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කෙරේ දක්වන ආකල්පය පිඬු කොට දැක්වේ. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපක්ෂයේම සහයෝගයෙන් අසාන්ජ්, ලන්ඩනයේ බෙල්මාර්ෂ් සිපිරි ගෙයි දිගටම සිර කොට තබා ඇත්තේ, ඔහු එක්සත් ජනපදයට උදර්පනය කරනු පිනිස නියෝග ලැබෙන තෙක්ය. වසරකට ආසන්න කාලයක් පුරා මැනිං සිර කොට ගෙන සිටින්නේ අසාන්ජ් වෙත තවත් චෝදනා එල්ල කරනු පිනිස කැඳවනු ලැබූ ජූරි සභාව හමුවේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.

අසාන්ජ් හා මැනිංට දෙන වධ හිංසාවල අරමුන, ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කොට ඇති මාධ්‍යකලාරූපී කටයුතුවල නියැලීම අපරාධයක් බවට පත් කිරීමයි. ඒ වූ කලී, අන්තර්ජාල වාරන ව්‍යාපාරය ද, ඉන්දියාවේ මරුටි-සුසුකි කම්කරුවන් හා පන්ති-යුද්ධයේ අනෙකුත් සිරකරුවන් සිරගත කිරීම් ද ඇතුලත් විසම්මුතිය මැඬලීමේ පුලු‍ල් ව්‍යාපාරයක කොටසකි.

දැවැන්ත පිරිවැයක් දැරිය යුතු හා පෙර නො ඇසූ විරූ මට්ටම්වලින් නය සමුච්චිතවීම අවශ්‍ය කෙරෙන යුද සූදානම ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු‍ පන නල ඇද ගනිමින් එහි හුස්ම හිර කරයි. අවසාන විග්‍රහයේදී යුද්ධයේ වියදම් පැටවිය යුත්තේ ලෝක වැඩකරන ජනයාගේ කර මතය. මෙම බර පැටවීම්වලට, දැනටමත් දශක ගනනාවක කැප කිරීම්වලින් ඇවිස්සී සිටින ජනකායකගේ ප්‍රතිරෝධයට මුහුන දීමට සිදු වනු ඇත. පාලක ප්‍රභූන්ගේ ප්‍රතිචාරය වනු ඇත්තේ, මහජන විසම්මුතියේ සියලු‍ ආකාරයන් මැඬලීමට දැරෙන ඔවුන්ගේ ප්‍රයත්නයන් තීව්‍ර කිරීමයි.

පරිසර පරිහානිය

පසුගිය දශකය සනිටුහන් කෙරුනේ අඛන්ඩ හා වඩවඩාත් වැඩි වන ශීඝ්‍රතාවයකින් සිදු කෙරුනු පාරිසරික විනාශයකිනි. ලෝක පරිමානයෙන් සිදු කෙරෙන හදිසි හා දුරදිග යන ක්‍රියාකාරීත්වයකින් තොරව, ගෝලීය උනුසුම වැඩි වීමේ බලපෑම් අතිශය ප්‍රබල ද, ආපසු හැරවිය නොහැකි ද වනු ඇතැයි විද්‍යාඥයෝ කවර දිනෙක හෝ සිදු කෙරුනු තියුනුම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තාහ. පසුගිය වසරේ අවසන් දිනවල ඔස්ට්‍රේලියාව ගිල ගනිමින් පැතිර ගිය මාරක ලැව් ගිනි, හුදෙක් දේශගුන විපර්යාසයන්හි නවතම බිහිසුනු ප්‍රතිවිපාකයෝ වෙති.

පසුගිය නොවැම්බරයේ BioScience (බයෝ සයන්ස්) ජර්නලයේ විද්‍යාඥයන් 11,000 ක අත්සනින් ප්‍රසිද්ධ කල නිවේදනයකින් අනතුරු හැඟවූයේ, “පෘථිවිය කාලගුන හදිසි තත්වයකට මුහුන දී සිටින බව”‍යි. එය සඳහන් කලේ, ගෝලීය කාලගුන කතිකා පැවැති දශක හතරක කාල පරිච්ඡේදය පුරා, “‍ව්‍යතිරේක ස්වල්පයක් හැරුනු කොට අප සාමාන්‍ය ආකාරයෙන් ව්‍යාපාරික කටයුතු සිදු කොට ඇති”‍ බව සහ “‍මෙම දුර්දශාවට ආමන්ත්‍රනය කිරීමට බොහෝ දුරටම අසමත් වී ඇති..”‍ බවයි.

කාලගුන අර්බුදය දැන් ආරම්භ වී ඇති අතර, බොහෝ විද්‍යාඥයන් අපේක්ෂා කල වේගයට වඩා වැඩි වේගයකින් එහි ශීඝ්‍රතාව වැඩි වෙමින් පවතී. පෙර අපේක්ෂා කල මට්ටමට වඩා බිහිසුනු වන එය ස්වාභාවික පරිසර පද්ධතීන් හා මානව වර්ගයාගේ ඉරනමට තර්ජනය කරයි. .. ආපසු හැරවිය නොහැකිවීමේ විභවයකින් යුතු කාලගුන හෙලු‍ම් ලක්ෂ්‍යයන් ද, ‘ගිනිහල් පෘථිවිය’ක ව්‍යසනයකට මඟ පෑදිය හැකි, ප්‍රතිඵලය විසින් පෙරලා හේතුව පෝෂනය කෙරෙන ස්වභාව ධර්මයාගේ ප්‍රතිස්ථම්භනීය ප්‍රතිචාරයන් (Reinforcing Feedbacks) ද විශේෂයෙන්ම කනස්සල්ලට හේතුකාරක වන, මානව පාලනයෙන් බෙහෙවින් ඔබ්බේ පවතින ඒවා වෙති. පාරිසරික පද්ධතීන්, සමාජය හා ආර්ථිකයන් සැලකිය යුතු මට්ටමකින් කඩාකප්පල් කොට පෘථිවියේ විශාල පදාසයක් වාසයට නුසුදුසු ප්‍රදේශ බවට පත් කිරීමට මෙම කාලගුන දාම ප්‍රතික්‍රියා සමත්ය.

කෘෂිකාර්මික ප්‍රදේශ ගෝලීය උනුසුම වැඩි වීමේ බලපෑමට හසු වීමත් සමඟ, මේ වනවිටත් කුසගින්නෙන් පෙලෙන දශ ලක්ෂ 821 ක් ජනයා හාමතයට මුහුන දී සිටින බව පසුගිය වසරේ මුල් භාගයේ දී එක්සත් ජාතීන්ගේ කාලගුන විපර්යාස පිලිබඳ අන්තර්-රාජ්‍ය මන්ඩලය වාර්තා කලේය. දශ ලක්ෂ සිය ගනනක ජනයාට පිරිසිදු ජලය ලබා ගැනීමේ අවස්ථා අහිමිව යා හැකි අතර, තවත් බොහෝ දෙනා ගංවතුර, නියඟය හා චන්ඩ මාරුත ආදී වශයෙන් වූ වඩවඩාත් කඨෝර වන කාලගුන රටාවන්ගේ බලපෑමට හසු වනු ඇත.

දේශගුන විපර්යාස හා පාරිසරික පරිහානියේ අනෙකුත් විද්‍යමානවීම් යනු, පෞද්ගලික ධනය කෙලවරක් නැති ආකාරයෙන් එක්රැස්‌ කිරීම විනා, -සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා වන අවශ්‍යතාවය ද ඇතුලත් - සමාජ අවශ්‍යතාවයන්හි පදනම මත තාර්කික හා විද්‍යාත්මක ආකාරයකින් ගෝලීය නිෂ්පාදනය සංවිධානය කර ගැනීමට අසමත් සමාජ හා ආර්ථික ක්‍රමයක නිෂ්පාදිතයකි.

2008 බිඳවැටීමේ ප්‍රතිවිපාක හා ධනේශ්වර ක්‍රමයේ අර්බුදය

සමාජ හා දේශපාලන තතුවල අනෙකුත් සියලු‍ අංශවලට යටින් පවතින්නේ, 2008 ආර්ථික හා මූල්‍ය අර්බුදයෙන් ඉක්බිති පාලක පන්තිය විසින් ක්‍රියාවට නැංවුනු සියලු‍ පියවරවල නොවැලැක්විය හැකි හා අපේක්ෂිත ප්‍රතිවිපාකය වූ ආන්තික සමාජ අසමානතාවයේ මාරක වර්ධනයයි.

2010 දශකය උදාවීමේ අද්දර දී ඇති වූ මූල්‍ය අර්බුදයෙන් ඉක්බිතිව ලෝකයේ ආන්ඩු හා මහ බැංකු, මූල්‍ය සම්පාදනයේ සියලු‍ ඇබ ගලවා දැමීමට ක්‍රියා කලෝය. එක්සත් ජනපදය තුල බුෂ් පාලනය හා විශේෂයෙන්ම ඔබාමා පාලනය බැංකුවලට ඩොලර් බිලියන 700 ක සහතික ඇප නිකුත් කරමින් බැංකු ගලවා ගැනීමේ ක්‍රමවේදය සකසා ක්‍රියාවට ලූහ. ඊට පසුපසින් පැමිනියේ ඩොලර් ට්‍රිලියන ගනනක “‍ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ”‍ පියවරයන්ය, එනම් - මූල්‍ය ආයතන අත තුබූ නොවටනා වත්කම් හා සුරැකුම් පත් ෆෙඩරල් බැංකුව විසින් මිලදී ගනු ලැබීමයි.

එක රැයෙන් ඇමරිකානු රජයේ අයවැය හිඟය දෙගුන විය. 2008 නොවැම්බරයේ ඩොලර් ට්‍රිලියන 2 ට අඩුවෙන් පැවැති ෆෙඩරල් මහ බැංකුවේ වත්කම්, 2014 ඔක්තෝබරය වන විට ඩොලර් ට්‍රිලියන 4.5 දක්වා නැඟු‍නු අතර, අද ද එය ඩොලර් ට්‍රිලියන 4 කට වැඩි අගයක් ලෙස පවතී. 2019 අගභාගයේ ආරම්භ කෙරුනු මසකට ඩොලර් බිලියන 60 ක වත්කම් මිලදී ගැනීමේ නව වැඩ පිලිවෙල සමඟ මේ වසරේ මැද වන විට ශේෂ පත්‍රය පශ්චාත් බිඳවැටීම් කාලයේ පැවැති මට්ටම් ඉක්මවා යනු ඇතැයි අපේක්ෂිතය.

ට්‍රම්ප් යටතේ, දැවැන්ත ලෙස සමාගම් බදු කපාහැරීම් ද, පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට කෙරෙන ඉල්ලීම් ද සමඟ මෙම පිලිවෙත දිගටම පවත්වා ගෙන ගොස් ඇත. ජනවාරි 1 දින පල කෙරුනු ලිපියක (“2019 දී ප්‍රතිඵල ගෙන දුන් සරල ආයෝජන මූලෝපායයක්: ඕනෑම දෙයක් වුවත් මිල දී ගන්න”‍) නිව්යෝර්ක් ටයිම්ස් සඳහන් කරන පරිදි පසුගිය වසර තුල ආයෝජන වත්කම් සියල්ලෙහිම පාහේ වටිනාකම් තියුනු ලෙස ඉහල නැඟී ඇත. නස්ඩක් (Nasdaq) කොටස් වෙලඳ පොල සියයට 35කින් ඉහල නැඟු‍නු අතර, විශාල සමාගම් 500ක කොටස් වෙලඳපොලේ ක්‍රියාකාරිත්වයෙහි දර්ශකයක් වන (S&P) 500 දර්ශකය සියයට 29කින් නැඟී ගියේය. පාරිභෝගික භාන්ඩ සියයට 16ක ද, ඇමරිකානු සමාගම් බැඳුම්කර සියයට 15ක ද, ඇමරිකානු භාන්ඩාගාරය සියයට 7ක ද වර්ධනයන් දක්වා ඇත. “ඒ වූ කලී දශකයකට ආසන්න කාලයක් තුල නුදුටු විරූ පරිමානයක විශිෂ්ඨ වූත්, සියලු‍ අංශ අලලා ගත්තා වූත් සඵලවීමකි. ඊට හේතු වූ කරුන කුමක්ද? බොහෝ දුරටම ඊට හේතු වූයේ ක්ලාන්තය ඇති වන තරමේ ආපසු හැරීමක් සිදු කරමින්, ලාභ අනුපාත වැඩි කිරීමේ සැලසුම් සකස් කිරීමේ සිට ඒවා කපා දමා මූල්‍ය වෙලඳපොලට අලු‍තින් මුදල් පොම්ප කිරීමට ෆෙඩරල් මහ බැංකුව ගත් තීන්දුවයි.”‍

සියලු‍ ප්‍රමුඛ ධනේශ්වර බලවත්තු මීට සමාන පියවර අනුගමනය කලෝය. අසීමිත නයවර පවරා දීම හා මුදල් නෝට්ටු මුද්‍රනය කිරීමෙන් - අවසාන විග්‍රහයේ දී ප්‍රමානාත්මක ලිහිල් කිරීම සම්පාදනය යනු මෙයයි - මතුපිටට යටින් දිවෙන අර්බුදය තවත් තීව්‍ර කෙරින. තමා ගලවා ගැනීමට දැරෙන ප්‍රයත්නය තුල පාලක ප්‍රභූව, පරපෝෂිතතාව භක්තිමත්ව රැක ගනිමින් සමාජ අසමානතාවය නූතන ඉතිහාසය තුල කිසිදා නෑසූ මට්ටමකට උත්සන්න කලෝය.

වෙලඳපොලට අසීමිත මුදල් සම්භාරයක් හඳුන්වා දීමෙන් ප්‍රතිලාභ ලැබූ මූල්‍ය ප්‍රභූවේ වාසනාව පසුගිය දශකය තුල අජටාකාශය කරා ඉහල නැංවුනි. (ලෝක ජනගහනයෙන් සියයට 0.000006 ක් වූ) ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 500 දෙනා සතු වටිනාකම්වල මුලු‍ එකතුව ඩොලර් ට්‍රිලියන 5.9 කි. මෙය පසුගිය වසරේ පමනක්‌ ඩොලර් ට්‍රිලියන 1.2 ක ඉහල යාමකි. මෙම ඉහල යාම පමනක් ලෝකයේ ධනවත්ම රටවල් 15 හැර සෙසු රටවල් සියල්ලේ දල දේශීය නිෂ්පාදනයන්හි (එනම්, නිපදවන සියලු‍ භාන්ඩ හා සේවාවල මුලු‍ වටිනාකම්වල) එකතුවට වඩා වැඩිය. එක්සත් ජනපදය තුල ජනගහනයේ අඩු වත්කම් ඇති සියයට 64 ක ජනයා සතු මුලු‍ වත්කම්වලට වඩා වැඩි වත්කම් ප්‍රමානයක් ධනවත්ම පුද්ගලයන් 400 දෙනා සතුව ඇත. තවද, ජනගහනයෙන් ධනවත්ම සියයට 0.1 සතුව ඇති වත්කම් පංගුව, මහා අවපාතයට ආසන්න 1929 වසරේ සිට කවර දා හෝ ඔවුන් සතුව තුබූ වත්කම් පංගුවට වඩා වැඩි එකකි.

ලොව පුරාම කම්කරු ජනයා හා තරුනයන් පොර වැද සිටින සමාජ ව්‍යසනය, සමාගම් හා මූල්‍ය ප්‍රභූවේ වත්කම් ඒකරාශීවීම තහවුරු කරනු වස් යොදා ගන්නා ලද පිලිවෙත්වල ඍජු නිෂ්පාදිතයකි.

ඇමරිකානු කම්කරුවන් අතර ආයු අපේක්ෂාව පහල වැටීම, ලොව පුරාම කම්කරුවන්ගේ හා විශේෂයෙන්ම තරුනයන්ගේ මහා පරිමාන රැකියා වියුක්තිය, ග්‍රීසිය හා අනෙකුත් රටවල් විසින් පනවනු ලදුව ඇති අතිශය ප්‍රබල කප්පාදු පියවරයන්, සමාගම්වල ලාහ නඟා ලීම සඳහා සූරාකෑම තීව්‍ර කිරීම යන මේ සියල්ල පාලක ප්‍රභූන් විසින් අනුයන ලද පිලිවෙතේ ප්‍රතිවිපාකයන්ය.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය සහ ලෝක ගෝලීය පන්ති අරගලය
සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික කොන්දේසි මතු වී එන්නේ ලෝක ගෝලීය අර්බුදය තුලිනි. 2019 දී මෙක්සිකෝවේ, පුඑර්තෝ රිකෝවේ, ඉක්වදෝරයේ, කොලොම්බියාවේ, චිලීහි, ප්‍රන්සයේ, ස්පාඤ්ඤයේ, ඇල්ජීරියාවේ, බ්‍රිතාන්‍යයේ, ලෙබනනයේ, ඉරාකයේ, ඉරානයේ, සුඩානයේ, කෙන්යාවේ, දකුනු අප්‍රිකාවේ, ඉන්දියාවේ හා හොංකොංහි ආදී වශයෙන් ලෝක ගෝලයම සිසාරා මතුව ආ පෙලපාලි හා වර්ජන තුල, සමාජ විප්ලවය සම්ප්‍රාප්ත වීමේ පූර්ව සෙවනැලි දැනටමත් වැටී තිබේ. හතලිස් වසකට වැඩි කාලයක ඇවෑමෙන් මෝටර් රථ කම්කරුවන් දියත් කල ප්‍රථම ජාතික වර්ජනයේ සාක්ෂිකරුවා වූයේ, සමස්ත දේශපාලන ව්‍යුහයම පන්ති අරගලය මර්දනය කිරීමේ දිශාවට යොමු කොට ඇති එක්සත් ජනපදයයි.

එහෙත් පන්ති අරගලයේ ප්‍රමුඛ හා වඩාත්ම විප්ලවකාරී විශේෂාංගය වන්නේ, අද්‍යතන ධනේශ්වර ක්‍රමයේ ගෝලීය ස්වභාවය තුල මුල් බැස ඇති එහි ජාත්‍යන්තර ස්වභාවයයි. තවද, කම්කරු පන්තියේ ව්‍යාපාරය යනු වඩාත් තරුන පරපුරේ ව්‍යාපාරයක් වන අතර, එබැවින්, එය අනාගතය හැඩ ගස්වන ව්‍යාපාරයක් වෙයි.

ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි කොටසක් දැන් වයස අවුරුදු 30 ට අඩු ජනයාගෙන් සමන්විත වේ. ලෝකයේ වඩාත්ම වේගවත්ව වර්ධනය වන ප්‍රදේශවල; එනම්, උප - සහරානු අප්‍රිකාවේ, මැද පෙරදිග සහ, දකුනු හා ගිනිකොන දිග ආසියාවේ; මේ අනුපාතය සියයට 65 ක් ද ඉක්මවා යයි. සෑම මසකම ඉන්දියාව තුල දශ ලක්ෂයක් ජනයා 18 විය සපුරති. මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ දශ ලක්ෂ 27 ක් තරුන ජනයා එලැඹෙන පස් වසර තුල කම්කරු බලකායට එක්වන බවට තක්සේරු කෙරී ඇත.

1980 සිට 2010 දක්වා ලෝක ගෝලීය කාර්මික වර්ධනය බිලියන 1.2 ක් ජනයා කම්කරු පන්ති ශ්‍රේනිවලට එක් කල අතර, ඊලඟ දශකයේ තවත් මිලියන සිය ගනනක් එක් කලේය. මෙම බිලියන 1.2 න් මිලියන 600ක් කම්කරු පන්තියට ඇතුලු‍ වූයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවලිනි. ජාත්‍යන්තරව ගත් කල, ලෝක ශ්‍රම බලකායෙන් ගොවියන් ලෙස වර්ගීකරනය කල හැකි පිරිස 1991 දී පැවැති සියයට 44 මට්ටමේ සිට 2018 දී සියයට 28 ක් දක්වා පහල වැටී ඇත. උප සහරානු අප්‍රිකාවේ බිලියනයකට ආසන්න ජනයා එලැඹෙන දශකවල දී කම්කරු පන්තියට එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීනයේ පමනක් මිලියන 121 ක් ජනයා 2000ත් 2010ත් අතරතුර “ගොවිපලෙන් කම්හල කරා”‍ සංක්‍රමනය වූ අතර ඉනික්බිති දශකයේ තවත් දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා ඊට එක් වූහ.

කම්කරු ජනගහනයේ වර්ධනයක් ඇති වී තිබෙන්නේ හුදෙක් ආසියාවේ හා අප්‍රිකාවේ පමනක් නොවේ. දියුනු ධනේශ්වර රටවල් තුල ලතින් ඇමරිකාවේ සිට එක්සත් ජනපදය කරාත්, උතුරු අප්‍රිකාවේ හා මැද පෙරදිග සිට යුරෝපය කරාත් පැමිනි සංක්‍රමනික රැල්ල ඉහල විවිධත්වයෙන් යුතුව කම්කරු බලකායකට එක් වී ඇති අතර, ඉහතදී තමන් මධ්‍යම පන්තිය ලෙස සලකා ගත්තාවූ විශාල කොටස් නිර්ධනීකරනයට ලක්ව ඇත.

2010 සිට 2019 දක්වා ලෝකයේ නාගරික ජනගහනය බිලියනයකින් වැඩී ගියේ, ආර්ථික නිෂ්පාදනය ද අනතුරුදායක සාමාජයීය බොරු වැලි තලා ද යන දෙවර්ගයම එක් කොට තබා ඇති, අසමානතාවය දෛනික ජීවිතයේ දෘශ්‍යමාන සත්‍ය කරුනක් බවට පත්ව ඇති, “මහා නගර”‍වල අන්තර් සම්බන්ධිත ජාලයක් ඇති කරමිනි.

තවද මෙම කම්කරුවෝ ලෝක ඉතිහාසයේ කිසි දිනෙක නොවූ විරූ ආකාරයෙන් එකිනෙකා හා සම්බන්ධ වී ඇත්තාහ. විද්‍යාවේ, තාක්ෂනයේ හා සන්නිවේදනයේ අතිමහත් දියුනුව ද, අන් සියල්ලටමත් වඩා අන්තර් ජාලයේ නැඟීම හා ජංගම උපකරනවල ශීඝ්‍ර පැතිරී යාම ද හේතුවෙන්, රාජ්‍යයේ හා ඔත්තු සේවාවල හුදු හොරනෑ ලෙස ක්‍රියා කිරීමට වඩා වැඩි යමක් නොකරන ධනපති මාධ්‍යවල ව්‍යාජ තොරතුරු මඟ හැර යාමේ අවස්ථාව මහජනයාට හිමි වී ඇත. ලෝකයේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට, බිලියන 4.4 ක් ජනයාට, දැන් අන්තර්ජාලයට ප්‍රවිෂ්ටවීමේ පහසුකම් පවතී. සාමාන්‍ය පුද්ගලයෙක් සෑම දිනකම දෙපැයකට වැඩි කාලයක්, වැඩි වශයෙන්ම අතේ රැගෙන යන උපකරන භාවිතා කරමින්, සමාජ මාධ්‍යවල ගත කරයි.

කම්කරුවන්ට හා තරුනයන්ට දැන් තම විරෝධතා සහ ක්‍රියාකාරීත්වයන් ගෝලීය පරිමානයෙන් සමායෝජනය කර ගත හැකිය. කාලගුන විපර්යාසයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය තුලින්, ලොව පුරා අසමානතාවයට එරෙහි විරෝධයේ සංකේතයක් ලෙස “කහ බැනියම්”‍ ඉස්මතුවීම තුලින්, සහ එක්සත් ජනපදයේ හා මෙක්සිකෝවේ මෝටර් රථ කම්කරුවන්ගේ සහයෝගිතාව තුලින් මෙය ප්‍රකාශයට පත් වී ඇත.

මෙම වෛෂයික වෙනස්කම් විසින්, සමාජ අසමානතාවයේ ප්‍රධාන ප්‍රශ්නය මත, සමාජ විඥානයේ ප්‍රමුඛ පෙලේ වෙනස්කම් ඇති කෙරෙමින් පවතී. 2019 එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාව පැහැදිලි කරන පරිදි, සෑම රටකම පාහේ, වඩාත් වැඩි සමානතාවක් ඉල්ලා සිටින ජනයාගේ ප්‍රතිශතය 2000 න් ඇරැඹි දශකයේ සිට 2010 න් ඇරඹි දශකය වන විට සියයට 50 ක් දක්වා ප්‍රමානයකින් ඉහල ගොස් ඇත. වාර්තාව මෙසේ අනතුරු හඟවයි: “‍සුවපහසු ජීවිතයක් පිලිබඳ ආත්මීය සංජානනයන් තුල, අසමානතාවය පිලිබඳ ප්‍රත්‍යක්ෂයන් ඉහල යාම ද, වඩාත් වැඩි සමානතාවයක් සඳහා වන අභිරුචිය වර්ධනය වීම ද, ගෝලීය අසමානතාවයන් උත්සන්න වීම ද සමීක්ෂන මඟින් හෙලිදරව් වී ඇත. මේ සියලු‍ ප්‍රවනතා දීප්තිමත් රතු කොඩි ලෙස සැලකිය යුතුය”‍

විප්ලවවාදී නායකත්වයේ කාර්යභාරය
කම්කරු පන්තියේ වර්ධනය සහ ජාත්‍යන්තර පරිමානයකින් පන්ති අරගලය පැන නැඟීම විප්ලවය සඳහා වෛෂයික පදනම සපයයි. කෙසේවෙතත්, කම්කරුවන්ගේ ස්වයංසිද්ධ අරගල හා සමාජවාදය සඳහා ඔවුන්ගේ නෛසර්ගික පරිශ්‍රමයන් පමනක් ගත් කල, ඒවා අප්‍රමානවත්ය. පන්ති අරගලය සමාජවාදය සඳහා වන දැනුවත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම යනු දේශපාලන නායකත්වය පිලිබඳ ප්‍රශ්නයකි.

පසුගිය දශකය විප්ලවවාදී නායකත්වයේ තීරනාත්මක කාර්යභාරය නිශේධනීය ආකාරයෙන් පෙන්වා දුන් දේශපාලන අත්දැකීම් සම්භාරයක් සම්පාදනය කලේය. දශකය ආරම්භ වූයේ, එක්සත් ජනපද පිටුබලය ලද හොස්නි මුබාරක්ගේ ආඥාදායකත්වයට එරෙහිව ඊජිප්තු කම්කරුවන් හා තරුනයන් සිදු කල අනුස්මරනීය අරගලයක ආකෘතියෙන් යුත් වූ විප්ලවයකිනි. විප්ලවවාදී නායකත්වයක් නොපැවැති තතු තුල, සහ සුලු‍ ධනපති සංවිධාන විසින් හඳුන්වා දෙනු ලැබූ මංමුලාවේ ආධාරයෙන්, ජනයා පාලක පන්තියේ විවිධ කල්ලි පසුපස යන තැනට යොමු කෙරුනු අතර, එය කුලු‍ ගැන්වුනේ අල්-සිසි නම් කයිරෝවේ මස් වැද්දා යටතේ ඍජු හමුදා ආඥාදායකත්වයක් යලි තහවුරු කිරීමෙනි.

මාක්ස්වාදයට විකල්ප ලෙස ඉසුරුමත් මධ්‍යම පන්තියේ නියෝජිතයන් විසින් තොරොම්බල් කෙරුනු සියලු‍ ප්‍රබන්ධ අපකීර්තියට පත් ව ඇත: 2011 එක්සත් ජනපදයේ ආරම්භ කෙරුනු “අදේශපාලනික”‍ හා නව-අරාජකවාදී ඔකියුපයි වෝල් ස්ට්‍රීට් (වෝල් වීදිය අල්ලා ගනු) ව්‍යාපාරය විසින් “‍සියයට 99 කන්ඩායමේ පක්ෂයක්”‍ සඳහා කෙරුනු කැඳවීම, ඉහලම සිටින සියයට 10 කොටසේ උත්සුකයන්ට කම්කරු පන්තියේ උත්සුකයන් යටත් කිරීමේ මං සෙවීමක් බැව් හෙලිදරව් වූ අතර, ඔවුන් මධ්‍යම පන්තියේ ව්‍යාපාරයක් ලෙස හෙලිදරව් විය.

ග්‍රීසියේ සිරිසාව ද, ස්පාඤ්ඤයේ පොදෙමොස් ද ඇතුලු‍ව “වාම ජනතාවාදයේ”‍ නව ආකෘතීන් යුරෝපාකරය තුල ප්‍රවර්ධනය කෙරින. 2015 දී බලයට පත් සිරිසාව සිව් වසරක් පුරා බැංකුවල අන ක්‍රියාත්මක කලේය. පොදෙමොස් දැන් දක්ෂිනාංශික, කප්පාදු වැඩ පිලිවෙලට සහාය දැක්වීමට කැප වී සිටින ස්පාඤ්ඤ සමාජවාදී පක්ෂය (පීඑස්ඕඊ) සමඟ සන්ධානගතව ආන්ඩු කරන පක්ෂයකි. සංස්ථාපනයට එරෙහි කැරැල්ලක් ලෙස ඉදිරිපත් කෙරුනු “‍තරු පහේ ව්‍යාපාරය”‍ අවසානයේ නතර වූයේ ඉතාලියානු නව-ෆැසිස්ට්වාදීන් සමඟ දේශපාලන සන්ධානයකට එලැඹීමෙනි. ධනපති-විරෝධී අරගලයේ උපකරනයක් ලෙස කම්කරු පක්ෂය පුනරුත්ථානය කිරීමේ මායාව විකුනූ කෝබින්වාදය අවසානයේ ඔප්පු කලේ, කෝබින්වාදය යනු දේශපාලන බියගුලු‍කම හා පාලක පන්තිය ඉදිරියේ වැඳ වැටීම හඳුන්වා දීමට කියන තවත් වචනයක් පමනක් බවයි. ඉදින් සැන්ඩර්ස් ධවල මන්දිරය තුලට තම මාවත පාදා ගතහොත්, ඔහුගේ පාලනය මීට නොඅඩු බෙලහීනත්වයක් ප්‍රදර්ශනය කරනු නිසැකය.

ලතින් ඇමරිකාව තුල “රෝස උදම් රල”‍ (“‍Pink Tide”‍) හි කොටසක් වූ “‍වාම”‍ ධනපති ජාතිකවාදය, බ්‍රසීලයේ ලූලාවාදය, වෙනිසියුලාවේ චාවේස්ගේ “‍බොලීවියානු විප්ලවය”‍, සහ බොලීවියාවේ ඊවෝ මොරාලෙස් ද, ලෝක ධනපති ක්‍රමයේ අර්බුදයෙන් සිය නෞකා බිඳී ගිය කප්පිත්තන් බවට පත්ව සිටිති. ඔවුන්ගේම කප්පාදු හා කෝපරේට්වාදී ප්‍රතිපත්ති, එනම්, බ්‍රසීලය තුල බොල්සොනාරෝ බලයට පත්වීම හා 2019 මොරාලෙස්ට එරෙහි ඇමරිකාවේ සහාය ලත් හමුදා කුමන්ත්‍රනය ද ඇතුලු‍ව, තියුනු ලෙස දකුනට දෝලනය වීමේ මාවත සූදානම් කර ඇත.

පන්ති අරගලය යටපත් කිරීමේ යාන්ත්‍රනයන් ලෙස දීර්ඝ කාලයක් සේවය කොට ඇති වෘත්තීය සමිති, සමාගම්වල හා රාජ්‍යයේ නියෝජිතයන් ලෙස හෙලිදරව් වී ඇත්තාහ. එක්සත් ජනපදය තුල මෝටර් රථ කම්කරුවන්ගේ අරගල දියත් කෙරුනේ, සමාගම්වලින් අල්ලස් ලබා ගැනීම හා කම්කරුවන්ට ලැබිය යුතු මුදල් සොරකම් කිරීම පිලිබඳව අධිචෝදනා ලබා හෝ විමර්ශනයට භාජනයව සිටින යූඒඩබ්ලිව්හි දූෂිත විධායක නිලධාරීන් සමඟ ගැටෙමිනි. කෙසේවෙතත් යූඒඩබ්ලිව්හි උදාහරනය හුදෙක් ලෝක පරිමාන ක්‍රියාවලියක වඩාත්ම සුපැහැදිලි ප්‍රකාශනය පමනෙකි.

වාර්ගිකත්වයේ, ලිංග භේදයේ හා ලිංගික අනන්‍යතාවයේ දේශපාලනයට කවා පොවා නඩත්තු කරන ඉසුරුමත් ඉහල මධ්‍යම පන්තියේ කොටස් මත පදනම් වූ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවනතාවක් වන ව්‍යාජ වම හා කම්කරු පන්තිය අතර අතිමහත් දේශපාලන හා සමාජයීය විභේදනයක් හට ගෙන ඇත. ඉහල මධ්‍යම පන්තියේ දේශපාලනය ප්‍රයත්න දරන්නේ, ඉහලම සියයට එකේ ධනවතුන් අතර කැලතෙමින් ඇති ඓශ්චර්යයෙන් යම් කොටසකට අත පෙවීමට හා එය නැවත බෙදා හැරීමටය. අතිමහත් බහුතරයක සමාජ උත්සුකයන් නොතකා හරින අතරම ඔවුහු, බලය හා වරප්‍රසාද සහිත ස්ථානයක් කරා “අනන්‍යතාව”‍ එසවීමට ලීවරය යෙදීමේ මඟක් ලෙස, තනි පුද්ගලභාවය ස්ථාපනය කිරීමේ සිය ග්‍රස්තික ප්‍රතිස්ථාපනයේ මඩ වගුරෙහි ලැග සිටිති.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කර්තව්‍යයෝ
ධනපති පුවත්පත්වල එන අදහස් දැක්වීම් බොහොමයක පසුගිය වසර පුරා පැවැති විරෝධතා හා අරගල හැඳින්වෙන්නේ “‍නායකයෙකු නොමැති”‍ ඒවා ලෙසය. එහෙත් මෙය මහජන විඥානය වර්ධනය වීමේ හුදු ප්‍රාරම්භක අදියරයි. අරගලයේ මාවත ඔස්සේ අත්දැකීම් රාශිභූත කර ගන්නා මහා ජන සමූහයා සිය සමාජ හා දේශපාලනික පෙලගැස්මේ ප්‍රගාඪ වෙනස්වීමක් තුලින් ගමන් කරමින් සිටිති. සමාජවාදී විඥානය සඳහා අරගලය වර්ධනය වනු ඇත්තේ මෙකී විප්ලවවාදී ක්‍රියාදාමයේ සන්දර්භය තුලය.

සමාජ විප්ලවයේ නව දශකය, එහි උදාවත් සමඟ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසයේ නව අදියරක් ද රැගෙන ආවේය. විප්ලවවාදී ව්‍යාපාරයේ භාවිතය තීරනාත්මකය. සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකාවේ) 2018 ජාතික සම්මේලනයේ අභියෝජනාව මෙසේ පැහැදිලි කරයි:

විප්ලවවාදී පක්ෂයේ මැදිහත්වීමෙහි බලපෑම බැහැර කොට වෛෂයික තතු තුලනාත්මකව ඇගයීම හා දේශපාලන භව්‍යතා පිලිබඳ යථාර්ථ නිරූපිත තක්සේරුවක් සිදු කිරීම මාක්ස්වාදයට සම්පූර්නයෙන්ම පිටස්තර වූවකි. මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂය සිදුවීම් පිලිබඳ හුදෙක් අදහස් දැක්වීම් සිදු නොකරයි, එය තමා විශ්ලේෂනය කරන සිද්ධීන්ට සහභාගී වෙයි. තවද, කම්කරුවන්ගේ බලය හා සමාජවාදය සඳහා වන අරගලය තුල එය එහි නායකත්වය හරහා ලෝකය වෙනස් කිරීමට පරිශ්‍රම දරයි. 

හජාජාකයේ වර්ධනය වෙමින් පවත්නා ජාත්‍යන්තර දේශපාලන ආනුභාවය පිලිබඳ ඇඟවීම් රාශියක් වෙයි. 2019 වසර තුල, අන්තර්ජාල වාරන ව්‍යාපාරයක් පැවතීමේ තතු නොතකා ලෝසවෙඅ පාඨක සංඛ්‍යාවේ දැවැන්ත වර්ධනයක් අත්දකින්නට හැකි විය. එහි පිටුවලට පිවිසීම් සංඛ්‍යාව 2018 පැවැති මිලියන 14 ක සිට මිලියන 20 දක්වා වැඩි විය. (මෙය සියයට 40 ද ඉක්මවා ගිය ප්‍රතිශතයකි.) පාඨක සමූහයා වඩාත්ම ප්‍රවිෂ්ට වූ දෙමසක කාල පරිච්ඡේදය තුල එක් එක් මාසයක මිලියන 2 කට අධික සංඛ්‍යාවක් බැගින් වෙබ් අඩවියට පිවිසී තුබූ අතර, එම කාලපරිච්ඡේදය අනුරූප වූයේ සැප්තැම්බරයේ හා ඔක්තෝබරයේ ජෙනරල් මෝටර්ස් වර්ජනය හා මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය සමඟය.

මෙකී වර්ධනයන් විසින් සැලකිය යුතු දියුනුවක් සනිටුහන් කෙරෙන නමුදු, ස්වයං තෘප්තියට පත්වීමට හේතුවක් නැත. හජාජාකයේ ආනුභාවය වර්ධනය වීම මඟින් සුපැහැදිලි ලෙසින්ම ඉදිරිපත් කරනු ලබන්නේ ඉදිරියේ පවතින ඉමහත් වගකීම් හා කර්තව්‍යයන් ය.

දැන් හැරිය යුත්තේ කම්කරු පන්තිය කරාය; අසමානතාව, යුද්ධය හා ඒකාධිපතිත්වයට එරෙහිව කම්කරුවන් හා තරුනයන් කෙරෙන් මතුවන විරුද්ධත්වයේ සෑම විද්‍යමාන වීමකදීම සක්‍රිය ලෙස මැදිහත්වීම කරාය. දේශපාලන මට්ටම ඉහල දැමීමට, කම්හල්වල හා පාසල් තුල කේඩරයන් නිර්මානය කිරීමට, ඉතිහාසයේ පාඩම් හා ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය පැහැදිලි කිරීමට වෙහෙස නොබලා කටයුතු කිරීම අවශ්‍යය. සමාජවාදය සඳහා සටන් වැදීමට අධිෂ්ඨාන කොට ගත් ජනයාගේ හිඟයක් නොවනු ඇත.

එහෙත් මේ අධිෂ්ඨානය, මුලු‍ ලොව අලලා ගත් සමාජවාදය සඳහා වන ව්‍යාපාරයක් තුල කම්කරු පන්තියේ අරගල ඒකාබද්ධ කරන මූලෝපායයකින් සන්නද්ධ කල යුතුය.

මේ වසර, රුසියානු විප්ලවයේ ලෙනින් සමඟ සම නායකත්වය දැරූ හා හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භකයා වූ ලියොන් ට්‍රොට්ස්කි ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් 1940 අගෝස්තු 20 වන දින ඝාතනය කරනු ලැබ 80 වසරක් ගතවීමේ සංවත්සරය සනිටුහන් කරයි. සිය ජීවිතයේ අවසාන වසරවලදී ට්‍රොට්ස්කි විප්ලවවාදී නායකත්වයේ කාර්යභාරය සම්බන්ධයෙන් දැවැන්ත අවධාරනයක් යෙදීය. “‍මනුෂ්‍ය වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇතැ”‍යි හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනයෙහි ඔහු ලිවීය.

දැන් එය හජාජාකය ජාත්‍යන්තරව ගොඩනැඟීමේ, සමාජවාදී සමානතා පක්ෂ ඇති රටවල්වලදී ඒවා ප්‍රසාරනය කිරීමේ, හා හජාජාකයේ සංවිධානාත්මක අභිමුඛවීමක් තවමත් නොපවතින රටවල්වල නව ශාඛා ගොඩනැඟීමේ ප්‍රශ්නයකි. මෙම ව්‍යාපාරය රැඳී සිටින අතිමහත් ඓතිහාසික පදනම්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අත්දැකීම්වල දැනුවත් කෝෂ්ඨාගාරය, කම්කරු පන්තියේ වැඩෙන අරගල තුලින් සමාජවාදය කරා මාවත හැඩ ගස්වමින් පෙරට ගෙන ආ යුතුය.